සැරිසරන්නී -34

කඳුළු නතර කර ගැනීමේ ඕන කමක් හෝ පුළුවන් කමක් මට වූයේ නැත. මම හිතේ හැටියට කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියෙමි. මේවා දුක් කඳුළු ම නොවේ. සතුටු කඳුළු ද නොවේ. ඒ අතර මැද වන කෝටි ප්‍රකෝටි ගණනක් හැඟුම් වල මිශ්‍රණයක ප්‍රතිඵලයකි. 

මගේ හැඬීම අතරේ රවීන් හෙමිහිට මහිස පිරිමදිනු දැනිණ. ඒ දැනවූයේ අපමණ සුවයකි. නමුත් ගිනි පුළිඟුවක් හදවතේ ඈත කොනක රස්නෙ දිදී දැල්විණ. මට ඔහු අහිමි වේවි ද යන සැක මුසු බිය එහි විය.

“අපි යමුද…”

රවීන් හෙමිහිට විමසුවේ ය. ඒ වචන දෙක තුළ, පිරිමියෙකු ට ගැහැනු හදක දැනවිය හැකි ආදරයේ උපරිමය තිබිණ. 

“යං නේද…මේ වගේ මහ පාරක නතර වෙලා ඉන්න එක එච්චර සේෆ් නෑ. තාත්තා වුණත් කොයි වෙලේ කොතනින් යයිද කියන්න බෑනෙ”

ඒ දුර දැකීම නංගී ගේ ය. පෙම් කරනා දාක ඇගේ නීති සිත කෙසේ ප්‍රේමය විඳ ගනු ඇත්දැයි සිතත්දී මගේ තොල් මත සිනහවක් උපන්නේ ය.

“සනුවගෙ මූණට හිනාවක් ආවෙ සතියකින්. ඒකෙත් හැටි නේ”

ආච්චා සිනහ වෙවී කීවා ය. 

“ගෙදරට නිවුස් එක ගිහින් තිබුණොත් තුන් දෙනාටම අඬන්නයි වෙන්නෙ”

“මේකි හිතන්නෙම අසුබ පැත්තනෙ”

ආච්චා ගේ ඒ කතාවට පිටුපස බලා හිනැහෙන ගමන් රවීන් රිය පෙරට ගත්තේ ය. හිත පුදුම සැහැල්ලුවකට පත් ව තිබිණ. ජීවිතයේ සාර සොබාව මේ යයි මම සිතමි. අපේ සිත් වල වන්නේ එක මොහොතකින් ජීවිතය වෙනස් කරනා මහා ප්‍රාතිහාර්ය ගුණයකි. ජීවිතය මත්තෙහි වන අපමණ දුක්ඛ දෝමනස්සයන් ඇසිල්ලකින් අමතක කොට අපට ජීවිතය ඉදිරියට යා හැකි ව තිබෙන්නේ එම විශේෂ ලක්ෂණය නිසා ය. එක ප්‍රීති නිමේෂයක්, වසර ගණනාවක් තිස්සේ හදවතින් කරපින්නා ගත් දුක් කන්දක් අමතක කොට දමයි.

අප ගියේ බෙල්ලන්විල ය. විහාරයට යා හැකි වීම ගැන ආච්චා බොහෝ සතුටු වූවා ය. නමුත් එවැනි තැනක දී දන්නා හඳුනන කෙනෙකු හමු වීමේ සම්භාවිතාව වැඩි බව මම දැන සිටියෙමි. 

“හරි ඉතිං දන්න කෙනෙක් හම්බ වෙලා අපි කතා කරන්න නැවතෙනකොට රවීන් අයිය අපිත් එක්ක ආපු කෙනෙක් නෙවෙයි වගේ ඉස්සරහට යන්න. ඔයා එයාගෙ අතේ එල්ලෙන්නෙ නැතුව ඉන්නකො. එතකොට වැඩේ ගොඩනෙ”

නංගී තර්කානුකූල විසඳුමක් ලබා දුන්නා ය. ඒ අනුව විහාරය තුළ සුදු වැලි මළුවේ ඔහු ගමන් කළේ අපට යම් පරතරයක් තබා ගනිමිනි. මේ විදිහට බාධක මැද පෙම් කිරීමේත් කෙතරම් සුන්දරත්වයක් වෙත්දැයි මම සිතින් සිතුවෙමි.

“මං සීයාව බඳිනව කිව්වම අපේ අම්මටනං ප්‍රශ්නයක් වුණේ එයාට කලින් කසාදෙ දරුවෙක් ඉන්න එක. අම්ම කිව්ව හුඟක් ගෑනු තමන්ට දරුවො හම්බ වුණාට පස්සෙ අර ළමයට වෙනස්කං කරන්න ගන්නව කියල.  ඉතිං ඒව පවුල් ප්‍රශ්න ඇති වෙන්න හේතු කියල. සීයාගෙ මුල් නෝනා මැරෙනකොටත් සීයාව මං දන්නව. මළ ගෙදරත් මං ගියා. ඒ කාලෙ මං යස ළමිස්සි. මැහුම් ගෙතුම් ඕන වැඩක් පුළුවන්. මං ගොතන රේන්ද ඒ නෝනා ගෙන්න ගන්නව. සීයා තමයි ඇවිත් සල්ලි ගෙවල ගෙනියන්නෙ. ඒ දැන හැඳුනුම්කමට තමයි මට යෝජනා කළේ..බොරු කියන්නෙ මොකද ඒ නෝනා ඉන්න කාලෙත් සීයා ගැන මගෙ හිතේ හීන් හැඟීමක් ඇති වෙලා තිබුණෙ නෑ කියන්න බෑ. ඒත් ඉතින් ඒවා කවදාවත් වෙන්නෑ කියල දැනං හිටිය නිසා හිතේම තමයි තිබුණෙ. ඒ නෝනා නැකි වුණේ මැලේරියාවෙන්. රේන්ද ගෙනියන්න ආපු දවස් වල ඉඳලම සීයාගෙ හිතෙත් මං ගැන අමුතු හැඟීමක් තිබුණා කියල පස්සෙ කාලෙක එයා කිව්ව. ආන්න ඒක නිසා තමයි මං හිතන්නෙ ඕක මේ කාටවත් බලහත්කාරෙං නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල. අනික ඔය වගෙ හිතක් පහල වෙන්නෙත් අපි කාටවත් ඕන හැටියට නෙවෙයි”

 වැඳ පුදා ගෙන වැව රවුමේ ඇවිද යන ගමන් ආච්චා සිය අතීතය මතක් කළා ය. ඒ කතා මීට පෙර අසන්නට අප ට නොහැකි වූයේ ඇයි දැයි මම සිතුවෙමි.

“මට පුදුම අපේ ජනරංජනී ගැන. එයාගෙ තාත්තත් කලින් කසාද බැඳල හිටිය පිරිමියෙක්ය ඒත් බොහොම ලස්සන පවුල් ජීවිතයක් අපිට තිබුණය කියල එයා නොදන්නව නෙවෙයිනෙ. රවීන් පුතාට මම නං කැමතියි. ඔහොම යමුකො ටික දවසක්. අනිත් එක ඉතිං ටිකක් බාධා එද්දි තමයි කොයි කතාවෙත් ලස්සන තියෙන්නෙ…නැද්ද මං අහන්නෙ…”

ආච්චා වෙත වන මේ තරුණ ජවය හා හැඟීම ගැන පුදුමයක් මට විය. නංගී පවා ඇගේ ඇතැම් කතා අසා සිටියේ මුව අයාගෙන ය. 

“දවසක අපේ ගෙදරක ආච්චාව තියාගමු. අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් එයා ළඟ තියෙනව”

රවීන් මිමිණුවේ ය. අපේ ගෙදරක් ගැන ලස්සන සිහිනයක්! හැම කෙනෙකුගේ ම සිත් පත්ලේ එහෙව් සිහිනයක් නිදන්ගත ය. විශේෂයෙන් ම විවාහ වන වයසේ පසු වන තරුණ හිත් වල ඒ හීනය සජීවී ව පණ ගැහේ. දෙමව්පියන්ගේ ආශිර්වාදය ගැන විශ්වාසයක් නොවන කල ඒ හීන දෙස බලන්නට පවා සිත් හි ඇති වන්නේ දෙගිඩියාවකි. මම මේ මොහොතේ ඒ දෙගිඩියාවෙන් පෙළෙන්නට වීමි. ශෙහාරා ද අනන්තවත් ඉන් පීඩා විඳින්නට ඇත. අන්තිමට ඇය මාර්ගයක් තෝරා ගත්තා ය. කෙනෙකුට ඒ තෝරා ගැනීම ගැන වුව විවිධ මතිමතාන්තර හා විවේචන තිබෙන්නට පුළුවන. දෙමාපිය ආශිර්වාදය මැද නෑ සනුහරේ පිරිවරාගෙන ඒ ගමන යන්නට කාලයක් ඇය ද හීන දකින්නට ඇත. ඒ හීනය කිසි දා සැබෑ කර ගත නො හැකි බව ප්‍රත්‍යක්ෂ වත්දී, තමන් ගේ ජීවිතයේ සතුට වෙනුවෙන් මේ මාවත තෝරා ගන්නට ඇයට සිදු වන්නට ඇත.

නමුත් මා කිසි දා එතැනට නොයන බව මම දනිමි. අම්මා එපා කියනවා නම්, තාත්තා ආශිර්වාද නොකරනවා නම් රවීන් එක්ක අලුත් ගමනක් යන්නට මා කිසි දා හිත හදා නො ගනු ඇත. ඒ වෙනුවට මා තෝරා ගන්නා මාවත, මියෙන තුරු රවීන් ගේ මතකයන් එක්ක තනිකඩ ව හිඳීම වන්නට පුළුවන.

අපි වැව් සුළඟ වදිමින් ද ආච්චා ගේ යට ගිය කතා අසමින් ද දිවා ආහාර ගතිමු. ඒ මුළු කාලය සිනහවෙන් පිරී තිබුණේ ය. සතුටෙන් පිරී තිබුණේ ය. මේ සතුටට සම්මාදම් වීමට අම්මා හා තාත්තා ත් සිටියා නම් එතැන මගේ මුළු ජීවිතය ම වන්නේ ය. දරුවන් ගේ සතුට කියන කාරණයේ දී දෙමාපියන් මීට වඩා සාධාරණ හා සංවේදී වෙනවා නම් බොහෝ හිත් රිදීම් අඩු කර ගත හැකි වනු ඇත. 

අප සමු ගත්තේ ආයේ කවදා දැකිය හැකි වෙද කියා නො දැන ය. එ් වගේ වෙන් ව යාමක වන වේදනාව වචන වලට පෙරලා ගන්නට කිසි සේත් මට නො හැකි ය. නමුත් හදවත පුරා මම එය විඳිමින් ද හැඳිනිමින් ද සිටියෙමි.

“කවදාවත් අපිට එක ජීවිතයක් ගත කරන්න බැරි වුණත් ඔයා දුක් වෙන්නෑ කියල මට පොරොන්දු වෙන්න”

සමු ගන්නට පෙර රවීන් මගෙන් පොරොන්දුවක් ඉල්ලුවේ ය. ඒ වෙලාවේ හදවත පැලී මා ජීවිතක්ෂයට පත් නොවුණා පුදුම ය.

“ඔයා අඬන්නෙ නැතුව ඉන්න ඕනෙ. ගෙදරින් ප්‍රපෝස් කරන කෙනෙක්ව මැරි කරන්න වෙයි ඔයාට. මං ගැන අමතක කරන්න බැරි වුණත්…මං ගැන නොහිතා ඔයා ඒ ජීවිතේ ගත කරන්න. මොකද…මං හොඳට දන්නව ඔයා ශෙහාරා කරපු දේ කරන්නෙ නෑ කියල”

රවීන් ඒ තරම් මගේ හිත කියවූයේ කොහොමද කියා මම නො දනිමි. අප ට ඇසුරු කරන්නට ලැබුණ ඒ කෙටි කාලයට ඔහු ඒ තරමින් මා අවබෝධ කර ගත්තේ කොහොමද කියා සිතා ගත නො හැකි ය. මම දෙකොල් තද කොට සපා ගෙන මගේ කඳුළු මගේ නෙත් කෙවෙනි තුළ ම සිර කොට ගතිමි.

“ඔයාට මං පොරොන්දු වෙනව ආයෙ කවදාවත් වෙන ගෑනු ළමයෙක්ට ලං වෙන්නෙ නෑ කියල..මට ආයෙ කසාද ඕන නෑ. මේ ටික දවසට ඔයාගෙන් ලැබුණ ආදරයත් එක්ක මැරෙනකල් තනියම ඉන්න මට පුළුවන්..ඈතින් ඉඳන් මං ඔයා දිහා බලං ඉඳියි. හැබැයි එතකොට ඔයාගෙ ඇස් වල කඳුළු තියෙන්න බෑ සනූ. තේරුණා නේද…”

මම කඳුළුත් හිතත් තද කොට ගෙන ඔහු ගෙන් සමු ගතිමි. ඔහු අනාගතය දිවැසින් දකින්නට උත්සාහ කළා ද කියා මම නො දනිමි. 

“පව් අප්ප තමුසෙල”

ගෙදර ආ නංගී වෙනදා සේ පාඩම් කරන්නට හිඳ නොගෙන යහනේ මා ළඟට වූවා ය. මම සිනහ වෙන උත්සාහයක් ගතිමි.

“කොහොමද එහෙම වෙනකොට ඔහොම හිනා වෙන්නෙ…”

“මාව අඬවන්න හදන්නෙපා නංගි”

“ඔයා ශෙහාරා වගේ පැනල යන්න. මං ඕන උදව්වක් කරනව”

“මං එහෙම කරන්නෑ නංගි. මට එහෙම කරන්න බෑ..රවීන් ඒක දන්නව. ඒක නිසා එයා මගෙන් එහෙම ඉල්ලීමක් කරන්නෙත් නෑ”

“මේගොල්ලන්ට කුද ගහ ගන්න කියල යනව මන්නං කියන්නෙ. මේක හරි අසාධාරණයිනෙ අප්ප”

“දවසක අපේ දරුවෙක් අපිට එහෙම කළොත්…කොහොමද දරා ගන්නෙ…මට ඒක කරන්න බෑ”

“අර කොල්ලා පව් අක්කෙ”

රවීන් ගේ අනාවැකිය සනාථ කරමින් අම්මා මා බලන්නට මනාළයෙකු කැඳවන්නට කටයුතු කොට තිබිණි. ඒ ඇගෙන් සාරි හැට්ට මසනා කාන්තාවක ගේ සොයුරෙක් ව ය. ඔහු ව්‍යාපාරිකයෙකු බව පැවසිණි.

“මේක හරි අසාධාරණයි”

ඒ ආරංචිය දැන ගත් වෙලාවේ මා කඳුළු වගුරමින් කාමරයට වී සිටියදී නංගී ගේ දෙදරන්නට කෑ ගැසුවා ය.

“වහගන්නව තමුන්ගෙ කට. ඔයාට කිසිම අය්තියක් නෑ නෙතූ වැඩිහිටියන්ගෙ දේවලට කතා කරන්න..සාධාරණ අසාධාරණ ගැන උසාවි ගිය කාලෙක බලා ගන්න. මේක අපේ ගෙදර. මේ ගෙදර දෙමව්පියො අපි. ඕගොල්ලො ළමයි”

අම්මා පරල වූවා ය. නමුත් නංගී ද ලෙහෙසියෙන් පරාජය බාර ගන්නට සූදානම් වූයේ නැත.

“අපි ළමයි තමයි අම්මෙ.අපි හැම කෙනෙක්ම කවුරු හරි අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ ළමයෙක්. අම්මත් ආච්චාගෙ ළමයෙක්නෙ. එහෙමයි කියල ආච්චා කියන විදිහටම වැඩ කරන්නෙ නෑනෙ. ළමයි වුණත් අපිත් වැඩිහිටි සමාජෙට ගිය අය දැන්. අපිටත් අයිතියක් තියෙනව අපේ ජීවිත ගැන තීරණයක් ගන්න. අක්කට එයාගෙ අයිතිය දෙන්න”

“වහගන්නව කට නෙතූ”

මා කාමරයෙන් පිටතට කර පෙව්වේ නංගීට නිහඬ වන ලෙස ඉඟි කරන්නට ය. ආච්චා තනි ව සිනහ වෙමින් අම්මා මැසූ ඇඳුමක බොත්තම් අල්ලමින් සිටියා ය.

“පව් වැඩ කරන්න එපා අම්මෙ. මේව සහ ගහන අපරාද”

“ඔව් ඔව්. අම්මල දරුවන්ට සහගහන අපරාදනෙ කරන්නෙ. ඕගොල්ලන්ට මේව තේරෙන්න ඕගොල්ලොත් අම්මල වෙන්න ඕන..අක්කට ගැලපෙන කෙනෙක්ට එයාව බාර දෙන්නයි අපි මේ හදන්නෙ. නැතුව එයාට නරකක් කරන්න නෙවෙයිනෙ”

“මොකද්ද අම්මෙ ගැලපෙනව කියන්නෙ…දෙන්නෙක් එකතු වෙද්දි ගැලපෙන්න ඕනෙ කේන්දරවත් වෙන දෙයක්වත් නෙවෙයි ඒ දෙන්නට දෙන්නා. ඇයි නිකංවත් හොයල බලන්නෙ නැත්තෙ අක්කා තෝර ගත්ත කෙනා එයාට ගැලපෙනවද කියල..”

“ඔයා මට අවවාද දෙන්න ඕන නෑ නෙතුකි. දෙමව්පියන්ගෙන් වෙන්න ඕන දේවල් ගැන අපි බලා ගන්නං”

අම්මා සිටියේ නංගී තබා ආච්චා කියන දෙයක් හෝ පිළිගන්නා තත්වයක නොවේ. මනමාලයා පැමිණියාවේ කියා ආච්චා කීවා ය. මනමාලයෙකු ඉදිරියට යන මනසක් මට නොවූවත්, මම හිත හයිය කර ගතිමි. 

මනමාලයා සුදු හීන්දෑරි කොල්ලෙකි. මට නම් හිතුණේ ඔහු තව දුරටත් නිල ඇඳුමක් අන්දවා පාසල් යැවිය යුතු ය කියා මිස විවාහයක් කොට දිය යුතුයි කියා නොවේ. 

“කෙල්ලෙක් යාළු කර ගන්න බැරි වුණ මෝඩයෙක්”

නංගී තේ හදන ගමන් කුටු කුටු ගෑවා ය. මට සිනා ගියේ ය. අම්මා අප දෙදෙනාටම එක ම රැවුමකින් සංග්‍රහ කොට ගියා ය. 

තාත්තා ගේ මුහුණේ මා දුටුවේ උපේක්ෂාවකි. ඔහු මනාල පාර්ශවය සමග කතා කළේ ය. නමුත් ලොකු ළෙංගතුකමක් පෙන්වූයේ ද නැත. අම්මා නම් සිටියේ මා ඔහු ට විවාහ කොට දුන්නා බඳු උද්‍යොගයකිනි. ඒ නිසාමද මන්දා අම්මා ගේ සාරි හැට්ට පාරිභෝගිකාව සිය සොයාරා ට මා හා තනි ව කතා කරන සේ ඇරයුම් කළා ය.

“දෙන්නත් එක්ක කතා බහ කරල අඳුර ගන්නකො එහෙනං”

මා පුන පුනා බලා සිටි අවස්ථාව ඒ ය. ආච්චා මට කියා දී තිබූ පරිදි ම මම කළෙමි.

“මං ආදරේ කරන කෙනෙක් ඉන්නව. කාව බැන්දත් මං මැරෙනකල්ම ආදරේ කරන්නෙනං එයාට. අම්මල එයාට කැමති නැති නිසා අම්මල කියන කෙනෙක්ව බඳින්න වෙයි. හැබැයි ඔයා මාව බැන්දා කියල මගෙං කවදාවත් ආදරයක් ළෙංගතුකමක් නං බලාපොරොත්තු වෙන්න එපා”

ඔහු භූමිතෙල් වැදුණ ගැරඬියෙකු සේ ඉක්මනින් පිරිවර ද කැටිව යන්න ගියේ ය. එදින ම හැන්දෑවේ අම්මා ට උත්තරය ලැබුණේ ය. ඒ වෙන පිරිමියෙකුට මැරෙනකල් ම පෙම් කරන්නට බලා හිඳිනා මට සිය සොයුරා ගේ පතිණිය විය නො හැකි බවයි. ආච්චා ත් නංගීත් මමත් කාමරයට වී ඒ සතුට සැමරුවෙමු. නමුත් ඉක්මනින් ම අම්මා ගෙන් කැඳවීමක් ලැබිණ. 

“මොනාද ළමයො අර කොල්ලට කියල තියෙන්නෙ…ආ…කොච්චර හොඳ යෝජනාවක්ද මේ කඩාකප්පල් කර ගත්තෙ…”

“සනූ ඒ විදිහෙ කතාවක් ඒ අයට නොකියා ඉන්නයි තිබුණෙ. ඒ මිනිස්සුංව ගෙදරට ගෙන්නල අපහාස කළා වගේ දෙයක්නෙ මේ”

තාත්තා ඒ තරම් ඉවසීමකින් එහෙව් නොහොබිනා කමක් දරා ගත් එක ගැන මම පුදුම වෙමි.

“තව කවුරු ආවත් මට කියන්න තියෙන්නෙ එච්චරයි තාත්තෙ. කරන්න තියෙන්නෙත් එච්චරයි”

මම බිම බලා ගෙන ඉතා හෙමිහිට කීවෙමි. මගේ වම් කම්මුල හරහා අතුල් පහරක් එල්ල වූයේ ය. මා කැරකී යන බවක් මට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content