හිතවත්කම්

ගේට්ටුවේ සීනුව නාද වෙන හඬට පාරමී දොරකඩට ආවා.

” දුව නිදාගෙනද හිටියේ ? “

” නෑ ආන්ටි. පිටිපස්සේ මිදුල ටිකක් සුද්ද කළා”

පාරමී ගේට්ටුව ඇරියා. නිවස හිමි කාන්තාව වුණ මංගලිකා පාරමී කියන්නත් කලින්ම ගේට්ටුවෙන් ඇතුළු වෙලා ගේ ඇතුලටත් ගියා

” මිදුල සුද්ද කරන එක හොඳයි .ගෙදරටම වෙලා ඉඳලා ඔයාගේ ඇඟට කිසි ව්‍යායාමයක් නෑනේ”

” මම හවසට ජිම් එකට යනවා ආන්ටි”

” ඔයා gym යනවා? මම දැකලා නැහැ නේ ? “

” මම යනවා . සාරංගට නිවාඩු දවස් වලට පාක් එකෙත් ඇවිදින්න යනවා “

” පාරමී ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ ? “

මංගලිකා ඇහුවේ උනන්දුවෙන් පාරමීගේ මූණ දිහා බලන ගමන්

” මම කලින් ජොබ් එකක් කලා .මට හොඳ සැලරි එකකුත් ලැබුනා .ඒත් මම හිතනවා මම දැන් සාරංගටයි ගෙදර වැඩ වලටයි කාලය දෙන්න ඕනේ කියලා”

” ගෑනු උනහම පිරිමින්ගෙන් යැපෙන්න හොඳ නෑ ළමයෝ “

එහෙම කියාගෙන මංගලිකා ගේ පුරාවටම ඇස් යැව්වා. පාරමී සාරංගත් අලුත් කුලී නිවසට ඇවිත් තවම ගෙවුණේ මාසයක් විතරයි. නිවස අයිතිකරුවන් අල්ලපු ගෙදර ඉන්න එකට නම් පාරමී මුල ඉඳලම එතරම් කැමති වුණේ නැහැ

” ඒ ගැන අවුලක් හිතන්න එපා පාරමි. අපේ ආරක්ෂාවට වුණත් හොඳයිනේ.ඔයා දවල්ට තනියම ඉන්න නිසා එයාලා එහා පැත්තේ ඉන්න නිසා මට බයක් නෑ “

සාරංග එහෙම කිව්වත් පාරමීට දැනුනේ අපහසුවක්. කලින් හිටපු ගෙදරින් හදිසියේම යන්න උන නිසාත් බලපු හැම නිවසකටම වඩා මංගලිකාගේ නිවස හොඳ නිසාත් ඔවුන් දෙන්න ඉක්මනින් එහි පදිංචියට ආවා

” ඔයා ගෙදර ලස්සනට තියා තියාගෙන ඉන්නවා පාරමි “

පාරමීගේ හොඳම මිතුරිය උන වන්දනා නිවස පුරාම ඇවිද්දේ හරිම ආසාවෙන්.

” තාම මම හරියට මල් වවන්න පටන් ගත්තෙ නැහැ වන්දනා “

” අම්මෝ මම දන්නවනේ ඔයාගේ මල් වැවිල්ල.ඊළඟ පාර එනකොට මෙහෙ මල් වත්තක් වෙලා තියෙයි “

වන්දනා පිටත් වුනේ තවත් බොහෝ වේලාවක් පාරමී එක්ක ආ ගිය තොරතුරු කතා කරාට පස්සේ

” කවුද අර ආවේ ? “

වන්දනා පිටත් වෙනවා වෙනවත් එක්කම මංගලිකා ගේට්ටුවෙන් ඇතුළු වුණා

” මගේ හොඳම යාළුවා ආන්ටි .ඇයි ? “

” නෑ නිකං ළමයො මම ඇහුවෙ. මම ගේට්ටුව ගාව ඉන්නකොට දැක්කා එනවා. ඒ ළමයා ඇවිත් සෑහෙන වෙලා නේද ? “

” ඔව් ආන්ටි .කාලෙකින් හම්බුන නිසා අපි ටිකක් කතා කර කර හිටියා “

මංගලිකා ආපහු ගෙදර ගියත් , පාරමීගේ හිතට දැනුන නොරිස්සුම නම් පහව ගියේ නැහැ .

දහවල් කාලයේ දී මංගලිකා නිතර නිතර පාරමීගේ නිවසට ආවා. නිවස අස් කරලා මිදුලේ වැඩක් ඉවර උනාට පස්සේ පොතක් පතක් කියවන පාරමීට මංගලිකා ගේ පැමිණීම ඇත්තටම කරදරයක් වුනා

” ඕගොල්ලො බැඳල කොච්චර කල් වෙනවද පාරමී “

මංගලිකා ඇහුවේ ඇහුවෙ බිත්තියේ එල්ලලා තියන මංගල ඡායාරූපය දිහා බලාගෙන

” මේ අවුරුද්දට අවුරුදු තුනක් වෙනවා ආන්ටි “

” මම මේ ඔය ළමයට තියන හිතවත්කමට අහන්නේ. ඕගොල්ලො දැන්ම දරුවෝ හදන්නේ නැත්තේ ඇයි ? “

” ඒක ඉතින් අපේ කැමැත්ත නේ ආන්ටි. අපිට තව කර ගන්න ගොඩක් දේවල් තියෙනවා “

” නැකත් බල බල හිටියොත් නං ළමයො ඕවට ඔයාලා වයසට ගිහින් තියෙයි “

කට කොනකට හිනාවක් නගා ගත්ත මංගලිකා පිටවෙලා ගියේ පාරමීගේ හිත හොඳටම රිද්දලා

” ඔය වයසක මිනිසුන්ගේ හැටිනේ පාරමි .ඔයා ඕවා එච්චර හිතන්න එපා “

හවස ගෙදර ආව සාරංග පාරමීගේ හිත හැදුවා. ඒ වෙනකොට නම් සාරංගගේ හිතටත් තරමක නොරිස්සුමක් දැනෙමින් තිබුණා .

” මට මේක හරි හිසරදයක් සාරංග. මේ මනුස්සයා කොයි වෙලාවෙත් මේ පැත්තට ඇහැ ගහගෙනමයි ඉන්නෙ.අනේ මන්ද මෙයාට වෙන වැඩක් නැද්ද කියලා “

” අපි ටික දවසක් බලලා හෙමින් සැරේ වෙන ගෙයක් හොයාගමු පාරමි “

තමන්ගේම කියලා නවාතැනක් නැති අඩුව සාරංගට වගේම පාරමීටත් දැනුනා.

” පාරමී .. පාරමී “

ඊළඟ දවසේ සාරංග රැකියාවට ගියා විතරයි මංගලිකා ගේට්ටුව ලඟට ආවා.පාරමී ගේට්ටුව ළඟට ගියේ අකමැත්තෙන්

” මොකද ළමයෝ මූනේ හැටි ? “

” ඇඟට ටිකක් හරි නැහැ ආන්ටි .මම මේ සාරංග ගියාට පස්සෙ නිදාගන්න කියලා හැදුවේ “

පාරමී කතා කළේ ගේට්ටුව අරින්න නැතුවමයි.

” සුබ ආරංචියක්වත් ද දන්නේ නැහැ “

” එහෙම දෙයක් නෙමෙයි .මට ටිකක් හෙම්බිරිස්සාවත් වගේ “

” මේ දවස් නං නං එච්චර හොඳ නැහැ. කොරෝනාත් හැම තැනම . කෝකටත් බලව ගන්න “

මංගලිකා එහෙම කියලා හිමින් සීරුවෙ ගෙදර පැත්තට ගියා . පාරමී සැනසුම් සුසුම් හෙලන ගමන් ගේ ඇතුලට ගිහින් දොර වහගත්තා

දින කීපයක් තිස්සේ ඇඟට දැනුන අපහසුකම් එක්ක සාරංගත් අසනීප වෙද්දි දෙනාටම කොවිඩ් වෛරසය වැළඳිලා කියලා තහවුරු වුණා. පාරමී තරමක් අපහසුවෙන් හිටියත් සාරංගට නම් එතරම් අපහසු වුණේ නැහැ.

” බලන්නකෝ ඔය දෙන්නා කර ගත්ත දෙයක් “

හවස් වරුවේ දුරකථන ඇමතුමක් ගත්ත මංගලිකා එහෙම කිව්වේ පාරමී ඇමතුම ක්‍රියාත්මක කරලා වචනයක්වත් කියන්න කලින්

” ඇයි ආන්ටි ?”

” අපේ ලේන් එකේ කාටවත් virus එක හැදුනේ නැහැ .කොහොමද ඔය දෙන්නට හැදුනේ ? “

” සාරංග හැමදාම වැඩට යනවා නේ ආන්ටි.අනික මේක කොහෙන් කොහොම හැදෙනවා ද කියලා දැන් කියන්න බැහැනේ “

” මමත් නිතරම ඔහේ ආවා .දැන් මටත් හැදෙයිද දන්නේ නැහැ “

පාරමීට මංගලිකා ගැන ඇති වුනේ කෝපයක්.

සාරංගටත් පාරමීටත් එළඹුණේ ඉතා අසීරු දවස්.හිත මිතුරන් බොහෝ දෙනෙක් ඔවුන්ට අවශ්‍ය කෑම බීම ගේට්ටුව ලඟින් තියලා ගියා.

” මම ඔයාලගේ ගේට්ටුව ළඟට එනකොට අර එහා ගෙදර ආන්ටි කිව්වා ඔහෙට ඇවිල්ල ලෙඩ හදා ගන්න එපා කියලා “

පාරමීලට ඇතිවෙන්න කෑම දීලා ගිය වන්දනා හවස් වරුවේ පාරමී ට කෝල් කරල එහෙම කියද්දී ඇයට ඉවසුම් නැතිව ගියා .

” මිස්ටර් සමරනායක. මම ඔයාගේ නේබර් කෙනෙක් කතා කරන්නේ “

රාත්‍රී නමයට විතර සාරංගට නාදුනන අංකයකින් ඇමතුමක් ආවා

” මම මංගලිකා ආන්ටිගෙන් නම්බර් එක ඉල්ල ගත්තෙ. අපි ඔයාලට හෙට උදේ කෑම ගෙනත් දෙන්නම් “

නොදැකපු අසල්වාසියා ගැන සාරංගට වගේම පාරමීටත් ඇති උනේ ලොකු පැහැදීමක්.පහුවදා උදේ හත හමාර වෙනකොට ගේට්ටුව ගාවට ආපු නාඳුනන අසල්වාසියා කෑම පාර්සල් දෙකකුත් , ලොකු පලතුරු බෑගයකුත් තියලා ගියා.

” ජීවිතේට දැකලවත් නැති මිනිස්සු කෑම ගෙනත් දෙනවා .උදේ හවස මෙහේ ආව ගිය මංගලිකා ආන්ටි දවස් දෙකකින් කෝල් එකක්වත් දුන්නේ නැහැ නේද ? “

සාරංග පාරමි ගෙන් ඇහුවේ අතිශය පෞද්ගලික දේවල් පවා පාරමි ගෙන් ප්‍රශ්න කරපු නිවෙස් හිමි ගැහැනිය සිහිපත් කරමින්

” අපිට ඇත්තටම හිතවත් කවුද කියලා බලාගන්න පුළුවන් මේ වගේ වෙලාවකට තමයි සාරංග “

අසීරුම අවස්ථාවක උදව් කරපු, තමන්ට සැබෑවටම හිතවත් හැම කෙනෙකුටම පාරමී වගේම සාරංගත් හදවතින්ම පින් දුන්නා.

More Stories

Don't Miss


Latest Articles