fbpx

පතොක් මලක ප්‍රේමය – 24

ඉනික්බිති උදා වූයේ ජීවිතය සැහැල්ලුවෙන් ගලා යන කාලයකි.උදෑසන කිරි වීදුරුව පවා කේතකී බනිමින් නොදේ නම් කුසගින්නේම හිඳින්නට වග බලා ගත් මා උදෑසන අවදිව ආහාර පිසිද්දී දෙමිතුරියන් පුදුම විය.

“ඔයා උයන්නත් දන්නවද?” කේතකී සැබෑවටම ඇසුවා ය.

“යූටියුබ් කුකින් චැනල් තියනකං පහළ ඉන්න මෝඩ කිඹුල්ලු දෙන්නත් උයයි..”

චමත්කා හිනැහෙන්නට ගත්තා ය.වෙනදා එවැනි කතාවක් මා අවතක්සේරුවට ලක් කිරීමක් බව සිතා රණ්ඩුවක් ඇද ගැනීමට හේතුවක් වුව ද අද මම ඇගේ සිනාවට එක් වීමි.

“ඔයාලට අමතක උනාට මං අක්කා හරිද..උඹලට වඩා නම් මට උයන්න පිහන්න පුලුවං..” මගේ අක්කාකම් දශමයකට මායිම් නොකරන නංගිලා දෙන්නා උයමනේ දහසක් අඩුපාඩු සොයමින් මා ප්‍රකෝප කරන්නට තැත් දැරූහ. එහෙත් එය වෙනදා මෙන් පහසු වූයේ නැත.

“ඔයා මුලින්ම ට්‍රීට්මන්ට්ස් කරානම් මේ විදියට සැහැල්ලුවෙන් ඉන්න තිබ්බා..නැද්ද?” චමත්කා මට අනේක වාරයක් පැවසුවා ය.

ධීර මගේ බෙහෙත් වෙලාවන් ද වෛද්‍ය හමුව ද අමතක කළේ නැත.චමත්කා සමඟ යන්නට හැකි බව මා පවසන ඕනෑම මොහොතක ඔහු කල් තියා නිවාඩු ලබා ගත්තේ ය.අනතුරුව මා වෛද්‍යවරයා වෙත රැගෙන ගියේ ය.නමුත් ඔහු මා සමඟ වෛද්‍යවරයාගේ කාමරය පැමිණියේ නැත.

“ඩොක්ටට කියන්න ඔයාට පර්සනල් දේවල් ඇතිනෙ..ඒවා මං අහන් ඉන්න ඕන නෑ..” ඔහු එසේ පැවසුවේ ය.

“අපි යාලුවොනෙ.මගෙ අතීතෙ ඔයා දැනගත්තට මොකෝ..”

ධීර ඔහුගේ නිවී යන මඳහස මගේ දෑස් මත ඇලවූවේ ය.

“ඒවා මට වැඩක් නෑනෙ සාරා..අතීතෙ ඩොක්ටගෙ උදව් අරන් අමතක කරන්න.අලුත් දවසක ජීවත් වෙන්න.ඒකට මං උදව් කරන්නං..ඔයාගෙ පරණ දේවල් අහන්න මට ඕන නෑ.හැබැයි ඔයාට ඉස්සරහට එන දුකකදී කරදරේකදී මං ඉන්නව..”

ඔහුට රිසි සිතුවිල්ලක පවතින්නට මම ඉඩ හැරීමි. මේ නිස්කලංක එහෙත් ගැඹුරු සිතුවිලි ඇති තරුණයා පසන් අයත් කරගෙන හුන් හදවතට හෙමින් සීරුවේ පිවිසෙනවාදැයි දැන ගන්නට ඕනෑ වූයේ චමත්කාට පමණක් නොවේ.මට ද උවමනා විණි.එහෙත් මගෙන් මට පිළිතුරු ලැබුණේම නැත.

“කවුද සාරා ධීර කියන්නේ?”දිනක් මගෙන් නිර්වාන් විමසී ය.මට ඔහුට පිළිවදන් දෙන්නට හැර චමත්කාත් කේතකීත් අප වෙතින් නික්ම යන අයුරු මම බලා සිටියෙමි.

“මාලක අයියගෙ යාලුවෙක් නිර්වාන්..” නිර්වාන් ඒ පිළිතුරට හිනැහිණ.

“ඊට වඩා අවංක උත්තරයක් ඔයා ගාව තියෙන්න ඕනනෙ සාරා..” ඔහුගේ මුහුණ හොඳ නැත.ඉතින් මම මට හැඟෙන සත්‍යය ඔහුට පවසන්නට පටන් ගතිමි.ධීර මේ මොහොතේ නම් හොඳ මිතුරෙකි.නමුත් අනාගතය ගැන මට පෙරවදනක් දෙන්නට හැකියාවක් නැත.

“මං ඔයාගෙන් කෙලින්ම දෙයක් අහන්නද?” නිර්වාන් අසද්දී මම හිස සැලීමි.

“ඇයි ඔයා මට අකමැති උනේ.මගේ හිතේ තියන දේවල් ඔයාට කියන්න හදද්දි නොදන්නව වගේ හිටියෙ.ඔයාලගෙ අම්මා අපේ අම්මට කියල තිබ්බා තාම ඔයා ඕකේ වෙලා නෑ කියලත්.ඒත් ඇත්ත ඒක නෙවෙයිනෙ..”

මට කෝපය හෝ ඉවසීම තෝරා ගන්නට සිදුව ඇත.මම ඉවසීම තෝරා ගතිමි.

“ඔයා මට ඒ වගක් කෙලින් නොකිව්වෙ මං පසන් ගැනම හිතන නිසා කියල මං දන්නව.හැබැයි මං ඔයාට ඒක කියන්න බුරුලක් නොදුන්නොත් ඔයා මගෙ හොඳම යාලුවෙක් නිසා.අපේ යාලුකම හැමදාටම පරිස්සම් උනාම මදිද…”

නිර්වාන් මා අසලින් නැගී සිටියේ ය.චමත්කාත් කේතකීත් ඈතට වී අප දෙස බලාගෙන ය.ඇතැම්විට මේ බව ඔහුට කියන්නට ඇත්තේ කේතකී ය.

“අපට හැමදාම හොඳ යාලුවෝ වෙන්න බැරි වෙයි සාරා..මෙතන ඉගෙන ගන්නකම් මං ඔයාට යාලුවෙක් වෙන්නං..අවුට් උනාට පස්සෙ මං ටික ටික ඔයාගෙන් ඈත් වෙනවා.මං ඔයාට ආදරේ කරා.මේ මොහොතෙත් ආදරෙයි.ඒක නොකියා හිටපු නිසා හරි ධීරට ඉස්සර වෙන්න දුන්න නිසා හරි දැන් මං පරාදයිනෙ..ඒත් මං ඔයාගෙ යාලුවෙක් වෙලා හිටියම ඒ ආදරෙන් මිදෙන්න අමාරුයි.කවදහරි ඔයා ධීරගෙ උනොත් මං ඔයාට කතාබහ කරන එක අඩු කරන්නං..ඒක ධීරට කරන උදව්වක්..”

ඔහු නික්ම ගියේ මට සිතන්නට දෙයක් ඉතිරි කරමිනි.මා පසන් ගැන සෙවීමත් තවම ඔහු ගැන වැලපීමත් සරනිට මානසික වදයක් වීමට ඉඩ නැතිද? ඈ මගෙන් ඔහු පැහැර ගැනීම අයත් අතීතයට ය.ඇගේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් පසන්ට මගේ හදවතින් මිදෙන්නට ඉඩ දිය යුතුම ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x