සියල්ල සිදු වූයේ කලබලයෙනි. ආච්චා හෘදයාබාධයක් වැළඳී සිටියෙන්, මගේ මෝටර් රථයෙහි අම්මා ත් තාත්තා ත් ලොකු අයියා හා පුංචා ත් ඇය ව වහ වහා රෝහල වෙත ගෙන ගියහ.
මගේ ඇතුළාන්තය බරපතල ගැස්මකට ලක් ව තිබිණි. ඉන් නො නැවතී, අත් පය හා තොල් පවා වෙව්වලනු මට දැනුණේ ය. සියලු අපේ ගෙදරටත් මිදුලටත් රොක් වී, රෝහලට ගිය අය පැමිණෙන තුරු බලා සිටින්නට වූහ. එ් කිසිවෙකු සමග කතා බහ කිරීමේ උවමනාවක් මට නො දැනුණ අතර මම පුටුවක් මතට වැටී නියපොතු සපමින් කල්පනා කළෙමි. සැබවින් කල්පනා කළ කිසිවක් ද නොවුණු අතර යම් යම් දේවල් මට ඉබේ ම කල්පනා වූවා පමණ ය.
ඒ සියල්ල අතරේ රවීන් ගේ චවන කිහිපය තව දුරටත් මා තුළ හොල්මන් තරන්නට විය. අමු අමුවේ කපා කොටා තුවාලයකට බෙහෙත් දමත්දී දැනිය හැකි රිදුම දිගට ම හිතේ විය.
එය වූ කලී වියරු හැඟීමකි. වසර දෙක හමාරකට පෙර මගේ ජීවිතයෙන් මවිසින් ම පිටමං කළ ඔහු මේ මොහොතේ ත් මේ තරම් සජීවී ලෙස හිත මත ඉඳිකටු තුඩු අනිමින් හිඳීම නොයි විදිහට බාර ගත යුතු ද කියා මට සිතා ගත නො හැකි ය.
ඔහු හදිසියේ සිහිනයෙන් පෙනීමත් මට දැනුණ අමුතු බඩගින්නත්, ආච්චා හෘදයාබාධයක් වැළඳී සිටීමත් අතරේ එක්තරා සම්බන්ධයක් දකින්නට මට ඕනෑ විය. අපේ පංචේන්ද්‍රියන් ට හසු කර ගත නො හැකි එවන් අදෘශ්‍යමාන බලවේගයන් විශ්වය සතු නො වෙතැයි කිව හැකි ද?
“තව විනාඩි පහක් පරක්කු වුණානං අම්මගෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියන්න බැරි වෙන්න තිබුණා කියල ඩොක්ටර් කිව්ව. හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නෙ. දෙයියො බැලුවා වගේ සනූ ඒ වෙලාවෙ ඇහැරුණේ”
රෝහලට ගොස් යළි පැමිණි පුංචා කීවා ය. සිහිනය පිළිබඳව මගේ වූ භක්තිමත් හැඟීම තව තවත් වැඩි විය. මා අවදි කරවූයේ රවීන් ය. වෙන කිසි දාක කෙබඳු කුස ගිනනක් දැනී ද මම කෑම සොයා ගෙන කුස්සියට නො යමි. ඒ සියල්ල සිදු වූයේ ඒ මොහොතේ ආච්චා ගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙනි.
අප දවාලේ රෝහලට යන විට, සැත්කමෙන් පසු ආච්චා සුවෙන් සිටියා ය. මා දුටු ඕ හඬන්නට පටන් ගත්තා ය.
“ආච්චා. අඬන්න දුක් වෙන්න හොඳ නෑ. දැන් ඉතින් ඔක්කොම හරිනෙ..ම්..”
මම ඇය සන්සුන් කරනු වස් කීවෙමි. ආච්චා කඳුළු පිස ගත්තා ය.
“සනූ මගෙ ජීවිතේ බේරුව. ඒ වෙලාවෙ මං හිතුවෙ මං එහෙමම මැරිල යයි කියල. අනේ ඒත්…සනූ සතුටෙන් ජීවත් වෙනව දැකල මැරෙන්න මට වාසනාව තියෙනව නං…”
“මං සතුටෙන් තමයි ආච්චා”
“සැප කියන්නෙ සතුටට නෙවෙයි කෙල්ලෙ. නොකියා හිටියට අපි කවුරුත් ඒක දන්නවනෙ”
ඒ සිදුවීම ජීවිතයට අලුත් බරක් එක් කළේ ය. රවීන් ගේ කට හඬ අසන්නට ලැබීමේ කම්පනය තවත් දින ගණනක් යන තෙක් මා තුළ රිදුම් තැවුල් ඇති කරමින් පැවතිණ.
ජීවිතයෙහි වන අනියත බව ගැන ප්‍රායෝගික ව අවබෝධ කර ගැනීමේ අවස්ථාවක් ද ආච්චා ගේ හදිසි හෘදයාබාධය විසින් මට සලස්වා දෙන ලදී. බැඳීම් ගොඩක් ඇති කර ගෙන මිය යනවාට වඩා බැඳීම් අල්ප වශයෙන් පවත්වා ගෙන මිය යන එක සැහැල්ලුවක් විය හැකි බව ප්‍රථම වතාවට මම අවබෝධ කර ගනිමින් සිටියෙමි.
“මගෙ ජීවිතේ ගැන දැන් ලොකු බලාපොරොත්තුවක් තියන්න බෑ. අදද හෙටද කියන්න බැරි තරමයි. ඒකට කමක් නෑ. දැන් මට දාල යන්න බැරි දෙයක් නෑනෙ. උඹල මගෙ ඇස් දෙක පියවෙන්න කලින් මේ කෙල්ලගෙ ජීවිතේ පිළිවෙලක් කරල දීපල්ල. මං එච්චරයි ඉල්ලන්නෙ”
ගෙදර ආ පසු ආච්චා අම්මා හා තාත්තා යන දෙදෙනා ම ඉන්නා තැනක ඒ ඉල්ලීම කළා ය.
“හෙට වුණත් බැරියැ හොඳ කටයුත්තක් කරල දෙන්න. කෝ මෙයා කැමති නෑනෙ..ඇඟට ගොඩ වෙනවනෙ ඒ ගැන කතා කරන්න ගියාමත්”
අම්මා සිය වරදකාර හැඟීමෙන් මිදෙනු වස් නිදහසට කාරණා කීවා ය. මට ඇය ව ඒ හැඟීමෙන් මුදවන්නට තරම් කාරුණික හදක් පහල විය.
“තේරුමක් නැති නිසයි අම්මෙ මං එහෙම කියන්නෙ. කොහොම කළත් අන්තිමට මැරෙනවනෙ”
මගේ වයසේ කෙල්ලක ගේ හඬ වුව ඒ තරම් උපේක්ෂා සහගත වන එක අසා සිටින කෙනෙකුට වේදනාවක් වන්නට පුළුවන!
“උඹල ඒ කෙල්ලගෙ සතුට උදුර ගත්තා. දැන් මොනා තිබුණත් මොකටද…ඒකි ට සතුටක් නෑ”
මම එතැනින් නික්ම කාමරයට ගියෙමි.
සතුට කියන්නේ මොකක්ද කියා අලුතෙන් සිතා බලත යුතු ය. හැම කුඩා දේක ම සතුටක් හෙවීම කාලයක සිට මම පුරුද්දක් කර ගෙන හිඳිමි. මලක් වෙනත් වර්ගයක කොළයක් සමග එක් කළ විට මැවෙනා චමත්කාරය තුළ වුව සතුටක් වන්නේ ය. නමුත් ඒ සියල්ල ඉතා ඉක්මනින්, අති විශාල ශෝකයට ඉඩ දී පසු බා යන්නේ ය.
ජීවිතයක වන වටිනා ම දේ සතුට බව ඒ අනුව පසක් කර ගත හැකි ය. ජීවිතය කොහොමටත් අප වෙත ලැබී තිබේ. එහි ස්වභාවික අවසානය තෙක් ගමන් කරත්දී වෙන කවර දේටත් වඩා අවශ්‍ය සතුට බව තේරුම් යන්නේ සතුට අහිමි කර ගත් මිනිසුන් ට ය.
ගේ දොරකඩට ම පැමිණි නාඳුනන මිනිසුන් දෙදෙනෙකු, රාත්‍රියේ දී දිලුම් ට වෙඩි තබා ගියේ මේ අතරේ දිනෙක ය. වෙඩි හඬ නැගෙනා විට මා හිටියේ කාමරයට වී අන්තර්ජාලය ඔස්සේ අලුත් මල් සැරසිලි ගැන වාර්තාවක් කියවමිනි. පහළ මහලට මා ඉගිල ආවා කීවොත් නිවැරදි ය. අපේ ගෙදර සියලු දෙනා එතැන හිඳීමේ සැනසිල්ල මුලින් ම හදවත භුක්ති වින්දත්, ඒ වෙඩි හඬ නැගුණේ අත පොවන මානයෙන් වීමේ බිය හදවත බදා වැළඳ ගෙන තිබිණ. මට මුලින් ම සිහියට ආවේ ලොකු අයියා ව ය. අපේ පවුලේ සිටිනා නහර කාරයා ඔහු ලෙස ප්‍රකට ය. මතක ඇති කාලයක රණ්ඩු වලට පැටලී පොලීසි උසාවි ගානේ ගියේ ඔහු ය. පොලීසියට බියෙන් කට්ටි පනිමින් හැංගි මුත්තම් කළේ ඔහු ය.
“දිලුම් ට වෙඩි තියල”
අපි එක පොදියට ගේට්ටුව ළඟට දුවනකොට ම චූටි මාමා එසේ කියා ගෙන දිලුම් ලා ගේ ගේ දෙසට දිව්වේ ය. අපිත් එතැනට දිව ගියෙමු. දිලුම් ලේ විලක් මැද වැටී සිටියේ ය. වෙඩික්කරුවන් යතුරු පැදියක පලා ගොස් ඇති බව කියවිණ. දිලුම් ව වහා රෝහල වෙත ගෙන යන ලදී.
මේ කලබැගෑනියට හේතුව ගැහැනු පලහිලව්වක් බව පැවසිණ. දිලුම් ටික කලක් ගෑනු ළමයෙකු ඇසුරු කොට අතරමගකදී ඇය ව අත් හැර තිබේ..ඒ ගෑනු ළමයාගේ එකඟතාවකින් තොර ව වන අතර ගෑනු ළමයා දිවි නසා ගන්නට උත්සාහ දරා ඇත. එහි ප්‍රතිඵලය ලෙස ඇයගේ සහෝදරයන් විසින් මෙසේ දිලුම් ගෙන් පලි දරා ඇති බව වහ වහා අනාවරණය විය.
“මරු අම්මයි තාත්තයි අප්පා. මුං මේ හැම දේම දැන දැන අරකා අමාරුවෙ වැටෙනකල් ම හිටියනෙ”.
ආච්චා පරල වූවා ය.
“හැමදාම නිමාලි කළේ දිලුම් ගෙ වැරදි හංගන එකනෙ. එක්කො කල වයස හරි එකේ කසාදයක් කරල පිළිවෙලක් කරන්න ඕනෙ. ඔය වගේ අස්සයදො එහෙම ආම්බාං කරල තියෙන්නෙ. කෝ..එහෙම දෙයක් කළේ නෑනෙ. අන්තිමට ඌ වෙඩි කනකල්ම හිටිය”
එක එක්කෙනා එක එක අදහස් පළ කළහ. නමුත් දොස් කීවේ දෙමාපින්ට ම ය. දිලුම් කරනා වැරදි වලට එක අතකට ඔවුන් මොනවා කරන්න දැයි මම සිතුවෙමි. නමුත් දරුවන් වැරදි මගක ගියොත් දෙමපිව්යන්ට ලෝකයා ගේ දොස් පරොස් වලින් ගැලවී සිටිය ටනා හැකි ය.
මට මගේ අම්මා ගැන වසර දෙක හමාරක අතීතයේ මුල් ම වරට දුකක් දැනිණ. සිය දියණිය කලින් විවාහ වී දික්කසාද වූ පිරිමියෙකු සමග විවාහ ප්‍රාප්ත වන්නට සූදානම් වීම තුළ අම්මා ට දැනෙන්නට ඇති මානසික ව්‍යාකූලත්වය ගැන ඇගේ පැත්තේ සිට සිතුවෙමි. මා අම්මා කෙනෙකු වූ දාක එවන් තත්වයක් මා කෙසේ පිළිගනු ඇත් ද කියා සිතෙත්දී බරපතල බව වඩා තදින් ග්‍රහණය කර ගත හැකි විය.
