ළපෙති මල්- 39

“ඔයා ඔය ඇත්ත අවුරුදු ගාණක් හෙව්වනෙ හිමා.දැන් ඔයාට ඒ ඇත්ත දරා ගන්න වෙනව.සත්‍යය ප්‍රබන්ධයක් තරම් ලස්සන නැත්තේ ඒකයි.ඔයා හිතන්න ඇත්තේ ඔයාගෙ අම්මා අසරණ වුණු කෙනෙක් කියලනෙ.ඒත් මෙතන තියෙන්නෙ ඒ කතාව නෙවෙයි කියල පිළිගන්න එක ඔයාට අමාරු වෙයි..”

රහල් සම්පූර්ණ කතාව හිමංගිට පහදා දීමෙන් අනතුරුව එසේ පැවසුවේ ය.
අම්මා දකින්නට ආසාවෙන් සිටි හිමංගිට අම්මා කියන්නේ ඇය වඩා අප්‍රිය කරන ගැහැනියක බව දැන ගැනීම කිසිසේත්ම ප්‍රියජනක දෙයක් වූයේ නැත.නමුත් ඇය එය දරා ගත්තා ය.

“මමත් හිමාලි වගේද කියල හිතන හැඟීමෙන් මට ගැලවිල්ලක් නෑ සර්..”

ඇය රහල්ගේ උරහිසට හිස තබා ගත්තේ එසේ කියන අතර ය.රහල් ඒ කතාව ඉවසීමෙන් අසා සිටියා ය.

“මට කැම්පස් එකේදී මන්දිව මුණ ගැහුණු එක තනිකරම අහම්බයක්.එයා වචන දහයක් කිව්වොත් අටකම හිටියේ සර්.මට සර් ගැන ආදරේ හිතුණෙ ඉන්පස්සෙ.ඒ ආදරේ මෙච්චර දුරකට අරන් එන්න මටත් හිමාලිට වගේ සිතුවිලි තිබ්බද කියල මට හිතෙනව සර්.ඒක මට මහ පීඩාවක්..”

රහල් හිමංගිව තුරුලට ගත්තේ ඇය පවසන අපහැදිලි කතාව හොඳින් වටහා ගනිමිනි.

“ඔයා හිමාලිට සමාන නෑ හිමා.එයාට ඕනෑ වුණේ සල්ලි උතුරන ජීවිතයක්.ආදරේ උතුරන සුනෙත්ගෙන් මිදිලා එයා හැංගුණේ ඒ නිසා.ඔයාවත් හදාගෙන සුනෙත්ව මැරි කළානම් හිමාලිට ඔය ඉන්න තරම් සල්ලි උතුරන ජීවිතයක් ලැබෙන්නෑ.ඒත් ඔයා මුණ ගැහෙන ගොඩක් අයගෙන් හෙව්වේ ආදරේ.ඔයා ඒ ආදරේ හොයා ගත්තා කියල ඔයාට විශ්වාස නැත්නම් මම ඕනෑ වෙලාවක ලෑස්ති ඔයාට නිදහස දෙන්න.ඒක රණ්ඩුවෙලා මරාගෙන කරගන්න ඕනෑ දෙයක් නෙවෙයි..”

රහල් එසේ කියද්දී හිමංගි ඉකි බිඳ හඬන්නට ගත්තා ය.ආදරය නොදැන මුළු ජීවිතය පුරා උස්මහත් වූ ඇයට ආදරය ගැන ඉගැන්වූයේ රහල් ය.ඔහු ඇගේ තාත්තාගේ පාසල් මිතුරා වීම හිමංගිට ගැටළුවක් නොවේ.ඇය දැන් ජීවත් වන්නේ ආදරය උතුරන ලෝකයක ය.

“ඔයාට මේ ලෝකේ ඉන්න එකම නෑයො අපි විතරක් කියන හැඟීම දැන් අවශ්‍ය නෑනෙ.හැමදේකදිම සුනෙත් ඔයා එක්ක ඉඳියි.මන්දාරාට ඉරිසියා කරන්න ඔයාට ආයෙත් ඕනෑ වෙන්නේ නෑ හිමා.මන්දාරාගෙ තාත්තට වඩා ඔයාගෙ තාත්තා බොහොම අපූරු මනුස්සයෙක් කියල ඉගෙන ගන්න ඔයාට ඕනෑවටත් වඩා කල් තියනවා..”

රහල් එසේ පැවසුවේ හිමංගිගේ හිස මෘදුව පිරිමදින අතර ය.අම්මාගේ ආදරය කෙදිනකවත් නොලැබෙන බව හිමංගි දැන් හොඳින් දන්නී ය.කිරියම්මා ඇයට අම්මා කෙනෙකු වූයේ නැත.නමුත් ඇය කෙරෙහි ආදරයෙන් පසුවන අම්මා කෙනෙකු මේ අහස යට ජීවත් වන බව සිහිවී හිමංගි සැනසුණා ය.

“මට අම්මා බලන්න යන්න ඕන සර්..”

ඇය රහල්ගේ උණුසුමෙන් මිදුණේ එසේ කියන අතර ය.රහල් ඈ වෙත උපේක්ෂා සහගත බැල්මක් හෙළුවේ ය.

“මං එක්කන් යන්නම්.ඒත් හිමාලි ඔයාව ආදරෙන් පිළිගනියි කියල අපිට බලාපොරොත්තු වෙන්න බෑ හිමා.”

හිමංගි ඒ වදන් අසා හුන්නේ සිනාවකිනි.

“මට මේ ලෝකෙ අම්මා කියන්න පුලුවන් එක්කෙනයි ඉන්නෙ සර්.ඒ සිරිමා මැඩම් විතරයි.මට මේ පැය කීපෙට වෙච්ච දේවල් එච්චර දරා ගන්න ලේසි නෑ.අම්මා ගාවට වෙලා ඉන්න තිබ්බ නම් හොඳයි..”

හිමංගිගේ ඒ ඉල්ලීම රහල් දෑතම ඔසවා පිළි ගත්තේ ය.මන්දාරාත් හිමංගිත් සූදානම් වන තුරු බරාඳයේ සක්මන් කරමින් සිටි රහල් වෙත මන්දාරා ආවේ ඒ මොහොතේ ය.

“තාත්තා, අපිට හිමාව බාප්ප ගාවට යවන්න බැරිද? ටික කාලෙකට?”

මන්දාරාගේ දෑස් තුළ උතුරන්නේ භීතිය ය.රහල් දියණියගේ උරහිස වටා අත යවා ඇය ඔහු සමීපයට ගත්තේ ය.

“ඇයි පුතා?”

රහල් එසේ ඇසුවේ මන්දාරාව සාමාන්‍ය තත්ත්වයට ගන්නට ය.මන්දාරා තාත්තා දෙස බැලුවේ නොරිස්සුමෙනි.

“අම්ම එයා එක්ක තරහින් ඉන්නවට මං බයේ හිටිය.ඒත් තාත්තේ දැන් හිමාලිත් එයාගෙ ජීවිතේ ලොකුම ලොකු රහසක් එළි වුණාට බයෙන් ඉන්නෙ.මට තියන බය බිනරි ටීචට වුණු දේවල් එක්ක.තමන්ගෙ රහස් දන්න මිනිස්සුන්ගෙන් එළෝ එළෝ පළි ගන්න අම්මා දෙපාරක් හිතන් නෑ..”

රහල් හෙළුවේ සාමකාමී සිනාවකි.විපුල සහ ලංකාගේ සම්බන්ධය ඇසින් දුටුවේ කුඩා මන්දාරා ය.ඈ එවගක් බිනරිට නොපැවසුවානම් ලංකා තව බොහෝ කලක් තමන් රවටන බව රහල් දනියි.බිනරි ජීවිතයෙන් වන්දි ගෙවූයේ එ රහස හන්දා ය.තමන්ගේ වැරදි නිසාම හමුවන පිළිමලුන්ට ජීවිතය අත් හැර දමන තරමට මානසික කරදර දීම ලංකාගේ සාමාන්‍ය ස්වභාවය වග රහල් නොදන්නවා නොවේ.

“පුතා, අම්මා දැන ගන්න ඕනෑ හැමදාම එකම දේවල් කරන්න බෑ කියල.බිනරි අම්මට බයේ ජීවිතේ අතෑරියා.ඒත් හැමදාම එකම විදියට දේවල් වෙන්නෙ නැහැ.හිමංගි කොහෙවත් යන්න ඕන නෑ.එයාගෙ පවුල අපි.අපි එයාව බලා ගන්න ඕන..”

රහල් කියද්දී එය අසත්‍යයක් නොවන බව මන්දාරා ද වටහා ගත්තා ය.මේ පවුල විසිරී යා යුතු නොවේ.විවාහයෙන් පසු විදෙස්ගත වන්නට සිහින මැවුවාට දැන් මන්දාරාට ද උවමනා තමන්ගේ පවුල සමඟ රැඳෙන්නට ය.

“හිමා..සුනෙත්ට කෝල් කරන්න.අද අම්මලගෙ ගෙදර ඩිනර් එකක් කියලා එන්න කියන්න.”

සූදානම් වී පැමිණි හිමංගිට රහල් දුරකථනය දුන්නේ එසේ කියන අතර ය.එහි සුනෙත්ගේ අංකයට ඇමතුමක් ගත් හිමංගි ඔහු අමතන අන්දම සිතා බැලුවා ය. සියල්ල දැන ගත් පසු ඇයට තවමත් සුනෙත් මුණ ගැසුණේ නැත.

“රහල්..”

අනෙක්පස හඬ අවදි විය.ඒ තාත්තා ය.බොහෝ කලක් මඟ හැරුණු තාත්තා ය.

“තාත්තා, වැඩක් නැත්නම් සිරිමා මැඩම්ලගෙ ගෙදර එනවද? අපි එහෙ ඩිනර් එකට යනව..”

දියණිය තාත්තාගෙන් ඉල්ලූවා ය.බොහෝ කාලයක් තාත්තා කෙනෙකු නැති ජීවිතයක් ගෙවූ ඈ දැන් ලෝකයම අත් මිටට ගත්තාක් මෙන් සුන්දර සිනාවකින් රහල් දෙස බැලුවේ ඉනික්බිතිව ය.

“දූ ඉල්ලුවම තාත්තාට කිසිම දේකට බෑ කියන්න බෑනෙ පුතේ..මං තව ටිකකින් පිටත් වෙන්නම්.ඔයාට මොනවද ගේන්න ඕන..”

තාත්තා දියණිය විමසුවා ය.

“ආදරේ…”

හිමංගි එසේ කියමින් ඇමතුම විසන්ධි කළේ සොම්නසිනි.කිරියම්මාගේ ඇනුම් බැනුම් අසමින් බඩගින්නේ රැය පහන් කරද්දී අඳුරට වී අම්මාටත් තාත්තාටත් හඬ ගැසූ කුඩා දැරියක ඇගේ දෑස් මත්තේ හිනැහෙන්නට වූවා ය.

“ඔයාට සතුටුද” හිමංගි ඒ දැරියගේ දිලිසෙන නෙත් දෙස බලමින් ඇසුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles