fbpx

පතොක් මලක ප්‍රේමය – 23

රෝහලේ ඇති ෆාමසියෙන් වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ මිලට ගන්නා ධීර දෙස මා බලා සිටියේ බර වී ගිය හදවතිනි.ඔහු මවෙත ආවේ අර නිවී ගිය සිනාවෙනි.

“මෙන්න ඔයාගේ කාඩ් එක.” ඔහු මගේ බැංකු කාඩ්පත මවෙත දිගු කළේ ය.ඖෂධ මිලට ගන්නට පෙර මම වහා එය ඔහු අත තැබීමි.

“පුදුම ලොකුකමක්නෙ තියෙන්නෙ.මට ඩොක්ටට කරපු පේමන්ට් එකත් ගන්න පුලුවංද?” ඔහු කාඩ්පත දෙන අතර ඇසී ය.මම හිස වැනීමි.

“අනේ ඔන්න ඔය ලොකුකම පරිස්සමට අරන් තියාගනිං බං..” ඔහු හිනැහෙන්නේ සැහැල්ලුවෙනි.මම ඔහු පසුපස වැටුණෙමි.

“බෙහෙත් ටික හරියට බොන්න ඕන.ඩොක්ට කියපු විදියට ඉන්නත් ඕන.මඟ අරින්නේ නැතුව සෙෂන් ටිකට එන්නත් ඕන..” රෝහල් අවන්හලෙන් මිලට ගත් කෙටි කෑම ද සිසිල් බීම ද මා අසලින් තබමින් ධීර පැවසී ය.මම හිස වැනීමි. අතරමඟ නවතා දැමූ වෛද්‍ය හමුවීම් යළි සම්පූර්ණ කරන්නට අම්මාත් තාත්තාත් ඉල්ලා සිටිය ද මා “මට දැන් හොඳ” බව අඟවා එයට එකඟ නොවී සිටි දවස් ඇත.කේතකී සහ චමත්කා පමණක් නොව නිර්වාන් පවා අනන්ත වාරයක් බැනුම් ඇසුවේ මට වෛද්‍යවරයෙක් වෙත යාමට ආරාධනා කරන්නට ගොස් ය.

ධීර වෛද්‍යවරයා වෙත ගොස් කතාබහ කර පැමිණ මා ඔහු වෙත යවනතුරුම මේ පැමිණියේ මා වෙනුවෙන් මනෝ වෛද්‍යවරයෙක් හමු වන ගමනක් බව මට අදහසක් නොවිණි.නමුත් කිසිම කලබලයක් නොකිරීම ගැනත් ධීර හා කෝප නොගැනීම ගැනත් මට ඇත්තේ මා ගැනම පුදුමයකි.

“ජීවිතේ අපිට මිනිස්සු මුණ ගැහෙනවා.ආයේ අපි එයාලගෙන් ඈත් වෙනවා. ඕක තමයි සර්කල් එක සාරා.අපි ළඟ ඉතුරු වෙන්නෙ එහෙමත් කෙනෙක්.අපි එක්ක ඉන්නම ආපු අය..ඔයාගෙ ඩිග්‍රි එක තව ටික කාලෙකින් ඉවරයි.ඊටපස්සෙ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඔයා නාලිනී ඇන්ටිව, මාලකයව, මල්ලිලව අමතක කරනවනෙ.ඉඳහිට කෝල් කරයි.කාලෙකට සැරයක් බලල යන්න එයි..මාව උනත් ඔයාට හැමදාම යාලුවෙක් කරගන්න බැරි වෙයිනෙ..”

සිසිල් බීම වීදුරුව මත ඉරි අඳිමින් හුන් මා හදිසියේ ගැස්සී ගියේ ය.

“පුලුවං..” එසේ කීම ගැන ලැජ්ජාවක් හට ගනිද්දී මම වාක්‍යය තව දිගට සම්පූර්ණ කළෙමි.

“මං ඇන්ටිලාව අමතක කරන්නෙත් නෑ.එයාලගෙන් ඈත් වෙන්නෙත් නෑ..”

“එහෙනං ඉතිං ඒ අහලපහලින් කසාදයක් කර ගන්න වෙයි..” ධීර කීවේ හිනැහෙන අතර ය.මම ඔහුගේ දෑස් මඟ හැරියෙමි.ඔහු මේ නොකියා කියන්නේ මොනවාදැයි මට නොවැටහුණා නොවේ.

එදින රැයේ කේතකී ඇගේ පෙම්වතා සමඟ ඇමතුමක හිඳියදී මම චමත්කා අල්ලා ගත්තෙමි.ඇඹුල් තියල් හෝටලයේ වූ සිදුවීමේ සිට ඇයට කියන්නට මට කතාන්දර කිහිපයක්ම විණි.චමත්කා ඒ සියල්ලම අසා සිටියා ය.

“ධීර හොඳ මනුස්සයෙක් කියල ඔයාට හිතෙනවද? නෑ…දැනෙනවද?”

චමත්කා ඇසුවා ය.මම හිස සැලීමි.

“මටත් වරදක් පේන් නෑ සාරා..අපි මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු තුනකටත් කිට්ටුයිනෙ.මාස කීපෙක ඉඳලා ධීර මෙහෙ යන්නෙ එන්නෙත් මොකක්ම හරි ඉරණම් කතාවකට වෙන්න ඇති..අපි ටිකක් කාලෙට ඉඩ දීලා බලමු..හැබැයි එයා එක්ක අෆෙයා එකක් පටන් ගන්නව නම් ඔයා පසන්ව හිතෙන් අයින් කරන්න ඕන.නැත්නම් ඒක මහ අසාධාරණයක් නෙ..”

ඈත තරු දෙස බලමින් මම චමත්කාට ඇහුම්කන් දුනිමි.පසන්ව හදවතින් මුදා හැරීම පහසු නොවේ.එය සිතන්නටවත් අසීරු හැඟීමකි.

“ඔයාට කවුරුත් ළං නොවෙන්නේ සාරා ඔයා පසන්ව අමතක නොකරන නිසා.මං හිතන්නෙ නිර්වාන් උනත් එච්චරයි.නිර්වාන් අපිට ක්ලෝස් උනේම ඔයා නිසා.තාම ඒකාට ඔයා ගැන හැඟීමක් තියනව.ඒත් ඔයා හැම කතාවක් අගටම පසන්ව පටලවන හින්දා ඔයාට ආදරේ කරන්න නිර්වාන් බයයි..”

චමත්කා කියවාගෙන යද්දී මම ඇයට බාධා කළෙමි.

“මට නිර්වාන් ගැන කවදාවත් ආදරයක් හිතිලා නෑ.ආදරේ තියනවා, ඒ ඔයාටයි කේතාටයි වගේ.වෙන ස්පෙෂල් ආදරයක් නම් එන්නෙම නෑ..”

අඳුර මැදම චමත්කා මදෙස බලන අන්දම මට ලා විදුලි පහන් එළි අතරින් පෙනිණ.

“ධීර ගැන හිතෙනවද?”

සැබෑවටම ඔහු ගැන ද ප්‍රේමණීය හැඟීම් මා තුළ නැත.ඇත්තේ දැඩි මිත්‍රත්වයක හැඟීමක් පමණි.ඒ බැව් හෙළි කළ ද මට නොකියා ඉන්නට නොහැකි කතාවක් තිබිණ.

“ඒත් මං ධීර ඈත් වෙනවට ආස නෑ.අනේ මන්දා.මේ ටික කාලෙට මං සෑහෙන්නම ක්ලෝස් වෙලා එයාට.”

චමත්කා හිනැහුණා ය.ඒ සිනා හඬට කේතකී මෙතැනට කඩා වදීදැයි මට ආවේ බියකි.ඇය ධීර ගැන තවම බලන්නේ සැකයෙනි.

“ඔය ආදරේ තමයි සාරා..ඒත් තියන ප්‍රශ්නෙ ඔයා හිතන් ඉන්නෙ ඔයාට ආදරේ හිතෙන්නෙ පසන් ගැන විතරයි කියලා.ඒ හින්දා ධීර ගැන මාර පැහැදීමක් තියනවා, මාර යාලුකමක් දැනෙනවා ගගා ඔයා හිත රවට්ටා ගන්නවා..මං දෙයක් කියන්නද?”

මම හිස සැලුවෙමි.චමත්කා ගැඹුරු හඬක් මවාගෙන කියවන්නට ගත්තා ය.

“ධීර ඔයාට ආදරේ කරොත් ඔයාව බැන්දොත් ඔයා මාර සැනසීමෙන් ජීවත් වෙයි සාරා.මන්දා මට එහෙම හිතෙනවා.තාත්තා වෙනයි බෝයි ෆ්‍රෙන්ඩ් වෙනයි තමා.ඒත් ධීර මාරම කෙයාරින් මනුස්සයෙක් කියල ඔයාට හිතෙන් නැද්ද..අර තාත්තා වගේ බලා ගන්න පාට්නර් කෙනෙක් කියන්නෙ හැබැයි ඔය ධීර වගේ කොල්ලන්ට කියල මට හිතෙනවා..ඒ හින්දා එයාව මඟ ඇර ගන්න එපා..”

චමත්කාට කියවීම පහසු ය.එහෙත් යමක් නැවත වාරයක් වැරදී ගියහොත් විඳවීම අපහසු බව මම සිතුවෙමි.අනිත් කාරණාව මා සමඟ ගමනක් ඇත්දැයි ධීර තවම පරීක්ෂාවක ය.ඉන් සමත් වූවද අසමත් වූව ද කම් නැතැයි හිතන්නට මට ඕනෑ විය.මා හිඳින්නේ නිමක් නැති වේදනාවක ය.එයට තව තවත් වේදනා එක් කර ගන්නට මට ඕනෑ නැත.

ධීර නිවීමක් පමණක් නම් කාලයට ඉඩ දෙන්නට මම තීරණය කළෙමි.

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x