ඒ මොහොතේ සිට මා අම්මා කෙරේ හැසිරෙන්නට ගත්තේ අලුත් මෘදු බවකින් ය කියා සිතමි. අම්මලා කැමති දරුවන්ට යහපත් ම දේ වෙනවාට ය. ඔවුන් යහපත කියා සිතනා හෝ දකිනා දේ වෙනස් වන්නට පුළුවන. නමුත් අම්මලා හිතුවක්කාර වන්නේත් අසරණ වන්නේ ත් දරුවන් නිසා ය!
දිලුම් ගේ ජීවිතයට අනතුරක් වී තිබුණේ නැත. නමුත් අවදානම තව දුරටත් පහ වී තිබුණේ ද නැත. ඔහු විසින් පර්හරණය කොට අත් හැර දැමූ තරුණිය ගේ සොයුරන් තුළ දිලුම් ගැන වෛරයක් නැතැයි කෙසේ කියන්න ද?
“ඒ ගෑනු ළමයගෙ ගෙදරට කතා කරල මේ කටයුත්ත පිළිවෙලක් කරපල්ල. ඒක තමයි මේ වෙලාවෙ කරන්න තියෙන හොඳ ම දේ”
ආච්චා සිය ජීවන අත්දැකීම් තුලින් ලද පරිචය ඔස්සේ දෙවෙනි මාමාටත් නිමාලි නැන්දාටත් අවවාද කළා ය. නමුත් ඒ යෝජනාව ට නැන්දා ව අවනත කර ගැනීම පහසු වූයේ නැත.
“දිලුම් ට වෙඩි තියපු උන් එක්ක අපි කොහොමද අම්මෙ පයුරු පාසානං තියා ගන්නෙ. අනික උං මැරයො”
“අනේ මේ මගෙ කට අවුස්සන්නෙ නැතුව ඉඳිං නිමාලි. උඹලයෙ පුතා අත දරුවනෙ”
ආච්චා එක්ක කතා කොට දිනන්නට ඔවුන් දැන සිටියේ නැත.
“මේ සනූ කෙල්ලට ඕන නැති දේවල් කරන්න ආපු දවසෙවත් උඹල ඔය ඉලන්දාරියට හොඳ නරක වෙන් කරල දුන්නෙ නෑ. බලපං දැං…ගෙදරිං හැදිච්ච නැති එකා සමාජෙං දඬුවං විඳිනව. වෙලා තියෙන වැරැද්ද අම්ම විදිහට උඹ මැදිහත් වෙලාවත් හරි ගස්සපං නිමාලි. ඒත් කෙල්ලෙක්නෙ”
“කෙල්ලො වුණාම දැන ගන්න ඕනෙ තමන්ගෙ නම්බුව තියා ගෙන ඉන්න. කොල්ලන්ගෙ කරේ එල්ලිල මෙතන…දැන් ඔය අපේ එකාට කසාද බඳින්නයි කියන්නෙ කොහෙං මොන වැරදි වෙච්චි එවුන්ද කියල අපි දන්නවද…”
මගෙන් ලොකු සුසුමක් ගිළිහිණි. නිමාලි නැන්දා හිතා ඉන්නේ පාසල් සමයේ සිට ම ගෑනු ළමයින් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින් ගිය දිලුම් ට මලෙන් උපන් කුමාරියක් සරණ පාවා දෙන්නට ය!
“හැම ගහටම කොට කොට ගිය එනා කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනව කියනවනෙ. මේ සැරේ නං දිලුම්ට මස්සිනාලගෙං ගැලවීමක් නෑ”
ලොකු අයියා මට කීවේ ය. එම තරුණිය දැනටමත් ගැබ් ගෙන හිඳිනා බවත්, දිලුම් දරුවා ගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කරමින් හිඳිනා බවත් අනාවරණය කර ගත්තේ ලොකු අයියා ය.
“නීතියෙං කසාද බන්දල දුන්නා වුණත් එතන ඊට පස්සෙ විශ්වාසයක් සතුටක් තියෙයිද අයියෙ…අනේ මන්දා..”
“හුඟක් කසාද ඇතුළෙ උඹ ඔය කිව්ව කිසි දෙයක් නෑ බං. තියෙන්නෙ කසාදයක් විතරයි”
“හ්ම්. අපේ අම්මල මට කර ගන්න කියනව වගේ කසාද”
ලොකු අයියා කිසිත් කීවේ නැත. නමුත් ඔහු ගේ මූණේ මම වෙනසක් දුටිමි.
“අයියත් දැං පවුල් ජීවිතයක් ගැන හිතන්න. හැමදාම මගෙ තනි මකන්න ඔයාට බෑ. ගොණ්ඩෙ රැවුල ඉදෙන්න කලින් බබාලව මොන්ටිසෝරි අරං යන්න ඕන”
විහිළුවක දවටා මම යතාර්ථයෙන් ඔහු ගේ මූණට දමා ගැසුවෙමි.
“හිතන්න ඕන තමයි. ඒත් කවුරුත් නෑනෙ බං”
“ඔයා වගේ කොල්ලෙක්ට කෙල්ලෙක් හොයා ගන්න බෑ කියනවනං පුදුමයි”
“අපි ඔක්කෝගෙම ජීවිත පිළිවෙලක් කරල උඹ..”
“මං ඒ දිහා බලල සතුටු වෙන්නයි හිතං ඉන්නෙ”
මගේ උපන් දිනය වෙනුවෙන් ලොකු අයියා පුංචි සාදයක් සැලසුම් කර තිබුණේ ය. මට ඔය වගේ දේවල් ගැන ආශාවක් නැති වුණත්, පවුලේ අය පහුගිය කාලය පුරාවට විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙමින් සිටියෙන්, ඔවුන් ට හොඳ කෑමකින් බීමකින් සංග්‍රහ කොට විනෝද වෙන්නට අවස්ථාවක් සලසා දීමත් හොඳ යයි මම සිතුවෙමි.
“කොහොමත් ඉතිං මගෙ වෙඩින් එකට කියල ගැදරින් එකක් නෑනෙ. ඒක නිසා මේ බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරමු”
මම හඬ නගා හිනැහුණෙමි. වැඩිපුර ම ශබ්ද නගා හිනැහෙන්නේ මහ දුකක හදවතින් කර පින්නා ගෙන හිඳිනා මිනිසුන් ය!
ලොකු අයියා උපන් දින සාදය සූදානම් කොට තිබුණේ ලස්සන කුඩා පිළිගැනීමේ ශාලාවක ය. අකමැති දීගෙක යත්දීත් සිනහ වී අමුත්තන් සමග කතා කරනා මනාලියක සේ මම හිනාවකින් මුව සරසා ගෙන සිටියෙමි. ලොකු අමුත්තන් පිරිසක් ඇරයුම් ලබා සිටියේ නැත. පවුලේ අයට අමතර ව සුනෙත් හා පූර්ණිමා ද ‘ඩිව්ස් ඇන්ඩ් බඩ්ස්’ වලට සම්බන්ධ කිහිප දෙනෙක් ද පමණක් පවුලෙන් පිට අය වූහ. ඒ සාදයේ අතර මගකදී මහා අමුත්තක් සිදු වෙනු මට දැනිණ. අපේ අයගේ සිනා කතා තෙපුල් එක මොහොතකට නැවතී දැරිය නොහැකි නිශ්ශබ්තාවයක් ජනිත විය. සිදු වූයේ කුමක් දැයි, පූර්ණිමා සමග කතා කරමින් ම මම හැරී බැලුවෙමි. මුවග වූ මඳහස ටික ටික වියැකී යන්නට ගත්තේ ය. ශාලාවේ දැවැන්ත පිවිසුම් දොරටුවෙන් ඇතුලු වී, එතැන සිට මදෙස බලා ගත් වන සිටියේ රවීන් ය. ඒ හැබෑවක් ද මායාවක් ද කියා වෙන් කොට හැඳින ගන්නට මා තැත් දරනා අතරේ ඔහු හෙමිහිට මවෙත සමීප වෙමින් සිටියේ ය.
“විශ් යූ මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ සනූ”
ඔහු එහෙම කියමින් මට වඩා සමීප වත්දී මා තදින් ඔහු වැළඳ ගත්තා කියා මට මතක ය.