සුළි සුළඟක සුසුමක් – 26 වන කොටස

මගේ ඉල්ලීමකින් තොරව ම සංකල්ප මීදුම් දුමාරයේ ගීතයේ හඬ තැන්පතුවක් මවෙත එවා තිබුණේ ය. මුළු රාත්‍රිය පුරා ම නිදි වරමින් මම එය ශ්‍රවනය කළෙමි. මේ වගේ නින්ද බෝ දුර, මුළු ආකාශය ම දෑස් ඉදිරියේ දිස් වන රාත්‍රියක, රෝහල් කුටියක හිඳ එය අසමින් මා සිතින් සිටියේ රත්නපුරයේ මීදුම ගලන කඳු පේන මානයේ ය. නිල්වන් නිම්න අතරේ ය. සංකල්පගේ සිහින් දිළිසෙන දෑස් ඉස්මත්තේ ය.

ඒ තරම් වාර ගණනක් අසා ඉත්දී ත් ඒ හඬ එපා නො වන්නේ මන්දැයි මා දන්නේ නැත!

පසු දා උදේ අම්මා ව රෝහලෙන් නිදහස් කෙරිණ. ගෙදර ගිය පසුත් මම ඈ ළඟට ම වී සිටියෙමි. අප්පච්චි අහිමි වීමේ වේදනාව, කිසි දා පියවිය නො හැකි හිස් තැනක් ඇති කරමින් තවමත් හදවත බදා හිඳී. එහෙව් එකේ මට අම්මා ද අහිමි කර ගත නො හැකි ය. ඒ ගැන සිතත්දීත් සියොළඟ බියෙන් වෙව්ලා යයි. කුඩා දැරියක සේ, අම්මා ව අහිමි කරන්න ට එපා යයි මම දෙවියන් ගෙන් ඉල්ලා සිටියෙමි.

“මට දැං හොඳයි දරුවො. ඔයා බය වෙන්න එපා. ඊයෙ රෑ එළි වෙනකලුත් ඔයා නිදි නෑ. දැං රෙස්ට් කරන්න”

“අම්ම රත්නපුරේ යං..”

පෙර දා සිට ම නියන්නට පෙර මග බලමින් හිඳි කාරණාව මගේ මුවින් පිට වූයේ ය.

“අම්ම එහෙට වෙලා රෙස්ට් කරන එක හොඳයි. මට පුළුවන් අම්මව හොඳට බලා ගන්න”

ඕ තොමෝ මඳහසකින් මගේ හිස පිරිමැද්දා ය.

“මං ගියාම බිස්නස් බලන්නෙ කවුද..මේව අතෑරෙන්න දෙන්න බෑ උත්තරා…දවසක ඔයා මැරි කරන කෙනෙක් අතට මේව දුන්නට පස්සෙ තමයි මට රෙස්ට් කරන්න පුළුවන් වෙන්නෙ”

කාටවත් කවදාවත් කියා ගත නො හැකි පීඩනයක් මා තුල හිර වී තිබිණි. අම්මා මා වෙනුවෙන් උහුලා ගෙන ඉන්නේ ඇතැම් විට ඇයට ඔරොත්තු දෙන බරක් නො වන්නට පුළුවන.

අයියා නැවත වරක් මගේ විවාහය ගැන මතක් කළා ය. මේ කරදරයෙන් ගැලවිය යුතු යයි මට සිතිණි.

“හරි. මං මැරි කරන්නං. හැබැයි ඒ ඔයා ඔය බඳින්න කියන කෙනෙක්ව නෙවෙයි. මං තෝර ගන්න මට හොඳයි කියල හිතෙන කෙනෙක්ව. එතකං මට පාඩුවෙ ඉන්න දෙන්න අයිය”

“මෙයාගෙ හිතේ තියෙන්නෙ අර ගෙස්ට් හවුස් එකක් කරනවයි කියන හිඟන්නව බඳින්න වෙන්න ඇති”

ප්‍රියංවදා මැද්දෙන් පැන්නා ය. මගේ දෙතොලතරට නිසංසල සිනහවක් ආවේ ය.

“කාවද කියලනං මාත් තාම දන්නෑ. හැබැයි අක්ක ගෙස්ට් හවුස් එකක් කරන කෙනෙක් හිඟන්නෙක් වෙන්න බෑනෙ…නේ…”

“තමුසෙගෙ හිතේ එහෙම දෙයක් තිබුණත් ඒවනං වෙන්නෑ කියල මතක තියා ගන්නව”

අයියා අනතුරු ඇඟවීමක් කළේ ය. මම දෙතොල් තද කොට පියා ගතිමි. සංකල්ප වෙනුවෙන් ඕනෑ ම දෙයක් කළ හැකි ශක්තියක් මගේ යටි හිතට ආරෝපණය වෙමින් තිබුණා සේ ය. නමුත් ඕනෑ ම දේකට සුදසු වෙලාවක් තිබේ. මේ ඊට සුදුසු වෙලාව නොවේ.

දෙදිනක් පමණ ගත වන විට අම්මා සම්පූර්ණයෙන් යථා තත්වයට පත් වූවා ය. රත්නපුරේ දුවන පුදුම නො ඉවසිල්ලක් මා කළඹමින් තිබිණි. නමුත් අම්මා දා යන්නට බැරි කමක් ද මා පස්සට අදිමින් තිබුණේ ය.

“අම්ම යංකො මාත් එක්ක”

මම කිහිප විටක් ම කන්කෙඳිරි ගෑවෙමි. ඇය මවුවත් සිනහවක් පෑවා ය.

“මට දැං කිසි ප්‍රශ්නයක් නෑ. උත්තරා ට යන්න ඕන වගේනං යන්න. මං ගැන බය වෙන්න ඕන නෑ”

“ඒත් මට අම්ම ගැන බයයි. මට අම්මව බලා ගන්න ඕනෙ. මට අම්මගෙ ළඟින් ඉන්න ඕනෙ. මේ බිස්නස් බදාගෙන වෙහෙස වෙන්න නෙවෙයි…අම්ම දැං විවේකෙං සැනසීමෙන් ඉන්නයි ඕනෙ”

“එහෙම කරන්න පුළුවන්”

ඕ මා විනිවිද බැලුවා ය.

“ඒකට ඔයා හොඳ බෝයි කෙනෙක්ව මැරි කරන්න ඕනෙ. එයාට මේ බිස්නසුයි අපි දෙන්නවයි ඔක්කොම බලා ගන්න කියල නිදහසේ ඉන්නයි තියෙන්නෙ”

මම අම්මා ගේ ඇස් මගහැරියෙමි. වෙනදා මේ මාතෘකාවේ දී දැනෙන අවංක කම මට දැනුණේ නැත. ඒ වෙනුවට හදවත ඇතුළේ හෝ හඬ නගමින් සුළි කුණාටුවක් ද හැමුවේ ය.

“හරි ඉතිං…ඒක හෙමිහිට කරමුකො. ඔයා රත්නපුරේ ගෙදර යන්න. ඒ ගේ ඔයාගෙ නමට ලියන වැඩ ටිකත්  ඉක්මනට කරන්න කියල මං ලෝයර්ට කියන්නං. ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඔයා යන්නකො එහෙනං”

යන ගමන් මම අලුත් ඇඳුම් ටිකක් ගත්තෙමි. නීලා ට හා වර්ණදාස ට ද ඇඳුම් ගෙන, පිරිමි ඇඳුම් අංශයෙන් පිටත් ව යන්නට හිත ඉඩ දුන්නේ නැත. කමිස අතරේ ඇවිද ඇවිද අත පත ගාමින් මම පමා වීමි.

“කාටද මිස් ශර්ට්ස් බලන්නෙ…මං උදව් කරන්නං සිලෙක්ට් කර ගන්න”

ලා බාල තරුණයෙකු මවෙත සමීප වූයේ ය. කාට කියා කියන්නදැයි මට සිහි කර ගත හැකි වූයේ නැත.

“ම්..මේ…මට වැඩිය ටිකක් උස…මහතත් නැති…කෙට්ටුත් නැති…”

තරුණයා ට සිනහ ගියේ ය.

“ඔෆිස් අඳින ශර්ට්ස් ද මිස්…”

“නෑ. කැශුවල් හොඳයි”

මිස් එන්නකො”

ඔහු අලුත් පන්නයේ ඒවා යයි කියමින් කමිස විලාසිතා ගණනාවක් මට පෙන්නුවේ ය. සංකල්පට වඩාත් ලස්සනට සිටිතැයි සිතුණ කමිස දෙකක් මම තෝරා ගතිමි. නමුත් හිත ඉන් සෑහුණේ නැත. වටිනා අත් ඔරලෝසුවක් ද අගනා මුදල් පසුම්බියක් ද මගේ තේරීම් අතර විය.

“මට හොඳ ජෙන්ට්ස් පර්ෆියුම් එකක් දෙනවද..”

“මිස් ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්නං පට්ට වාසනාවන්තයි”

ඔහු මගේ අතට අඩිඩාස් විලවුන් එකක් දුන්නේ එසේ කියමිනි. මගේ මුහුණ රත් වෙනවා මට දැනිණ. මම ඉක්මනින් මුදල් ගෙවා සාප්පුවෙන් පිටත් වීමි. අර තරුණයා තව කොල්ලන් කිහිප දෙනෙකු සමගින් මදෙස බල බලා මොනවාද කියනු මට පෙනුණේ ය.

එන බවක් සංකල්ප ට නො කියා ම යන්නට මට ඕනෑ විය.

“එක්කං යන්න මං එන්නං”

දුරකතනයෙන් කතා කළ අවස්ථා කිහිපයක දී ම ඔහු කීවේ ය. මම කිසිත් කියන්නට නො ගියෙමි. ඔහු ව කොළඹටත් ගෙන්වා ගෙන ගියා යි දැන ගත හොත් අයියා පරල වනු ඇත. මට ඕනෑ වූයේ ගැටළු අවම කර ගන්නට ය. එසේ ම සංකල්ප ගේ හිත නොරිදවා කටයුතු කළ යුතු ද වූයේ ය.

රිය හයිලන්ඩ් ගෙස්ට් අසලින් යත්දී සංකල්ප ඇතුළු කොලු නඩය ගල් බැම්ම මත හිඳ සිටියහ. ඔවුන් හැම කෙනෙකු ගේ ම ඇස් රිය වෙත යොමු වී තියෙන්නට ඇත. නමුත් මා නම් දුටුවේ සංකල්ප ව පමණ ය.

ඔහු ලා නිලැති ඩෙනිම් කලිසමකට කළු පාට ටී ශර්ට් එකක් හැඳ, කළු රබර් සෙරෙප්පු දෙකක් පය ලා සිටියේ ය. මේ අතිශය සරල කොල්ලා මේ තරමට මගේ ජීවිතය මත බලපෑමක් වූයේ කෙසේ දැයි මට සිතා ගත හැකි වූයේ නැත.

මා දුටු ඔහු බැම්මෙන් බිමට පැන්නේ ය. ඔහු ගේ ඇස් මගේ ඇස් වලින් හෙලවුණේ හෝ නැත. නමුත් ඔවුන් පසු කර ගෙන රිය පෙරට ඇදුණේ ය. මගේ මුව මත, පිට නොවූ සිනහවක් තෙරපී ගෙන තිබිණි.

“අනේ…සුදු බබාව ආයෙ මෙහෙ එවන්නෙ නැති වෙයිදෝ කියලත් මං හිත හිතයි හිටියෙ”

නීලා පෙරට ඇවිත් මගේ අත් වල තිබූ බඩු බෑග් සියතට ගත්තා ය.

“ඩ්‍රයිවර්ට තේ බොන්න දීල යවන්් නීලම්ම”

කියාගෙන මම කාමරයට ගියෙමි. දිය නාගන පිටතට එත්දී රියදුරු නික්ම ගොස් තිබිණි. මම ගෙන ආ තෑගි නීලාටත් වර්ණදාසට ත් දුනිමි.

“සංකල්ප මාව කොළඹ එක්කං යන්න කරදර වුණ නිසා එයාටත් පොඩි තෑග්ගක් ගෙනාව. මං මේක දීල එන්නද නීලම්ම…”

ඇගේ දෑස් හි සතුට දෝරෙ ගැලුවේ ය. මම හෙමි හෙමිහිට හයිලන්ඩ් ගෙස්ට් දෙසට ඇදුණෙමි. කහ පාට මොරිස් මයිනර් රිය ගේට්ටුවෙන් පාරට පිවිසෙමින් තිබිණි.

“තව පොඩ්ඩෙන් මිස් වෙනව”

මම රියදුරු අසුන ළඟ පහත් වී කීවෙමි. සංකල්ප ගේ මූණේ සුහද බවක් වූයේ නැත.

“කොහෙද යන්නෙ…”

“ටවුන් එකට…කිචන් එකට ඕන කරන බඩු වගයක් ගන්න”

“මාත් එන්නං”

“නැති වුණත් කමක් නෑ”

“ඒ කියන්නෙ ආවත් කමක් නෑනෙ”

මම අනිත් පසින් ගොස් ඉදිරිපස අසුනට ගොඩ වීමි.

“තියන නපුරු පාටක්. මං ආපු නිසාද මන්දා”

ඔහු මඳ දුරක් නිහඬව රිය පැදවී ය.

“මං කිව්වනෙ එක්කං යන්න එන්නං කියල”

නිහැඬියාවෙන් පස්සේ ඔහු කතා කළේ තරමක කේන්තියකිනි. වෙනදා සේ ඒ කේන්තිය ගැන කේන්තියක් නොව මට ආදරයක් දැනිණ.

“අම්ම කිව්වනෙ ඉතිං ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න කියල”

මගේ හඬෙහි සමාව යදිනා බැගෑපත් බවක් මට ම දැනිණ. එසැනෙන් මම මගේ ඉරියව් වෙනස් කළෙමි.

“මේ…ලස්සනද බලන්න”

“මොනාද”

ඔහු නො සැලකිලිමත් බවකින් මා දිගු කර ගෙන සිටි බෑගය දෙස බැලුවේ ය.

“බලන්නකො. මං ඔයාට ගත්තෙ”

සංකල්ප තරමක් ඉදිරියෙන් රිය නතර කළේ ය. ඒ හරියේ පාර දෙපැත්ත ම රෑස්ස ගස් වලින් ගැවසී ගෙන ය. පාරට උඩින් ඒ ගස් වල අතු හා කොළ හරිත වියනක් බැඳ තිබේ. ඒ නිසා ම පාර තරමක් අඳුරු ය. ඒ වුණත් සිහිලැල් ය.

“ම්…”

බලයෙන් ම ඔහු ගේ අත ගෙන මම එය එහි තැබීමි. සංකල්ප ඊට එබී බැලුවේ ය.

“එබිල නෙවෙයි අනේ..අතට අරං බලන්නකො”

මම හුරතල් වුණෙමි. සංකල්ප යටැසින් බැලුවේ ය.

“හරි ඉතිං…රවන්නෙපා අනේ. අම්ම බලයිනෙ මං මොකටද මේ ඔයාටම එන්න කියන්නෙ කියල”

එවර ඔහු ගේ දෙතොල් අතරට දඟකාර සිනහවක් ආවේ ය.

“ඇත්තටම ඇයි ඒ…මට ම එන්න කියන්නෙ…”

සිනහව සඟවා ගෙන මම ඉවත බලා ගතිමි. සංකල්ප බෑග් එකේ වූ සියල්ල පිටතට ඇද ගත්තේ ය. ඔහු ඒ සියල්ල පරිස්සමට බලා යළිත් සීරුවට අසුරා බෑගයට දැමුවේ ය.

“මට වෙන මොනාත් ඕන නෑ උත්තරා”

ඔහු මගේ හිස් මුදුණේ අත තබා කතා කළේ ය.

“මට ඕනෙ ඔයා විතරයි”

මගේ ඇස් බිමට හැරවිණි. හිත ඇතුළේ සමනල රෑනක් සුමුදු ලෙස තටු සලමින් සිටියහ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content