සඳක් කළ සක්මන් -03

තේ බී යන්නයි නෙරංජලා ගුරුගේ මට පෙරැත්ත කළා ය. වරක් මා ප්‍රතික්ෂේප කළත් ඇගේ ඇවිටිල්ලෙහි නිමක් නොවූ නිසා කර බා ගන්නට මට සිදු විය. ඈ තේ පිළියෙල කරන තෙක් පොත් බලන්නයි කී ඕ තොමෝ මා එහි තනි කොට දමා පහළ මාළයට ගියේ මා පිළිබඳව කිසිදු අවිශ්වාසයකින් හෝ සැක බියකින් තොර ව ය.

ටික වෙලාවක් පොත් ටික අත පත ගාමින් සිටි මම, හැර දමා තිබි වීදුරු දොරෙන් ගේ වටේට දිවෙන සඳැල්ලට පිවිසියෙමි. මට ඕනෑ වී තියෙන්නට ඇත්තේ එතැන සිට බලන විට අපේ ගේ පෙනෙන ආකාරය දැක බලා ගන්නට විය යුතු ය.

සත්තකට මා එතැනින් බිමට නො වැටුණා පුදුම ය!

ගෙයක් නොව එතැන වූයේ පරණ ටකරන් ටිකක් දමා සෙවිලි කරන ලද මඩුවකි. වහළය මත, තහඩු හුළඟේ යනවාට දැමූ ටයර් ය. බ්ලොක් ගල් බාගය. පිටුපස කොනේ අටවා තිබූ වැසිකිළිය මෙතැනට හොඳට ම පෙනේ. වැසිකිළි දොර ලෙස අදටත් පාවිච්චි වන්නේ හේත්තු කොට තැබෙන ලෑල්ලකි. අඩු තරමින් සරණේරු දෙකක් අල්ලා එය දොරක් ලෙස බිත්තියට සවි කරන්නවත් තාත්තා ට කිසිදු උවමනාවක් නැත. තරුණ දියණියන් දෙදෙනෙකු සිටින පියෙකු ලෙස ඔහු මේ තරම් වලකීම් විරහිත ලෙස හැසිරෙන්නට කාරණා මට සිතා ගත නො හැකි තරම ය. මෙතැන දී වගකීම් පැහැර හැරීමේ වරදින් හරි අඩක් අම්මා මත පැටවෙන්නේ යයි මම සිතමි. ඇය කිසි දා යමක් බරපතල ලෙස තාත්තා ට ඒත්තු ගන්වන්නට උනන්දු නො වන්නී ය. තරුණ දියණියන් දෙදෙනෙකු සිටින අම්මා කෙනෙකු වශයෙන් ඉමහත් වගකීමක් සිය හිස මත පැට වී ඇති බවක් ඇය දන්නේ හෝ නැතිද කියා විටෙක මම සිතමි.

අපේ ගේ ඉදිරිපිට මිදුල නම් නෙක පැහැ මලින් බර වී තියේ. කාලයක් තිස්සේ ම මම එතැන දහස් පෙති, අට පෙති, සීනියාස්, රාජ පොහොට්ටු හා තාරුකා මල් ඇට ඉසිමි. ඒ ගස් මල් දරා සරුවට වැඩී තිබෙන්නේ මාස කිහිපයකි. ඉන් පසු ලෝක ධර්මතාවයට අනුව වයස් ගත ව පරිහානියට යයි. ඒ අවස්ථාවේ දී මම කේඩෑරි පරණ ගස් ගලවා අලුතෙන් බීජ ඉසිමි. දවසට දෙකට වැඩෙන ඒ ගස් නැවතත් පාට පාට මල් වලින් බර වෙයි.

ගෙතුළ සිට මා පාඩම් කරන්නේ ඒ මල් යාය ට මුහුණ ලා හිඳ ගෙන ය. එතකොට හිස පොතෙන් එසවූ ගමන් පෙනෙන්නේ මල් යායයි. එය මට හිත නිවා සනහන දසුනකි.

“තේ ටිකක් බීල ඉමු පූජා”

එහඬින් හැරී බලා මම නැවත ගෙතුළට ගියෙමි. දෙවන මහලේ ආලින්දයෙහි වන කවිච්චි පුටු කට්ටලය මැද වන කැටයම් ස්ටූල් එක මත තේ හා කේක් කෙසෙල් ගෙඩි බන්දේසියක් විය.

“කේක් කෑල්ලක් කාල ඉමු”

මම කේක් කැබැල්ලක් අතට ගතමි. මේ වාගේ රස කැවිලි වලට කෑදර මා නොව නංගී බව මට සිහිපත් වූයේ ය.

“කෙසෙල් ගෙඩියකුත් කන්න පූජා”

“එපා ආන්ටි. ඇති”

“කන්න අනේ. ඔය වයසෙ කෙල්ලන්ට මොකද කන්න බැරි…”

එවර ඇය ම කෙසෙල් ගෙඩියක් කඩා බලෙන් ම වගේ මගේ අතේ තැබුවා ය. නෙරංජලා ගුරුගේ මා අභියස පුටුවෙහි හිඳ තේ කෝප්පය තොල ගාන්නට වූවා ය.

ඇය ට තිබෙන්නේ කාන්තිමත් දෑසකි. ඍජු නාසයකි. පිරුණු දෙතොලකි. මැදි වියෙහි පසු වූවත් ඇගේ ඡවි කල්‍යානය තවමත් තුරුණු ය. මනා පෝෂණයක් ලබන කදිම රන්වන් පැහැයක් ඒ සමෙහි වේ.

“දවල්ට ගෙදර ඉන්නෙ මං විතරයි. පූජා මෙහෙ ඇවිත් පාඩං කරන්න. ඔයා පාඩං කරල ඉවර වුණහම ඕනනං අපි දෙන්නට චැට් එකක් දාං ඉන්නත් පුළුවන්නෙ”

නෙරංජලා ගුරුගේ ලස්සනට සිනහ වූවා ය. 

“මං ඉතිං දවල් දවස ගෙවා ගන්නෙ නවකතා වලට පින් සිද්ද වෙන්න තමයි”

ඒ කුඩා පුස්තකාලයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නවකතා බව බැලූ බැල්මට පෙනේ. පොත් කියවීම පුරුද්දක් කර ගත් මිනිස් සිත් හි වන ශාන්තිදායක බව ඇය වෙතින් දැකිය හැකි ය. පොත් වල අන්තර්ගත ජීවනාදර්ශ සිය ජීවිතයට ආදේශ කර ගත් තැනැත්තියක ගේ ගුණ යහපත් කම දැනට මම ඇය වෙතින් දකිමි.

“මෙහෙ නිශ්ශබ්දයිනෙ. පූජා ට නිදහසේ පාඩං කරන්න පුළුවන්”

අපේ ගෙදර හැන්දෑවට පවතින තත්වය ඇය දැක ඇතිවාට සැක නැත. විවිධාර පිරිමි පුද්ගලයන් ගෙන් පිරී ගන්නා අපේ ගෙමිදුලෙහි සිදු වෙන මත් සාද ද කෑ කෝ ගසා ගැනීම් ද දැන් ඔවුන් නො දැන ඉන්නට විදිහක් නැත. තාත්තා ගේ පරවි කූඩුව කරා ඇදෙන කොලු කුරුට්ටන් නිසා ද හවසට එක ම ගාලගෝට්ටියකි. ඔවුහු පරවියන් උඩ ගසා අහස දෙස බලා ගෙන සිටීමෙන් මොන වින්දනයක් ලබනවාද කියා මා දන්නේ නැත. ඇතැම් විට අනුන් ගේ පරවියන් ව කෙසේ හෝ අපේ මිදුලට බස්සා ගනිති. උන් ව සොයා ගෙන අයිතිකාරයන් එන්නේ ඉවකින් මෙනි. නමුත් බැස්සූ පරවියන් ව හංගා ගන්නවා මිස බොහෝ විට හිමි කරුවන්ට ලබා දෙන්නේ නැත. ඇතැම් විට හිමිකාර පාර්ශවය හා තාත්තලා අතර රණ්ඩු දබර ඇති වේ. ඉඳහිට ඒ රණ්ඩු පිහි ඇනුම් වැනි තත්වයන් දක්වා ම දුර දිග යන්නේ ය.

තාත්තා ගේ පිරිවර එකතු වන තිප්පල අපේ මිදුල ය. මිදුල ය කීවා ට ඔවුහු ගේ මැදින් ද ඇවිද යති. ඒ වෙලාවට මා තුළ නැගෙන්නේ උතුරා හැලෙන කෝපයකි. තාත්තා ට මොළයක් කියා කළඳක් හෝ ඇත්තේ නැත්ද? ගෑනු ළමයින් දෙදෙනෙකු සිටින ගෙදරකට ඔය විදිහට පිරිමින් ගාල් කර ගැනීම නො ගැලපෙන බව ඔහු ට නො දැනෙන්නේ මන් ද?

ආච්චම්මා ඒ ගැන කිහිප වතාවක් ම ඔහු ට දොස් කියනු මට ඇසී තිබේ.

“අනේ අම්මෙ මේ විකාර නොකියා ඉන්න. උන් එහෙම එවුං නෙවෙයි. මං දන්නවනෙ උන් ගැන. දන්න හින්දනෙ බය නැතුව මෙතනට ගෙන්න ගන්නෙ”

එහැම විටෙක ම තාත්තා ගේ පිළිතුර එය ය. ඔහු ඒ තරමට පිටස්තර පිරිමින් විශ්වාස කරන්නේ කෙසේ දැයි සිතා ගත නො හැකි ය. තාත්තා විශ්වාස කළා ට මා නම් ඒ මිනිසුන් ගේ ඇස් වල දකින්නේ මහත් අප්‍රසන්න ගිජු බවකි. වතුර ඉල්ලාගෙන හෝ ගිනි පෙට්ටියක් ඉල්ලා ගෙන ගෙතුලට එන ඔවුන් දෙස මා නම් බලන්නේ හෝ නැත. බැලුවොත් ඒ රවා ය. අම්මා හා නංගී නම් අයියේ මල්ලියේ කියා ගෙන ඔවුන් හා කතා කරති. සිනහ වෙති. එහෙම එකේ මට ඔවුන් ගැන දැනෙන්නා වූ පිළිකුළට හේතුව මගේ රෝගයක් යයි තාත්තා කියයි.

“උඹට මිනිස්සු ඇලජික්. යකෝ බලහං මං හම්බ කරල කියෙන මිනිස්සු කන්දරාව. එක විස්ල් එකයි ගහන්න ඕනෙ. සීයක් දැං මෙතනට එයි. උඹට පුළුවන් ද එක මනුස්සයෙක් ගෙන්නන්න…එක්කෙනෙක්…”

තාත්තා මට අභියෝග කරයි. 

“මොනාද පූජා ඔච්චරටම කල්පනා කරන්නෙ….”

නෙරංජලා ගුරුගේ මදෙස බලා සිටින්නී ය. මම ඉක්මන් කෙටි සිනහවක් පෑවෙමි. නමුත් මගේ ඇස් වල තෙතමනයක් මට දැනේ. 

“මට…හෝම් වර්ක් ටිකක් තියනව ආන්ටි. එහෙනං මං දැං යන්නද…”

“හරි පුතේ. එහෙනං ඉතිං මං කිව්ව දේ මතකනෙ. ඕන වෙලාවක මෙහෙ ඇවිත් මේ තියන ඕන පොතක් අරගෙන යන්න. කැමති වෙලාවක ඇවිත් නිදහසේ පාඩං කරන්න”

“තෑන්ක් යූ ආන්ටි”

මා පාසලේ ගෙදර වැඩ ටික කළේ පුදුම වේගයකිනි. හිත එපමණට වේගයෙන් ක්‍රියා කරමින් තිබිණ. ජීවත් වෙනවා කියන්නේ කුමක්ද? අප මේ ගෙවන ජීවිතත්, මීට මොහොතකට පෙර මා දුටු ජීවිතත් අතර වන්නේ මොන තරම් පරතරයක් ද? මා මේ කියන්නේ ජීවත් වන්නට මහ මන්දිරයක් අවශ්‍ය බව නොවේ. නමුත් ඒ නිවී සැනැසුණ නිසංසල බව නම් අවැසි ය. මෙතෙක් දවස් මා කුමක් දැයි නො දැන සිටි, මා සොයමින් සිටි දේ ඒ ය. අපේ ගේ තුළ නොම ඇති, මට අවශ්‍ය ව ඇති දේ ඒ ය.

“නෙරංජලා මොකද දන්නෑ මෙයාට එච්චර ආදරේ”

මා ගෙදර ආ පසු නංගී ඇනුම් පදයක් කීවා ය.

“හිතං ඉන්න එපා පුතාව දෙයි කියලනං”

ඇගේ වත මත සමච්චලයක් විය.

“පිස්සුද ආ…මොනාද ඔය කියවන්නෙ…ඔයා දැං පැහිල වැඩියි නංගී”

මම තරවටුවක සරින් කීවෙමි. නංගී හඬ නගා සිනහ වූවා ය.

“මොකද්ද දැං මං කියපු පැහිල වැඩි කතාව…ඔයාගෙ මොළේ අවශ්‍ය තරමට වර්දනය වෙලා නෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ”

නංගී කවදටත් මට වඩා පැසුණ එකියක සේ හැසිරෙන්නී ය. තාත්තා ගේ අනවශ්‍ය හුරතලය නිසා ඇය කුඩා දින වල පටන් හැරුණේ නරක අතකට ය. ඕනේ කියූ දෙයක් දෙන තුරු ම ඕ හැඬුවා ය. තාත්තා ව ඇසුරු කරන කොලු කුරුට්ටන් පාවිච්චි කරන වචන බිය සැකයකින් තොර ව කීවා ය. තාත්තා හෝ අම්මා ඒ පිළිබඳව  කිසිදු තරවටුවක් කරනු මම නො දැක ඇත්තෙමි.

“ඔය වගේ ලොකු ගෙවල් වල ඉන්න කොල්ලො ගැන හීන දකින්නෙ නැතුව මේ අපිට අල්ලගන්න පුළුවන් කොල්ලෙක් ව අල්ල ගන්නව. විරංග අයිය ඊයෙත් මගෙං ඇහුව අක්ක මොකද කිව්වෙ කියල…”

“අනේ මේ. ආයිත් එහෙම මාත් එක්ක ඔය රස්තියාදු නාරයංගෙ නමවත් කියනව නෙවෙයි. ආව මෙතන කපුකං කරන්න. අර ගන්නව පොතක්”

මම ඇය ට සැර වීමි.

“මළ විකාර”

ඇය ගස්සා ගෙන යන්නට ගියා ය.

විරංග කියන්නේ තාත්තා මචං කියා ගෙන ඇසුරු කරනා කොල්ලෙකි. සාමාන්‍ය පෙළින් පාසලට සමු දෙන, නැතහොත් ඒ දක්වා හෝ ඉගෙන නො ගන්නා අහල ගම් හත අටේ ම වැඩක් නැති ව රස්තියාදු ගසන කොල්ලන් ව දැන් නංගී හඳුනයි. ඒ ඔවුන් තාත්තා සොයා ගෙන අපේ ගෙදරට එන බැවිනි. නංගී ඔවුන් සමග පරවියන් ගසනු මම දැක ඇත්තෙමි. ඒ ගැන ඇය ට බැණ වැදුණත් යළිත් එය ම සිදු වෙන නිසා මම එසේ කිරීම අත් හැර දැමුවෙමි.

“හරි වැඩක්නෙ. පරෙයියො ගැහුවහම මක් වෙනවද…”

මට රවමින් ඇය තර්ක කරන්නී ය.

විරංග කියන්නේ කොණ්ඩය ටිකක් වවා තඹ පාට කළ, අතක් දිගට පච්චයක් කෙටූ, කන් දෙකට ම කරාබු දැමූ, නිතර ම කමිසයේ බොත්තම් ඇර ගෙන සිටිනා තැනැත්තෙකි. ඔහු මා දෙස බලා ගෙන ම සිටිනු කිහිප වරක් දැකීමෙන් පසු, ඔහු ඉන්නා බවක් දැනෙන වෙලාවට මම එලි පෙහෙළියට නො යමි. අල්මාරිය තබා හරස් කොට, මවිසින් ම පරණ රෙද්දකින් අනිත් පසින් ආවරණය කර ගන්නා ලද යහන් ගබඩාව තුළට වී එතකොට මම පොතක් බලා ගමි. නංගී අතේ ඔය විරංග කිහිප වතාවක් ම මගේ කැමැත්ත විමසා එව්වේ ය. 

“මට පිස්සු කියල හිතුවද…ඔය රස්තියාදු කාරයොත් එක්ක යාළු වෙන්න…”

ප්‍රථම වතාවේ දී මම නංගි ගේ ඇඟට කඩා ගෙන පැන්නෙමි.

“අනේ ඔයා වලව්වෙ කුමාරිහාමිනෙ”

ඇය කට ඇද කොට මට සමච්චල් කළා ය. නංගී ඔය වාගේ කොල්ලන් සමග අනවශ්‍ය ගනු දෙනු වලට යාම අන්තරායකර බව අම්මා ට කියා දිය යුතු ව තිබුණෙන්, නංගි ගේ යහපත ගැන සිතා හිතේ කේන්තිය සඟවාගෙන මම එයත් කළෙමි.

“මොකටද ඔය කොල්ලොත් එක්ක ඕන්නැති කතා වලට යන්නෙ…මෙයාට ඔය විදිහට නිදහස දීල තිබ්බහම මොනා කර ගනීද දන්නෑ. අම්ම නංගිට ටිකක් තදින් ඉන්න”

“නෑ…ඒ ළමයි නරක අය නං නෙවෙයි”

ඇය සිහින් සිනහවක් පා කීවා ය. මගේ වචන ටික නහස්ති කර ගත් එක ගැන මම පසු තැවුණෙමි.

හැන්දෑවට අපේ ගෙදර වැසිකිළියට යා නො හැකි ය. ඒ මිදුල කොනේ පිරිමින් රොක් වෙන බැවිනි. ගෙදර ගැහැනුන් තිදෙනෙකු ම සිටින එක ගැන තාත්තා ට වගක් නැති එකේ අනිත් පිරිමින් ට මොන වගක් ද? ගෙදර වැඩ නිම කොට පොත් ටික සකසා මා වැසිකිළියට ගියේ ආයේ රෑ යාමයක් වන තුරු ඒ පැත්ත පලාතක් බැලිය නො හැකි බව දන්නා නිසාවෙනි. ආපසු එන්නට එහි දොර ලෑල්ල ඔසවා පසෙකින් තබත්දී, මතු මහලේ සඳැල්ලෙහි හිඳින තට්ටු ගෙදර තරුණයා මගේ නෙත ගැටුණේ ය. ඒ කොහොම නිමේෂයක් ද? මට දැනුණේ පොළොව පලා ගෙන යන්නට හිතෙනා විදිහේ ලජ්ජාවකි. අඩියට දෙකට ගෙට පැන්න මම ඇඳට වැටී කොට්ටයෙහි මුහුණ ඔබා ගතිමි. 

දත් දෙපෙළත් එක්ක ම හිස රිදෙන්නට වූයේ ය. මගේ ඇස් වලින් කඳුළක් ගිළිහුණේ පෙර දැනුම් දීමකින් නොවේ. ඉවසා ගන්නට බැරි ලැජ්ජාවක් මා පෙළමින් තිබිණි. ආයේ ඔහු ගේ මූණ බලන්නට බැරි විදිහේ හැඟීමක් මා පාරමින් තිබිණි. ඒ අසරණ කම ඊට පෙර මා විඳ නැති එකකි. කෑම කන්නටවත් මා ඇඳෙන් නැගිට්ටේ නැත. 

මේ අපායෙන් විනිර්මුක්ත වන්නේ කවදා ද යන උත්තර නැති පැනය, සිය දහස් වතාවක් මගේ සිත මගෙන් විමසමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles