සුවඳ මල

මදාරා ඔෆිස් ඇරිලා ගෙදර යන්න ලැහැස්ති වුනේ ලහිලහියේ.හවස පහමාර කිට්ටු වෙනකොට ඒක හැමෝටම සුපුරුදු දර්ශනයක්

” අනේ අපේ කෙල්ල බලාගෙන ඉන්නවා මම එනකන් .ආයම්මා එක්ක ඉන්න එයා එච්චර කැමති නැහැ “

” ඔයා හැමදාම ඔෆිස් යන එන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි මදාරා. මේ දවස්වල රටේ තත්වය එච්චර හොඳ නැහැනේ “

මැසිවිලි නැගීමකින් තොරව හැමදාම ඔෆිස් එන මදාරා දිහා බලාගෙන උපේක්ෂා කිව්වේ කල්පනාකාරීව

” මේ company එකෙන් එකෙන් අපිට ලොකු salary එකක් දෙන්නේ වැඩ කරන්න නේ උපේක්ෂා.ඔය ඕන උන වෙලාවක නිවාඩු ගන්න බැරියැ “

” එහෙම නෙමෙයි ඉතිං ,ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන්නේ “

උපේක්ෂා එහෙම කිව්වත් මදාරා දිගින් දිගටම ඔෆිස් ඇවිත් වැඩ කලා.

” දැන් හැමදාම දෙදහකට වඩා positive වෙනවා නේද ? අපිටත් කොයිවෙලේද දන්නේ නැහැ අනේ “

තවත් දවසක ඔෆිස් එකේ කට්ටිය කතා වුණා.

” අපිට තියෙන්නේ පුලුවන් තරම් පරිස්සම් වෙන එක.දැන් නම් කොච්චර පරිස්සම් වුණත් හැදෙනවා වගේ මේ ලෙඩේ “

මදාරා කිව්වේ කිව්වේ පරිගණක තිරය දිහාම බලාගෙන වැඩ කරන ගමන්.අවුරුදු තුනක පුංචි දියණියකගේ මවක් වුන මදාරා දරුවන් බලාගන්න මෙහෙකාරියකට දියණියව බාරදීලා ඔෆිස් එකට ඇවිත් ඇගේ කටයුතු නොපිරිහෙලාම ඉටු කළා.කා එක්කත් සහයෝගයෙන් වැඩ කරපු නිසා ඇය හැමෝගෙම හිත දිනාගෙන හිටියා

” ඊයෙ අපේ බබාට කන්න ආසයි කියලා මම රෑ කිරිටොෆි හැදුවා.ඒ උනාට ඉතින් එයාලට වැඩිය දෙන්න හොඳ නැති නිසා එයාට ටිකක් තියලා මම ඉතිරි ටික ඔයාලට අරගෙන ආවා “

මදාරා උදේ පාන්දරම ඇවිත් රසම රස කිරි ටොෆි ඔෆිස් එකේ හැමෝටම බෙදුවා. මදාරා ගේ සිනාමුසු මුහුණත් එක්ක කිරිටොෆි පිළිගත්ත හැමෝම ඒවා රස වින්දේ ආසාවෙන්

” මදාරා ට මාර අත් ගුණයක්නේ තියෙන්නෙ “

හැමෝම කතා උනේ එහෙම.ඉඳලා හිටලා පවුලේ අයට වගේ මොකක් හරි රස කැවිල්ලක් හදාගෙන එන මදාරා හැමෝම අතරේ ඒවා බෙදලා සතුටු වුණා

” හස්බන්ඩ් මට කියනවා ගෙදර ඉදන් වැඩ කරන්න බොස්ගෙන් පර්මිෂන් ගන්න කියලා.එහෙම නැත්තං මට අයින් වෙන්නලු මදාරා “

එක දවසක් උදේ ඔෆිස් එකේ මිතුරියක් උන රෝශිනි ඇවිත් මදාරට කිව්වේ සිව් මසක් උන කුසට අත තියාගෙන

” අනේ ඉතින් එහෙම කරන්නකෝ රෝෂිණී. මම බොස් ට කියන්නම් ඕන්නම් “

ගැබිනියක් වුන රෝෂිණී ට රටේ අයහපත් තත්වයක් පැතිර යන කාලයේ ගෙදර ඉදන් වැඩ කරන්න ,ආයතනයේ තරමක් ඉහළ තනතුරක් දරපු මදාරා අවස්ථාව සලස්වලා දුන්නා.

” ඔයාට පුලුවන් තරමක් විතරක් වැඩ කරන්න.අනික්වා අපි බලා ගන්නම් “

රෝෂිණී නිවාඩු ගන්න නියමිත උන දිනයට කලින් දිනයේ මදාරා කිව්වේ කරුණාවෙන්.කීව දේ වචනයට විතරක් සීමා නොකරපු මදාරා රෝෂිණීගේ රාජකාරි කටයුතුවලට විශාල සහයෝගයක් ලබා දුන්නෙ තමන්ගේ රාජකාරිත් ඉටු කරන ගමන්

” ඔයා එවපු අඹ මාළුවත් එක්ක මම අද බත් ගොඩක් කෑවා මදාරා “

දවසක් ගෙදර ඉඳන් වැඩ කරන ගැබිනියක් වුන රෝෂිණී ,මදාරාට දුරකථන ඇමතුමක් දුන්නේ හරිම සතුටින්.

” ඔයාට මහන්සි නැද්ද මදාරා ? “

දියණියගේ වැඩත් ගෙදර වැඩත් ඉවර කරලා මධ්‍යම රාත්‍රියත් පහුවෙලා ඔෆිස් එකේ වැඩ කරන මදාරා දිහා බලලා ඇගේ සැමියා වන සුරේන් ඇහුවා

” තව ටිකයි තියෙන්නේ සුරේන්.මේව ටික ඉවර කරලා weekend එකේ ලොකු රෙස්ට් එකක් ගන්නයි මම හිතාගෙන ඉන්නේ “

” ආ.. එහෙනම් කමක් නැහැ.අපි මේ weekend එකේ ෆිල්ම් ටිකක් එහෙම බලමු ගෙදරට වෙලා “

මොන තරම් වැඩ රාජකාරි තිබුණත් පවුල වෙනුවෙන් වෙලාව වෙන් කරන්න වෙහෙසෙන මදාරා ගැන සුරේන්ට දැනුනේ අසීමිත සතුටක් වගේම ආදරයක්

” මොකද මදාරා අද අවුලෙන් වගේ ?”

කවදාවත් නොරිස්සුම් සහගත මුහුණකින් නොඉන්න මදාරා මූණ අවුල් කරගෙන ඉන්නවා දැකලා උපේක්ෂා ඇහුවා

” මට හරි මහන්සියක් දැනෙනවා “

මදාරා කිව්වේ වතුර ටිකක් බොන ගමන්

” ලීව් එකක් දාලා ගෙදර ගියා නම් හරි නේද ? “

උපේක්ෂා මදාරා ලගට ඇවිත් ඇගේ නළලට අත තිබ්බා.

” ඔයාගේ ඇඟ ටිකක් රස්නෙයි වගේ මදාරා “

තරමක අසනීප ගතියක් දැනුණු නිසා මදාරා නිවාඩු ලබාගෙන ගෙදර ගියා.කැස්ස සහ හෙම්බිරිසාව ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක්ම මදාරා ඇගේ සැමියා සහ දියණියත් පෙන්නන්න ගත්තේ ඊළඟ දවසේ ඉඳලා.දවස් කිහිපයක් ඒ විදිහට නිවසෙ හිටපු මදාරා ඇතුළු පවුලම කොවිඩ් රෝගීන් ලෙස පසුව හඳුනාගෙන තිබුණා

” ඔයාට මම රෑට කෑම එවනවා “

හවස් වරුවක උපේක්ෂාගෙන් මදාරා ට දුරකථන ඇමතුමක් ලැබුණා. කාටත් ආදරය පෙන්නපු මදාරාට ඔෆිස් එකේ මිතුරු මිතුරියන්ගෙන් වගේම අහල පහල කාගෙනුත් උදව් ලැබුණා.මදාරාව ඇසුරු කරපු ඔෆිස් එකේ කීප දෙනෙක්ටම නිරෝධායනය වෙන්න සිද්ධ වුණත් ඒ අයත් නොපැකිලව මදාරා ට උදව් කළා

ශ්වසන අපහසුතා වගේම තවත් අපහසුතා කිහිපයක් වැඩියෙන් පෙන්නුම් කරපු මදාරා ව රෝහල් ගත කරන්න සිද්ධ වුණේ ඒ අතරෙදි

” මදාරා කියන්නේ හොදට කාල බීල හිටපු කෙනෙක්. ඒ නිසා අවුලක් වෙන්නේ නැහැ “

මදාරා පත්වෙලා ඉන්න තත්ත්වය දැනගත්ත ඔෆිස් එකේ අය කතා වුණේ එහෙම.දවසින් දවස ජීවිතය අයදිමින් රෝහලේ තනිවම සටන් කරන මදාරා වෙනුවෙන් හැමෝම ඉක්මන් සුව ප්‍රාර්ථනා කළත්, සුව වෙලා ආපහු ගෙදර එන්න මදාරා ට වාසනාව ලැබුණේ නැහැ.

කාටත් කරුණාව වගේම ආදරය දක්වපු මදාරා ගේ වියෝව ඇගේ සැමියාට සහ දියණියට අමතරව තවත් බොහෝ දෙනෙකුගේ හිත්වල ලොකු වේදනාවක් ඉතිරි කළා.ඒ හැමෝගෙම හිත් වල ඇය ගැන තිබුනේ හොඳ මතක විතරමයි.ඒ නිසාම ඇයගෙ අඩුව කාටත් නොඅඩුව දැනුනා

” මදාරා කියන්නේ සුවඳ මලක්.කාටත් නොකියම එයා පරවෙලා ගියා “

සති ගානකට පස්සෙ ඔෆිස් එකට ආව උපේක්ශා කිව්වේ හිස් වෙලා ගිය මදාරාගේ අසුන දිහා කඳුලු පිරුනු දෑසින් බලාගෙන

More Stories

Don't Miss


Latest Articles