නිලැසි -17

“මම හිතුණොත් ආපහු ගෙදර යනව.”

නිලැසි එසේ පවසද්දී එරන්ද ඈ දෙස බැලුවේ විමතියෙනි.උදෑසන සිටම තරින්ද්‍යාට යැවූ එකම කෙටි පණිවිඩයකටවත් ඈ ප්‍රතිචාර නොදැක්වීම ගැන කෝපයෙන් සිටි එරන්දට මේ කතාව නැවත කෝපය ඇවිස්සීමක් විණ.

“ගිහින්?”

ඔහු ඇසුවේ ඒ කෝපී ස්වරයෙනි.නිලැසි දුක්බර දෑසකින් ඔහු දෙස බැලී ය.

“තිසරුට පණ්ඩිත කතා කියන්න ගිහින් දැන් බයෙන් ජීවත් වෙන්න වෙලා.පිස්සුද නිලැසි ඔයාට.මහ ලොකු කතා කීවට ඔයාලා ගමේ ගොඩේ ගෑනුන්ටත් අන්තයි.හැඟීම් වලට තමයි තැන දෙන්නෙ.මොළෙන් හිතන්න දන් නෑ කිසිම දෙයක්..”

සැනසීම වෙනුවට එරන්ද දොස් කීම තෝරා ගනිද්දී නිලැසිගේ දෙනෙත රත් පැහැ ගැනිණ.ඈ දෑසට උනන කඳුළු කම්මුල් දිග ගලා යන්නට ඉඩ දුන්නා ය.නමුත් එරන්ද ඈ සනසන්නට අසලකටවත් නොආවේ ය.

“ඔයා මුණ ගැහුණට පස්සෙ මං සෑහෙන්න වෙනස් එරන්ද.මං දැන් ගෙදර ගියත් අම්මා තාත්තා එක්කත් ලොකුවට ගනුදෙනුවක් නෑ.ඉස්සර මං තාත්තා එක්ක මියුසික් ගැන කියව කියවා කොච්චර වෙලා ඉන්නවද? දැන් ඒ මොකුත් නෑ.නංගිත් එක්ක කතා කරන්න මට ඉස්සර සෑහෙන්න දේවල් තිබ්බා.රශ්මි කන්න ආසයි කියපු එකක්වත් මං තාම හැදුවෙ නෑ..මල්ලි මාත් එක්ක තරහත් වෙලා..”

නිලැසි කුඩා දැරියක සේ දුක කියන්නට ගත්තා ය.ගැහැනුන් සිටින්නේ ප්‍රේමණීය වදන් මුමුණන්නටත් සරාගීව කොඳුරන්නටත් පමණක් බව සිතන එරන්දට ඒ කඳුළු ගැන වගක් නොවී ය.ප්‍රේමය යැයි කියන්නේ මේ මොහොතට පමණක් බවත් එක්ව ජීවත් වෙමින් බැඳීම් වල පැටලීම මහා කරදරයක් බවත් සිතන ඔහුට හඬමින් ප්‍රේමය යදින ගැහැනියක උවමනා වූයේ නැත.

“මට ඕන වුණේ නිදහසේ ජීවත් වෙන්න.නිදහසේ ආදරේ කරන්න.මගේ ජීවිතේට ඔයා ඕනෑද නැද්ද කියල තවපාරක් හිතන්න වෙනව නිලැසි.මොකද මෙහෙම නාහෙන් අඬන මිනිස්සු මට ඇත්තටම හරියන්නෙ නෑ..”

එරන්ද නිලැසිට සමු දුන්නේ එසේ කියමිනි.ඔහු හා නිදහසේ වසන්නට නිදහස් නවාතැනක් සොයා ගත් නිලැසිට දැන් එතැන ආගන්තුක තැනකි.එරන්ද තමන් මුණ ගැසෙනවාට වඩා ප්‍රතික්ෂේප කරමින් හිඳින බව ඇයට වැටහෙමින් තිබිණ.ඔහු කෙළවරක් නැති ප්‍රේම සල්ලාප කළ අතීත දවස් සිහි වෙද්දී හදවත රිදුම් දෙන බව නිලැසිට දැනිණ.නමුත් දැන් ඔහු එවැනි දෑ නොපවසන තරම් ය.ඔහු ඇගේ ඉක්මන් තීරණ සහ පැමිණිලි කිරීම් ගැන බැන වදිනවා පමණි.

