fbpx

හේමන්ත සන්ධ්‍යා – 46

මල් පිපී ගෙන එත්දී වසන්තය දෝතින් ම වැළඳ ගන්නට සිතෙන්නේ ය. නිකිනි සිටියේ ඇගේ ජීවිත වසන්තයෙහි මලක් ව පිපෙමින් ද සුවඳක් ව සුවඳවත් වෙමින් ද සමනලියක් ව වසන්තයෙහි සරමින් ද ප්‍රීතියෙනි. ඇයට මෙහෙව් යෞවනයක් තිබුණේ නැත. යෞවනයේ දී ඕ බොහෝ නිහඬ හා නිවුණු ගැහැනු ළමයෙකු වූවා ය. පිරිමින් ළමයින් කෙරේ විශේෂ උනන්දුවක් හෝ දාංගලයක් නො පෙන්වන නිවුන් දැරියන් දෙදෙනා ගෙන් එක්කෙනෙක් එසේ වෙනස් වූයේ කෙසේ දැයි සුමනා දැන සිටියේ නැත. එය ඇගේ සිතට සැනසිල්ලක් වූ බව ඇත්ත ය. නමුත් එය ම විටෙක ඇගේ සිතට ගිනි ලූ බව ද සුමනා ට තව ම අමතක නැත.


පරම්පරාවේ අනිත් ඉහළ පාන්තික දැරියන් සේ නිකිනි සාද තෙපුල් ප්‍රිය කළේ නැත. නො වැළැක්විය හැකි හේතු මත එවැන්නකට සහභාගි වුව ද, නැටුම් ගැයුම් වලට හවුල් වූයේ ම නැත. අතේ ඇඟිලි පහවත් එක වගේ නො වන එකේ නිවුන් දැරියන් දෙදෙනෙකු, විශේෂයෙන් ම ද්වී ඩිම්බක නිවුන් දැරියන් දෙදෙනෙකු එක වගේ නො වීම අරුමයක් නොවේ යි එවන් බොහෝ අවස්ථා වල සුමනා හිත හදා ගත්තා ය.
නිකිනි එකල යෞවනයට උරුම සජීවී ගති ලක්ෂණ නො පෙන්වන්නට හේතුව, වසන්තය එන්නටත් කලින් ම ඇගේ සිත පිපි කුසුම් මිලින ව යාම බව සුමනා ට අවබෝධ වන්නේ දැන් ය.


“කවුරු කවුරුත් කැමතියිනං මං විතරක් විරුද්ද වෙලා තේරුමක් නෑනෙ”


ජගත් පැමිණ ගිය රාත්‍රියේ නිකිනි ගේ කාමරයට ම පැමිණි සුමනා යහන මත හිඳ ගනිමින් කීවා ය. නිකිනි වහා මිත්තනිය වැළඳ ඇය ට හාදුවක් දුන්නා ය.


“මගෙ හොඳ ග්‍රැනී”


“මං විරුද්ද වුණෙත් නිකී ගැන හිතලම මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි. ඒත් දැං ඉතිං ඕව ගැන කතා කරල වැඩක් නෑ”


“වෙන්න තියෙන ඕනම දේකට මූණ දෙන්න මං ලෑස්තියි ග්‍රැනී. මං කියන්නෙ නෑ මගෙ ජීවිතේ ට වෙන්න පුළුවන් හොඳ ම දේ මේකයි කියල. මංදා මේක වුණත් දවසක වැරදි තීරණයක් කියල හිතෙයිද කියන්න බෑ. හැබැයි මං මේ තීරණය ගන්නෙ හරිම සතුටෙන් ග්‍රැනී. මගෙ ජීවිතේ ගැන පුදුම බලාපොරොත්තුවකින්. ඒක නිසා මං සතුටෙං ඉඳියි. මන්දන්නෑ ජීවිත කාලෙටමද කියල. කිසි දෙයක් ගැන අනා වැකි කියන්න බෑනෙ. ඒත් ටික කාලයක් හරි මං සතුටෙන් ඉඳියි කියල මට විශ්වාසයි. මට ඒ සතුට විඳල බලන්න ඕනෙ ග්‍රැනී”


“හ්ම්…හ්ම්…මං ආශිර්වාද කරනව. නිකී ගෙ සතුට තරං වටින දෙයක් දැං මේ නාකි මට ඉතුරු වෙලා නෑ”

“ග්‍රැ…නී….”


ඔවුන් දෙදෙනා උනුන් වැළඳ ටික වෙලාවක් නිසොල්මනේ සිටියහ. මේ කෙල්ලගේ හදවත නිසි රිද්මය ට ගැහෙන්නේ දැන් නොවේ දැයි සුමනා ට සිතිණි.
කෙසේ වෙතත් මේ අලුත් ආරංචිය ලද බිනුරි පසු දා පාන්දරම ඔබේසේකර මැදුර වෙත දිව ආවේ නො රිස්සුමෙනි.


“පිස්සුද හලෝ…මොකද්ද මේ නටන්න හදන නාඩගම…”


ඇය කෙළින් ම නිකිනි ව දෝෂ දර්ශනය ට ලක් කළා ය.


“හරි. මංජුලගෙන් ඩිවෝස් වෙන්න ම ඕනනං ඒක කරනව. ඊළඟට ටික දවසක් ඔහොම යන්න ඇරල තමුසෙට ගැලපෙන කෙනෙක්ව හෙමිහිට හොයා ගෙන බඳිනව. මොකද්ද මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න අන්තිම පිරිමියා වගේ අංකල් කෙනෙක්ව කසාද බඳින්න හදන්නෙ…”


නිකිනි එතෙක් බිමට යොමා ගෙන උන් ඇගේ දෑස් ඔසවා බිනුරි දෙස බැලුවා ය.


“මොකද ඒ මගෙ කැමැත්ත නිසා”


ඇගේ ඇස් මත කෙතරම් ස්ථිර හා දැඩි බවක් තැවරී තිබිණි ද යත් බිනුරි ට ඉනික්බිති කුමක් පවසන්නද කියා හෝ සිහි නගා ගත හැකි වූයේ නැත. මීට පෙර කිසි දා ක සොයුරිය ගේ මුහුණේ මෙහෙව් දැඩි බැල්මක් තිබෙනවා බිනුරි දැක නැත. තවත් කතා කළොත් නිකිනි නිසැකව ම උදහස් වන බව, ඇගේ ඒ බැල්ම අනුව බිනුරි ට සිතා ගත හැකි විය.


“හනේ මන්දා ඉතිං”


ඇය සුසුමකින් අරඹා සුසුමකින් ම අවසාන කළා ය.


“එක අතකට දෙයක් වෙන්න තියෙනවනං සක්කරයටවත් නවත්තන්න බෑ කියනවනෙ. සංසාර කරුම ගෙවෙන්නෙ ඒවා විපාක දෙන්න නියමිත විදිහට”


“ඔය දන්නෙ ඔයා හොඳට බණ”


නිකිනි සිනහවකින් කීවා ය. සැබවින් මීට මොහොතකට පෙර ඇගේ සිත් හි වූ නොරිස්සුම මේ මොහොත වන විට කොහේ ගියා ද කියා ඇය වත් දැන සිටියේ නැත. කොහොමටත් ඇය වූ කලී තරහින් හිත පුරවා ගෙන ඉන්නට පුරුදු වී සිටි අයෙකු නොවේ. බිනුරි නම් ඒ කාලේ සිට ම තරහා වුණොත් යළි මිතුරු කර ගැනීම පහසු වූයේ නැත. ඇය මාස ගණන් පුංචි දේටත් කේන්ති පිරිමැහුවා ය.


“ඔයාගෙ පරණ අකුසලයක් ගෙවෙන්න තියෙන විදිහක් වෙන්න ඇති මේ”


නිකිනි ගේ පපුවට ඇය පිහියෙන් ඇන්නා ය. නමුත් නිකිනි දෙතොල් තර කොට පියා ගත්තා ය.


“ඒකට හිත හදා ගන්න එක තමයි කරන්න තියෙන්නෙ. රජ කම් කෙරුවත් කළ කම පළ දේ කියනවනෙ”


“හ්ම්”


“මට දුකයි මගෙ ට්වින් සිස්ටර් නිසා. ඒත්….”


බිනුරි ගේ හඬ බිඳිණි. නිකිනි ඇගේ අත් ගොබයක් පිරිමදින්නට වූවා ය.


