නිලැසි -04

“මේ කොල්ලා හොඳ ටැලන්ට් එකක් තියන කොල්ලෙක් නේද?”

නිම්න එසේ විමසුවේ ඔහුගේ කටයුතු වලට බාධා නොකර ඔහු වෙත සිසිල් බීමක් රැගෙන ආ රශ්මිගෙනි.නිම්න සමහර කාරණා ඔහුගේම ක්‍රමයකට ගැටුම් රහිතව විසඳන බව දන්නා රශ්ම් කැළඹී ගියා ය.

එහි හුන්නේ එරන්ද ය!

“මේ අර යූ ටියුබ් එකේ ෆේමස් බෝයි නේද? ඔයා අදද දැක්කේ?” ඇය කැළඹීම සහිතවම විමසුවා ය.නිලැසි එරන්දට ප්‍රේම කරන බව පැවසූ දිනයේවත් ඇය මෙතරම් කම්පනය නොවූවා ය.

“මට මේ අපේ අක්කා පෙන්නුවේ.මට පුදුම මෙච්චර කල් මේ කොල්ලව මිස් වුණේ ඇයි කියල”

අක්කාට නම් බිඳක්වත් ඔහු මඟ හැරී නැති බව කියන්නට තරම් රශ්මිට සිතේ.නමුත් ඈ කිසිත් නොකියා මුල්ම වතාවට නරඹන අන්දමක උනන්දුවකින් එරන්දගේ ගැයුම අසා හුන්නා ය.

“අපේ නංගිට සින්දුවක් හදනවනෙ බබා.මම හිතුවේ මේ කොල්ලව ඒ ඩුවට් එකට ගන්න..”

දිගැසි ද මේ අසම්මත කතාව දන්නා බව රශ්මි හොඳින් දන්නී ය.දෙනෑනාවරු ඒ රහස රකින්නේ නිලැසි සහ එරන්දට ආශිර්වාද කරන්නට සිතා නොවේ.නිම්න හෝ රාජේන්ද්‍ර වික්‍රමාරච්චි මේ පුවත දැන ගත් විට කිපෙන අන්දම අනුමාන කරන්නටවත් අසීරු හන්දා ය.ඔවුන් ඒ රහස එසේ රකිද්දී නිලැසි එරන්දව තම සහෝදරයාට හඳුන්වා දීම ගැන රශ්මිට කෝපයක් ඇති විය.

“ඔය අලුත් කොල්ලො දැම්මට ෆේමස් වෙයිද නිම්න.දිගැසිට හිට් කැරැක්ටර් එකක් එක්ක සෝන්ග් එක කරන්න කියන්නකො..”

එසේ කී රශ්මි ඇගේ සිත තුළ පැවති සැකය පිටතට දැමුවා ය.

“ඔය එරන්ද කියන බෝයි නිලැසි අක්කගෙ යාලුවෙක්ද?”

නිම්න එයට පිළිතුරු දුන්නේ දුරකථනයට ඇස අලවාගෙන ය.නමුත් ඔහුගේ ස්වරයකින් පවා ඔහු තේරුම් ගන්නා රශ්මිට නිම්න පවසන්නේ සැබෑවක් බව වැටහිණ.

“අක්කා දන්න ළමයෙක්ලු.ලොකු යාළුකමක් නම් නෑ වගේ.ඒ වුණාට කොල්ලා දක්ෂයි.අපි චාන්ස් එකක් දීලා බලමු..”

අවස්ථාව ලබා දීම යහපතක් වන්නේ වෙනත් අරමුණු නැති තරුණයෙකුට බව රශ්මි සිතුවා ය.නමුත් මේ වික්‍රමාරච්චි නිවසේ සාමය ද සතුට ද බිඳී යන ක්‍රියාවක් නොවේදැයි රශ්මි සිතුවේ ළතැවිල්ලෙනි.

“අපිට කිසිම කරදරයක් නැතුව ෆීල්ඩ් එකට එන්න තාත්තා හේතුවක් නොවුණේ නෑනෙ රශ්මි.දක්ෂකම නැතුව පැවැත්මක් නෑ තමයි.ඒත් තාත්තගේ පුතා කියන එකත් හේතුවක්.ඒ වුණාට අපිට පුලුවන් දක්ෂ කොල්ලන්ට අත දෙන්න.ඒක අපි අතින් වෙන්නත් ඕන..”

නිම්නට ඇත්තේ කාරුණික හදවතක් සහ මිත්‍රශීලි පැවැත්මක් බව රශ්මි හොඳින් දන්නී ය.දැන් ඔහු මේ නවකයාට දෝත පුදා උපකාර කරන්නට සැරසේ.නමුත් එරන්ද හිඳින්නේ වික්‍රමාරච්චි පවුලට විශාල වරදක් කරමින් බව නිම්න නොදනියි.

“අර එරන්ද කියන මනුස්සයා එක්ක ඔයාට ඩුවට් එකක් කරවන්න යන්නේ..”

කේලාම් කීම වැනි පහත් දෑ කරන්නේම නැති රශ්මිට ඒ ආරංචිය දිගැසිට නොදී හිඳින්නට නොහැකි විණ.

“අක්කා?”

දිගැසි වහා කෝපයට පත් වූවා ය.නිලැසි විසින් නිම්නට එරන්දව හඳුන්වා දී ඇතැයි රශ්මි හෙළි කළේ කලකිරීමෙනි.ප්‍රේමයට සීමා මායිම් නැති බව සැබෑවකි.නමුත් රැවටීම සහ ප්‍රේමය කිසිදිනක සමපාත නොවන බව ඈ සිතුවා ය.ඒ මොහොතේ දිගැසි ද සිතමින් සිටියේ ඒ කාරණාව ය.

“අක්කා මේ කරන වැඩේ හරිම කැතයි කියලා ඔයාට හිතෙන් නැද්ද රශී..”

දිගැසි ඇසුවේ සුසුමකින් හදවත නිදහස් කරගන්නා අතර ය.

“අපේ අම්මා මට නිතරම කියන්නේ මිනිස්සු ජජ් කරන්න එපා කියලා දිගැසි.හැමෝටම හැමදේකටම හේතුවක් තියනව කියලා.අඟහිඟයක් නැති ජීවිතයක් තිබ්බට,තිසරු අයියා ආදරේ කරාට අක්කටත් මොකක්ම හරි හිස්කමක් ඇති කියලා මට හිතෙනවා.ඒත් එයාලා මැරි කළෙත් හුඟාක් කල් ආදරේ කරලා නේද? ඒ කාලෙදි එයාට ඒවා තේරුම් ගන්න තිබුණා..මං ආස නෑ අක්කව ජජ් කරන්න.ඒත් මට හිතෙන්නෙම එයා වැරදි..”

වඩා සන්සුන් සහ යහපත් තරුණියක වන රශ්මි එසේ කීවාට දිගැසිට තමන්ගේ සහෝදරිය ගැන එවැනි අනුකම්පාවක හෝ නොතිබිණ.

“හිස්කමක් හරි මොකක් හරි නම් එයා ඔය සෙල්ලම නටන්න ඕන තිසරු අයියාගෙන් අයින් වෙලා නෙවෙයිද? මම ඒක එයාට කීවම එයා කියන්නෙ ආදරේ කියන්නෙ අයිති කරගන්නෙක නෙවෙයි කියලා..”

නිලැසි දැන් එවැනි කතා කියන බව රශ්මි ද දැන සිටියා ය.

“අනේ මන්දා දිගැසි.ආදරේ කියලා ගොඩක් වෙලාවට වෙන්නේ ගෑනු රැවටෙන එක.අක්කත් රැවටෙයි කියල මට බයයි..”

දිගැසි රශ්මි දෙස බැලුවේ සෝපහාසය පිරි නෙතකිනි.

“ඕක අපි අපේ වාසියට කියන කතාවක්නෙ රශී.ගෑනු කියන්නෙ රැවටිලිකාරියො වෙන්නත් පුලුවන් කොට්ටාසයක්.රැවටිලා දුක් විඳින ගෑනු වගේම රවට්ටලා දුක් දෙන ගෑනුත් ඕන තරම් ඉන්නව.හැබැයි අන්තිමට රැවටුණේ තමන් කියලා කෑගහන්නත් ලෑස්ති වෙනවා.ගෑනු පිරිමි කියල එකක් නෑ.අපි මිනිස්සු.සේරටම කලින් මනුස්සකමට අවංක වෙන්න ඕන..”

නිලැසි නොදැන සිටියාට ඈ පාවිච්චි වෙමින් හිඳිනා බව දිගැසිට නොදැනුණා නොවේ.ගෘහස්ථ හිංසනය හෝ රැවටීම් බහුල විවාහ ජීවිතයක් ගෙවූවානම් අක්කාගේ නිදහස වෙනුවෙන් පෙරට එන්නට දිගැසි පසු නොබසින්නී ය.නමුත් කිසිම හිරිහැරයක් ගැහැටක් නැති ජීවිතයකට අනියම් ප්‍රේමයක් පටලා ගන්නට අක්කා සිතූ කාරණාව දිගැසිට තවමත් සැකසංකා ඇති කරන්නී ය.

“අනියම් ප්‍රේමෙ? ආදරේට සම්මත අසම්මත කියලා වචන නෑ.ආදරේ කියන්නෙ ආදරේට.එච්චරයි.”

එරන්ද ගැන වාදයක පැටලුණු මොහොතක නිලැසි තම නැගණියට එසේ දොස් තැබුවා ය.දිගැසි ඒවා සිහි කරමින් සිතිවිල්ලට වැටෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles