නිදහස

අමිල කාමරයට ඇවිත් ඇඳ අසල තිබුන සංජනා ගේ දුරකථනය අතට ගත්තා.කීප වරක්ම වරක්ම උත්සාහ කරත් එහි රහස් අංකය වෙනස් කර තිබුණු නිසා දුරකථනය විවෘත කරගන්න අමිලට පුළුවන් වුණේ නැහැ

” සංජනා. ඔයා මේ ෆෝන් එකේ password එක මාරු කරා ද ? “

සංජනා ඇස් බාගෙට ඇරියෙ අකමැත්තෙන්. කලින් දවසෙ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා ගෙදර ආපු සංජනා දවල් වෙනකන්ම නිදාගත්තා

” ඔයාට මොකටද amila මගේ ෆෝන් එක ? “

සංජනා ඇඳේ වාඩි වුණා. ඇගේ මුහුණේ තිබුණේ කෝපාන්විත පෙනුමක්

” මට ඩොක්ටර් ඇල්දෙණියගේ නම්බර් එක ඕනේ “

” කෝ දෙන්න මම එවන්නම් “

නොරිස්සුමෙන් එහෙම කියපු සංජනා අමිලගෙ අතේ තිබුන දුරකථනය උදුරලා අරගත්තා.දුරකතනයේ රහස් අංකය මාරු කරපු හේතුව අමිල වැඩිදුර අහන්න ගියේ නැහැ

” මගේ යාළුවෙක් අලුත් බිස්නස් එකක් පටන් අරගෙන.එයාට මග් එකකට ප්‍රින්ට් කරන්න අපි දෙන්නගෙ ලස්සන ෆොටෝ එකක් ඕනෙලු “

දවල් වරුවේ අමිල සංජනාට කිව්වේ දුරකථනය දිහාම බලාගෙන ඉන්න සංජනා දිහා බලලා

” සංජනා ? “

” ඇ.. ඇයි ?”

” මම ඔයාට කතා කළා ඇහුනේ නැද්ද ?”

” අයියෝ ඇයි ? මම වැඩක් “

” හරි හරී.ඒකත් මම හොයා ගන්නම්කෝ “

සංජනා තරම් වැඩිපුර ෆේස්බුක් පාවිච්චි නොකරන නිසා අමිල ඇගේ ගිණුමට ගිහින් ඔවුන් දෙදෙනාගෙ ඡායාරූප හෙව්වා.අමිලව පුදුමයට පත් කරමින් ඔවුන් දෙදෙනාගේ එකම ඡායාරූපයක් වත් සංජනාගේ ගිණුමේ දකින්න තිබුණේ නැහැ

” කෝ ඔයාගේ profile එකේ තිබුන අපේ photos? “

” ආ.. ඒවා නෑ කියලා ඔයා දැන්ද දැක්කේ? “

සංජනා ඇහුවෙ ඒ තරම් ගානකට නොගෙන.

” ඒව තියනකොට මට වැඩිය ලයික්ස් කමෙන්ට්ස් එන්නේ නැහැ .ඒ නිසා මම ඒවා only me දැම්මා.සමහර ඒව නං ඩිලීට් කරලම දැම්මා “

” මොන විකාර කතාවක් ද ඒක ? එතකොට ඔයා කසාද බැඳලා නැහැ කියලද රටේ ලෝකෙ මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ ඔයාට ? “

” facebook profile එක කියන්නේ මගේ personal දෙයක්නේ.ඒක තියෙන්නෙ මට ඕන විදියට මිසක් ඔයාට ඕන විදියට නෙමෙයි අමිල “

සංජනා කිව්ව කතාවට අමිලට දැනුනේ වේදනාවක්.තමන් සැමියා කියලා පෙන්වන්න බැරි තරමටම තමන්ගේ තියෙන අඩුපාඩුව මොකක්ද කියලා අමිල කල්පනා කළා

” ගෑනු ඔය වගේ දේවල් කරන්නේ හංගන්න මොන හරි තියනකොට “

සිද්ධ වුණ හැම දේම අමිල ඔහුගේ හොඳම මිතුරාවුන මිලාන්ට කිව්වා.

” සංජනාට මොනවද බං මට හංගන්න තියෙන්නේ ? “

” ඒක ඉතිං දන්නෙ එයාම තමයි.මට නම් උඹට කියන්න තියෙන්නේ පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න කියලා තමයි ඉතින් “

අමිල දුරකථනය අතට අරගෙන සංජනාගේ ෆේස්බුක් ගිණුම පරික්ශා කලා.කලින් දවසක රාත්‍රියේ ඇය සහභාගි වුණ පාසල් මිතුරියගේ උපන් දින සාදයේ ඡායාරූප බොහෝමයක් සංජනා ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.උපන්දින සාදයේ පාසල් මිතුරියකගේ නිසා එයට තමන් තනිවම සහභාගී විය යුතු බව කියමින් සංජනා ගිය හැටි අමිලට මතක් උනා

” ඔයා කොහෙද යන්න හදන්නේ ?”

අමිල ගෙදර යනකොට සංජනා කොහෙ හෝ යන්න සූදානම් වෙමින් හිටියා

” යාළුවෙක් එක්ක කොෆි එකකට යනවා “

” මමත් එන්නද ? කවුද යාළුවා ? “

” ඔයාට පිස්සුද අමිල ? ඔයා කියන්නේ මම යන හැම තැනම ඔයාව අතේ එල්ලන් යන්න කියලද බැඳපු අලුත වගේ? “

” හරි එහෙනම් යාලුවා කවුද කියන්නකො ?”

” ජනිත් කියලා මගෙ ක්ලාස් මේට් කෙනෙක්. ඔයා දන්නේ නැහැ එයාව “

නැවත පැමිණෙන්නට ප්‍රමාද විය හැකි බව කියමින් සංජනා පිටත් උනා.කරන්න ඕන මොකක්ද කියලා අමිලට හිතාගන්න බැරි වුණා.පුළුවන් තරම් සන්සුන් විදිහට ඉන්නයි අමිල උත්සාහ කළේ

රෑ නමයට විතර ගෙදර ආව සංජනා ඉක්මනින් නින්දට වැටුණා.අමිල ආපහු ඇගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරනකොට හවස ගත් ඡායාරූප සංජනා එහි පළ කරලා තියෙනවා අමිල දැක්කා.ඡායාරූප වලට සම්බන්ධ කර තිබූ නම ඔස්සේ අමිල ,ජනිත් නැමති පුද්ගලයාගේ ගිණුම ද පරීක්ෂාවට ලක් කලා

” ජනිත් ප්‍රනාන්දු “

නාදුනන තරුණයාගේ ගිනුමේ පළ කර තිබූ බොහෝ කවි සහ නිසදැස් වලට සංජනා ඉතා ආදරණීය ලෙස පිළිතුරු සපයා තියෙන බව අමිලට දැකගන්න පුළුවන් වුණේ ඒ වෙලාවේයි.

” සංජනා නැගිටිනවා “

තමන් පිළිබඳවවත් සැලකිල්ලක් නොදක්වා ගෙදර ආව ගමන්ම නින්දට වැටුන සංජනාව, අමිල අවදි කලේ කෝපයෙන්

” නැගිටිනවා.මොකද්ද මේකේ තේරුම ?”

සංජනා නොරිස්සුමෙන් යුතුව නැගිට්ටා.අමිලගේ දුරකථන තිරයේ සටහන් වෙලා තිබුනේ සංජනා ජනිත්ගේ කවියකට පල කල පිළිතුරක්

” මෙච්චර ආදරෙන් කමෙන්ට්ස් දාන්න තරම් ඌත් එක්ක තියන ඇයි හොඳයිය මොකක්ද ? “

” මට ඕන කෙනෙකුට මම කමෙන්ට්ස් දානවා .ඇයි ? “

සංජනාට තවත් වචනයක් වත් කියන්න ඉඩ නොතියාම අමිලගෙන් වේගවත් කම්මුල් පහරක් වැදුනා

” මම තමුසෙගේ හස්බන්ඩ්. තමුසේ කරන කියන දේවල් දැනගන්න මටත් අයිතියක් තියෙනවා කියලා මතක තියා ගනින් “

කවදාවත් නැති විදිහට අමිල කෝප ගැන්විලා ඉන්නවා දැක්කහම සංජනාට තරමක් බය හිතුනා. පසුදින පහන් උනාට පස්සෙත් සංජනා සහ අමිල අතර එක වචනයක් වත් හුවමාරු උනේ නෑ

” මට ඩිවෝස් වෙන්න ඕන “

සංජනා කිව්වෙ අමිල ලැප්ටොප් එක දිග ඇරගෙන කාර්‍යාලයේ වැඩ කරමින් ඉන්නකොට

” මොකද්ද කිව්වෙ ? “

” මට ඩිවෝස් වෙන්න ඕනෙ “

” හහ්. හොර අහුවෙච්ච නිසාද ? “

සංජනා නිහඬව හිටියා මිසක් පිළිතුරු දුන්නේ නෑ

” ඒ කියන්නේ ඔයා වැරැද්ද පිළිගන්නවද ? “

” මට මේ ජීවිතේ හරිම කම්මැලියි අමිල.ඔයාට ඕනේ සල්ලි හම්බ කරන්න විතරයි. ඒ උනාට මට ඕනේ ලයිෆ් එක එන්ජෝයි කරන්න “

” ඒකට ඔයා කරන්න ඕනේ වෙන කෙනෙක් තෝරගන්න එකද ?”

” ඔයා හිතනව වගේ දුරදිග ගිය සම්බන්ධයක් මායි ජනිතුයි අතර නැහැ. ඒත් ඉතින් ඒ කාලේ ඔයා මං ගැන හොයලා බැලුවා වගේ එයාත් බලනවා.එච්චරයි “

අමිලගේ මුහුණේ ඇඳුණේ සමච්චල් සහගත සිනහවක්

” කසාද බැඳපු දෙන්නෙක්ට ඕනම දෙයක් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ.සමහර වෙලාවට අනිත් කෙනාට සමහර දේවල් මග ඇරෙන්න පුළුවන්.එහෙම උනහම අනිත් කෙනා ඒක පෙන්නලා දෙන්න ඕනේ .එහෙම නොකර ඒ අඩුව පිරිමහ ගන්න තව කෙනෙක් හොයාගෙන යනවා කියන්නේ එතැනින් එහාට ඒ කසාදෙන් තියෙන වැඩේ මොකක්ද ? “

ඒ වචන ටික කියලා ඉවර වෙනකොට අමිලගේ මුහුණේ දකින්න තිබුනේ හිස් හැඟීමක්

” මම හිතාගෙන හිටියේ ඔයා තාමත් මම ඉස්සර ආදරේ කරපු පුංචි කෙල්ල කියලා. ඒත් මට වැරදිලා “

අමිල ගේ කටහඬ බොඳ වීගෙන යනවා කියලා සංජනාට දැනුනා

” ඔයාගේ සතුට තියෙන්නේ එතැන නම් ඔයා එතනට යන්න.මම ඔයාව බලෙන් නවත්තගෙන ඉන්න නැහැ “

හිතට දැනුන කෝපය නිසා දික්කසාදය ගැන කතා කලාට සංජනාට ඇත්තටම දික්කසාද වෙන්න ඕන කමක් තිබුනේ නැහැ

” ආදරේ කියන්නේ බලෙන් අල්ලගෙන ඉන්න එකට නෙමෙයි සංජනා.නිදහසේ යන්න දෙන එකට “

තමන් රැක ගන්න ඕන ඇත්තම ආදරය තියෙන්නෙ කොතනද කියලා සංජනාට වැටහුනේ අමිල ඒ වචන ටික කියලා ඉවර උනාට පස්සෙයි

More Stories

Don't Miss


Latest Articles