සැරිසරන්නී -18

රවීන් ට නීත්‍යානුකූල දික්කසාදය ලැබී තිබිණි. එදා දවල් ඔහු මට දුරකතනයෙන් කතා කළේ ය.

“ඔයා බිසී ද..”

“නෑ. ඇයි අයියෙ…”

“මට කතා කරන්න ඕනෙ. මට ටිකක් අවුල් සනූ”

“කියන්න ඕන දෙයක්. මට අහං ඉන්න පුළුවන්. ඕනනං මං ඔයාව මීට් වෙන්න එන්නං”

ඊට එක්වර පිළිතුරක් ලැබුණේ නැත. නමුත් සුසුමක හඬ නම් පාව ආවේ ය. මඳ පමාවකින් ඒ යෝජනාවට එකඟ වූ ඔහු මල්සර ෆ්ලෝරා අසලට පැමිණියේ ය. රවීන් ගේ මුහුණේ වූයේ බිඳී විසිරී ගිය හිතක විලාශයකි. පිරිමියෙකු වූවාට, සිය කලින් බිරිඳ ගේ ඉල්ලීම ට එකඟ ව ඇය වෙත දික්කසාදය ලබා දුන්නා ට, එය ඔහු ට පහසු දෙයක් නොවන බව පෙනෙන්නට තිබිණි.

“මට දැනෙනව ඔයාව”

මම ඔහු ගේ අත් බාහුවක් අල්ලා ගනිමින් කීවෙමි. රවීන් කතා කළේ නැත. ඔහු ගේ හදවතේ වන කුණාටුව මට පැහැදිලිව විඳිත හැකි විය.

ඔහු මා කැටිව ගියේ සුඛෝපභෝගී අවන්හලක් වෙත ය. මතු මහලක පනවා තිබූ අසුන් වල සුව පහසු බවක් ද හාත්පස නිදහස් බවක් ද විය. ඒ වෙලාවේ මතු මහලෙහි සිටියේ තවත් පෙම්වතුන් යුගල දෙකක් පමණක් වන අතර, කතා කරන්නට ඕනවටත් වැඩි නිදහසක් එහි විය. එය මගේ හිතේ ගැස්ම ද තරමක් දුරට අඩු කරන්නට හේතු වී තිබිණ. මේ විදිහට රවීන් මුණ ගැසුණ බවක් තාත්තා ට හෝ පවුලේ වෙනත් කෙනෙකුට ආරංචි වෙන්නට ඇති අවස්ථා හා කාලය තව ඈතට දැමිය යුතු බව දැන් දැන් මගේ හිත කියමින් තිබේ.

“කියා ගන්න බැරි මහ මොකද්ද හැඟීමක් මට දැනෙනව සනූ. හරියට නිකං..ඇඟ ඇතුළෙ කොතනක හරි තැනක තුවාලයක් තියෙනව වගේ…මට අඬන්න ඕන වගේ දැනෙනව”

“අඬන්න ඉතිං”

මම වහා කීවෙමි.

“මගෙ අතිං අල්ලගෙන ඔයාගෙං අත්ඇරුණ වයිෆ් වෙනුවෙන් ඕන තරං අඬන්න. මට තේරෙනව…බැඳීමක් එහෙම බිඳල දාන්න බෑ. නීතියෙන් දැන් වෙන් වුණත්…ඔයාල බැඳිල හිටිය අතීතයක් තිබුණා. මං ඔයාට කොච්දර ආදරේ වුණත්…ඒ අතීතෙ ඔයාගෙ හිතෙං උදුරල දාන්න බැරිවෙයි..සමහර විට ඒකට ටිකක් කල් යයි”

“ඔයා හරි පුදුම ගෑනු ළමයෙක් සනූ. ඇත්තමයි. ඒක නිසයි මට මගෙ ඩිවෝස් එක ගැන ඔයත් එක්ක කියල ඔයාගෙ උරහිස උඩ අඬන්න වුණත් පුළුවන්”

මා නො සිතූ ලෙස රවීන් මගේ උර මඬලේ මුහුණ හොවා ගත්තේ ය. ඔහුගේ මුදු විලවුන් සුවඳ මගේ නාස් පුඬු අතරේ සිනිඳුවට තැවරෙන්නට ගති. ඔහු ගේ කෙටි හිස කේ මගේ කොපුලක කිතියක් ඇති කරන්නට ගති. නමුත් හදෙහි වූ බර ගතිය නිසා ඒ කිසිවකින් සතුටක් විඳින්නට තරම් හිත පිංවත් වූයේ නැත.

ඔහු හැඬුවා ය කියා මම නො සිතමි. නමුත් කඳුලක් කාන්දු වී තිබුණේ මගේ ඇස් වලට ය. රවීන් ගේ හිස මතින් කම්මුලක් තියා ගෙන ඔහු නැහැවී යන සේ හඬන්නට පුළුවන් කමක් මට විය. හිත එපමණට අසරණ කමකින් ආතුර ව තිබුණේ ය. මම එය වචන කරන්න ට නො ගියෙමි.

එලෙස විනාඩි ගණනාවක් ම ඔහු මගේ උරහිස මත්තේ සිය අතීතය මෙනෙහි කරන්නට ඇත. මට ඔහු ඇද මගේ ලෝකයට ගන්නට තරම් කලබලයක් වූයේ නැත. එනවා නම් ආ යුත්තේ ඔහු ය. මම දැනටමත් මගේ ප්‍රේමය ඔහු ට ප්‍රකාශ කොට ඇත්තෙමි. 

“සොරි සනූ”

අඩ හෝරාවකට ආසන්න වෙත්දී හිස ඔසවා බලමින් ඔහු එසේ කීවේ ය. මගේ ඇස් වල ඒ මොහොතේත් තෙතමනයක් වන්නට ඇත.

“මට අයිතියක් නෑ ඔයා ළඟ ඒ අතීතෙ වෙනුවෙන් තවත් දුක් වෙන්න”

“ඔයාට ඕන දේකට අයිතියක් තියෙනව අයියෙ”

මා එසේ කියා ගත්තේ උගුර යටිනි. 

“මං ළඟ  හිනා වෙන්න වගේ ම අඬන්නත් ඔයාට අයිතියක් තියෙනව අයියෙ. දැනෙන, හිතෙන ඕන දෙයක් කියන්න…ඕන ආවේගයක් පිට කර ගන්න…මං ඔයා ළඟ ඉන්නව. දෙන්නෙක් එකට එක ගමනක් යනවනං එහෙම වෙන්න ඕන. මට කිසි ලැජ්ජාවක් බයක් නැතුව ඔයත් එක්ක ඕන දෙයක් බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඔයාටත් එහෙමයි. එහෙම නොවුණාම තමයි අපි වෙන පැත්තකට ඇදෙන්නෙ. වෙන කෙනෙක් ළඟ අපේ හිත් නිදහස් කර ගන්න යන්නෙ. එහෙම වෙන්න ඕන නෑ නේද..”

රවීන් ගේ ඇස් වල සිනහවක් ඇඳිණි.

“ඒ කියන්නෙ ලස්සන ගෑනු ළමයෙක් දැක්කහම මට පුළුවන් නේ ඔයාට පෙන්නල ලස්සනයි කියන්න..”

ආදරේ ඇස් වල තියා ගෙන මම බොරුවට ඔහු ට රැව්වෙමි.

“මට පුළුවන් ලස්සන කොල්ලො දිහා බලන්න. හැබැයි ඔයාට බෑ. අර චමත්කා එක්ක හුරතල් වෙනව ඇති කොහොමත්…ගෙදර ආව වෙලාවෙ ඉඳන්..”

රවීන් හඬ නගා හිනැහුණේ ය. යාබද මේසයක උන් පෙම් යුවළක් හැරී අප දෙස බැලූහ. ඔවුන් වෙතට ලැජ්ජාශීලී සිනහවක් හෙලන ගමන් මම රවීන් ගේ අත් ගොබයේ මුහුණ හංගා ගතිමි.

“ඔයා අද ඉපදුණා නෙවෙයි කියල මං දන්නවනෙ. ඒත් දැන් එයාට වැඩිය මට ආදරේ කරනවනං මං කැමතියි”

“මං දන්නව දැන් එයා මගෙ ලෝකෙ නෑ කියල”

ඔහු මගේ හිස් මුදුණේ අතක් තබා මුහුණට එබී ගත්තේ ය. 

“හැබැයි තාම මට තේරෙන්නෑ මෙච්චර ඉක්මනට ඔයා කොහොමද මගෙ හිතට රිංග ගත්තෙ කියල. එයාට වැඩිය රිදුමක් ඉතුරු කරල යන්න ඔයාට සිද්ද වෙයිද කියලත් තාම මං දන්නෑ”

මම කිසිත් නො බිණුවෙමි. නමුත් තාත්තා ගේ දෙපා මුල වැටී, ජීවිතයේ එක ම එක ඉල්ලීම වශයෙන් රවීන් ව ඉල්ලනවා යි සිත අවධාරණය කොට මට කීවේ ය.

රවින් මුල් විවාහයෙන් නීත්‍යාකූලව වෙන් වීම හිතට සහනයක් දැනවී ය. විවාහකයෙකු හා පෙමින් බැඳුණා කියන චෝදනාවෙන් එතකොට මා නිදහස් වන නිසා ය. මා වඩාත් බිය වූයේත් දුක් වූයේ ත් අම්මා හා තාත්තා ගැන ය. පවුලේ ඥාතීන් ගේ අවඥාවන් හමුවේ ඔවුන් පත් වෙන අපහසුතාවය ගැන හිතන්නට හෝ මම බිය වීමි. තාත්තා දූ වරුන් හැදුවේ සමනල පැටවුන් සේ ය. ඇතැම් විට ඥාතීන් ගේ චෝදනාවන් ට හා දෝෂ දර්ශනයන්ට ලක් වෙන්නට ද තාත්තා ට සිදුව තිබේ. ඒ ළමා වියේදී හෝ මාව හෝ නංගී ව අනිත් ළමයින් සමග වැඩිපුර කල්ලි ගැහෙන්නට නො යැවූ නිසා ය. 

“අනේ…ඒගොල්ලන්ට ඉන්නෙ රාජ කුමාරිකාවොනෙ. ඒගොල්ලො අපේ කෙල්ලො වගේ ගෑනු ළමයි නෙවෙයි”

නැන්දලා එහෙම කියන බව අපේ ගෙදරට ආරංචි නො වුණා නොවේ. අම්මා කේන්තියෙන් පුපුරු ගසමින් සිටියත්, එතකොට තාත්තා ගේ මුහුණේ ලස්සන සිනහවක් ඇඳුණ හැටි මට මතක ය.

“රාජ කුමාරිකාවො තමයි….දවසක රැජිණියො වෙන්නයි ඕනෙ..තමුන් දැනගන්න ඕනෙ රැජිනියො වෙන්න ඕන කොහොමද කියල. රැජිනක් කියන්නෙත් ගෑනු ළමයෙක් තමයි. හැබැයි හැම ගෑනු ළමයෙක්ටම රැජිනක් වෙන්න බෑ”

තාත්තා ගේ මුවෙහි එවෙලේ වූ මඳහස, තාත්තා ගේ හිතේ අප ගැන යූ බලාපොරොත්තුව මගේ ප්‍රේමය විසින් විනාශ කරනු ලබනවාය කියා හිතන්නට මට ඕනෑ නැත. නමුත් පවුලේ ඥාතීන් විසින් තාත්තා රිදවන්නට එය හේතුවක් කර නො ගනීවි යයි සිතිය හැකි ද?

ශෙහාරා පැවිදි පුද්ගලයෙකු සමග ඇති කර ගත්තා වූ පෙම් සබඳකම මුලින් ප්‍රසිද්ධ රහසක් ව තිබී පසුව එහි රහසිගත බව වියැකී ගියේ ය. එක එක්කෙනා වෙන් වෙන් ව කතා කරත්දී ශෙහාරා ට සේ ම ඇගේ මව් පියන්ට ද අපහාස කළ ද, මූණට පෙන්වූයේ හිත් වල නොවූ ළෙංගතු බවකි. 

“සමහර වෙලාවට අපල වලටත් පවුලෙ දැළි ගෑවෙන දේවල් සිද්ද වෙනව. මොනා කරන්නද ඉතිං ඒකට”

මා සිටි තැනක නැන්දා කෙනෙකු එසේ කීවා ය. මට කට වසා ගෙන සිටිත නො හැකි විය.

“කොහොමද නැන්දෙ පවුලක දැළි ගෑවෙන්නෙ…ඒ ළමය කාටවත් වරදක් කරල නෑනෙ. එයා කෙනෙකුට ආදරේ කරනව. ඒකෙන් කාටවත් දැළි ගෑවෙන්න විදිහක් නෑ”

ඇය වහා මා හා උදහස් වූවා ය.

“අනේ මේ සනූ..වැරදි වලට අනුබල දෙන්න එපා. අනිත් එක මෙහෙම දෙයක් ඔයා හරි නංගි හරි කළා නං ඔයාගෙ තාත්තයි අම්මයි ඒකට ඉඩ දෙයිද..”

“අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ මොන්ටිසෝරියෙ ඉඳලමයි. හැබැයි වෙන්නෙ මොන්ටිසෝරියෙ ඉඳලම උංගෙ ඔළු ගෙඩි වලට විශ බීජ දාන එක”

කියා ගෙන මම ඉශාරා හමු වෙන්නට ඇගේ කාමරයට ගියෙමි.

“හැමෝම මං දිහා බලන්නෙ මේ ලෝකෙ තියෙන නරකම වැරැද්ද කරපු ගෑනි දිහා බලනව වගේ අප්පිරියාවෙන් සනූ. ඔයා විතරයි මෙහෙම ඇවිත් හිත හැදෙන්න වචනයක් හරි කියන්නෙ”

ශෙහාරා කඳුළු පිරුණ අසරණ දෑසකින් මදෙස බලා සිනහ වීමේ උත්සාහයක් දැරුවා ය.

“දැං එයා මොකද කියන්නෙ..මොකද්ද එයා කරන්න ඉන්නෙ…මොකද්ද එයාගෙ ප්ලෑන් එක…අන්න ඒකයි දැන් වැදගත් ම දේ”

ඩිග්‍රි එක ගත්ත ගමන් එයා උපැවිදි වෙනව කියලයි කියන්නෙ. එයා නිතරම මට කියපු දෙයක් තමයි සනූ…චීවරයක් ඇතුළෙ ගෙවන ජීවිතේ වගේම පන්සලක් ඇතුළෙ ගෙවන ජීවිතෙත් ලේසි නෑ කියන එක. අපල තියනව කියල තමයි එයාව මහණ කරල තියෙන්නෙ..ඒත් එයා කියන විදිහට කවදාවත් එයාට එහෙම ජීවිතයක් ඕන වෙලා තිබිල නෑ. ඒ කාලෙ අම්මල තාත්තලගෙ වචනෙට පිටින් යන්න බැරි කමටයි එයා පැවිදි වෙලා තියෙන්නෙ. චීවරේ ඇතුළෙ ඉඳගෙන වැරදි කරන්නෙ නැතුව…විනය නීති කඩ කරන්නෙ නැතුව…සිවුර අත්අරින එක හොඳයි කියලයි එයා කියන්නෙ”

“ඒක හරි”

“ඒත් අපේ අම්මල කියන්නෙ හීරලුවෙක් එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න බෑ කියල. අර නාඳුනන මනුස්සයත් එක්ක පවුල් ජීවිතයක් ගත කරනවට වඩා මට මේ හීරලුවත් එක්ක ලේසි වෙයි සනූ”

ඉතිහාසය ඇරඹුණ දා පටන් ම මිනිසා අනෙකා ව තේරුම් ගන්නට උත්සාහ කළේ නැත. ඔවුන් හැම දා ම ත් කළේ තමන් විසින් අටවා ගත් රාමු තුළ සිට අනෙකා ව නිරීක්ෂණය හා නිගමනය කිරීම ය. 

ඊළඟ සතියේ උදයක මා ගුරු පාරේ ඇවිද යමින් සිටියදී අකාල වැස්සක් වහින්නට පටන් ගත්තේ ය. බෑග් එකේ තිබුණ පොඩි කුඩය දිග හැර ගෙන, කකුල් වලට මඩ විසි වීම ගැන දුකෙන් මම හෙමිහිට පිය නගමින් සිටියෙමි. මේ වගේ වෙලාවක රවීන් ගේ රිය විත් මා ළඟ නැවතෙනවා නම් ය යන සිතිවිල්ල හිතේ එහෙ මෙහෙ නො වූවා නොවේ. නමුත් මා බස් නැවතුමට ලං වන තුරු ම එවැන්නක් සිදු නො විණ.

අකුණක් පිපිරූයේ හදිසි වැස්සකට ලක ලැහැස්ති වූ අහසෙහි නොව මගේ හදවත ඇතුළේ ය. වැස්සට හෙවනක් පතා බස් නැවතුමට ගාල් වූ පිරිස අතරේ, ඉස්සරහා ම වූයේ ඒ කාන්දම් ඇස් දෙක ය. සුදු අත් දිග කමිසයක් හා අළු පැහැති කලිසමක් හැඳ, දිලිසෙන කළු සපත්තු පැළඳ සිටි ඔහු කවදාවත් නැතුව මේ කාර්යාල ඇඳුම් වලින් බස් එකේ යන්න ඉන්නේ ඇයි දැයි මට සිතා ගත හැකි නො විණ.

“ඇයි මේ…”

මම හනි හනික ඔහු වෙත ලං ව, අනිත් සෙනගට ඇසෙතැයි සැකයෙන් හෙමිහට විමසීමි. රවීන් ඉක්මන් කොට මගේ කුඩය යටට පැන ගත්තේ ය. ඔහු ගේ උස නිසා මට කුඩය උස්සා අල්ලන්නට සිදු විය. ඒ නිසා දෝ කුඩ මිටෙහි මා අල්ලා ගෙන සිටි තැනින් අල්ලා රවීන් එය සියතට ගත්තේ ය. 

“බස් එකේ යන්න හිතුණා. ඔයත් එක්ක”

“පිස්..සු…ඉතිං කා එකේ මාව දාං යන්න තිබුණනෙ”

“ඒක කවුරු හරි දැක්කොත්…ඔයාට මීට වඩා ලං වෙන්න ඕනෙ කියල හිතෙනව සනූ. ඔයාට ලොකූ අසාදාරණයක් වෙනව මගෙං”

“ඔයා පව්. ඔෆිස් ඇඳුම් වලින් බස් එකේ යනව මං නිසා”

ඒ වගේ පුංචි දෙයක් ගැහැනු හදක ආදර සොරොව් බිඳ දමන්නේ ය. මගේ හද තුළ රවීන් ගැන සෙනෙහස වාන් දමන්නට විය.

ඉක්මනට බස් රියක් ආ එක හොඳ ය. එහි අප දෙදෙනා ට හිඳ ගන්නට අසුනක් නොවූවත්, ඔහු ළඟින් සිට ගෙන ඒ දුර යන්නට හැකි වීමත් හිතට පුදුම සතුටක් දැනවී ය. ඊටත් වඩා මෙහෙම බස් රියක අප ගැන අවධානය යොමු කරන්නට කිසිවෙකු නැත. එතකොට හිතට හරි නිදහස් ය.

“ආදරේ කරන ගෑනු ළමයෙක්ට ඒ ආදරේ නිසා ලැබෙන කිසි දෙයක් ඔයාට මගෙන් ලැබෙන්නෑ. අඩු ගානෙ ටිකක් ළඟට වෙලා ඉන්නවත්…”

“කමක් නෑ”

උගුර යටින් කියා ගනිමින් මම ඒ අත් ගොබයක මුව තද කොට ගතිමි.

“මං හිතෙන් ඉන්නෙ ඔයා ළඟනෙ. මට තේරෙනව ඔයාගෙ තත්වෙ”

“මට පුළුවන් ඔයාගෙ තාත්ත එක්ක මේ ගැන කතා කරන්න. ඒත් එ්කට කල් වැඩිද කියලයි හිතන්නෙ”

“අනේ එපා එපා”

මම ඉක්මන් කොට එසේ කියමින් නෙතු ඔසවා ඔහු දෙස බැලුවෙමි. 

“ශෙහාරා වගේ ඉන්න බෑ දැම්ම. අපි ටිකක් කල් මෙහෙම ඉමු”

මගේ සිරුරෙහි තෙරපෙන්නට ගිය මිනිසෙකු වෙතින් මා මෑත් කොට ගෙන රවීන් මගේ බඳ වටා අතක් දමා මා ඔහු වෙතට වඩාත් ලං කොට ගත්තේ ය. ඒ හව්හරණය ගැහැනු හිතක දනවනා හැඟීම ගැන ලියා පැහැදිලි කළ නො හැකි තරම ය. මල්සර ෆ්ලෝරා අසල නැවතුමේ දී අප බසයෙන් බහිනා තුරුත් වැස්ස තුරල් වී තිබුණේ නැත.

“ඔයා මේ කුඩේ අරං යන්න”

“එපා. මං ට්‍රයිෂො එකක් ගන්නං”

“කුඩයක් යටිං යනකොට කෙල්ලො බලන්නෑ කියල බයටද…”

දඟකාර සිනහව දෙතොල් මත්තේ ම නිහඩ කර ගත් රවීන්, ඒ කුඩය අස්සේ හෙමිහිට පහත් වී මගේ කොපුලක් සිප ගත්තේ ය. ඒ කොහෙත්ම එවන් මොහොතක මා බලාපොරොත්තු නොවූ යමකි. වැහි සීතලටත් එක්ක ම මගේ දෙතොල් වෙව්ලා ගියේ ය. මම යටි තොල තදින් සපා ගෙන බිම බැලුවෙමි. යළිත් නෙතු නගා ඔහු දෙස බලත්දී මගේ කොපුල් රතු වී තියෙන්නට ඇත. පිරිමියෙකු ගෙන් කුළුඳුළේ ම ලැබෙනා හාදුවක් යනු ගැහැනු ළමයෙකුට ජීවිත කාලයක් හද නිධානයෙහි සුරකිත හැකි අමරණීය සිහිවටනයකි.

“මං යන්නද…”

ත්‍රීරෝද රියකට අත දමා ඔහු ඒ නවතා ගත්තේ ය. 

“පරිස්සමෙං යන්න”

ඔහු ත්‍රිරෝද රියෙහි නැග ගත්තේ ය. මට දැනුණේ මගෙන් ම  කොටසක් ඈත් ව ගියා මෙනි. මේ වගේ නිමේෂයන්  එකක් දෙකක් නොව තව කෝටි ගණනක් මා ප්‍රාර්ථනා කරනා බව හදවත හොඳ හැටි දැන සිටියේ ය. වැහි පොදයට යටින් හෙමි හෙමිහිට මා මල්සර ෆ්ලෝරා වෙත ගියේ සිහිනයකින් සේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles