මතක දිගහැරුම 91 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ එක්වන දිගහැරුම ,

කතරගම සිට කොළඹ බලා පැමිණි අප වනජීවි නිලධාරියා උපදෙස් දුන් පරිදි කැබලිත්ත ගමනට සූදානම් වූයෙමු.අප සමග එම ගමනට ත්‍රස්තවාදී ක්‍රියාන්විත වල යෙදුනු විශේෂ බළකායේ සේවය කළ, අපට හිතවත් හමුදා නිලධාරියෙක් සහ ඔහුගේ පවුලේ අයද ,නන්දෙ අයියා ,ඔස්කා අයියා ඇතුළු අපගේ හිතවතුන් කිහිප දෙනෙකුද ඇතුළු පිරිසක් අප සමග එම ගමනට සූදානම් වූහ.එහෙම හමුදා නිලධාරියාගේ බිරිඳ ඒ වන විට ගැබිනියක් වූ අතර දරු ප්‍රසූතිය සඳහා ඇයට තිබුණේ මාස කිහිපයක් පමණි.දුෂ්කර වූ එම ගමනට සහභාගී නොවන ලෙස බොහෝ දෙනා පැවසුවද තමන්ට කිසිදු කරදරයක් නොවන බවට ඇය තුළ විශාල විශ්වාසයක් සහ භක්තියක් විය .ඇය ඇතුලු සියලු දෙනා තුළම කැබලිත්ත පූජා භූමිය පිළිබඳව සහ එහි ඇති හාස්කම් පිළිබඳව වූයේ විශාල විශ්වාසයකි.එම ගමනට පූජා භාණ්ඩ විශාල තොගයක් අවශ්‍ය වූ අතර ඒ සියල්ල සූදානම් කර ගන්නා අතරතුර දී අප මස් මාළු අනුභව කිරීමෙන් තොර වී ගමන සඳහා පේ වුනෙමු.

අප සමග මගේ තාත්තා ද ගමනට එක්වීමට සූදානම් වූයේ විශේෂ කාරණාවක් හේතු කොටගෙනය.මගෙ නංගි විවාහ වී අවුරුදු කිහිපයක් ගතවන තුරු ඇය බලාපොරොත්තු වූ පරිදි මව් පදවිය ලැබීමට ඇයට හැකි වූයේ නැත.විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් සිදුකර අවසානයේ දී වෛද්‍යවරුන් පවසා තිබුණේ වෛද්‍ය විද්‍යාවට අනුව කෘතිම ක්‍රමයකට දරුවෙකු පිළිසිඳගැනීම කළ හැකි බවයි.එම නිසා ඇය වෙනුවෙන් නොපෙනෙන බලවේග වල ආශිර්වාද ලබා ගැනීම සඳහා තාත්තාව කැටුව යාමට මා තීරණය කළෙමි.මන්ද, එවැනි දුෂ්කර ගමනකට ඒ මොහොතේ නංගිව කැටුව යාම එතරම් සුදුසු නැතැයි මට සිතුනි. නංගි වෙනුවෙන් එම ගමන යාමට ආගම දහමට නැඹුරු වූ පුද්ගලයෙකු ලෙස මගේ තාත්තා නොපැකිලව එකඟ විය.

අවශ්‍ය සියලු දේවල් සූදානම් කරගත් අප සියලු දෙනාම ගමනට පෙර දින කතරගම පැමිණ අපගේ නවාතැනෙහි නතර වූයෙමු.එදින කිරිවෙහෙර වැඳපුදා ගත් අප කතරගම දේවාලයට ගොස් කිසිදු කරදරයකින් නොවී කැබලිත්ත ගමන සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් වනජීවි නිලධාරි තුමා උපදෙස් දුන් පරිදි අදාල වතාවත් සිදු කළෙමු.

පසුදින උදෑසනින්ම අප ගමන ආරම්භ කළෙමු.අප සමග එම ගමනට, අදාල වතාවත් හරි ආකාරයෙන් සිදු කිරීම සඳහා කපු මහතෙකුද එක් විය.වයස්ගත පුද්ගලයකු වූ ඔහු සිරියාවන්ත පෙනුමැති පුද්ගලයෙකි. අපගේ නවාතැනෙහි සිට අදාල ස්ථානයට තිබුනේ කිලෝමීටර කුඩා ප්‍රමාණයක් පමණි.නමුත් එම ස්ථානයට නිසි මාර්ගයක් නොවීම සහ ගමන ඉතා දුෂ්කර බැවින් එයට ලඟා වීමට යම් කාලයක් ගත වේ.අප සමග මග පෙන්වන්නන් දෙදෙනෙකුද ගමනට සහභාගි වූ අතර අවශ්‍ය වුවහොත් භාවිතා කිරීමට ඔවුන් සතුව අලි වෙඩිද විය.දුෂ්කර නමුත් එම ගමන අතිශය සුන්දර එකක් වූයේ අළුයම් කාලයේ මග දෙපස සිටින සතුන් ද නරඹමින් කැලය තුළ ගමන් කිරීම අමුතුම ආකාරයේ අත්දැකීමක් වූ නිසාය.කොටියා කුඹුර නම් වූ ප්‍රදේශයෙන් ගමන් කළ අපට මුලින්ම කුඩා ගම්මානයක් හමුවිය.අප තේ පානය සඳහා ගමන මඳකට නතර කළේ එම ගම්මානයෙහි වූ තේ කඩයක ය.

කැලය තුළට ඇතුළු වූ විට අප සමග ගමනට එක්වූ වනජීවී නිලධාරීන් දෙදෙනකු වාහනයෙන් බැස කොළ අතු කිහිපයක් ගසක එල්ලූහ.එය ,කැලය තුලට ගමන් කරන අය විසින් සිදුකරන චාරිත්‍රයක් බව ඔවුන් සඳහන් කළහ.එය පාර සොයා ගැනීම සඳහාත් සිදුකරන බව එකල මා අසා තිබුණි .කෙසේ හෝ වනජීවී නිලධාරීන් දෙදෙනා සිදු කළ ආකාරයට අප ද කොළ අතු ගෙන ගස් වල එල්ලූවෙමු .කැලය තුළට යන විට සමහර ස්ථානවල තැනිතලා ද , තවත් සමහර ස්ථානවල කඳු ද තිබුණු අතර ගැඹුරු ආරවල් පසුකර යාමට ද අපට සිදු වුණි.ඇතැම් ආරවල් වල ජීප් රථ වල රෝද එරෙන නිසා අනෙක් අය ඉහල සිට ලණු දමා අනෙක් රථ වලින් ආහාර තුල ඇති ජීප් රථය පිටතට ගත යුතු විය .සමහර ස්ථානවල ගස් වැටී තිබුණු අතර ඒවායේ අතු කපා පාර ශුද්ධ පවිත්‍ර කරගෙන අපගේ ගමන යා යුතු විණි.

එසේ යන අතරතුර කුඩා කැබලිත්ත නම් වූ දේවාලයක් හමු වේ.එහි ද පූජාවක් සිදු කළ අප නැවතත් අපගේ ගමන ආරම්භ කළෙමු.කැලය තුළ ඇති එම දේවාල වල කපු මහත්වරුන් හෝ දේවාල පාර අය කිසිවෙකුත් නැත.කුඩා කැබලිත්තට පසුව අප පසු කළ යුතු වූයේ කුඹුක්කන් ඔය ය.වර්ෂා කාලය ආරම්භ වීමට ආසන්න කාලයේදී අප ගමන යොදා ගත් නිසා කුඹුක්කන් ඔයේ ජලය පැවතියේ ඉතාම සාමාන්‍ය මට්ටමක ය.මා මගේ ජීවිතයේ දුටු විශාලම වලසාව දුටුවේ ඒ ආසන්නයේ වූ තැනිතලාවක දීය.ඊට අමතරව අලි ඇතුන් ඇතුළු විවිධ වර්ගයේ සත්ත්වයන් ගමන අතරතුර දී අපට හමුවිය.එක් ස්ථානයකදී ගමන නතර කළ අප දහවල් ආහාරය ගැනීමට සූදානම් වූ අතර අප සමඟ ගමනට සහභාගි වූ කෝකියා අප වෙනුවෙන් එළවළු වර්ග සමඟ බත් පිස දුන්නේය. ආහාර ගෙන අවසන් වූ පසුව අප නැවතත් ගමන ආරම්භ කළෙමු.කෙසේ හෝ විවිධ බාධක පසු කරමින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ කැබලිත්ත පුද බිමට අප ළඟා වන විට අඳුර වැටීමට ආසන්න වී තිබුණි.

කැබලිත්ත පූජා භූමිය පිහිටා තිබුණේ කුඹුක්කන් ඔයෙන් එගොඩ ය.අපිට නවාතැන් ගැනීමට නියමිතව තිබුණේ කුඹුක්කන් ඔයෙන් මෙගොඩ ය.එම ස්ථානයේ අප වාහන නතර කළ පසුව අප සමඟ ගමනට සම්බන්ධ වූවන් කිහිප දෙනා සහ අපගේ හිතවතුන් කිහිප දෙනා එක්ව අපට නවාතැන් ගැනීම සඳහා ඉක්මනින් කූඩාරම් සකස් කළහ.ඒ ආසන්නයේ කැලය තුළට යන විට බෝධීන් වහන්සේ නමක් විය.ඉතා ඓතිහාසික බෝධියක් වූ එහි හාස්කම් තිබෙන බව සහ යම් බලවේගයක් තිබෙන බව එම ස්ථානයට ඇතුළු වන විටම ශරීරයට දැනේ.එම බෝධීන් වහන්සේ වන්දනා කළ අප පහන් පත්තු කළෙමු.එම ස්ථානවල ද ස්වාමීන් වහන්සේලා හෝ කපු මහත්වරුන් නොමැති අතර මට සිතෙන ආකාරයට ඒවා පෙර රජ දිනවල දහස් සංඛ්‍යාත බැතිමතුන් වන්දනාමාන කළ සහ රහතන් වහන්සේලා වැඩ සිටි පූජාභූමි විය හැකිය.

ඒ අතරතුර නන්දෙ අයියා සහ ඔස්කා අයියා ඇතුළු තවත් පිරිමි ළමුන් කිහිප දෙනෙක් ආහාර පිසින ස්ථානය සූදානම් කළහ.අප නවාතැන් ගත් එම ස්ථානයේ අඩිය තබන විට එරෙන තරමටම ,කාලයක් පුරාවට ගස් වල කොළ වැටි තිබුනි.

” මහත්තුරු ටික තැන සූදානම් කරනකන් අනිත් අය නාලා කරලා ,දේවාල බිමට ගිහින් අතුපතු ගාලා එමු “

කපු මහතා එසේ පැවසූ පසුව අප සියලු දෙනාම කුඹුක්කන් ඔයට බැස නා ගත්තෙමු.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles