fbpx

හේමන්ත සන්ධ්‍යා -15

බෙහෙත් පොට්ටනියෙන් තවන ගමන් නිකිනි හිටියේ කල්පනාවක ය. ඇයට ගුවනි ව සිතින් පිටමන් කළ නො හැකි තරමි. ඈ ගැන මහත් අනුකම්පාවකින් හදවත උණුහුම් වී තියේ. 

ගැහැනුන් වී ඉපදුණ පළියට ඉරණම මේ විදිහට එළවා පහර දිය යුතු ය. ඉරණම එසේ කරනවා නම් ඒ හා පොර බැදිය යුතු ව තියේ. 

ආර්ථික වශයෙන් ශක්තිමත් නොවීම, මෙලොව ගැහැනුන් මුහුණ දෙන බරපතල ම ඛේදවාචකය ය. ඔවුන් වැඩි පුර ම කරදර වල පැටලෙන්නේ ආර්ථික වශයෙන් අස්ථාවර වීම නිසාවෙනි. තමන් ට වුව ආර්ථික වශයෙන් ලොකු හයියක් නෑ නොවේ දැයි ඇය කම්පිත ව සිතුවා ය. කුඩා කළ පටන් නිවුන් දැරියන් දෙදෙනා ගේ සේ ම පාලිකා ගේ දරුවන් දෙදෙනා ගේ ගිනුම් වලට ද සුමනා ගේ මැදිහත් වීම මත ඩෙස්මන් මාසික ව සමාන මුදලක් බැර කළේ ය. නිවුන් දැරියන් ගේ විවාහයන් සිදු වෙත්දී දායාද වශයෙන් හෙතෙම ලෑන්ඩ් සේල් එකකින් යාබද ඉඩම් කැබලි දෙකක් ද ගෙන දුන්නේ ය. පප්පා කෙනෙකු වශයෙන් හෙතෙම මුණුපුරු මිණිපිරියන්ටත් යුතුකම් ඉටු කොට ඇත්තෙකි. ඩෙස්මන් තරුණ කාලේ සිට ම ව්‍යාපාර කිහිපයක නියුතු වූයේ ය. ඔහු සශ්‍රීකත්වයට පත් වූයේ කුරුඳු පිට රට යැවීමේ කටයුතු ආරම්භ කළ පසු ය. නමුත් ඩෙස්මන් ගේ ජව සම්පන්න මැදි විය ගෙවී යත්දී සහ තරුණ නවක ව්‍යාපාරිකයන් ක්ෂේත්‍රයට පිවිසෙත්දී ඔවුන් සමග උරෙනුර ගැටීමේ ශක්තියක් හෝ නූතන තාක්ෂණික දැනුමක් ඩෙස්මන් වෙත වූයේ නැත. පුතුන් දෙදෙනා ව්‍යාපාර ගැන නොව කලාව ගැන උනන්දු වූ නිසා හෙතෙම ක්‍රමයෙන් අභාවයට ගියේ ය. ඩෙස්මන් සතුව දැන් ආදායමකට වන්නේ තැන් තැන් වල ගොඩනැගිලි හා කඩ කාමර කිහිපයක් කුළියට දීමෙන් අතට එන්නක් පමණකි. කුරුණෑගල වන පොල් වතු යාය ජගත් ට හා මිත්‍ර ට සම සේ ලියා තිබේ. 

“මට තමයි මුකුත් නැත්තෙ. පොල් ඉඩම දෙන්න තිබුණෙ ඒගොල්ලන්ට නෙවෙයි දරුවො දෙන්නෙක් ඉන්න මට. මිත්‍ර බැන්දෙ නෑ. අයියට කසාදයක් නෑ. හැබැයි බූදලේ දුන්කෙ ඒ දෙන්නට”

පාලිකා නිතර දෙවේලේ ඔය කතාව කියනු ඇසේ. 

“කසාදෙ කරනකොට දෙන්න ඕන ඒව දීලයි තියෙන්නෙ පාලිකා”

සුමනා කතා නො කර නිකං ම ඉන්නේ නැත.

පර්චස් පණහක් අරං දුන්නා පානදුරෙං. පාලිකාගෙයි ජයන්තගෙයි දෙන්නගෙම තියෙන නොසැලකිල්ල නිසා ඒව නැති නාස්ති කර ගත්ත. මේ කෙල්ලො දෙන්නට පර්චස් දහය ගාණෙ අරං දුන්නෙ. බිනුරිල දැං ලස්සනට ඒකෙ ගෙයක් හදං ජීවත් වෙන හැටි බලන්න”

“හරි හරි ඔය පරණ කතා වැඩක් නෑනෙ ඉතිං..”

පාලිකා දරු පවුලත් එක්ක මහ ගෙදරට ගාල් වී සිටින්නේ මහ ගේ ගැන බලාපොරොත්තුවෙන් යයි සුමනා දනී.

“නිකී මොකද බර කල්පනාවක…”

ඩෙස්මන් ඇහුවේ බෝ වෙලාවක සිට අහන්නට හිතුණ ප්‍රශ්නය කි. නිකිනි සිනහවක් නගා ගත්තා ය.

“නෑ පප්පා. විශේෂ දෙයක් නෑ”

“අපි මහා දිග ජීවිතයක් අරං ඇවිත් නෑ නිකී. අඩු ගානෙ අවුරුදු සීයක් දෙසීයක්වත් ඉන්න තියෙනවයි කියලයැ…”

ඩෙස්මන් සිනහ වූයේ වෙනකෙකු ට නොව තමන්ට ම සිනහ වන්නා මෙනි. ඒ ජීවත් වීමෙන් ලද අත්දැකීම් විසින් ඉපදවූවා වූ සිනහවකි.

“ඒක නිසා ඉන්න ටිකේ සතුටෙන් ජීවත් වෙන එකයි කරන්න තියෙන්නෙ. නිකී තාම තරුණයි. ලස්සනයි. නිකී ගෙ ජීවිතේ ගැන කැමති විදිහක තීරණයක් ගන්න නිකීට අයිතිය තියෙනව. දෙවියන්  වහන්සෙගෙ කැමැත්තත් ඒකයි නිකී”

“පප්ප…”

මේ කාරණය ගැන සිතමින් සිටියා ට තවම එය හිතළුවක් මිස නිකිනි එය ඩෙස්මන් ට කියන්නට හිතා උන්නා නොවේ. නමුත් ඔහු මේ වගේ බලාපොරොත්තු සහගත සතුටක් ඈ වෙත දිගු කරමින් කතා කරත්දී නිකිනි ට එය තවත් පස්සට දමන්නට හිතුණේ නැත.

“මගෙ ඔළුවෙ පොඩි අදහසක් තියෙනව පප්ප…බිස්නස් එකක් පටං ගන්න…”

“නිකී…වට් ඩිඩ් යූ සේ…”

ඩෙස්මන් ගේ වියපත් රෝගී ඇස් හදිසියේ ම දිළිසෙන්නට ගති. ඒ ඇස් හිනා වෙනවා වාගේ නිකිනි දුටුවා ය.

“බිස්නස් එකක් පටං ගන්න…ඔය ඇත්තමද…”

“ඇත්ත පප්පා…”

“තෑන්ක් ගෝඩ්…එහෙනං ඒකයි දෙවියන් වහන්සේගෙ කැමැත්ත…සුමනා…සුමනෝ…”

කෙතරම් ප්‍රීතියට පත් වූයේ ද යත් ඩෙස්මන් ට සිය අසනීපය පවා අමතක වූ තරමි. සුමනා හති දමමින් කාමරයට දිව ආවා ය.

“නිකී ට බිස්නස් එකක් පටං ගන්න ඕනයි කියන්නෙ…”

“හනෙ අම්මේ මං බය වෙච්ච තරං…”

සුමනා පපුවෙහි අතක් තබා ගත්තා ය.

සිය දරුවන් තිදෙනා ගෙන් එක් අයෙකු හෝ ව්‍යාපාර ගැන උනන්දු නොවීම ගැන ඩෙස්මන් ගේ සිත් හි වූයේ සුළු පටු සන්තාපයක් නොවේ. සිය සමකාලීන ව්‍යාපාරික මිතුරන් ගේ දරුවන් ඒ ව්‍යාපාර සියතට ගෙන ඒවා දියුණුවෙන් දියුණුවට පත් කරවන සැටි ඔහු බලා සිටියේ ය. ඒ ගැන ඊර්ෂ්‍යා නො කරන්නට තරම් ඔහු දෙවියන් වහන්සේ ගැන විශ්වාසවන්ත කිතුනු බැතිමතෙකු වී ද, හිත කොනක වේදනාවක් නොතිබූ බව කිව නො හැකි ය. සිය හිසෙන් ගිලිහී ගිය කිරීටයට උරුම කම කියන්නට මිණිබිරියක වුව ඉදිරිපත් වෙනවා නම් ඩෙස්මන් ට එය මහත් සැනසුමකි.

“මට හිතෙනව පප්ප නිකංම බත් තම්බ තම්බ ගෙදරට වෙලා ඉන්නවට වඩා මොකක් හරි දේක යෙදෙන එක ප්‍රයෝජනවත් කියල. ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්නත් පුළුවන් එතකොට”

“මට හරිම සන්තෝසයි නිකී…හරිම සන්තෝසයි…දෙවියන් වහන්සෙගෙ කරුණාවෙන් මට ඉක්මනට ආයෙත් පරණ තත්වෙට පත් වෙන්න පුළුවන් වෙයි. දැන් මේ ආරංචිය නිසා ඉක්මනටම මං සනීප වෙනව ඒක ශුවර්…”

ඩෙස්මන් මේ විදිහට ප්‍රීති වීම නිකිනි ට අනවශ්‍ය අනුබලයක් විය හැකි යයි සුමනා තැති ගත්තා ය.

“නිකිනි දැං…ඔය ගැන මංජුල එක්ක කතා කළා ද…”

“ඒ යකා එක්ක මොකට කතා කරනවද…”

ඩෙස්මන් සුමනා ගේ ඇඟට කඩා පැන්නේ ය. නිකිනි සිය සිනහව සුමනා ට නො පෙනෙනු වස් කට තද කර ගෙන ඉවත බලා ගත්තා ය.

“කතා කරන්න ඕන මාත් එක්කනෙ. මන්නෙ බිස්නස්මන්. නිකිනි හරි. නිකිනි මාත් එක්ක කතා කරපු එක හරි”

“දැං නිකිනි මොන වගේ බිස්නස් එකක් ද කරන්න හිතං ඉන්නෙ…”

මේ යෝජනාව ගැන සුමනා ගේ හිතට දැනෙන්නේ ම බරකි. 

“ග්‍රැනී…මං ලොකුවට එහෙම හිතල නෑ. හැබැයි මං ආසයි බුක් ශොප් එකක් වගේ එකක් පොඩියට පටං ගන්න”

“වෙරි ගුඩ්…වෙරි ගුඩ්. පොඩිවට පටං ගන්න තමයි හිතන්න ඕනෙ. ඒක හොඳ ව්‍යාපාරිකයෙක්ගෙ ලක්ෂණයක්. එක පාර සල්ලි යට කර ගෙන ලොකුවට දේවල් පටං ගන්න එක නෙවෙයි හපන්කම. ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපි ඉස්සරහට යන්න ඕනෙ”

“පප්පා මගෙ අකවුන්ට් එකට දාල තියෙන සල්ලි ටික තමයි මං ළඟ තියෙන්නෙ. හැබැයි පප්පගෙ බිල්ඩින් එකකින් කඩ කෑල්ලක් මට දෙන්න පුළුවන්නං…”

“ඇයි බැරි….ඔය එකක් ෆ්‍රී වෙලා තියෙන්නෙ..මං මේ ඇඩ් එකක් දාන්න කියල මිත්‍රට කියන්නයි හිටියෙ…අපි ඒකෙ වැඩේ පටං ගමු”

නිකිනි ට වඩා උනන්දුවක් පෙන්වූයේ ඩෙස්මන් ය. එය නිකිනි ට මේ කාරණය ගැන යළිත් සිතන්නට බල කොට සිටියේ ය.

“නියමයි. බුක් ශොප් එකක් වගේ දෙයක් ඔයාට මැච් වෙනව”

ඒ ගැන දැන ගත් ගමන් විදත් ප්‍රීතිමත් වූයේ ය.

“අලුත් කන්සෙප්ට් එකකට කරන්න. අපරාදෙ ලංකාවෙ හිටියනං බැහැල සප් එකක් දෙනවනෙ….”

නිකිනි මඳහස පෑවා ය. ඒ ගැන ටික වෙලාවක් කතා  බහ කිරීමෙන් පස්සේ ගුවනි ගෙදරට ම පැමිණි එක ගැන ඇය විදත් ට කීවා ය.

“මොනා වුණත් මේ අලුත් ජෙනරේශන් එක මාර ඕපන් අප්පා”

ඔහු ගේ විග්‍රහය දැන ගන්නට නිකිනි සිටියේ නො ඉවසිල්ලෙනි. 

“මං දන්න එවුනුත් කරන දෙයක් තමයි ඔය. වයිෆ්වයි ගර්ල් ෆ්‍රෙන්ඩ්වයි නයාට අඳු කොළ සයිස් එකට වෛරක්කාරයො කරල තියන එක. එතකොට කවදාවත් උන් දෙන්න මූණ බලල කතා කරන්නෑ. දෙන්නවම ශේප් කර ගෙන සත්‍ය ප්‍රේම භෘංග රාජයා වගේ ආතල් එකේ ඉන්න පුළුවන්”

“මංජුල මාත් එක්ක නං ගුවනි ගැන වචනයක්වත් කියල නෑ. ඒත් එයාට මං ගැන දොස් කියල ඇති”

“ඕගොල්ලො දෙන්නම මාරයි. ලෝකෙ ඔක්කොම ගෑනු ඔය දෙන්නා වගේ වුණොත් පිරිමින්ට ඉඦු ඉඦු කියල කතා කරන්න පුළුවන් වෙයි”

“ගෑනු ආදරේට ලෝබයි. හිතේ ආදරයක් ඇති වෙච්ච පිරිමියා වෙනුවෙන් ජීවත් වෙන්න හරි මැරෙන්න හරි ලෑස්තියි. අන්න ඒක ගෑනු මුලා කරන ආයුදේ කර ගන්න එක තමයි වැරදි. මට දැනෙන විදිහට ගුවනි මංජුලට පුදුම විදිහට ආදරේ කරල තියෙනව”

“මංජුල පව්”

“ඇයි…”

“හොඳ ගෑනු දෙන්නෙක් මුණ ගැහිලත් ඒ එක්කෙනෙක්ටවත් අවංක වෙලා උංගෙ ආදරේ විඳින්න මිනිහට පිණ නෑ”

එදා රාත්‍රියේ සිය  ව්‍යාපාර සිහිනය ගැන නිකිනි  මංජුල සමගින් පැවසුවා ය.  ඔහු සිය බිරිය දෙස බලා උන්නේ විපරීත ඇස් දෙකකිනි.

“පිස්සුද….”

අන්තිමට ඔහු ගේ ප්‍රතිචාරය වූයේ එයයි. නිකිනි නිසංසලේ මඳහස පෑවා ය.

“මටද…”

“නැතතං මට පිස්සු කියලද හිතන්නෙ…”

“මන්දා. මේක පිස්සුවක්නං…ඒක කරලම තමයි මං ඒ පිස්සුව හොඳ කර ගන්නෙ”

“මං විරුද්දයි”

මංජුල කෑම මේසයෙන් නැගිට ගියේ හරි හැටි කුස පිරෙන්නේ හෝ නැතිව ය.

“මං ඔයා විරුද්දද එකඟද කියල ඇහුවෙ නෑ. යුතුකමක් විදිහට ඔයාට කිව්ව විතරයි”

නිකිනි කාමරයට ගොස් යළිත් ඒ මාතෘකාවට ම එළඹියේ ඒ ගැන කතා කොට නිමා කළ යුතු වන නිසාවෙනි.

“මගෙ ගෑනි රස්සාවල් කරනවටවත් බිස්නස් කරනවටවත් මං කැමති නෑ”

 මංජුල ගිගිරුවේ යක්ෂාවේශයෙනි. නිකිනි මඳක් පසු පසට විසි වී බලා උන්නා ය. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x