නිලැසි එදින ඇගේ නිවසට නොගියා ය.ඇය මහ ගෙදරට පැමිණියේ බරැති හදවතිනි.සේවිකාව පමණක් හුන් නිවසේ ඇගේ කාමරයට රිංගා ගත් නිලැසි බොහෝ වෙලාවක් හඬා වැළපෙන්නට වූවා ය.ගෘහ සේවිකාව වූ කමලා නිලැසිට උවමනා මොනවාදැයි අසන්නට කිහිපවතාවක් ම කාමරයේ දොරකඩට පැමිණිය ද නිලැසිගේ සිහින් ඉකි බිඳුම ඇසෙද්දි එතැන නොරැඳී යන්නට ගියා ය.
වේලාසන දේශන අවසන් කළ දිගැසි නිවසට ආවේ ඒ මොහොතේ ය.

“ඇයි කමලා?අක්ක ආවද?”

නිලැසිගේ කාමරය අසල හොර ගල් අහුලන කමලා දිගැසිගේ හඬට ගැස්සී ගියා ය.ඈ දෙතොල් මත ඇඟිල්ලක් තබා නිශ්ශබ්ද වන්නට දිගැසිට සිහි කළේ ඉන්පසුව ය.

“හනේ මන්දා පුංචි බේබි.ලොකු බේබි ගෙට ආවෙම මූණ නාලු කරගෙන.දැන් පැයකටත් වඩා ඇඬිල්ල.මොරවක නෝනා එක්ක රණ්ඩුවක්වත් අල්ලල ආවනම් රෙද්දක් පෙරෙද්දක් ඔතන් එන්නෙපැයි.එහෙම මොකුත් ගෙනාවෙත් නෑ.වාහනෙත් නෙවෙයි ආවේනම් හැබැයි.”

කමලා ඈ දුටු සහ ඇසෙන සියල්ල දිගැසිගේ කනේ තබන්නට ක්‍රියා කළා ය.දිගැසි සුසුමක් හෙළා නිවස හාත්පස දෑස් යැවුවා ය.

“කෝ අම්මා?’

රසාදරී පිටතට ගොස් මඳ වෙලාවක් බව කමලා හෙළි කළා ය.අම්මා නිවසේ නැති වීම ගැන දිගැසිට දැනුණේ සැනසීමකි.ඇය සාලයේ පුටුවකට වැටුණේ අක්කා ගැන උපන් කලකිරීම හද වෙළා ගනිද්දී ය.තිසරු ඇගේ සහ එරන්දගේ සම්බන්ධය ගැන දැන ගෙනදැයි දිගැසිට සැකයක් හට ගත් නමුත් එය එසේ වී නම් නිලැසිට හඬන්නට කාරණාවක් නැතැයි සිතුවා ය.

“දොස්තරල ළඟට ගිහින් තේරුමක් නෑ නම් පුංචි බේබි අපේ ගමේ කට්ටඬියෙක්වත් එක්කන් එමු.”

කමලා තේ කෝප්පයක් රැගෙන ආවේ එසේ කියන අතර ය.අක්කාව රශ්මිගේ අම්මාට බාර කරන්නට සිතමින් සිටි දිගැසිට ඒ කතාවේ තේරුම නොවැටහිණ.ඒ බව තේරුම් ගත් කමලා කතාවේ ඉතිරි අඩ සම්පූර්ණ කළා ය.

“සුදු නෝනාට බබෙක් ලැබෙන්න ආව නිසා ලොකු බේබිට පොඩි ඉරිසියාවකුත් ඇති බේබි.එහෙම නැති වෙන්න බෑ ගෑනු වුණහම.මොරවක නෝනයි තිසරු මහත්තයයි උනත් මොකුත් නොකියනව වෙන්නනම් බෑ..”

කමලා එසේ කියන්නේ කම්පිත හඬකිනි.විවාහක ගැහැනියකට ඇති විය හැකි එකම ගැටළුව දරුවෙකු ප්‍රමාද වීම බව සිතන කමලාගේ අහිංසක ලෝකයත් කිසිම ගැටළුවක් නැති ජීවිතයකට එරන්දව ඈඳාගෙන කම්පිතව හිඳින අක්කාත් ගැන දිගැසි නැවත නැවත සිතන්නට වූවා ය.

“අක්කට දොඩම් එකක් හදන්න කමලා.මං ගිහින් දෙන්නම්..”

දිගැසි නැගී සිටියේ මේ ගැටළුව විසඳිය හැකි තැනක් ගැන සිතමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles