සඳක් කළ සක්මන් -04

ඉනික්බිති  ඔහු සඳැල්ලෙහි සිටිනවා මා  දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා හදවත විසින් දරා ගත් සංවේදනයන් හි තිගැස්සුම් සර මට කිසි දා පැහැදිලි කොට කිව නො හැකි ය!

“පූජාව හුඟක් දවසකින් දැක්කෙ නෑ”

දවසක් අපේ ගේ දොරකඩට ම ඇවිත් නෙරංජලා ගුරුගේ කතා කළා ය. මම ලජ්ජාශීලී සිනහවකින් යුතු ව මිදුලට බැස්සෙමි.

“ටිකක් පාඩං කළා. එග්සෑම් වලට වැඩි කාලයක් නෑනෙ ආන්ටි”

“ඉතිං ඒකනෙ දරුවො. ඔයා පොත් ගන්න තියා පාඩං කරන්නවත් අපේ ගෙදර ආවෙ නෑනෙ”

දෙන්නට උත්තරයක් මට තිබුණේ නැති තරමි. මා වාගේ දුහුවිල්ලෙන් සැදුණු කෙල්ලක් ඇය වාගේ කෙනෙකුට ආඩම්බර පෙන්වනවා යි කොහෙත් ම ඈ නො සිතිය යුතු ය. එහෙයින් ම මම වචන කිහිපයක් ගලපා ගතිමි.

“අනේ ඒක ආන්ටිලට කරදරයක්. මට මෙහෙම පාඩං කරල පුරුදුයි”

“මොන කරදරයක්ද දරුවො. එන්නකො පොත් ටිකත් අරගෙන. මං මෙහෙම ඇවිත් එක්ක ගියෙ නැත්තං ඔයා එන්නෙ නෑ”

“අනේ මැඩම් මෙයාව ඉතිං එළියට ගන්න එක ලේසි නෑ. ඔය අහල පහල මිනිස්සු වුණත් ඒකනෙ කියන්නෙ මෙයා මහ ආඩම්බරකාරි කියල”

අම්මා අපේ කතාව අහගෙන සිට දෝ පිටතට ආවේ එහෙම කියාගෙන ය.

“අනේ මගෙ ඇති ආඩම්බරයක්නං නෑ ආන්ටි”

මම ඉක්මන් කොට කීවෙමි.

“හරි හරි. පොත් ටිකත් අරං එන්නකො”

මම හෙමිහිට ගෙතුළට වැදුණෙමි. මා එන තෙක් නෙරංජලා ගුරුගේ අපේ දොරකඩ සිටින බව, අම්මා එක්ක ඇගේ කතා බහ ඇසුණ නිසා මට සිතා ගත හැක් විය.

“අනේ කොච්චර ලොකු දෙයක්ද මැඩම්…අපි මොකටද අකමැති වෙන්නෙ…එහෙම අකමැති වෙන්න තරං ලොකු මිනිස්සු ද අපි…”

ගුරුගේ මැතිණිය කීවේ කුමක් දැයි, ඇගේ මන්ද්‍ර ස්වරය නිසා පැහැදිලි නො වුණත්, අම්මා එසේ කියනවා මට හොඳට ම ඇසුණේ ය. සිතෙහි ගැස්මක් ඇති විය. අම්මා කැමැත්ත දුන්නේ කුමකට ද? නෙරංජලා ගුරුගේ කැමැත්ත විමසූවේ කුමක් සම්බන්ධයෙන් ද? 

ඇතැම් විට පාඩම් කරන්නට මා එහි කැටිව යාම සම්බන්ධයෙන් වන්නට ඇතැයි මම හිත සකසා ගතිමි. 

මතු මහලේ පුස්තකාල කොටසේ වන මේසය ළඟට මා එක්ක ගිය එතුමිය, “ඔයා නිදහසේ වැඩ කර ගන්න” කියා නික්ම ගියා ය. සැබවින් එහි වූයේ පුදුමාකාර නිශ්චලත්වයකි. ඒ නිශ්චලත්වය තුළ මට ඕනා වූයේ පාඩම් කරන්නට නොව කල්පනා කරන්නට ය. සිත ඉබාගාතේ දුවමින් තිබිණි. ඒ බව සිහිපත් වන වෙලාවක මම හිත පොත වෙත කැඳවා ගත්තෙමි.

නෙරංජලා ගුරුගේ විටින් විට පැමිණ මට තේ, පළතුරු බීම හා රස කැවිලි වර්ග මේසය මතින් තබා ගියා ය. මගේ පාඩම් කිරීම ගැන අපේ අම්මා වුව කිසිදු දිනෙක එබඳු උනන්දුවක් දක්වා නැත. අධ්‍යාපනය ගැන ඇය ට කිසිදු අදහසක් විණැයි ද මම නො සිතමි. පහේ ශිෂ්‍යත්වය යනු අම්මලා ගේ විභාගය යයි කතාවක් තිබේ. නමුත් මා හෝ නංගී ශිෂ්‍යත්වය කරත්දී අපේ දෙමව්පියන් ගෙන් ඒ ගැන උනන්දු කරවීමක් වූයේ ම නැත. අපේ පාසලේ සහ අසල්වැසි සම වයස් ළමයි ශිෂ්‍යත්ව පන්ති ගියත් මා නම් ඒ එකකට හෝ ගොස් නැත. නමුත් ගමේ පාසලේ වැඩි ම ලකුණු ගෙන මම ශිෂ්‍යත්වය සමත් වූයෙමි.  ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ උසස් ම බාලිකාවකට මට අවස්ථාව ලැබුණේ එනිසාවෙනි. නිදහස් අධ්‍යාපනය ට පින් සිදු වන්නට ඉගෙන ගත්ත ද, එයින් අනතුරුව වුව ගෙදරකින් දරුවන් ගේ අධ්‍යාපනය ට ලැබිය යුතු සහයෝගය අපට ලැබුණේ නැත. 

මා සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව හැරෙන්නට අනෙත් සියලු විෂයන් ට අධි සම්මාන සහිතව සමත් වූයේ එක විෂයකට හෝ අමතර පන්ති නොයා ය. අඩු තරමින් ඉංග්‍රීසි විෂයට හෝ පන්තියකට යන්නට තිබුණා නම් සාමාන්‍ය සම්මානයක් වෙනුවට අධි සම්මානයක් ලබා ගත හැකි ව තිබිණි. නමුත් ලද ප්‍රතිඵලය ගැන මා තෘප්තිමත් ය.

මගේ කටේ බලේට අම්මා නංගීව ශිෂ්‍යත්ව පන්තියකට දැම්මා ට ඇය ලකුණු සියයක් වත් ලබන්නට පොහොසත් වූයේ නැත.

සිත එක් තැන් කර ගෙන පාඩම් කළ නො හැකි වූ තැන මම ප්‍රශ්න පත්තරයක් කරන්නට පටන් ගතිමි. එයට මම හොඳ ලකුණු ප්‍රමාණයක් ද ලබා ගතිමි. ඒ නිසා හිතට සතුටක් දැනුණේ ය. 

“ඔයා රෑ වෙනකල් වුණත් පාඩං කරන්න. මෙහෙ ඩිස්ටර්බ් නෑනෙ”

හැන්දෑව අඳුරට හැරෙත්දී ගුරුගේ මැතිණිය මා වෙනුවෙන් කුඩාවට කැපූ චීස් කැබලි ද, ලුණු රසැති බිස්කට් ද දැමූ පීරිසි දෙකක් ගෙන එමින් කීවා ය.

“අනේ නෑ මැඩම්. මං දැං යන්න ඕනෙ”

“මොකද අනේ…හරි දුරක් යන්න වගේනෙ. අල්ලපු වත්තටනෙ පනින්න තියෙන්නෙ”

ඇය සිනහ වෙමින් මා අභියස පුටුව ඇද හිඳ ගත්තා ය. නමුත් මා තුළ වූයේ ආකාශ් සඳයුරු ගුරුගේ ගෙදර පැමිණීමට පෙර මෙතැනින් නික්ම යාමේ අවශ්‍යතාවයකි. ඔහු ගේ මුහුණ බලන්නට මට හැකි ය කියා තවමත් මම නො සිතමි. ඒ මොහොත සිහිපත් වෙත්දීත් තවම මගේ සිරුරේ හී ගඩු පිපේ.

“හැන්දෑ වෙනකොට එහෙ සද්ද බද්ද වැඩියිනෙ. මං ඒත් ගෙදර ඉඳං හිතනව පූජා කොහොමද පාඩං කරන්නෙ කියල”

මම අසරණ සිනහවකින් බිම බලා ගතිමි.

“පුරුදුයි දැං”

ඒ සිනහවේ කෙළවර මම අසීරුවෙන් කොඳුරා ගතිමි.

“ඔයා තාත්තට කියල නැද්ද…ගෙදරට ඔය විදිහට පිරිමි කට්ටිය ගෙන්නන එක හොඳ මදි කියල”

මගේ ඇස් වලට කඳුළු උනා ගෙන එන බවක් දැනෙන්නට වූයේ ය. නමුත් මේ ගැන අම්මා වත් සංවේදී නො වන එකේ, ආච්චම්මා පමණක් විරුද්ධ ව වචනයක් හෝ කියන එකේ, මවුවත් හැඟීමකින් නෙරංජලා ගුරුගේ මේ මාතෘකාවට පිවිසෙත්දී, මට පිටස්තර බවකින් යමක් සැඟවිය නො හැකි ය.

“කොච්චර කියල තියෙනවද ආන්ටි…යමක් කමක් තේරෙන්න පටං ගත්ත දවසෙ ඉඳලම….වැඩක් නෑ ආන්ටි…”

ඇස් වල වූ තෙතමනය කඳුළක් ව එක්කාසු වී ඇසිල්ලකින් නෙතු හැර ගියේ ය. ඝණ වීදුරුවක් ඇතිරූ දිග මේසය මත ඒ ටක් ගා පතිත විය.

“පූ…ජා…”

මේසය දිගේ වහා අතක් දිගු කළ ඕ තොමෝ මගේ අතක් පිරිමැද්දා ය.

“අනේ…ඔයාව අඬවන්න නෙවෙයි මං එහෙම කිව්වෙ”

“නෑ. මං අඬන්නෑ ආන්ටි”

මම වහ වහා ඇසේ වූ තෙත, අතැඟිලි වලින් ම පිස දා ගතිමි. ඒත් එක්ක ම හැම දා ම මා කළ දේ, කඳුළු අතරින් සිනහ වීම, මම මඳහසක් නගා ගතිමි.

“ඉතුරු ටිකත් ඔය විදිහට කරං යන්න මං හිත හදං ඉන්නෙ”

“මට ඔයාව තේරෙනව දුව. දුක් වෙන්න එපා පොඩ්ඩක්වත්. ඔයා දිහා බලන ඕන කෙනෙක්ට තේරෙනව ඔයා නිකං නෙළුම් මලක් වගේ කියල. මඩ වගුරක ඉපදුණාට නෙළුම් මලක් පිපෙන්නෙ මඩ බින්දුවක්වත් පෙත්තක ගාවගෙන නෙවෙයි. ඔයාව දැක්ක මුල් දවසෙ දෙකේදිම මට තේරුණා…ඔයා හරි වැදගත් පාටයි. ඩීසන්ට්. ඒක ඔයාගෙ ඉස්කෝලෙං ඔයාට ලැබුණ දෙයක් වෙන්නත් ඇති. එහෙම තැනක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්න වුණත් ඔයාට ලොකු වාසනා ගුණයක් තියෙන්න ඇති”

මා දන්නා තරමට වාසනාව කියා දෙයක් මගේ ජීවිතයෙහි මට දැනී තිබුණේ ම නැත. මම ඕනෑ තරම් කුස ගින්නේ හිඳ ඇත්තෙමි. කුස ගින්නේ පාසල් ගොස් ඇත්තෙමි. කන්නටය කියා ගෙන යන්නට දෙයක් නැති නිසාවෙන්, විවේක කාලයේදී යෙහෙළියන් මගහැර පන්තියෙන් පිටතට ගොස් ඇත්තෙමි.

“අද කෑම කෑවෙ නෑ නේද”

කියා ඔවුන් විමසන විට “අද ටක් එකෙං කෑවෙ” කියා අහිංසක බොරුවකින් මගහැර ගොස් ඇත්තෙමි.

අපට අඳින්නට තිබුණේ නැත. ඇඳුම් අරගෙන දෙන්නට තරම් තාත්තා අත මුදල් ගැවසුණේ ද නැත. බොහෝ විට අප ඇන්දේ නෑදෑ ගෙවල් වලින් හෝ අසල්වැසි ගෙවල් වලින් ලැබෙන පාවිච්චි කොට ඉවත් කළ ඇඳුම් ය. 

අපට ඇඳුමක් මාරු කරන්නට තැනක් වූයේ නැත. තාත්තා ගෙදර ඉන්නා වෙලාවක නම් මා ඇඳුම් මාරු කරන්නේ ඔහු ව එළියට දමා දොර වසා ගැනීමෙනි. ඒ වගේ ජීවිතයක් ගත කරන ගෑනු ළමයෙකු ට වාසනාව කියා වචනයක් ගැන තේරුම් කරවීම සැබවින් ම පහසු නැත. 

දුප්පත්කම කියන්නේ ශාපයක් නොවේ. ශාපය වූ කලී ඉන් ගොඩ වෙන්නට නො සිතා ඒ නරා වළ තුළ ම වැටී ගෙන හිඳීමයි.

“මං දැං යන්නං ආන්ටි”

කියා ගෙන මා පොත් ටික එකතු කරන්න ට වූයේ ඒ වෙලාවේ සිත ට නැගුණ ක්ෂණික සිතිවිල්ලකට නතුව ය. එම නිමේෂයෙහි මා තුළ පොර බදන්නට වූ සිතිවිලි සේනා වලට මා මුහුණ දිය යුතු වූයේ තනිව ය. ගුරුගේ මැතිණිය ඉදිරියේ ඒ හැඟුම් රළ පහරට යට වන්නට තරම් දිරියක් මා කෙරේ වූයේ නැත.

නෙරංජලා ගුරුගේ තරමක විශ්මයකින් සේ මදෙස බලා ගත් වන සිටියා ය. ඇය මවෙත පෑ ළෙංගතු කම වෙනුවෙන් මා ඒ හිත සැනහෙන යමක් කිව යුතු ව තිබිණි.

“මං හෙටත් එන්නං පාඩං කරන්න. දැං පාඩං කරන මූඩ් එකක් නෑ ආන්ටි”

“අනේ…මමයි අනවශ්‍ය කතාවක් පටං ගත්තෙ”

“අනේ නෑ. මං ගිහිං එන්නං ආන්ටි”

මාත් එක්ක ම ඇයත් පුටුවෙන් නැගිට ගත්තා ය. අපි කතා නැතිව පිය ගැට පෙළ බැස්සෙමු.  ආකාශ් සඳයුරු ගුරුගේ රියෙන් බැස ගේ දෙසට එමින් සිටියේ ත්, මා ප්‍රධාන දොරටුව වෙත යමින් සිටියේ ත් එක ම වෙලාවක දී ය. දොර උළුවස්ස මත දී අප මුහුණ ට මුහුණ හමු විය. ආයේ එ් මුහුණ ඉදිරියට හමු නො වන්නට හැංගිමුත්තම් කෙළිමින් සිටි මට හුස්ම ගත නො හැකි සෙයක් දැනිණ. නමුත් ඔහු ගේ දෙතොල් අතරේ මඳහසක් පීදී තිබුණේ ය.

“නංගි අද පාඩං කරන්න ආව”

කියා නෙරංජලා ගුරුගේ කීවා ය. ආකාශ් ගේ මඳහස පෙර දී ට වඩා පිපුණත්, එය දෙතොල් සිර කර ගෙන නැගූ මන්දස්මිතයකි. ඔහු යන්තම් හිස ද සැලුවේ ය. මම මිදුලට පැන සිටියෙමි. මට ඕනෑ වූයේ ඉක්මනින් එතැනින් පලා යන්නට ය. ගේට්ටුව ළඟ දී හැරී ගුරුගේ මැතිණිය දෙස බලන ගමන් ම මගේ ඇස් දෙක තව ටිකක් ඈතට පා ව ගියේ ය. ආකාශ් සඳයුරු ගුරුගේ ද ඒ මොහොතේ ම හැරී බැලුවේ ය.

මා අපේ ගෙට ගොඩ වූයේ සීතල වී ගෙන ය. 

“මැඩම් කිව්වද විස්තරේ”

අම්මා මා දුටු මතින් නැගී සිටියා ය.

“මොන විස්තරේද….”

 “ඇයි පූජාට කිව්වෙ නැද්ද…මගෙං ඇහුව දුවලට ඉන්න වෙනම කාමරයක් තිබුණොත් හොඳයි නේද කියල. මං කිව්ව ඉතිං හොඳයි තමයි මැඩම්. ඒත් ඉතිං ගෙවල් හැදිලි ගැන අපි හිතන්නෙවත් කොහොමද කියල. ඒ ගමන කියාපි අපි වැරදියට හිතන්නෙ නැත්තං දුවලට ඉන්න කාමරේකුයි ඒකටම අල්ලල ඇතුළෙං යන්න පුළුවන් විදිහට බාත් රූම් එකකුයි ඒගොල්ලො හදල දුන්නට කමක් නැද්ද කියල”

මම පුටු කබලක් මතට වැටුණෙමි. මා ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට වූයේ එදා මා වැසිකිලියේ දොර හරිත්දී වූ සිද්ධිය ය. ආකාශ් විසින් එය නෙරංජලා ගුරුගේ ට කියන ලද්දේ ද? ඇය මේ විදිහේ යෝජනාවක් කර තිබෙන්නේ එනිසාවෙන් ද?

“දුවලට කියල බහු වචනෙං කිව්වට ඉතිං අක්කට තමයි ඔය කාමරේයි බාත් එූම් එකයි හදන්නෙනං….නෙරංජලා ඇන්ටිගෙ දුව එයානෙ. අපිවනං දැක්කට ගණං ගන්නෙවත් නෑ”

නංගී ආඩපාලියක් කියනු ඇසුණේ දුර ඈතකින් සේ ය. මා හිටියේ පියවි සිහියත් අසිහියත් අතරේ තැනෙක දෝලනය වෙමිනි.

“කමක් නෑ ඉතිං. අපිටත් ටයිල් කරපු බාත් රූමෙකක වතුර ටිකක් නා ගන්න බැරියැ…”

“උඹ ඉතිං නාන එකක්යැ”

“අනේ මේ අම්මෙ…”

මම හෙමිහිට නැගිට ඇඳ වෙත ගියෙමි. වෙන කිසිදු වැඩක් කරන්නට බැරි, ඇඳට වැටී ගෙන විතරක් ඉන්නට හැකි අප්‍රාණික කමක් මට දැනෙමින් තිබුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles