පනස්වන දිගහැරුම ,
ශ්‍රී ලාංකික අවිවාහක රූ රැජිණ තරගය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු ඇතිව මා දින කිහිපයක්ම පෙර පුහුණුවීම් සඳහා සහභාගි වුණෙමි.ඒ අතරතුරදී එම තරගයට සම්බන්ධ තනතුරක් දැරූ අයෙකුගෙන් අනවශ්‍ය දුරකථන ඇමතුම් මට ලැබෙන්නට විය. රාත්‍රී ආහාර සඳහා පිටතට යෑමට ද තරගය ගැන කතා බහ කිරීමට යැයි කියමින් තනිව මුණගැසීමට ද මට යෝජනා කිහිපයක්ම ආ විට මා තරමක් බියට පත් වුණෙමි . එවැනි යෝජනා මඟ හරින්නේ කෙසේ දැයි මට සිතා ගත නොහැකි වූ අතර යෝජනාව ගෙන එන්නේ තරඟයට අදාල තනතුරක් දරන කෙනෙක් බැවින් එය මග හැර තරගයට සහභාගි වන්නේ කෙසේදැයි මා කල්පනා කලෙමි.ඉන්පසුව මා නැවතත් තරඟයට නොඑන බවට තීරණයක් ගත් අතර ඒ පිළිබඳව මා මගේ තාත්තාවද දැනුවත් කළෙමි.
සිදුවූ සිදුවීම් පිළිබඳව කිසිවෙකුටත් නොපැවසූ මා පෙර පුහුණුවීම් වලට සහභාගී වීම නවතා දැමුවෙමි.මගේ තාත්තා පැවසූයේ කිසිම දිනක කැළලක් ඇති නොකර ගත් මගේ නමට හානියක් නොවන ලෙස එයින් ඉවත් වී මගේ සුපුරුදු වැඩ කටයුතු වල නිරත වන ලෙසයි. මන්ද අදාළ පුද්ගලයා එම තරගයට අයත් තනතුරක් දරන අයෙකු නිසා ගැටලු ඇති කර ගැනීම එතරම් හොඳ නොවීමයි.
පසුදින මම දීර්ඝ ගුවන් ගමන් වාරයක රාජකාරිය සඳහා පිටත් ව ගියෙමි.මා තරගයට සහභාගී නොවන බව සංවිධායකයන් දැනුවත් නොකළ අතර ඒ පිළිබඳව විමසීමට සංවිධායක මණ්ඩලයෙන් මගේ නිවසට දුරකථන ඇමතුම් දී තිබුණි.එවිට තාත්තා පවසා තිබුණේ තරගයට සහභාගී වීමට මගේ කිසිදු කැමැත්තක් නොමැති නිසා නැවත මා පෙර පුහුණුවීම් වලට සහභාගී නොවන බවයි .මා හට ලැබුණු අවස්ථාව අත් නොහරින ලෙසද, ශ්‍රී ලාංකික අවිවාහක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට මට අවස්ථාව හිමි විය හැකි බැවින් කෙසේ හෝ මා තරඟයට සහභාගී කරවන ලෙසද ඔවුන් නැවත නැවතත් තාත්තාට ඇවිටිලි කර ඇත.නමුත් නැවතත් එම තරගයට සහභාගිවීම සඳහා මා තුල කිසිදු කැමැත්තක් ඇති වූයේ නැත.
එකල තාත්තා ගේ හොඳම මිතුරෙකු ගේ පුතෙකු වූ ” ජයසිරි අයියා ” රූපවාහිනී සංස්ථාවේ සේවය කළ අතර , රෝහණ වීරසිංහ මහතාගේ ” මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ” ගීතයේ රූප රචනාව සඳහා මාව සහභාගී කරගත හැකිවේදැයි ඔහු තාත්තා ගෙන් විමසා තිබුණි.එය ගීත සඳහා රූප රචනා කිරීම ආරම්භ කළ කාලය වූ අතර තාත්තා එයට අකමැත්තක් නොපෙන්වීය.ඒ වගේම ඒ සඳහා සහභාගී වීමට මා කැමති නම් කිසිදු ගැටළුවක් නැතැයිද තාත්තා පැවසීය.මා හට එය අලුත් අත්දැකීමක් වූ අතර එම රූප රචනාවේ මගේ පෙම්වතා ලෙස රඟපෑවේ රාජිත රොද්‍රිගු ය.එකල ඉතා ප්‍රසිද්ධ චරිතයක් වූ ඔහු රූප රචනා කිහිපයකම පෙනී සිට ඇත .දැන් එම රූප රචනාව නරඹන විට ඉතා ලැජ්ජාවෙන් යුතුව එහි රඟපාන මා දකින විට මට සිනහ පහළ වෙයි.ඇත්ත වශයෙන්ම ඒ අතීතය ඉතා සුන්දරය.
පසු කලෙක මා සහභාගි වූ සාදයකදී පිරිසක් පැමිණ වෙළඳ දැන්වීමක් සඳහා සහභාගි වීමට මා කැමති දැයි ඇසීය.එය ලංකාවේ හොඳම වෙළඳ දැන්වීම් සමාගමක් වූ අතර ඉතා ප්‍රසිද්ධ Debutante නැමැති සුවඳ විලවුන් වර්ගයේ වෙළඳ දැන්වීමක් සඳහා මගේ සහභාගිත්වය ඔවුන් අපේක්ෂා කළහ.පේරාදෙණිය ප්‍රදේශයේ දුම්රියක් තුළ සිදු වන ආදර කතාවක සිදුවීම් පෙළක් ඇසුරෙන් එම වෙළඳ දැන්වීම නිර්මාණය වී තිබුණි.එකළ එම වෙළඳ දැන්වීම ඉතා ප්‍රසිද්ධියට පත් විය.එය නැරඹීමට මා තුළ ආසාවක් පවතින නමුත් එහි පිටපතක් දැනට මා සතුව නැත.මන්ද වර්තමානයේ මෙන් ඒවා ගබඩා කර තබා ගැනීමට එකල පහසුකම් නොතිබීමයි .එම වෙළෙඳ දැන්වීමෙන් පසුව මා තරමක් ප්‍රසිද්ධියට පත්වූ අතර ඇතැමුන් මා ” Debutante girl ” නමින්ද හඳුවන්නට විය.එවිට මට දැනුනේ ඉතාම නිහතමානී ආඩම්බරයකි.මා emirates ආයතනයට සම්බන්ධ වූ පසුව තවත් වෙළෙඳ දැන්වීම් වලට සහ ටෙලි නාට්‍ය වලට මා සම්බන්ධ කර ගැනීමේ අපේක්ෂාවෙන් කිහිපදෙනෙකු පැමිණි බව තාත්තා පැවසීය.මා ඩුබායිහී පදිංචියට ගොස් සිටි නිසා එම සියලු අවස්ථාවන් මට මග හැරිණි.ඒ වන විට මා ලංකාවේ සිටියේ නම් එම ක්ෂේත්රයෙන් මට ඉදිරියට යාමට අවස්ථාවක් තිබුණේ යැයි වරෙක මට සිතෙයි.
මතු සම්බන්දයි