හිතේ හයිය

“මට හිතාගන්න බැහැ මොනව කරන්නද කියලා. අප්පච්චිල හෙට කොළඹ එනවලු…”

“ඉතින් ඔය ආපුදෙන් නදී…ඔයා ගමේ ගියේ නැති එකේ ඒ මිනිස්සුත් දරුවව ඇවිත් බලන්නේ නැතෑ…”

“ඒ වුණාට…”

“දැන් මොකක්ද ප්‍රශ්නේ…?”අපි හත්දෙනකු ඔය දවස් කීපය මේ කාමරේ ඉන්න පුලුවන්නේ…මම ඉන්න එක අවුල් වගේනම් මම ඒ දවස් කීපය මහේෂිලගේ කාමරයට ගිහින් ඉන්නම්….”

“කාමරය නෙමෙයි බං ප්‍රශ්නේ…”

“එහෙනම් මොකක්ද…?”

“මගේ මේ රස්සාව…”

නදීකා කොළඹ ඉපදුණු, හැඳුණු වැඩුණු ගැහැණු ළමයෙක් නෙමෙයි. මහියංගන ප්‍රදේශයේ ඉපදුණු..හැඳුණු,  නදීකා රස්සාවකට කොළඹ ආවේ මීට අවුරුදු තුනකට විතර උඩදීයි. උසස් පෙල හොදින් සමත් වුණු නදීකාට කොළඹ හොඳ රස්සාවක් ලැබුණා. සම්මුඛ පරීක්ෂණයට මුලින්ම අප්පච්චි එක්ක කොළඹ ආ නදීකාට දෙලොවක් අතර අතරමං වුණා වගෙයි දැනුනේ. පාසැල් අධ්‍යාපන චාරිකාවට ග්‍රහලෝකාගාරය, කෞතුකාගාරය,කැලණි විහාරය ආදී තැන් දින දෙකක චාරිකාවකට කොළඹට ආ නදීකා එදායින් පසුව කොළඹට ආවේ රස්සාවටයි.

“මට කොළඹට යන්න බයයි වගේ අප්පච්චි….”

රස්සාව බාරගැනීමට ලැබුණු ලිපියත් අතැතිව කීවද නදීකා කොළඹ ආවේ ආර්ථික අපහසුතා බොහොමයක් කරපින්නාගෙනයි.

“නංගීවත් මල්ලීවත් උඹ බලාගන්න ඕනේ ලොකු පුතේ…”

කොළඹ බෝඩිං කාමරයට ඇරලූ අප්පච්චි ආයෙත් යන්න හදද්දී කියූ දේ අදටත් නදීකාට මතකයි.

“මොනවද කල්පනා කරන්නේ…?”

‘අප්පච්චිල දවස් කීයක් කොළඹ ඉදීවිද දන්නේ නෑ. අම්මවයි අප්පච්චිවයි බෙල්ලන්විල පන්සලට එක්ක යන්නත් ඕනේ….ඒත්…මේ රස්සාව…?”

“ටික දවසක් ඕක නතර කරන්න නදී…”

“ඒක නතර කරන්න මට බැරි කමක් නෑ.ඒත්….මගේ කස්ටමස්ල…?”

“අනේ…මෝඩි…දැන් ඔයාට ලොකු අම්මලවද…කස්ටමස්ලද…?”

“ඔයාම දන්නවනේ මගේ උත්තරේත්…”

“වැඩිය හිතන්න එපා…අපි එන විදිහට මූණ දෙමු නදියෝ ….”

