පත්තිනිය..
“පත්තිනි” කියන නම ඇසුණු පමණින් අපට සිහිවන්නේ දෑතින් සළඹ දරාසිටින සුරූපී දෙවඟනක්.සත් පත්තිනි ,සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, නාග පත්තිනි ආදී නොයෙක් නම් වලින් හඳුන්වන මේ පත්තිනි දෙවියන්ගේ මූලස්ථානය විදියට සැළකෙන්නේ නවගමුව පත්තිනි මහ දෙවොලයි.පත්තිනි දෙවියන් මූලිකව ම භාරතීය දේව සංකල්පයක් විදියට පිළිගැනුනත් ,පසුකාලීනව සම්‍යක්දෘෂ්ටියට පත් ව බුද්ධත්වය ද ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් බෞද්ධ ජනතාව ගේ පිළිගැනීමට පාත්‍ර වූ එකම බෝධිසත්ව දෙවඟන ලෙස ද පත්තිනි දෙවියන් පුද ලබනවා.
පත්තිනි දෙවඟන ගේ අතීත කතාව
දේවත්වය ට පත්වීමට පෙර මනුෂ්‍ය ලෝකයේ විවිධ ආත්ම භවයන් ලබමින් ඉපදුණ ද අවසන් මනුෂ්‍ය ආත්මය සනිටුහන් වන්නේ භාරත දේශයේ උපන් කන්නගිය ගේ කතා පුවතේයි. පතිවෘතා ධර්මය ඉතා පිරිසිදුව ආරක්ෂා කිරීමේ ආත්මගත පාරමිතාව උච්ච ස්ථානයකට රැගෙන ගිය මේ කන්නගී – කෝවලන් කතා පුවත ඉතා ප්‍රචලිත එකක්.
සුරූපී කන්නගිය පසෙක ලා මාධවී නම් නළඟනගේ පහසෙහි බැඳුණු කෝවලන් සියලු ධනය ඇය වෙනුවෙන් විය පැහැදම් කරද්දී කන්නගී සියල්ල උපේක්ෂාවෙන් ඉවසා සිටියා.ඒ සියල්ල අවසන් වු පසු මාධාවී කෝවලන්ව ප්‍රතික්ෂේප කළා.කෝවලන් ට යළිත් කන්නගිය ලඟටම එන්නට සිදු වුණා.නමුත් සාමාන්‍ය කාන්තාවකට නොකල හැකි මට්ටමින් අනපේක්ෂිත ලෙස කන්නගිය සියලු වරදට කමා කර කෝවලන් ව භාර ගත්තා. එහෙත් මේ වන විටත් සියලු ධනය අහිමි ව තිබුණු නිසා කන්නගිය සිය පය පැළඳි එක් රන් සළඹක් විකුණා මුදල් කරගන්නට කෝවලන් හට ලබා දුන්නා.පඬි පුරයට ගිය කෝවලන් එය විකුණා එද්දී ,එදිනම නැතිවුණ රජ බිසවගේ සළඹ සොයා යන රාජ පුරුෂයින් කෝවලන් ව සොරා යැයි සළකා අල්ලා ගත්තා.පඬි රජු කිසිවක් නොවිමසා කෝවලන්ට මරණ දණ්ඩනය ලබා දුන්නා.
කෝවලන් සොයා පඬිපුර ආ කන්නගී තම සැමියා අසාධාරණ ලෙස මරණයට පත් කළ බව සැළ වුණා.රජ වාසලට ගිය ඈ සිය සැමියාගේ නිවරද බව ඔප්පු කර පඬි රජුට කළ ශාපයෙන් මුළු පඬිපුරයම ගිණිබත් වූ බව ජනප්‍රවාදයේ කියැවෙනවා.
පසු කාලීනව ඇය යථාර්ථය අවබෝධ කරගනිමින් රාග ද්වේශ මෝහ දුරු කිරීමේ අරමුණෙන් බවුන් වඩා , ආත්ම ගණනක පතිවෘත්තා ව සුරැකීමේ පිනෙන් පත්තිනිය ලෙස දේවත්වයට පත් වුණු බවට සැළකෙනවා.
පත්තිනි පුද පූජා
පුද පූජා ගැනකතා කරද්දී,මුදල් නෝට්ටු,මල් මාල සහිත විශාල පළතුරු වට්ටියක් අපට සිහි වන්නේ නිරායාසයෙන්. එහෙත් මේ පූජාවන් වල යථාර්ථය අද වන විට මිනිසුන් අතරින් ගිලිහී ගොස් මුදල් මත රඳා පවතින බාර හාර පුද පූජා ක්‍රමයක් බවට පරිවර්තනය වී තිබෙනවා.
මීට අමතරව සාමාන්‍ය දේවාල පූජා වගේ ම පත්තිනි දෙවියන් මුල් කරගෙන පවත්වන කිරි අම්මා දානය පවා අද වන විට අන්ධ භක්තියෙන් සිදු කෙරෙන බව රහසක් නොවේ. පාරම්පරික ක්‍රම වේද අභාවයට ගොස් වානිජ පරමාර්ථ මුදුන්පත් වීම මේ තත්වයට සෘජු බලපෑමක් එල්ල කර තිබෙනවා. කරන්නන් වාලේ පුද පූජා බාර හාර ඔප්පු දීම, කිරිඅම්මා දාන පැවැත්වීම හුදෙක් මොස්තරයක් බවට පත් වී තිබීම ඉතා අවාසනාවන්ත තත්වයක් ලෙස සළකන්නට පුළුවන්.
විශේෂයෙන්ම නාථ,සුමන සමන් ,පත්තිනි ආදී මහේශාක්‍ය දෙවිවරුන් බලාපොරොත්තු වන ප්‍රතිපත්තිමය පූජාවන් ගෙන් දුරස්ථව මුදල් වියදම් කර භෞතික පුද පූජා වලට පමණක් මුල්තැන දීම නිසා දෙවියන් ගෙන් බලාපොරොත්තු වන පිහිට ආරක්ෂාවනොලැබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක්.
පත්තිනි මෑණියන් ගේ පිහිට ලබා ගන්නට නම්.
පත්තිනිය කියන්නේ පතිවෘත්තාවයි. පතිනියක් ලෙස පතිවත ආරක්ෂා කරන පිරිසිදු මනසක්, ක්‍රියා කලාපයක් ඇති, සතර බ්‍රහ්ම විහරණයෙන් ජීවත් වන ඕනෑම කාන්තාවක් පත්තිනියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
අපේ ජනශ්‍රැතියේ එන ආකාරයට මල්වර යුවතියන් ට, ගැබිණි මව්වරුන් ට,දරුඵල බලාපොරොත්තු වන කාන්තාවන් ට පත්තිනි මෑණියන්ගේ විශේෂ පිහිට ආශිර්වාදය ඉල්ලා සිටින්නට අතීත මුතුන් මිත්තන් පෙළඹී සිටියේ එනිසා විය හැකියි. මල්වර යුවතියක් සිය ජීවිතයේ ප්‍රථම වතාවට පඬුරක් වෙන් කරන්නේ මල්වර ස්නානයෙන් අනතුරුවයි.පත්තිනි මෑණියන්ට කුළුඳුල් යෞවනිය මෙලෙස භාර කිරීම සංකේත්වත් කරමින් දියණුයගේ මව අනෙකුත් රන් ආභරණ ඇයට පැළන්දවීමට පළමුව අමු කහ කැබැල්ලක් සෝදා පවිත්‍ර කර ඇගේ අතේ බැඳීම සිරිතක්.පසුව සුඳු හෝ කහ රෙදි කඩක් මත තැබූ දෙහි ගා පිරිසිදු කරගත් පඬුර මල්වර යුවතියට ලබා දෙනවා.එය ඈ අතින් ගැටගැසූ පසු මව නිවසේ ඉහළ ස්ථානයක රන්න්දවා තබන්නේ එතැන් සිට තුන් මසක් ගිය තැන පත්තිනි දෙවොලට දියණිය කැටුව පැමිණෙන බවට බාර වෙමිනි.අනාගතයේ මවක් වන්නට සුදුසුකම් ලද තරුණිය මෙලෙසට පත්තිනි මෑණියන්ට භාර කරන්නේ යුවතියකට ඇතිවිය හැකි තනිකම් දෝෂ ආදිය පත්තිනි අණසක යටතේ අහෝසි වී යන බවට පැවති විශ්වාසය නිසා විය හැකියි.එමෙන් ම කාන්තාවක් ගැබ්බර වූ පසු තමන් විසින් හෝ සිය මෑණියන් විසින් අලුත පිහිටි දරු ගැබ ආරක්ෂා කරන මෙන් ඉල්ලා පත්තිනි මෑණියන්ට දරුගැබ භාර කරන්නේ ද පඬුරක් වෙන් කරමිනි.මේ පඬුරේ විශේෂත්වය වන්නේ අනෙක් පඬුරු මෙන් ගැටගැසීමක් හෝ එතීමක් සිදු නොකරන නිසයි. පිරිසිදු පීරිසියක් මත නැවුම් සුදු රෙදි කඩක් තබා එහි බුලත් කොළයක් තබා ඒ මත දෙහි ගා පවිත්‍ර කරගත් පඬුර තැබීමත්, ඒ පඬුර දෙවියන්ට බාර කර දරුවාත් මවත් ආරක්ෂා කරදෙන මෙන් ඉල්ලා නිවසේ ඉහළ තැනකින් තැන්පත් කරයි. විවිධ පළාත් වල මෙම ක්‍රම එකිනෙකට වෙනස් වන නමුත් ඉහත ක්‍රමය ගැබිණි මවක් වෙනුවෙන් බාරයක් විය හැකි සරලම ක්‍රමයක් වශයෙන් හඳුන්වාදිය හැකියි. බාර ඔප්පු කිරිඑමේ දී බොහෝ විට දරුවා බිහි වි තුන් මසක් ගත වූ තැන නවගමුවට හෝ වෙනත් පත්තිනි දෙවොලකට ගොස් බාර පඬුරු නිදහස් කිරිම ද , නැතහොත් නිවසේ කිරි අම්මා දානයක් ලබා දී පත්තිනි මෑණියන් ට කෘතවේදීත්වය පිරිනැමීම ද සුලභව සිදු කෙරේ.දරුඵල අපේක්ෂාවෙන් බාර හාර වන විට නවගමුව දේවාලයේ පඬුරක් වෙන් කර දරු ගැබ පිහිටා තුන් මසක් ගිය තැන දේවාලයට පැමිණ අදාල බාර ඔප්පු දී දරුවා ආරක්ෂා කරන මෙන් නැවතත් පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටියි.
මෙලෙස පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ඉල්ලා සිටිය හැක්කේ ද , පිහිට ලබෙන්නේ ද යහපත් කල්ක්‍රියාවෙන් ජීවත් වන පුද්ගලයන්ට පමණක් බව ද දන්නා පිරිස සීමිත විය හැකියි. ගුණධර්ම වලින් ඈත්ව ජීවත් වන මනුශ්‍යයන් පත්තිනි දෙවඟනගේ අප්‍රසාදයට ලක් වන අතර කාන්තාවකට නුසුදුසු ආකාරයේ හැසිරීම් රටා ඇති කතුන්ට ද පත්තිනි පිහිට ලැබීම අසීරු බව පුරාණ විශ්වාසයකි.
විශේශයෙන් ම මවක සතු විය යුතු මෛත්‍රීය , කරුණාව, මුදිතාව හෙවත් අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකිරීම , උපේක්ෂාව ආදී සිව්බඹ විහරණ සහිත මෘදු ගුණැය ප්‍රකට කරවන, ගුණධර්ම වලින් පරිපූර්ණ ස්ත්‍රියට පත්තිනි මෑණියන්ගේ කරුණාව ,පිහිට ,ආරක්ෂාව නිසඟයෙන් ම ලැබෙන බව පැරැන්නනන් අතර ප්‍රකට විශ්වාසයකි.
ඒ නිසා ඔබට පත්තිනි මෑනියන්ගේ නිවැරැදි පිහිට ආරක්ෂාව අවශ්‍ය නම් ඔබ ප්‍රථමයෙන්ම ගුණවත් මිනිසෙකු වීම අනිවාර්ය දෙයක් බව ඔබ තේරුම් ගන්න ඕනෑ.
සියලු සැප සම්පත් වලින් ආඪ්‍ය වූ තුසිත භවනේ වැඩ සිටින මෙම මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මනුලොව මිනිසුන් ලබා දෙන පළතුරු පූජා හෝ පිළිම වන්දනාවන් වලට වඩා වැඩි වටිනාකමක් ලබාදෙන්නේ මිනිසුන් යහපත් ලෙස ධර්ම චර්යාවේ යෙදී , බණ භාවනා දී ප්‍රතිපත්ති පූජාවන් කිරීමෙන් පසු අනුමෝදන් කරන පිං පෙත් වලට ය.
විශේෂයෙන් ම බුදුන් සරණ ගොස් සිටින පත්ටිනි මෑණියන් වහන්සේ වඩා ත් ප්‍රිය කරන්නේ දෙවොල් මඩු පහන් මඩු ආදී යාග හෝමයන් නොව නිර්මල බුදු දහම ශ්‍රවණය කිරීමට සලස්වන ධර්ම මණ්ඩපයන් ය.එවන් ස්ථාන වලට මෙම සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නිරායාසයෙන් ලැබෙන අතර, එයින් මිනිසුන් ලබාදෙන පින් පෙත් මෙම දෙවිවරුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය කිරීමේ ලා මහෝපකාරී වන බව ද සම්බුද්ධ දේශනාවේ සඳහන් වනවා.
බොහෝ මිල මුදල් වියදම් කර කොපමණ සුවඳ ,පළතුරු සළුපිලි අප පූජා කළ ද දෙව්ලොව වැඩවසන දෙවි දේවතාවුන් වහන්සේලා වින්දින සැප සම්පත් හා සැසඳීමේ දී ඒව ඉතා අල්ප වටිනාකම් වලින් යුතු බව සබුද්ධික ව පිළිගත යුතු ය.
එහෙත් වචනයකින් , ක්‍රියාවකින් හෝ සිතුවිල්ලකින් වත් අනුන් නොතළා නොපෙළා , කරුණාවෙන් යුතුව ප්‍රතිපත්තියක පිහිටා , පිරිසිදු කල්ක්‍රියාවෙන් යුතුව ජීවත් වන මිනිසුන් හෝ කාන්තාවන් දෙවියන් ට අනුමෝදන් කරන පින් පෙත් ,මෙම මහේශාඛ්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා ට අමිල වටිනාකමක්
බවත් ඒලෙස පින් ලබ අදෙන පුද්ගලයන් වෙත නොමඳ ආශිර්වාදයක් පත්තිනි මෑණියන් ලබා දෙන බව ඔබ අවබෝධ කර ගත යුතුම කරුණක්.
ඒ නිසා හැකිතාක් ප්‍රතිපත්ති මත පිහිටා ගුණවන්ත මිනිසුන් ලෙස පත්තිනි මෑණියන්ගෙන් පිටක් ඇයැදීම වඩාත් නිවැරැදිම ,පහසුම සහ හොඳම ක්‍රමය වශයෙන් විවාදයකින් තොරව පිළිගත හැකි යථාර්තයයකි.
භාග්‍යා අබේසේකර
ජනශ්‍රැති ලේඛිකා/පර්යේෂිකා