fbpx

හේමන්ත සන්ධ්‍යා -12

කුළී රියෙහි අසුන කොනක ගුලි වී ජංගම දුරකතනය කනේ ඔබා ගෙන නිකිනි සිටියේ ඇස් දෙකත් පියවෙන්නට හැර ගෙන ය. සාමාන්‍යයෙන් හදවතත් එක්ක වැඩි සම්බන්ධයක් ඇති දෙයක් ගැන කතා කරත්දී හෝ සිතත්දී හෝ ඇස් දෙක පියවීම ඈත් නො දැන ඇය ට වෙන දෙයකි. නමුත් මේ සිටින්නේ කුළී රියක ගමන් කරමින් වන නිසා ත්, රියදුරු වරයා ගේ අනවශ්‍ය අවධානය ට යොමු නො විය යුතු නිසා ත් නිකිනි වරින් වර නෙතු අඩවන් කොට බැලුවා ය. 

චුරු චුරු වැස්සක් ඉහිර යමින් පවතී. ගෙදර ගිය පසු මේ චුරු චුරුව ධාරානිපාතයක් ව ඇද වැටේවා යි නිකිනි සිතින් පැතුවා ය.

“ලෝකෙ හැදිල තියෙන්නෙ අපි කැමති දේවල් ම අපිට සිද්ද වෙන්න ඕනයි කියන තියරි එකට නෙවෙයි නිකිනි”

ටික වෙලාවකට පස්සේ, වැස්සේ හඬ පසු බිම් කර ගනිමින් විදත් ගේ හඬ නැගෙත්දී නිකිනි ගේ ඇස් යළිත් පියවිණි. ඒ පිරිමිකාර හඬ ස්ත්‍රී හදක උපදනුයේ උණුහුමකි. 

“ලෝකෙ දේවල් සිද්ද වෙන්නෙ ඒ ඒ දේට ඕන විදිහට…ඒව අපිට ඕන විදිහට වෙනස් කරන්න ගිහිං බැරි වුණහම වෙන්නෙ අපි කලකිරෙන එක. නැත්තං අපි ට වෙහෙස දැනෙන එක”

හිස පිරිමදිනා සුවයක් ඔහු කතා කරත්දී දැනේ. එහෙම පිරිමින් ද ලෝකයේ සිටියදී මංජුල වාගේ පිරිමි ද සිටිති. මංජුලත් මේ මුහුණ පෙන්වන්නේ බිරිඳ වූ තමාට පමණක් දැයි නිකිනි ට සිතිණි. ඔහු ගේ වෙනත් පෙම්වතියන් ට ඔහු පෙන්වන්නේ වෙනත් පෙම්බර මුහුණක් ද? 

“මිස් ඩිවෝස් වුණත් සර් මාව මැරි කරන්නෙනං නෑ මිස්”

ගුවනි ගේ වචන කොහෙන්දෝ පැන නැගී නිකිනි ගේ හිතේ හැපිණි. නිකිනි ඇස් දෙක තද කොට පියා මේ උණුහුම් නිමේෂයේ මංජුල ගැන සිහියට එන එකට විරෝධය පෑවා ය.

“ලෝකෙ වෙනස් කරන්න ගිහිං ජීවිතේ එපා කර ගන්නවට වඩා හොඳයි අපි ආස අපිට ඕන ලෝකෙ අපේ හිත ඇතුළෙ මවා ගෙන ජීවත් වෙන එක නිකිනි…”

ඉතා ගැඹුරු වූ තුවාලයකට නො රිදවා ඔසු ගල්වන දක්ෂ වෙදැදුරෙකු සේ විදත් නිකිනි ගේ තුවාලය ඇති තැනට ප්‍රවිෂ්ට වූයේ ය.

“ඒත්…එහෙම කරන්නෙ කොහොමද…”

“මාත් එහෙම කරන නිසා මං දන්නව”

කෙනෙකු වඩාත් රිසි වන්නේ ඔහු ට හෝ ඇය ට සමීපයි කියා දැනෙන කෙනෙක් තමන් ගේ මට්ටමට ම වැටෙනවා නම් ය. අපේ තුවාලයේ තරම අනිත් කෙනාටත් දැනෙනවා නම් ය. අපේ අමාරුවේ තරම ඔහු ත් විඳිනවා කියා සිතෙනවා නම් ය. මේ වෙලාවේ විදත් ඈ සිටින වේදිකාවට ම බැසීම නිකිනි ගේ සිත්හි ඇති කරන ලද්දේ සැනසීමකි.

“කොහොමද එහෙම කරන්නෙ…”

“මං කැමති පොත් කියවනව. මං කැමති මියුසික් අහනව. මට නටන්න ඕනයි කියල හිතුණොත් සින්දු දාගෙන නටනව. මං නැමති තැං වල ඇවිදින්න යනව. යාළුවො ආශ්‍රය කරනව. තනියම ඉන්න ඕනයි කියල හිතුණහම තනියම ඔහේ බලං ඉන්නව. ඒ හැම තැනකම ජීවිතේ තියෙනව නිකිනි. අවාසනාවකට අපි හිතන්නෙ නෑ. පරම්පරා ගාණක් තිස්සෙ අපිට හිතන්න පුරුදු කරල නෑ. අපි දන්නෙ ජීවත් වෙන්න තව කෙනෙක් ඕනෙ කියලමයි. තව කෙනෙක් ඉන්නවනං හොඳයි තමයි. පහසුයි. හිතට හයියයි. ඒත් නැත්තං මොකද කරන්නෙ…මැරෙන්නද…අපිට හොයා ගන්න පුළුවන් සම්පත් වලින් අපි ජීවිතේ විඳින්න ඕනෙ…”

ඔහු අලුත් ලෝකයකට දොරක් විවර කළා සේ නිකිනි ට දැනිණි. ඒ වදන් වලත් ස්වරයේ ත් දැවටී ඇත්තේ  බොහෝ ඇසූ පිරූ තැන් ඇති මුණිවර භාෂිතයකි.

“පොඩි කාලෙ ඉඳලම තනි කම කියන දේ ගැන පට්ට බයක් අපේ හිත් වල ඇති කරන්නෙ. අම්ම තාත්තා අතින් අල්ල ගන්නෙ නැතුව පාරට දාන්නෙ නෑ…ඉස්කෝලෙදි ටොයිලට් එකටවත් තනියම යන්න දෙන්නෙ නෑනෙ. තනිකමට තව කෙනෙක් යවනව. අවුරුදු දොළහ පහළව වෙලත් ළමයිංව තනියම නිදියන්න දානවද බලන්න…නෑනෙ…”

කුළී රිය නාවල ගේ ඉදිරියේ නවතා ගත් නිකිනි කුළිය ගෙවා ගෙතුළට පැන ගත්තා ය. කුඩයක් ළඟ නො තිබුණ එකේ ඒ වෙලාවේ පොදය බාල වී තිබුණේ හොඳ වෙලාවට යයි ඕ සිතුවා ය.

“ඒත් තනිකම කියන්නෙ පට්ට දෙයක් නිකිනි. ඒකෙ තියෙන රහ තේරුං ගන්න තනි වෙලාම බලන්න ඕනෙ. හැබැයි අවාසනාවකට අපි තනි වෙන්න බයයි. කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාළුයි කියල දැන ගත්ත ගමං අපේ කෙල්ලො වහ බොනව. කෝච්චියට පනිනව. කෙල්ල කැමති නෑ කියපු ගමං කොල්ලො බෙල්ලෙ වැල දා ගන්නව. අපි ඒ තරං බයයි අපි තනි වෙලා කියල හිතන්න. වෙන දෙයක් ඕන නෑ අපි බඩ ගින්නකට රෙස්ටොරන්ට් එකකට ගිහිං තනියම කෑම ටිකක් කනවද බලන්නකො තනියට කවුරුත් නැතුව. අපි අන්න එහෙම තැනක අසරණ වෙලයි ඉන්නෙ නිකිනි…”

කාමරයේ කොනක වන වේවැල් වලින් නිම වූ එල්ලෙන පුටුවේ හිඳ ගත් නිකිනි, සුව පහසු පුළුන් කොට්ටයට ගුලි වූවා ය. වැස්සත්, මේ විසල් නිවසෙහි වන හුදෙකලාවත් වෙන කිසි දාක නොවූ තරම් මිහිරකට ඇය ට දැනිණ. 

“අපි කාටවත් ම කාගෙවත් ම හිත් වල ස්ථිරව පදිංචි වෙන්න බෑ නිකිනි. අපි කවුරුත් තාවකාලික නවාතැන් කාරයො. එන අය…යන අය…ඉන්න වෙලාවෙ කාලෙකට අමතක නොවෙන මතකයක් ඒ කෙනා ළඟ ඉතුරු කරල යන්න පුළුවන් නං…එච්චරයි…”

හෝරා කිහිපයක් විචිත්‍ර ධර්ම දේශකයෙකු ගේ දේශනයකට සවන් දුන්නා බඳු නිවීමක් ඒ හැන්දෑවේ නිකිනි අත්විඳිමින් සිටියා ය. ඇය වඩාත් කැමති ගායකයෙකු ගේ ගීතාවලියක් තෝරා ක්‍රියාත්මක කරන ගමන් කේක් එකක් තනන්නට පටන් ගත්තා ය. බොහෝ දිනකින් එවැන්නක් නො කළ බව නිකිනි ට සිහි විය. ඇතැම් විටෙක ගායන ශිල්පියා ගේ හඬ තුළ සමාධිගත වෙමින් ද ඇතැම් විට ඔහු ත් සමග එක් ව ගයමින් ද ඇය කේක් එක තැනීමේ කටයුතු කර ගෙන ගියා ය.

“මේ මොකද මේ වැස්සයි ගෙරවිල්ලයි අස්සෙ කැසට් දාගෙන”

සම්ප්‍රදායික තැටිය වයා ගෙන නැන්දම්මා ගෙට ආවා ය. නිකිනි ගේ දෙතොල් අතරේ වූ මන්දස්මිතයෙහි වෙනසක් වූයේ නැත.

“කොහෙද ළමයො ගියේ…උදේ හිට දොරවල් වහල දාල තිබුණෙ…”

ඇයට දැන ගන්නට වඩාත් අවශ්‍ය වී තිබූ කාරණය එය බව නිකිනි දැන සිටියා ය.

“ගෙදර ගියා”

“ගෙදර…තවත් ගෙයක් තියෙනවද…මං හිතුව මේකයි ඔය ළමයගෙ ගේ කියල”

“ග්‍රැනීලගෙ ගෙදර”

වචන පස්සේ එල්ලී ගෙන ගොස් තර්ක කරනවාට වඩා මෙහෙම නිසල වෙන එක පහසුයි වාගේ නිකිනි ට දැනිණි.

“මං කී පාරක් ඇවිත් බැලුවද…මංජුල ට කියලද ගියේ…”

නිකිනි වහා නෙතු හරවා නැන්දම්මා දෙස බැලුවා ය. ඒ ඇස් බැල්ම අකුණක් සේ ඈ මත පතිත විය. නමුත් පැරදී ඉවත බලන්නට මංජුල ගේ මව් සූදානම් වූයේ නැත.

“ඇයි මං ගෙදර යනවනං එයාට කියන්නම ඕනෙද…එයාගෙ අවසර නැතුව යන්නම බැරිද…දැං එයත් ඔය කරන තරං ඔක්කොම දේවල් කරන්නෙ මගෙ කැමැත්තයි අවසරෙයි අරගෙනද අම්මෙ…අමම එයාට කිව්වෙ නැද්ද මගෙං අහල ඒ දේවල් කරන්නයි කියල…”

ඒ තරම් ඍජු ලෙස නො සැලී එහෙව් ප්‍රශ්න කිරීමක් මංජුල ගේ මව ගෙන් ම කිරීමට තරම් එඩිතර බවක් නිකිනි ට ආරෝපණය වූයේ කොතැනකින් දැයි නිකිනි වුව දැන සිටියා නොවේ. කියවා ගෙන යාමෙන් පසු ඈ දිග හුස්මක් ඇතුළට ගත්තා ය. ඇය ට පහසුවක් දැනිණ. නිදහසක් දැනිණ.

“මේ ළමයට මොනව වෙලාද මේ…”

සුනඛයෙකු වුව පහු බහින අවස්ථා ඇත්තේ ය. විශේෂයෙන් ම ප්‍රතිවාදියා ලෙහෙසියෙන් යටපත් කර ගත නො හැකි බව පෙනෙත්දී පසු බා යාම ස්වභාවය වේ. 

“මුකුත් වෙලා නෙවෙයි අම්මෙ…අම්ම අහපු ප්‍රශ්නෙට මං උත්තරේ දුන්නෙ”

කේක් එක බේක් වෙන සුවඳ පැතිර ගියේ ය. නැන්දම්මා ඉව කළා ය.

“ඇයි කේක් හදන්නෙ…”

“කන්නනෙ”

නිකිනි ඇඟට පතට නො දැනී කීවා ය.

“කන්න බව මං දන්නව. ඒත් කේක් කන්න විශේෂ හේතුවක් තියෙන්න ඕනනෙ. මං ඇහුවෙ අන්න ඒ හේතුව”

හොඳින් බැරි තැන නැන්දම්මා කට ගසා ලේලිය අවනත කර ගන්නට බැලුවා ය. නිකිනි සිනහවක් නගා ගත්තා ය.

“අම්මගෙ පුතා තව කසාදයක් කර ගන්නනෙ යන්නෙ. ඒ සතුට සමරන්න…”

නිකිනි සිනහ වෙත්දී නැන්දම්මා ගස්සා ගෙන ගියා ය.

“අම්ම තව ටිකක් ඉන්න…කේක් කෑල්ලක් අරංම යන්න පුළුවන්”

නිකිනි කෑ ගෑවා ය. නමුත් එතුමිය නෑසූ කන් ව නික්ම ගියා ය.

උණු උණුවේ කේක් කා නිකිනි කිරි කෝපි තනා ගෙන බීවා ය. විරහ ගී අතරේ ඇය ශෝක රසයක් විඳිමින් සිටියා ය. වැස්ස ඒ සියල් හැඟුමන් වලට අලගු තැබුවේ ය. රාත්‍රියේ මංජුල පැමිණෙන විට නිකිනි සිටියේ නින්දකට පිවිස ය. කාමරයේ විදුලි බුබුලේ සැර එළිය දැල්වෙත්දී ඕ අවදි වූවා ය.

“හරි ශෝක්…ගෙවල් ලොක් කරලත් නෑ…”

මංජුල ආඩපාලියක් කීවේ ය. ඇස් පොඩි කරමින් ම නිකිනි හිනැහුණා ය.

“මාව අරං යන්න මීටත් වඩා නරක තැනක් තියෙයිද…”

ගිනි පිට වන බැල්ම වෙනතක හරවා ගත්තා මිස මංජුල කිසිත් නො කීවේ ය. ඔහු නා පිරිසිදු වී එන විට නිකිනි කෑම මේසය පිළියෙල කොට අවසාන ය. වෙනදාට වඩා එය සරුසාර ව තිබුණත් මංජුල ඒ ගැන ප්‍රශ්න කළේ නැත.

“පප්පට බෙහෙත් කරන නිසා මං මේ ටිකේම ගෙදර යනව”

නිකිනි මතක් කිරීමක් කළා ය. මංජුල වහා හිස නගා බැලුවේ ය. ඔහු නො අසා සිටියා ට දැනටමත් නැන්දම්මා කේළම ඔහු ගේ කනේ තියා ඇති බව නිකිනි දැන උන්නා ය.

“ඇයි බෙහෙත් කරන්න වෙන කවුරුවත් ඒ ගෙදර නැද්ද…”

“අනුං කරනකං බලං ඉන්න ඕන නෑනෙ…මං කරන්න ඕන දේ මං කළහම ඉවරනෙ…”

“දන්නවනෙ…මං කැමති නෑ ඔය එහෙටයි මෙහෙටයි රස්තියාදු ගහනවට”

“නෑ මං ඔයාට එහෙ යන්න කිව්වෙ නෑ”

මංජුල ගේ බැල්ම ගිනි පුපුරකි. නිකිනි ඉන් සැළුණේ නැත.

“අපි එක්කෙනෙක් නෙවෙයිනෙ…දෙන්නෙක්නෙ…”

හෙමිහිට නමුත් නිකිනි තව දුරටත් අවධාරණය කළා ය. 

“මට පොත් ටිකක් ගන්නත් ඕනෙ”

“පොත්….”

මංජුල ගේ මුහුණේ සමච්චල් සිනහවක් ඇඳිණ. ඒ බැල්ම හරියට පොත් කියන්නේ කිසි දා ඇය ට අකැප වස්තුවක් සේ ය.

“පොතුත් කියෝනවද…”

නිකිනි ගේ සිත්හි ඉසිහින් රිදුමක් ඇති නො වූවා ම නොවේ. නමුත් ඕ ඒ බවක් නො පෙන්වා සිටියා ය. විශ්ව විද්‍යාල ආචාර්යවරයා සිතනවා ඇත්තේ පොත් වූ කලී විද්‍යාර්ථීන්ට පමණක් පහල වූ විශේෂ වරප්‍රසාදයක් කියා ය. 

කෙසේ වෙතත් ගෙයින් පිටත් වීම කෙරේ ඈ බලාපොරොත්තු වූ විරෝධය පාන්නට මංජුල ශක්තිමත් නොවීම ගැන ජයග්‍රාහී හැඟීමක් නිකිනි ට දැනිණි. 

ඇය උදෙන් ම පොත් මැදුරට ගියා ය. නවකතා පොත් අතරේ එකල මෙකල වෙමින් හිඳියදී කිසිවෙකු ඇගේ උරහිස මතින් අත තබනු දැනී නිකිනි තිගැස්සී හැරී බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
2
0
Would love your thoughts, please comment.x
()
x