*    *     *    *    *    *    *     *    *    *

“අංකල්ලට මහන්සිත් ඇති…”

“අනේ ඔව් දරුවෝ…”

“ඉන්න මම අම්මලට ඉක්මනට තේ ටික හදන්නම්…මදූ…අනේ මේ ටවල් එක අප්පච්චිට දීලා නාන කාමරය පොඩ්ඩක් පෙන්නන්නකෝ…”

“හරි…ඇන්ටී ඇඳුම් මාරු කර ගන්න…”

බෝඩිමේ තිබුණු පුංචි මුරුතැන්ගෙට ගිය නදීකා අම්මටත් අප්පච්චිටත් රස තේ කෝප්ප දෙකක් හැඳුවා. කිරි තේ එකක රස බලන හැම මොහොතකම නදීකාට ගම මතක් වුණා. ඉස්සර අප්පච්චි උදැල්ලත් ගෙන හේනට ගියේ අල්ලට සීනි ටිකක් ගෙන අම්මා හදා දුන් කහට කෝප්පය බිව්වාට පසුවයි. අව් කාෂ්ටකේ ඔට්ටු අල්ලමින් ජීවිතයත් එක්ක පොර බැඳපු අප්පච්චි වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්නට නදීකාට හිතුනේ අද ඊයෙක සිට නොවෙයි.

 “ලොකූ….”

“අම්මා…ඇඟපත හෝද ගත්තද…?අප්පච්චිගේ තේ එක දුන්නා. මේක බොන්න අම්මා….”

නදීකා අම්මට තේ කෝප්පය දිගු කලේ  ඇස්වල පිරුණ කඳුලු හංගගෙනමයි.

“ඇයි…ලොකු…?”

“මුකුත් නෑ අම්මා….අප්පච්චිටයි අම්මටයි මහන්සි ඇති නේද….?”

“ඇඟපත තෙමා ගත්තහම මහන්සිය අඩු වුණා ලොකූ…”

“පව්…අංකල්ට මහන්සියටම පොඩ්ඩක් නින්ද ගිහින්…කෝ…දෙන්න ඇන්ටී කෝප්පය….”

“මම හෝදන්නම් දූ….”

“අනේ. ..දෙන්න ඇන්ටී….”

”ඔන්න ලොකූ…ඔයා ආස මයිඤක්කා කොළ මැල්ලුමයි හාල්මැස්සෝ බැදුමයි වම්බටු මෝජුවයි දාලා ලොකු බත් මුලක් ගෙනාවා. තව හැලප වගේකුයි හොඳ මී පැණි බෝතලයකුයි තව ඔයා ආස කෑම ටිකකුයි ඇති…වත්තේ කෙසෙල් ඇවරි වගයකුත් ඇති…ඔය පෙට්ටියෙන් එලියෙන් තියන්න…”

“හෝව්…හෝව්…කලබල වෙන්න එපා. මම අස්කරන්නම්.වෙන මොනව නැතත් ඇන්ටීගේ බත්මුල නිසා මට හොදටම බඩගිනියි…”

“අනේ….කෙල්ලේ….”

“කැළණි පන්සල් ගිහින් ඇවිත් මහන්සියටම අම්මටයි අප්පච්චිටයි නින්ද ගිහින්. ..”

“දැන් මොකක්ද නදී  ඔයා කරන්නේ…?අදත් ඔයා වැඩට යන්නේ නැද්ද….?”

“ඒක තමයි මාත් කල්පනා කරන්නේ…හරි පාඩුවක් මෙහෙම නොයන එක….”

“මම කියන්නද…අද ඔයා යන්න….”

“එතකොට අම්මලාට කියන්නේ මොකක්ද…?”

“කොහේද ලොකූ යන්න හදන්නේ…?”

නදීකාගෙයි මදූගෙයි කතාව නතර වුණේ අම්මාගේ හඬින්. නදීකා කොළඹට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවක් කලද එයින් ලැබෙන වැටුපෙන් නංගීටත් මල්ලීටත් උගන්වා ගෙදරට සැලකිය යුතු මුදලක් යවන්න තරම් ඉතිරියක් තිබුණේ නැහැ. ඒ නිසාමයි ඇය රැකියාවෙන් පසුව වෙනත් අමතර රැකියාවක් කරන්න හිතුවේ. බෝඩිම් ජීවිතයක් ගත කරපු නදීකාට ඒ අමතර රැකියාවෙන් යම් මුදලක් ඉතිරි කරගන්න පුලුවන් වුණා. නමුත් ඒ ගැන අම්මාවත් අප්පච්චිවත් දැනගෙන හිටියේ නැහැ. ඒ රැකියාව ගැන කියන්න නදීකා මැලි වුණා.

“මොනවද ලොකූ කල්පනා කරන්නේ…?”

අම්මාගේ ඇමතුමෙන් නදීකා ගැස්සුණා.

“නැහැ අම්මේ…මුකුත් නෑ…”

“ඇයි ලොකූ බොරු කියන්නේ…?මොකක්ද ප්‍රශ්නේ…?”

“මට අද වැඩට යන්න වෙලා අම්මේ…”

“ඇයි ඔයා කිව්වේ සතියක් නිවාඩු ගත්තා කියලා…?”

“ඔව්…ඒත් හදිසි වැඩ වගයක් නිසා අද හවස යන්න වෙලා….”

“හවස….??”

මෙපමණ වෙලාවක් නිදාසිටි අප්පච්චි මේ කතාවට එකතු වන තුරු නදීකාවත් මදූවත් අප්පච්චිව දැක්කේ නැහැ.

“ඔව් අප්පච්චි…මම ඉක්මනට බයික් එකේ ගිහින් එන්නම්…”

නදීකා කකිව්වේ බිම බලාගෙනයි. “ලොකූ පුතේ …මම ඔයා කොළඹ බයිසිකල් පදිනවාට කැමති නැහැ….”

“අනේ ඇයි අප්පච්චි….?”

“මේ නගරවල මිනිස්සුන්ට මොන නීතිරීතිද පුතේ….?බස් එකේ එද්දී මම බලාගෙන.කී දෙනෙක් අස්සෙන් අස්සෙන් දාගෙන වාහන ඉස්සර කරගෙන පදිනවාද…මතකද…මුලින්ම ඔයා මගේ දිරච්ච පුස් බයිසිකලේ ඔයා ගොඩාක් පොඩියි. වැටී වැටී ඔයා ඒක පැද්දා.. ඔයා, මල්ලී, නංගී, ඉස්කෝලේ ගියේ ආවේ තනියම බයිසිකල් පැදගෙනයි  කොළඹ දරුවන්ට වඩා ගමේ දරුවෝ බයිසිකල් පදින්න සූරයෝ. මම මේ කියන්නේ පුස් බයිසිකලේ. හැබැයි පුතේ මේ කොළඹ පාරවල් උඹලගේ බයිසිකල් වලට ඔරොත්තු දෙන්නේ නෑ. …”

අප්පච්චිගේ කතාවෙන් නදීකාගේ ඇස්වලට කදුළු ආවා.

“කොම්පැනියෙන් ගෙනියන්න වාහනයක් එන්නේ නැද්ද ලොකූ….”

“මොකක්ද…”

වෙන කල්පනාවක හිටිය නදීකාට අම්මා ඇසූ දේ තේරුණේ නැහැ.

“නැහැ ඇන්ටී….ට්‍රාන්ස්පෝට් දෙන්නේ නැද්ද කියලයි අම්මා අහන්නේ….”

ඇහැක් වසා ඉඟියකින් මදූ තේරුම් කරලා දුන්නා.

“නැහැ අම්මා….”

“ලොකු පුතේ…මට ඇත්ත කියන්න…ඔයා අපිට හොරා වරදක් කරන්නේ නැහැ නේද….?”
අප්පච්චිගේ කතාවෙන් නදීකා මදූ විතරක් නෙවෙයි අම්මත් පුදුම වුණා.

“අනේ…මගේ  කෙල්ලේ….”

අම්මා නදීකාව තුරුලු කර ගත්තා .මේ අහිංසක මිනිසුන්ට තවත් බොරුවක් කරන්නට නදීකාගේ හිත ඉඩ දුන්නේ
නැහැ.

“ඇයි මහත්තයෝ එහෙම කියන්නේ..?”

“අර ඇඳ කෙලවරේ පෙට්ටියක් වගේ ලොකු බෑග් එකක් තිබුණා නෝනේ…අද බස් එකේ එද්දී පාරේ ඔය වගේ මලු එල්ල ගත්තු පිරිමි ලමයි බයිසිකල් වලින් එහාට මෙහාට ගියා. මොනවද ඒවල තිබුණේ. හරියට පොලීසියෙන් පෙන්නනවා වගෙයි ඒ දරුවෝ බයිසිකලේ පැද්දේ. පුදුම හදිස්සියක්. අනේ දරුවෝ…ඒක දැක්කට පස්සේ මගේ ඇඟ හීතල වුණා. මේ ඇදේ ඉදිද්දිත් මම කල්පනා කලේ ඒකමයි. නින්ද ගියේ නැහැ. අපිව ජීවත් කරවන්න වැරදි දේවල් විතරක් කරන්න එපා ලොකු පුතේ…මේ අත් දෙක තාම හයියයි. උඹලා තුන්දෙනාවයි අම්මවයි ජීවත් කරවන්න මට හේනක් එක්ක ඔට්ටු අල්ලන්න පුලුවන් මගේ දෙයියෝ….”

“අනේ අප්පච්චි….”

මේ අහිංසක හිතේ මොනතරම් දුකක් පැලපදියම් වෙලා ඇත්දැයි නදීකාට හිතුණා. මේ ඇත්ත කියන්නට කාලයයි

. ” අප්පච්චි…මාත් කරන්නේ ඒ රස්සාවම තමයි…”

” අනේ…මගේ…පුතේ…”

කිසිවක් නොදත් අම්මා හඬා වැටුණා.

“අනේ ඇන්ටී…කලබල වෙන්න එපා. නදී කියන දේ පොඩ්ඩක් අහන්න…”

“අම්මා…ඒක නරක රස්සාවක් නෙවෙයි. අප්පච්චි ඒ බෑග් ඇතුලේ දාගෙන අපි ගෙවල් වලට කෑම බෙදනවා…”

“මොකක්..?”

“දැන් ගොඩාක් මිනිස්සු කෑම බීම…එතකොට ඔය එක එක දේවල් ඕඩර් කරල ගෙදරට ගෙන්න ගන්නවා.ඒවා කඩවල්වලින් ගෙවල් වලට ගිහින් දෙන්නේ අපියි. ඒවට අපිට මුදලක් ලැබෙනවා. “

“එතකොට ලොකූගේ රස්සාව…?”

“උදේට මම රස්සාවට යනවා. ඒක ඉවර වෙලා හවසට මේ රස්සාවට යනවා. දැන් මට මේක හුරුයි අප්පච්චි….”

“එතකොට දරුවෝ…හරිහමන් නින්දක්…කෑමක් නැතිව…”

“දැන් මට පුරුදුයි අප්පච්චි…වෙලාවට මම කෑම කනවා…”

ඒ කන කෑම ගැන හොඳටම දැන සිටියේ නදීකාත් මදූත් විතරමයි. ඉහල පෙලේ හෝටල්වලින් ලොකු බිල් වලට ගෙවල් වලට කෑම ගෙන ගියත් නදීකා සමහර දවස්‌වලට කෑවේ ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් විතරමයි. ඒ ගැන කියල මේ අහිංසක මිනිසුන්ගේ හිත් රිදවන්න නදීකා කැමති වුණේ නැහැ. ගමේ ඉදන් කොළඹට එන්නවත් නොදැන හිටපු නදීකාට දැන් කොළඹ පාරවල් හොදට හුරුයි .අම්මාගෙන් බිව් කිරි වල බලයෙනුත් ගමේ කෑම වල ශක්තියෙනුත් ඇයට මේ අමතර රැකියාව කරගෙන යන්න හිතේ හයිය තිබුණා. මල්වැනි සියුමැලි ගැහැණුකම යටපත්කොට අම්මා, අප්පච්චි, නංගී, මල්ලී, වෙනුවෙන් කප්පරක් උසට තිබුණු යුතුකම් ඉටුකරන්න ඇයට ඕන වුණා.

“මට උඹ ගැන බයයි ලොකූ…”

“බය වෙන්න එපා අම්මා…මේක නරක රස්සාවක් නෙමෙයි. අපි කවදාහරි මේ ජීවිත වලින් ගොඩ එන්න ඕනේ. අම්මයි අප්පච්චියි අපි තුන්දෙනාගේ බඩවල් පුරවන්න කොයිතරම් මහන්සි වෙනවද…අප්පච්චිගේ අතේ කරගැට ආවේ අපි වෙනුවෙන් වෙච්චි මහන්සිය නිසයි අප්පච්චි…අපිට සපත්තු අරගෙන දීපු අප්පච්චි ‘සෙරෙප්පු නැතිව ඇවිදින එක හරි සනීපයි ලොකු පුතේ…”කියල රත්වෙච්ච පොලවේ ඇවිද්දේ සනීපයටම නෙමෙයි අප්පච්චි…කඩේ මුදලාලි ණයට සල්ලි දෙන්න බැහැ කිව්වහම තියෙන දෙයක් අපිට රත්කරල දීලා “අම්මෝ…සිරිසේන ලොකු බත් මුලක් හේනට ගෙනාවා. අද ඉස්මුරැත්තාව වගෙයි “කියල අපිට බොරු කරල අපිට හොරා අප්පච්චි ගුරුලේත්තුවෙන් ලොකු වතුර කෝප්පයක් බීලා බඩගින්නේ නිදාගත්තා මට හොදට මතකයි අප්පච්චි…. අපි එකතු වෙලා මේ ජීවිත වලින් ගොඩ එමු අප්පච්චි…බයිසිකලේ ලීසිං ගෙවල මට තව සල්ලි ටිකක් එකතු කර ගන්න මට පුලුවන් වුණා. මදූ අරක පොඩ්ඩක් ගේන්න…”

මදූ ඇතුලට ගියේ ඇස් වල කදුලු පුරෝගෙනයි.මදූ ගෙනත් දුන් බැංකු පොත නදී අම්මා අත තැබුවා.

“අම්මා…මේ අම්මලා වෙනුවෙන් මම බැංකුවේ එකතු කරපු සල්ලි.මේ කාඩ් එක ලඟ තියා ගන්න. සල්ලි ගන්න ඕන වුණාම මේ කාඩ් එකෙන් නංගීට හරි මල්ලිට හරි කියලා අරගන්න…මේක අපේ ඉඩම බේරගන්න මේ රස්සාවෙන්ම මම එකතු කරපු සල්ලි…තවත් සල්ලි ටිකක් මදි. ඒකත් දාලම අම්මට මේක දෙන්නයි හිටියේ….”

“අනේ…මගේ රත්තරනේ…”

“මම කවදාවත් වරදක් කලේ නෑ අප්පච්චි…දැන් ගමෙන් නගරයට ආපු ගොඩාක් ගැහැණු ලමයි,පිරිමි ලමයි මේ රස්සාව කරනවා. බය වෙන්න එපා අප්පච්චි…ඔයා මට සමාව දෙනවා නේද අප්පච්චි….?”

“ඔව්…මගේ රත්තරනේ…”

“මගේ හිත අද නිදහස් අප්පච්චි…”

“නදී… යන්න පරක්කු වෙනවා නේද…?”

මදූ ඇසුවේ ඇස්වල කදුළු පිසමින්.

“නැහැ මදූ…අදත් මම යන්නේ නෑ.අපි රස ෆයිඩ් රයිස් හදල රසට කෑම ටිකක් කමු. මම මාලු කඩේට ගිහින් ඉස්සෝ ටිකක් ගේන්නම්. අප්පච්ච්ත් යමු මාත් එක්ක. අප්පච්චිටත් මොනව හරි ගන්න ඕන ඇතිනේ…”

“හරි…මම හදන්න පටන් ගන්නම්. අපි අද සුපිරි හතේ හෝටල් කෑමක් කමු….”

මදූ කියද්දී අම්මා නදීගේ හිස සිම්ඹේ ආදරයෙන්….

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content