“ඔයාගේ සින්දුවක් ඕන නිම්නට යවන්න සුදු මැණික..”
තරින්ද්‍යා ඔහු වෙනුවෙන් ගීයක් ගයා නොඑවන තැන එරන්ද යළි යළිත් බැගෑපත් වූයේ ය.නමුත් තරින්ද්‍යාට මේවා මහත් විසුළු උපදවන දෑ ය.
“ඇයි නිම්නට? නිම්න වික්රමාරච්චිට?”
තරින්ද්‍යා ඇසී ය.
නිලැසි වික්‍රමාරච්චි සමඟ එක් වී තමන් ලියූ ගීයක් ගයන්නට සහය ගායිකාවක් අවශ්‍ය බවත් එහි සංගීත අධ්‍යක්ෂණය නිම්න වික්රමාරච්චිට බාර දුන් බවත් එරන්ද පැවසී ය.
“අපි ලස්සන විෂුවල් එකක් කරමු.වියදම් කරන්නෙ නිලැසි.එයාගේ කෝටිපති හස්බන්ඩ්ගේ සල්ලි.ඔයාටයි මටයි ඕනතරම් අපි ඒ සල්ලි වියදම් කරමු..”
මොහු කුමක් හෝ ජුගුප්සාජනක සෙල්ලමකට සැරසෙන බව තරින්ද්‍යාට දැනේ.සමාජය ගවේෂණයට කැමති ඈ මොහු ෆේස්බුක් ගිණුමෙන් අවහිර නොකරන්නට සිතුවා ය.ඔහු සැරසෙන්නේ අමුතු ක්‍රීඩාවකට ය.එය ගවේෂණය කළ යුතුම ය.
“ඔයා ඔය පොඩි කෙල්ලෙක් මට පෙන්න පෙන්නා මොකටද එරන්ද ලෑස්ති වෙන්නේ..”
මෝටර් රථයට නැග ගත් මොහොතේ සිටම තරින්ද්‍යා ගයා පටිගත කළ ගී වාදනය කරන එරන්දගෙන් නිලැසි ඇසුවේ තදිනි.නමුත් එරන්ද තද හඬකට කැළඹෙන්නෙකු නොවේ.
“ඔයාගේ නංගි බබා එක්ක සින්දුවක් කරන්න මගේ කැමැත්තක් නෑ.හැබැයි මං නිම්නගෙ මියුසික් වලට කැමතියි.මං ඒ හින්දා නිම්නව මුණ ගැහෙන්න යනව.ගිහිල්ලා මගෙ සින්දුවකට මිනිහා ලවා මියුසික් කර ගන්නවා..තරින්ද්යාත් එක්ක සින්ග් කරනව.ඒක ලිව්වෙ ඔයා..”
නිලැසි ඒ වචන අසා සිටියේ කෝපයෙන් වෙව්ලමිනි.ඔහු ඒ ගීතය ලියූ දා පැවසුවේ ඒ නිලැසි සහ ඔහු ගයන ගීයක් බව ය.එය ගයන්නට හොඳම දිනයක් පැමිණෙනු ඇතැයිද ඔහු කී අන්දම නිලැසිට මතක ය.
“ඔයා කැමති සින්දුවක් හදලා මියුසික් දාගන්න.දාගෙන ඔය නංගි බබා එක්ක කියා ගන්න.මං ලියපු සින්දුවවත් මගේ මල්ලිගෙ මියුසික්වත් ඔයාට ඕන නෑ..”
නිලැසි කෝපයෙන් රත් පැහැ වන මුහුණ ටිෂූ කඩදාසියකින් පිසලන අතර පැවසුවා ය.කෝපය කඳුළු වේදැයි ඇයට බියක් ඉපදිණ.තරින්ද්‍යා ගැන කතා කරද්දී එරන්දගේ මුහුණ ප්‍රේමණීය වර්ණයකින් පැහැපත් වේ.ඇයට ඒ පැහැය ඉසිලිය නොහැකි ය.
“ඔයා ඒ ගර්ල්ට පිස්සු වැටිලා නේද ඉන්නෙ?”
නිලැසි සෘජුව විමසුවා ය.
“පිස්සු වැටෙන ලස්සනක්නෙ ළමයො ඒකිට තියෙන්නේ..”
එරන්ද කිසිම පැකිලීමකින් තොරව පවසයි.ඔහු දෑස නුරාවෙන් මත්ව ඇති බව නිලැසිට හැඟෙයි.නමුත් ඒ ඈ වෙනුවෙන් නොවේ.අර කුඩා කෙල්ල වෙනුවෙනි.
“බෝයි කෙනෙක් එහෙම නැති පොඩි කෙල්ලක්නෙ.ඔයාටත් මැරේජ් එකක් ගැන හිතන්න හිතිලා ඇති කියලා මට තේරෙනව එරන්ද. මිසිස් මොරවක වෙච්ච මාත් එක්ක ඔයාට ගමනක් නෑනෙ..”
නිලැසි වඩා හෘද සංවේදි හඬකින් තෙපළූයේ එරන්ද මෙල්ල කරන්නට සිතමිනි.තමා විවාහක ගැහැනියක බව පවසා ඔහුගේ සංවේදී නිලයට බලපෑම් කර අර යුවතියගෙන් ඔහු මුදා ගන්නට ඇයට කපටි නුවණක් හට ගත්තේ ය.
එහෙත් එරන්ද ඇයට පාලනය කළ හැකි මට්ටමේ මිනිසෙකු නොවේ.
“මේකිට කොල්ලෙක් ඉන්නව.මට ජීවිතේ ප්‍රථම පිවිතුරු ප්‍රේමෙ පුදන ගෑනු මට ඕනෑ නෑ නිලැසි.මට ඕන ජීවිතේ විඳින ගෑනු.සැහැල්ලුවෙන් පාවෙන ගෑනු.මාව අයිති කරගන්න නොහිතා මාත් එක්ක ඉන්න මොහොත අයිති කරගන්න ගෑනු..”
එරන්දගේ ප්‍රේමය බෙදා ගන්නට නිලැසිට ඇති වූයේ ලෝබකමකි.ඈ කෝපාවිෂ්ඨ දෙනෙතකින් රළු බැල්මක් ඔහුට දුන්නා ය.
“මගේ සින්දුව ඔයාට කියන්න බෑ.මං මේ දැන්ම හොඳ ගායකයෙකුට ඕක දෙනව.ඔයාට ෆයිට් කරන්න බැරි තරමෙ දක්ෂයෙක්ට.කසුන් අයියට, රිද්මට කාටහරි මං ඕක දෙනවා..මේ දැන් දීලා තමයි මං ගෙදර යන්නෙ..”
මුහුණ පුරා ගැවසී ගත් රැවුල පිරිමදිමින් එරන්ද හිනැහුණේ ය.කෝපාවිෂ්ඨ ගැහැනියක කියන්නේ සරාගය උතුරන්නියක බව ඔහුට සිතිණ.
“ඔයා ඕන මනුස්සයෙක් එක්ක මියුසික් කරගෙන ඔය හොටු කෙල්ල එක්ක සින්දු කියා ගන්න.මගෙ මල්ලිට වඩා දක්ෂ මිනිස්සු ඉන්නවනෙ.ඉතින් කර ගන්න..”
දෑසින් කඳුළු කඩා හැලෙද්දී දින ගණනක් මඟ බැලූ හමුව හැරදා යන්නට නිලැසි හිත දැඩි කර ගත්තා ය.මෝටර් රථයට පැමිණ සුක්කානමේ හිස ගසාගත් ඇගෙන් තරින්ද්‍යාට ඊර්ෂ්‍යාවෙන් හට ගත් කඳුළු වාන් දමමින් පිට වන්නට විය.
“ප්‍රේමය කවදාවත්ම තර්ක කරන්නේ නෑ. ප්‍රේමය තුළ විවාද නෑ ඒකට හේතුව ප්‍රේමය ඇතුළේ කිසිම ආක්‍රමණයක් නෑ.ප්‍රේමය ඉමිහිරි කතා කවි ගීත මුමුණනවා. හොඳින් ඇහුම්කන් දෙන ගමන් බලන්න. ගස් වැල් මහමුහුද කඳු ගංගා පවා ප්‍රේමයෙන් කියලා දැන ගන්න පුලුවන්. ප්‍රේමය ඒ වගේ දෙයක්.හැබැයි ගැටලුව ඔයා කොහොම කෙනෙක් ද කියලා”
කෙටි පණිවිඩයක් ආවේ ඒ මොහොතේ ය.දාර්ශනික වදන් කටපාඩමින් කියන එරන්දගේ සුසුමක පවා ඇත්තේ ප්‍රේමය පමණක් බව නිලැසි ඇදහුවා ය.නමුත් මේ මොහොතේ ඈ දරා ගත නොහැකි තරමේ කෝපයකින් පිරී ගොස් අවසන් ය.
“ඕෂෝත් අරන් මකබෑ වෙනව තමුසෙ..”
ඇය එසේ ලියා යැවුවා ය.
“ආදරේ කරන කටකින් ඔහොම කියන්න බෑ බෝනික්කි.ඔයාගේ කසාද පුරුසයට දාන සෙල්ලම් මට දාන්න එපා..”
අනතුරුව එසේ පණිවිඩයක් පැමිණියේ ය.ඔහු මේ කරන්නේ තර්ජනයක්දැයි නිලැසි සිතුවා ය.
“ෆොටෝස්,වීඩියෝස්,මං ආදරෙන් ලියල එවපුවා තිසරුට පෙන්නනව කියන බාල තර්ජනේ ද ඔය කරන්නේ?”
නිලැසි පණිවිඩ අහකට දමා එරන්දට ඇමතුමක් ගත්තා ය.අවන්හලේ සංවෘත අවකාශයේ ඔහු හිඳින අන්දම ඇයට පෙනෙයි.නිස්කලංකව පුටුවකට බර වී කෝපි කෝප්පය තොල ගාන ඔහු හිනැහෙන්නේ වශී වන අන්දමකින් බව ඇය සිතුවා ය.
“ඒවා හරි ග්‍රාමීය හැසිරීම් නේද මගෙ නිල් මැණිකේ.මං ඒ වගේ විකාර වලට කාලේ නාස්තිකරන් නෑ.මාත් එක්ක එල්ලෙන ඕනෑ ගෑනියෙක්ට මගේ රාජධානියේ දොර වැහෙනව.එච්චරයි..”
නිලැසි උමතුවකින් මෙන් ඔහු දෙස බලා සිටියා ය.මේ ප්‍රේමය වෑහෙන මිනිසා නැති ජීවිතයක් ගැන සිතන්නට දැන් ඇගේ කැමැත්තක් නැත.ඔහු නොමැතිව හුස්මක් හෝ නොවැටෙන වග ඈ සිතුවා ය.ඈ නැවත අවන්හල තුළට පිවිසියේ එනිසා ය.එරන්ද තොල් අතර සිනාවක් පිපෙන්නට හැර බලා සිටියේ ය.