“මං දන්නව ඔයා මට ආදරෙයි කියල. ඒත් ඔයා කිව්ව වගේ…මේක මගෙ කරුමයක් ගෙවෙන විදිහක්නං…මං ආසයි ඒ කරුමෙ ගෙවන්න…පුළුවන් තරං කාලයක්….”


එක එල්ලේ තවත් ටික වෙලාවක් නිකිනි දෙස බලා උන් බිනුරි ඇගේ කාමරයෙන් පිට ව ගියා ය. දැන් නිකිනි සිටින්නේ ඇය ට නොව කිසිවෙකුට නතර කළ නො හැකි තැනෙක බව බිනුරි ට ඉඳුරා විශ්වාස ය.


“අර යකා ගිය සැරේ ඇවිත් ගිය වෙලාවෙ මේ ගොං සමයමට ඉනාවක්වත් කවලද දන්නෑ”


බිනුරි සුමනා සමගින් හද දුක කියවූවා ය.


“ඉනාවක් කැව්වනං ඒ කොල්ල නෙවෙයි. අපේ එක්කෙනා”


පාලිකා කොහේවත් සිට ඒ කතාවට පැන්නා ය.


“අපි කතා කරං හිටියෙ සදිසා ව විදත් ට බන්දල දීල ඕස්ට්‍රේලියා යවන්න”


“මොනවා…”


පාලිකා ගේ ප්‍රකාශයෙන් සුමනා සැබවින් ම මවිතයට පත් වූවා ය. ඇගේ මුව මඳක් විවර වී දෑස් ලොකු වී ඇති සැටි දුටු බිනුරි සිනහව සඟවා ගත්තේ අසීරුවෙනි.


“නිකිනි මායං දාල විදත් ව අල්ල ගත්තෙත් එහෙ යන්න. මෙයාද…මෙයා පොඩි කාලෙ ඉඳලම හිටියෙ හිමිජ්ජා වගේ දෙකට ගනින්න බැරි සයිස් එකෙන්නෙ. අනිමට අපි දන්නෙත් නෑ ගෑනි දහයටම ගණිනකල්”


“ඉතිං සදිසාට මැරි කරන්න විදත් මැච් වෙනවනං නිකිනි ට මොකද මැච් නොවෙන්නෙ…නේද…”


අන්තිමට ඕ තොමෝ සසල ව ගිය සිතින් එසේ කියා ගත්තා ය.
ඉතිරි දින දෙක තුන සැහැල්ලුවෙන් ගෙවුණ බවක් නිකිනි ට දැනිණි. විදත් ඔහු ගැන ඇය දත යුතු යයි සිතූ බොහෝ දේ කීවේ ය.


“මං කළේ සල්ලි හම්බ කරපු එක විතරයි. ඒ සල්ලි වියදං කරන්න පවුලක්වත් හේතුවක්වත් නැතුවත් මට ඒක කරන්න වුණා. මොකද වෙන කරන්න දෙයක් තිබුණෙ නෑනෙ. අන්තිමට සල්ලි හම්බ කරන එක මගෙ හොබි එක වුණා. මාසෙං මාසෙට බෑන්ක් ඩිපෝසිට් වැඩි වෙන එක දිහා බලල තමයි මං සතුටු වුණේ. එහෙම කළේ ඒක කොච්චර නීරස ජීවිතයක්ද කියල නො දැන නෙවෙයි නිකිනි. මට පේන්න වෙන ජීවිතයක් මං ඉස්සරහ තිබුණෙ නැති නිසා”


මුලදී ඔහු රැකියා කිහිපයක ම නිරත වූයේ ය. පැයකට දෙකකට ලැබෙන අතිරේක රැකියාවක් වුව අපතේ නො හැරියේ ය. දික්කසාද දෙකකින් පසු පිරිමි හිතක සිදු විය හැකි දරුනු ම බිඳ වැටීමේ දීත් මුදල් ඉපයීම හැර ඉන් ගොඩ එත හැකි වෙනත් මගක් ඔහු දුටුවේ නැත. වසර නිහිපයකට පෙර ඉතිරි කර ගත් මුදල් වලින් සැලකිය යුතු කොටසක් වැය කරමින් විදත් සිඩ්නි හි ශ්‍රී ලාංකික බොජුන් හලක් ආරම්භ කළේ ය. නමුත් සිය ප්‍රධාන රැකියාව අත් හැර නො ගත්තේ ය.
බොජුන් හල ලාභ උපයන ව්‍යාපාරයකි. එහි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කිහිප දෙනෙක් ම සේවය කරති. විදත් ගේ සොයුරා සහ තවත් ඥාති සොයුරන් දෙදෙනෙකු ඔහු නැති අතරේ එහි පරිපාලන කටයුතු බලා කියා ගනිති.


“මං දන්නව ඔයා ඕස්ට්‍රේලියා වල පදිංචි වෙන්න කැමැත්තක් නෑ කියල. ඒත් දැං මං මුල් ඇදල තියෙන්නෙ එහෙට නිකිනි”


නිකිනි දෑස් පියන් බිමට හරවා ගත්තා ය. එහි කිසිදු දුකක් විදත් දකිනවා ට ඇය කැමති නැත.


“මට තේරෙනව. මං නිතර ඇවිත් ග්‍රැනීවයි පප්පවයි බලල යන්නං. සමහර විට ඒ දෙන්නා ඉඳ හිටවත් එයි මාත් එක්ක එහෙ ඉන්න”


විදත් නිකිනි ගේ නිකටින් අල්ලා වත ඔසවා ඇගේ දෑස් ඔහ් වෙත යොමු කර ගත්තේ ය.


“ඒත් ඔයාගෙ ඇත්තම ඇත්ත සතුට ඊට පස්සෙ කවදාවත් මට දකින්න ලැබෙන එකක් නෑ කියල හිතෙනව නිකිනි. ඔයා මෙහෙම මලක් වගේ පිපිල ඉන්නෙ මෙහෙදි. ඔයාගෙ අය අතරෙදි. එහෙ ගිහං ටික කලක් යනකොට ඔයා පසු තැවෙයි…මංජුලගෙ ගෙදර හිටියනං මීට වැඩිය ඔයා සතුටෙන් ඉඳියි කියල”


“න්…නෑ…”


ඇය ට ගොත ගැසිණි. විදත් පිරිමි කම් කඩා හැලෙන සිනහවක් නගා ගත්තේ ය.


“නෑ කියන්නෙ මට තියෙන ආදරේ නිසා. ආයිත් සැරයක් ඒ ආදරේ නැති කර ගන්න තියන ලෝබකම නිසා”
‘ඔච්චරටම මාව කියවන්න එපා’ කියා කෑ ගසා හඬන්නට ඇය ට ඕන වුණේ ය. නමුත් මේ මොහොතේ ඇය පාෂාණිභූත තත්වයකට එළඹ සිටියා ය. නාඳුනන දේශයක ආදරය වෙනුවෙන් පමණක් තෝරා ගන්නට යන ජීවිතය ගැන චකිතයක් නො දැනුණා නොවේ. නමුත් විදත් සිටී නම් ඒ අපායක් වුව දිව්‍ය ලෝකයක් සේ දැනේවියි ඇය සිතට තේරුම් කොට දුන්නා ය.


“අපි ටික දවසකට එහෙ යමු. මං කියන්නෙ මට මාස දෙක තුනක් දුන්නොත් ඇති වෙයි. මගෙ ගේ රෙන්ට් එකට දීල…රෙස්ටොරන්ට් එකේ වැඩත් පිළිවෙලක් කරල අපි ලංකාවට එමු. මාස දෙක තුනකට සැරයක් ගිහිං හරි අපිට බලල කරල එන්න පුළුවන්නෙ”


ඇය ට ඒ ඇසෙමින් තිබුණේ සැබෑවක් ද කියා නිකිනි සිතමින් සිටියා ය. නො එසේ වී නම් ඇය සිහිනයක් දකිමින් සිටිනවාද කියා සිතන්නට ඇය ට ඕන වුණේ ය.


“ඒ කියන්නෙ…ඔයා…ඔයා…”


“මට ඇයි බැරි ඔයා වෙනුවෙන් මෙහෙ නතර වෙන්න…අවුරුදු විසි ගණනක් තිස්සෙ ඔයා මට තනියම ආදරේ කර කර මෙහෙ ඉඳං දුක් වින්ද එකේ…ඇයි මට බැරි ඔයා වෙනුවෙන් එහෙම කැප කිරීමක් කරන්න….එතකොට ඔයා සතුටෙන් ඉඳියි. ඒ සතුට මට ඕන තරං දේවල් කරන්න ශක්තියක් වෙයි. ජීවිතේ කියන්නෙ කොච්චර ලස්සන දෙයක්ද නිකිනි…”


උරහිස වටා සුරත යවමින් විදත් නිකිනි ව ඔහු වෙතට සමීප කර ගත්තේ ය. ඔහු ඒ උරහිස මත ඇස් දෙක පියාන තත්පර කිහිපයක් ගත කළා ය.


“එහෙනං මං හීන මවපු ජීවිතේ මට ලැබෙයි. ගෙදර වැඩ කරල බබාලව බලං…ඔයා එනකං බලං ඉන්න පුළුවන් ජීවිතයක්…වත්තෙ මල් වවං ගේ ලස්සනට තියං…රස කෑම ජාති හදං ඔයා එනකල් බලං ඉන්න පුළුවන් ජීවිතයක්….”


ඒ බොහෝ සුන්දර වූ සිහිනයකි. ගැහැනියක කියන්නේ සහජයෙන් එවන් සුකොමළ බවක් උරුම කොට ගත් ජීවියෙකි. නමුත් සමාජය හා ඇය ට ලං වන පුරුෂයන් ගේ ගති ස්වභාවයන් මත ඒ ලලිතවත් ස්ත්‍රීත්වය අමතක කොට පුරුෂයා හා සම සේ හැසිරෙන්නට ඇය ට සිදු වන්නේ ය. නිකිනි ද වතාවක් එවන් ජීවිතයක් සඳහා හිත දැඩි කොට ගත්තා ය.


“මල්ලා ට බුක් ශොප් එක කරං යන්න කියනව. ගුවනිත් එයාට උදව් කරයි. මං ඔයා ළඟට වෙලා ඉන්නං”


“ඔයා ගෙ කැමැත්තක්”


විදත් නිකිනි ගේ හිස සිප ගත්තේ ය.
ඔවුන් වෙන් ව ගියේ නැවත ඊළඟ දිනයේ හමු වෙන බලාපොරොත්තුවෙනි.
උදේ නිකිනි පොත් හල් ගොඩනැගිල්ල ට ගියේ ගුවනි එන බව දැන ය. සිය තීරණය ගැන ඇය ට කියන්නට නිකිනි ට උවමනා විය.
ගුවනි ආවා පමණකි.

“මං මිස්ට කෑමක් ගෙනාවා”


ඇය කුඩා කෑම පෙට්ටියක් විවර කර වඩේ කිහිපයක් දිගු කළා ය.


“මමයි හැදුවෙ. දැං මාත් මිස් වගේ කෑම හදන්න පුරුදු වෙන්නයි හැදුවෙ”


නිකිනි ට ඉන් එකක් ගන්නට ලැබුණේ නැත. හැඩි දැඩි පිරිමින් කිහිප දෙනෙකු ශාලාවට ඇතුලු වූයේ ත් නිකිනි ව අල්ලා ඔසවා ගෙන පඩි පෙළ දිගේ ගෙන යන්නට වූයේත් කිසිත් සිතා ගන්නට හෝ ඉඩක් නො තබමිනි. ඒ ගෙන යන අතරේ ම පිස්තෝලයක් දිගු කොට ගුවනිටත් නිකිනි ටත් එල්ල කළ ඔවුහු කෑ ගැසුවොත් එතැන ම මරා දමන බවට තර්ජනය කළහ. කතා කරන්නට තබා හ්ම් කියන්නටවත් බැරි ලෙස නිකිනි ගේ උගුර ගොළු ගැහී තිබිණි. නමුත් ගුවනි කතා කර ගත්තා ය.


“ඇයි මේ…මිස්ව කොහෙද ගෙනියන්නෙ…”


පිස්තෝලකරු ගුවනි වෙතට පිස්තෝලය එල්ල කරමින් ද දෙතොල් අතරේ දබරැඟිල්ල තබමින් ද නිහඬ වන ලෙස ඉඟි කළේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x