අසූ හතරවන දිගහැරුම ,
කතරගම අපට අයත් එම බිම් කොටස සුද්ධ පවිත්‍ර කරගත් පසුව මුලින්ම අප ,අපට නවාතැන් ගැනීම සඳහා කාමරයක් ඉදිකිරීමට සැලසුම් කළේ නංගිගේ සැමියා වූ වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන චින්තකගේ ද සහය ඇතිව ය.ඒ වගේම බුදුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ද ස්ථානයක් අප සූදානම් කළෙමු.නාන කාමරය සහ වැසිකිළිය පිහිටා තිබුණේ කාමරයට මදක් නුදුරින් පිටත ස්ථානයකය.අප නාන කාමරය වහලයක් රහිතව සකස් කළේ හොඳින් හිරු එළිය වැටෙන ආකාරයට සහ ඉහල බැලූ විට අහස දිස්වන ආකාරයටය.
මිනිස් වාසස්ථාන වලින් තොර ඝන කැලයක් වූ එම ප්‍රදේශයට විදුලිය තිබුණේ නැත.ගොඩක් දුරට එම ප්‍රදේශය දක්නට ලැබුණේ හේන් සහ කුඹුරු පමණය.එම නිසා අප සිතුවේ සෑහෙන කාලයක් යන තුරු එම ප්‍රදේශයට විදුලිය නොලැබේය කියාය.කෙසේ හෝ අපගේ බිම් ප්‍රදේශය තුළ අප එහා මෙහා යන ස්ථානවලට එළිය ලබා ගැනීම සඳහා අප පන්දම් සකස් කළෙමු.ඉන්පසුව ජෙනරේටරයක් රැගෙන විත් අප එය උපයෝගී කරගෙන අප නවාතැනට විදුලිය ලබා ගත්තෙමු.රාත්‍රී කාලයේ දී කාමරයට පමණක් විදුලි බල්බ වල ආලෝකය තිබෙද්දී , මිදුල සහ ඒ අවට ප්‍රදේශ වල පන්දම් දල්වා තිබීම අතිශය සුන්දර දසුනක් විය .මා අදටත් එහි ගිය විට අන් අයගෙන් මිදී හුදෙකලා වූ ස්ථානයකට ගොස් අහස දෙස බලා සිටිමි.සිය දහස් ගණන් තරු , කඩා වැටෙන තරු සහ මන්දාකිණි දෙස බලා සිටීම මා එතරම් ම ප්‍රිය කරන දෙයකි.රාත්‍රී කාලයට අපගේ නවාතැනට වැඩසිටි කන්ද දිස්වන අතර එහි තැනින් තැන දැල්වෙන විදුලි පහන් වල දසුනද ඉතා සුන්දරය.ප්‍රදේශය ඉතා නිහඬ වූ විට කතරගම දේවාලයේ ඝණ්ඨාර හඬ ද ඇසෙන අතර වර්ෂාව අධික කාලවලදී මැණික් ගඟේ වතුර ගලා යන හඬ ද අපට ඇසේ.
අප ඉඩම අසලින් සිතුල්පව්වට යන මාර්ගය විහිදී තිබූ බැවින් සිතුල්පව්ව වෙත ධාවනය කරන බස් බස් රථ එකක් දෙකක් හැරුණු කොට වෙනත් කිසිදු වාහනයක් එම මාර්ගයෙන් ගමන් ගත්තේ නැත.අපට හිතවත් ” නන්දේ අයියා ” දිනපතාම වාගෙ හවස් කාලයේදි අප නවාතැනට පැමිණ අප සමඟ කතාබහ කරමින් සිටියි.නිධන් හොරුන් පිළිබඳව කතන්දර , මී කැඩීම සඳහා කැළය තුළට ගිය විට අත්දුටු සිදුවීම් සහ වන සතුන් පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව රසවත් සිදුවීම් රාශියක් ඔහු අප හා බෙදා හදා ගනියි.ඒ වගේම ඒ ප්‍රදේශය ආශ්‍රිතව රාජකාරියේ නියුතුව සිටි වනජීවි කාර්යාලයේ අඩවි නිලධාරීන් අප හා බොහෝ හිතවත් විය.ඔවුන් පිටතට යන සමහර අවස්ථා වලදී අපගේ නවාතැනට පැමිණ අප හා කතා බස් කරමින් සිටින අතර ඇතැම් දිනවල අප ඔවුන් වෙනුවෙන් රාත්‍රී ආහාරය ද පිළිගැන්වූයෙමු.සතුන් දඩයම් කිරීමට පැමිණෙන දඩයම්කරුවන්ව හසු කරගන්නා ආකාරය සහ කැළය ආශ්‍රිත අත්දැකීම් ඔවුන් අපට විස්තර කරයි.සමහර දිනවලදී ඔවුන් ගගෙන් අල්ලා ගන්නා ලද ඉස්සන් අප වෙත ගෙන එයි.ඉතා විශාල එම ඉස්සන්ගෙන් එක් ආහාරයට ගත හොත් කුස පිරෙන තරම් ය.තාවකාලිකව තනාගත් මඩුවක සකසා ගත් මුළුතැන්ගෙයි ආහාර පිසීම ද රසවත් අත්දැකීමක් විය.කැලේ ආශ්‍රිතව ගතකරන එම හෝරාවන් සමහර අවස්ථාවල අපට දැනුනේ කැලය ආශ්‍රිතව කඳවුරක ගත කරන ලෙසය.වරක් වනජීවී නිලධාරීන් කිහිප දෙනකු පැමිණ අප සමග කතාබහ කරමින් සිටින අතරතුර දී අපට සහායට සිටි දෙමළ ජාතික අයෙකු , ගසක් උඩ සුදු නයෙකු සිටිනු දැක බියවී පැමිණියේය.අප සමග සිටි වන ජීවී නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම සුදු නයා අල්ලාගෙන ගොස් කැලයට මුදා හැරි ආකාරය මට තවමත් මතකය.
රාත්‍රී කාලයේදී විවිධ සතුන්ගේ හඬවල් අපට ඇසෙන අතර සමහර දිනයන් වලදී උදෑසනට මිදුලෙහි වලසුන්ගේ අඩිපාරවල් තිබෙනු දක්නට ලැබුණි.නමුත් අප හට එතරම් බියක් දැනුණේ නැත.එම පරිසරයට අප ඉතා ආදරය කළ බැවින් ඒවා අපට රසවත් අත්දැකීම් විය.අප කතරගමට වී කාලය ගත කරමින් කරන්නේ මොනවාදැයි අසන බොහෝ දෙනා අපගේ සමේ පැහැයෙන් පවා වෙනස් වී ඇති බව පවසයි.නමුත් එම පරිසරයේ ජීවත් වන විට දැනෙන නිදහස සහ නිස්කලංක බව ජීවිතයේ වරක් හෝ අත්විඳ තිබිය යුතුමය.එකල අප සිටි ප්‍රදේශයට දුරකථන සංඥා නොතිබුණු බැවින් නිවසට දුරකථන ඇමතුම් ගැනීම සඳහා අපට නගරයට යෑමට සිදුවිය.අපගේ දරුවන් දෙදෙනාව මාගේ දෙමාපියන් සහ හෂාන්ගේ දෙමව්පියන් විසින් රැක බලා ගත් නිසා ඔවුන්වද කතරගම නවාතැනට කැටුව ඒමට හැකි ලෙස නවාතැන සකස් කර ගැනීම අපගේ අරමුණ විය.ඉඳහිට අවස්ථාවන් වලදී අප දරුවන්ව කැටුව එන අතර එසේ එන විට අප රාත්‍රිය ගත කරන්නේ ඔස්කා අයියාගේ නිවසේ ය.එම දිනයන් වලදී පවා අප දරුවන්ව කැටුව ගියේ ඉතා බියෙන් ය.එයට හේතුව වූයේ ඒ ප්‍රදේශය තුළ ඉතා අධික වශයෙන් සර්පයන් ගැවසීම ය.වන සත්වයන්ටත් වඩා අප බිය වූයේ සර්පයන්ට ය.අප නවාතැනෙහි මිදුලට මුවන් වැනි විවිධ සත්ත්ව සත්වයන් පැමිණෙන අතර දරුවන් ඔවුන් දැකීමට ඉතා ප්‍රිය කළහ.අදටත් එම නවාතැනට යන අපගේ දරුවන් දින ගණනාවක් එහි ගත කිරීමට ඉතා ප්‍රිය කරති.හෂාන් සහ මම මෙන්ම ඔවුන් ද සොබාදහම සමඟ දැඩිව බැඳි සිටින දරුවන් ය.
මතු සම්බන්දයි