සූර්යා ගිලන් කුටියට එන විට චනේදනී සිටියේ නෙතු පියා ගෙන ය. එය තද නින්දක් නොවේ. කවුරුන් හෝ කාමරයට එන බවක් ඇයට නො දැනුණා ත් නොවේ. ඒ ආලෝක වන්නට ඇතැයි, නින්දත් නො නින්දත් අතරේ නෙතු පියා උන් ඒ සුව නිමේශයේ චාන්දනී තීරණය කළා ය. ඇය ට තිබුණේ ඒ සුවයෙන් මිදෙන්නට බැරි ලෝබ කමකි.
චාන්දනී ගේ නින්දට බාධා වෙතැයි සූර්යා දොර වැසුවේ පවා ඉතා හෙමිහිට ය. යහන කොනක වන ඩිවානෝවෙහි හිඳ ගෙන ඇය ඉවසීමෙන් බලා සිටියා ය. නිදනා කෙනෙකුන් අහේතුක ව ඒ නින්දෙන් අවදි කරන්නට සූර්යා කොහොමත් කැමති නැත.
චාන්දනී හිටියේ වසර තිස් ගණනකට එපිට අතීතයේ ය. දේශප්‍රේමියා අන්තිමට ඇයත් ආලෝකත් බලා යන්නට ආ දා මංගල මුදුව ඈ අතෙහි ගුලි කොට ගියේ ය.
“ඇයි…”
ඇය ඇසුවේ දෙගිඩියාවෙනි. ඔහු යන්තම් අඩ සිනහවක් හෙළුවේ ය.
“කොයි වෙලාවෙ ටයර් සෑයක යන්න වෙයිද කියල නොදන්න මිනිහෙකුට මොන රත්තරංද…”
“මූසල කතා කියන්නෙපා”
“මං නැති වුණත් කොල්ලට අසරණ වෙන්න අරින එකක් නෑ තාත්තා. ඔයා ඒ ගැන බයෙං ඉන්න එපා”
“මං බය නෑ” කියා කියන්න ට චාන්දනී ට ඕන විණි. නමුත් එසේ කියා ගන්නට ඇයට හැකි වුණේ නැත. කියා ගන්නට බැරි හැඟීම් කෝටි ප්‍රකෝටි ගණනක් හදවත දරා ගෙන ඇය සීතල වූ දෑසකින් දේශප්‍රේමියා දෙස බලා සිටියා ය.
ඔහු තහනම් දේශපාලනයක පැටළුණේ මොන හේතුවක් නිසා දරයි අසා ගන්නට පවා චාන්දනී ට ඕන වී තිබිණි. දෙවියන්ගේ පිහිටෙන් ඔවුන් ට යමක් කමක් තිබිණි. දේශප්‍රේමියා ගේ පියා දරුවන් වෙනුවෙන් හරි හම්බ කළ හා ඉතිරි කළ වස්තුවක් තිබුණේ ය. ඔහු ගේ ඹළුවට අරගලයක අදහස් කා වැදුණේ කොතැනකින් දැයි ඇය දන්නේ නැත. ඔහු සිය දරු පවුල බලා ගෙන ඉන්නවා නම් ඇය වඩා කැමති ය කියා කියන්නට චාන්දනී කිහිප වරක් ම උත්සාහ කළා ය. නමුත් ඒ වෙත්දී දේශප්‍රේමියා කතා කළේ අමුතු ම භාෂාවකි. ඇයට ඔහු කී දේවල් තේරුණේ එහෙන් මෙහෙන් ය. ඈ නො දන්නා ලෝකයක් ගැන බොහෝ කරුණු කාරණා ඔහු දනිතැයි සිතුණෙන්, චාන්දනී සිය පටු සිතිවිලි ඔහු ඉදිරියේ දී හකුළා ගත්තා ය. දිනෙක ඔවුන් පැතු ලෝකය ගොඩනගනු හැකි වෙතැයි සිතා ගෙන සිටියා ය.
“ගමේ තරුණයන් කිහිප දෙනෙකු ගේ ම සිරුරු එදා ටයර් සෑයේ දැවිණි. දේශප්‍රේමියා ගේ දේහයේ ඉතිරි වී තිබි සුන්බුන් හඳුනා ගත්තේ ඔහු ගේ පියා ය. මහා අසරණ කමක් ද හිස් කමක් ද චාන්දනී ගේ ආත්මය පුරා පැතිර ගියේ ය.
මුළු ගම ම අමු සොහොනක් වී තිබිණි. හැම ගෙදරකින් ම ඇහුණේ ශෝකාලාපයන් ය. හැම ඇසක ම තිබුණේ කියා ගන්නට නො තේරෙන බියකි.
චාන්දනී විලාප තැබුවේ නැත. ඊට හේතුව කාලයක් තිස්සේ ම ඔවුන් ඒ මරණයට සූදානම් වෙමින් සිටි නිසා ද කියා කිව නො හැකි ය. නමුත් ඇගේ ඇස් වල මළ ගෙදරක ශෝකය විය.
ඉනික්බිති ජීවිතයේ අනන්ත වාර ගණනක් අග හිඟකම් වලින් බැට කෑව ද චාන්දනී සිය සැමියා ගේ මංගල මුදුව උකස් තැබුවේ නැත. එය සඟවා තැබු සීක්වීන්ස් ඇල්ලූ ඉපැරණි පසුම්බිය ඇද ඒ මුදුව දෙස බලා උන්නා පමණකි.
දෙදෙනෙකු එක් අරමුණකට පිවිස එක් ගමනක් යන්නට තීරණය කර ගත් පසු මුදු මාරු කර ගන්නේ සංසාර කාලයක් එකට හිඳීමේ අදහසනි. නිමාවක් නැති වෘත්තාකාර මුදුව සේ ආදරය ද අන්තයකට එළඹිය නො යුතු ය.
මංගල මුදුව නැවතත් ඈ අතට පත් කොට යාමෙන් ඔහු බලාපොරොත්තු වූයේ කුමක් දැයි චාන්දනී නිශ්චිත ව දන්නේ නැත. නමුත් දිවි හිමියෙන් එය ප්‍රවේසම් කරන්නට ඈ සිය හදවතින් බැඳී සිටියා ය.
චාන්දනී ඇස් ඇරියේ පියා ගේ මංගල මුදුව ආලෝක ට දිය යුතු ය යන සිතිවිල්ලෙනි. හදිසි හෘදයාබාධයකින් ඇය මිය ගියොත් යන හැඟීම මුල් ම වතාවට චාන්දනී තුළ ඇති විය.
“අම්ම ඇහැරුණාද…”
ඒ ස්ත්‍රී හඬින් චාන්දනී තිගැස්සී ගියා ය. හිරු මඬලක් සදිසි තරුණියක ඈ අභියස සිටියා ය.
“මං සූර්යා”
සූර්යා චාන්දනී ට ඈ කවුරුත් ද කියා සිතමින් වෙහෙසෙන්නට ඉඩ තැබුවේ නැත. ඒ නම් ඇයට ගැලපෙන ම නම යයි චාන්දනී ට සිතිණි. කහ පාට සඳ සදිසි මුහුණේ දිළෙනා කොළ පාට සඳ කත් මිණි ඇස්! මැහෝගනි රතු වර්ණ ගැන්වූ වරල සේ ම සිහින් උස් දේහය ද ඇය වෙතින් ප්‍රකට කළේ අවුරුදු හතළිහක මවක ගේ පෙනුම නොවේ. ආලෝක වයස විස්සකට ආසන්න වෙමින් සිටියදී චාන්දනී ඇගේ පෙනුම ගැන සිහි කිරීමට උත්සාහ කළා ය. තරුණ කාලේ දී මාලිනිය සේ සුරූපී වූවාට, ජීවිතයත් එක්ක පොර බැදූ කරදර නිසාවෙන් ඒ සුරූපී බව කෙමෙන් තුනී වී ගිය බව ඈ දනී. නමුත් ඇගේත් දේශප්‍රේමියාගේත් රූ සපුව උරා ගෙන මහ රුකක් සේ ආලෝක හැදී වැඩුණේ ය.
කෙසේ වෙතත් ඈ ඉදිරියේ මද මුදු සිනහ වතින් සිටිනා සූර්යා වනාහි හතළිස් වියැති ස්ත්‍රියක වූවාට වයස විසි පහක විසි හයකට එහා පෙනුම නැත්තියකැයි චාන්දනී සිතින් ගණන් හිලව් කළා ය.
“අම්මට දැන් ටිකක් හොඳයි නේද…”
සූර්යා ගැන ප්‍රවීන් ගෙන් දැන ගත් වෙලාවේ සිට දැනෙමින් තිබූ නොරිස්සුම මේ මොහොතේ නොදැනෙතත්, චාන්දනී උත්තර දෙන්නට ඉක්මන් නො වුණා ය.
“මං අම්මට සුප් එකක් හදං ආව. හොස්පිට්ල් එකේ ඒවට වඩා මේක රස ඇති”
“එපා”
සූර්යා සුප් බඳුන පිටතට ගනිත්දී චාන්දනී අතැඟිලි ද විහිදමින් ප්‍රතික්ෂේප කළා ය. නමුත් සූර්යා ක්‍රියා කළේ ඒ බවක් නොදුටුවා හෝ නෑසුණා මෙනි. ඇගේ මුව මඬලෙහි වූ මඳහසෙහි ද වියැකී යාමක් සිදු නොවුණි. ප්‍රතික්ෂේපයක් ගැන වගක් හෝ නොමැති ව සූර්යා චාන්දනී ගේ සිරුරේ පූර්ව අර්ධය මඳක් එසැවෙන සේ යහන සකස් කළා ය. ඉන්පසු ඇගේ පපුව මතින් සර්වියට් එකක් දැමුවා ය. පළමු සුප් හැන්ද මුව ළඟට ම ගෙනෙන තුරුත් ඇය මුව විවර කරනා සූදානමක් පෙන්වූයේ නැත. නමුත් අන්තිම මොහොතේ එසේ නො කොට බැරි විය. සූර්යා කිසිදු බලයක් පාවිච්චි නොකර ම ඇගේ ආදරයේ ආධිපත්‍යය පතුරමින් සිටියා ය.
රෝහලෙන් ලැබෙනා සුප් එකට වඩා මේ සූප් හැන්දෙහි අමෘත රසයක් වෙතැයි චාන්දනී ට දැනිණ. ඉන් පසු සුප් හැන්ද මුව වෙත ගෙනෙන්නටත් පෙර ඇගේ මුව විවර වී තිබිණි.
“මං දන්නව අම්ම මාත් එක්ක තරහෙන් ඉන්නෙ කියල.ඒත් අපි දෙන්නම ආදරේ කරන්නෙ එකම කෙනෙකුට. වෙනස් විදිහට වෙන්නැති. ඒත් අපි දෙන්නම කැමති එයාට හොඳක් වෙනවනං…එයා සතුටෙන් ඉන්නවනං…අම්ම මට කියයි ආලෝක ගෙං ඈත් වෙලා ඉන්න කියල. අපි මීට වඩා පොඩි කාලෙදි වුණානං මං අම්ම කෙනෙක්ගෙ හිත රිද්දන්න බෑ කියල එහෙම කරන්න තිබුණා. ඒත් අම්ම දැන් අපි ජීවිතෙං බාගයක් ජීවත් වෙලා අත්දැකීම් තියෙන මිනිස්සු. ඉතුරු වෙලා තියෙන ටික කාලෙවත් අපි සතුටෙන් ඉන්න ඕන නේද…”
චාන්දනී ගේ මුව ගොළු වී තිබිණි. ඇයට එක වචනයක් හෝ කියා ගත හැකි වූයේ නැත. සූර්යා කතා කර ගෙන ගියේ චාන්දනී ට කට සොලවා ගත නො හැකි වන සේ ය.
“ආලෝක ගෙ තාත්තා නැති වුණාට පස්සෙ අම්ම ආයෙ බඳින්න හිතුවෙ නෑ. ඒ අම්ම තාත්තට ආදරේ කරපු නිසා. ඒ හිතෙන් ආයෙ කෙනෙක්ට ආදරේ කරන්න බැරි නිසා. ආලෝකත් එහෙමයි. මාව අපේ අම්මල බලෙන් බන්දල දුන්නා. ඒත් ඒ මනුස්සයට ආදරේ කරන්න මට බැරි වුණ නිසා එයා වෙන කෙනෙක් හොයා ගත්තා. කොතන කොහොම තිබුණත් ආදරේ කියන්නෙ ආදරේට විතරයි අම්ම..වෙන කිසි දේකට ආදරේ වෙන්න බෑ. ඒ වගේමයි ආදරේට වෙන කිසි දෙයක් වෙන්න බෑ”
සූර්යා කී සමහර දේවල් චාන්දනී ට වැටහුණේ නැත. නමුත් ඇගේ දේශනයේ වූ කිසියම් ආකර්ෂණීය බවකට චාන්දනී ආශක්ත වී සිටියා ය. ඒ හරියට නො දන්නා භාෂාවක ගීතයක් වුව ඇස් පියා ගෙන විඳිනවා බඳු තත්වයකි.
සූර්යා රෝහලෙන් නික්ම ගියේ චාන්දනී ට කිව යුතු යමක් වී නම් ඒ සියල්ල කියා තබා ය. කලාතුරකින් ගැහැනියකට පිහිටනා ඒ අපූරු පෞරුෂය, චාන්දනී ව සෙල් රුවක් බවට පත් කොට තිබිණ.
සන්ධ්‍යාවේ අහස මන්දාරම් වී තිබිණි. ගිම්හාන වියළි බව සෝදා හරිමින් රාත්‍රියේ වැහි ඇද හැලෙන්නට ගත්තේ ය..නුගේගොඩ නගරය දුඹුරු පාට කොට තිබි දුහුවිලි වලාවන් සේදී යන අයුරු සූර්යා අපාට්මන්ට් එකේ මතු මහලේ සිට බලා සිටියා ය.
ඇගේ හිත සන්සුන් ය. දැන් හිතේ තියෙන්නේ ආදරය පමණ ය.
මීට කලකට පෙර ජීවිතය වදයක් සේ දැනුණ අවස්ථා ඇය පසු කර ගෙන ආවා ය. ජීවත් වන්නට කිසිදු බලාපොරොත්තුවක් වූයේ නැත. අරමුණක් වූයේ නැත. එවන් මොහොතක, ජීවිතය කියා දෙයක් අපට ලැබී තිබෙන්නේ ඇයි කියා සිතෙන එක පුදුමයක් නොවේ. අප ඇවිද යන්නේ මරණය කරා වන වග නො දන්නා කෙනෙක් මිහි මත නැත. නමුත් ජීවත් වත්දී අප කිසිවෙකු මරණය ගැන මෙනෙහි කරමින් සිටින්නේ නැත. එය පැමිණෙනා වෙලාවක පැමිණෙනු ඇත.
ජීවත් වෙන්නට කිසිදු අරමුණක් නො තිබුණ වෙලාවකදීත් මරණය තෝරා ගන්නට නො සිතු එක ගැන සූර්යා ඇයට ම ස්තූතිවන්ත වූවා ය. ජීවත් වෙන්නට හේතු යම් මොහොතක නොමැති වී ද පමා වී පැමිණෙන්නට පුළුවන. දිගු කාලයක් ගිම්හානය පොළොව පෙළුවා ට පස්සේ මේ විදිහට වැහි ඇද හැලෙන්නාක් මෙනි.
එක තීරණාත්මක නිමේෂයක මරණය තෝරා ගන්නේ නැතිව ජීවිතය දෙස බලන්නට ඇය ට හේතු සැපයූවේ ආදරයයි. කොළ පාට චන්ද්‍ර කාන්ත පාෂාණය, ආදරය කියා දෙයක් ලොව වන බව සූර්යා ට මතක් කොට දුන්නේ ය.
සැබවින් ආදරය ලොව පවතී. අපට එය හමු නොවෙනවා නොවේ. අප එය හදුනා ගන්නට බැරි තරම් කලබලකාරී ජීවිතයක දිව යන්නෙමු.
සූර්යා සන්සුන් සිතෙන් කෝපි තනන්නට වතුර දමා විදුලි කේතලයේ පේනුව සවි කළා ය. අපාට්මන්ට් එකක සත් වෙනි මහලක තනි ව ජීවත් වෙන ගැහැනියකට වුවත් ප්‍රේමයෙන් හුස්ම ගන්නට පුළුවන!
“සූර්යා”
ඇය තිගැස්සී ගියේ ඒ හඬ සිය ආත්මය පත්ලේ තිබී නැගුණේ දැයි සිතී ය. මීට පෙර පැරීසියේ දී ද අවස්ථා කිහිපයකදී ම සූර්යා ට ආලෝක මෙසේ අමතන හඬ ඇසී තිබේ. ආදරය කියා දෙයක් ලොව වන බව ඇය තේරුම් ගත්තේ එවන් අවස්ථා ජීවිතය මතින් ගමන් කරත්දී ය. සමහර විට ආලෝක ලංකාවේ සිට ඇය මතක් කොට හෙළු දුක් සුසුමක් පැරිසියේදී එලෙස කම්පනය වූවා ද කියා කාට නම් කිව හැකි ද?
සූර්යා හදිසි සිතිවිල්ලකට නතුව දොර හැරියා ය. ඇය විශ්මයට පත් කරමින් ආලෝක විදුලි සෝපානයෙන් මතු වූයේ ය.
“ඔයා දැං මට කතා කළා ද…”
ඇය එසේ ඇසුවේත් විශ්මයෙනි.
“කතා කරන්න ඕන වුණෙ නෑනෙ. ඔයා දොර ඇරියනෙ”
ඔහු කතා කරනවා ඇසුණ බව ඇය කියන්නට නො ගියා ය. සූර්යා ආලෝක ට උණුසුම් කෝපි කෝප්පයක් පිළිගැන්වූවා ය.
“අම්ම තනියම නේද…”
“අම්ම කිව්ව මට ගෙදර යන්න කියල. සීතා ඉන්නව අම්ම ළඟ”
ඇතැම් විට චාන්දනී එසේ කරන්නට ඇත්තේ ආලෝක සූර්යා සොයා එන බව නොදැන නො විය හැක. අල්ලා හිර කර ගෙන ඉන්නට වෙහෙසෙනවාට වඩා මිටින් මුදා යන්නට හැරීමේ සැහැල්ලුව දිනෙක අපි ඕනෑ ම කෙනෙකු විඳින්නට කැමැත්තෙමු!
“මං දන්නෑ මං අම්මට මොනා කිව්වද කියල..කියන්න කිසි දෙයක් මං හිතන් ගියෙත් නෑ. ඒ වෙලාවෙ කියවුණ දෙයක් කියල දැම්ම විතරයි. ඒත් මං හිතන්නෙ අම්ම මාත් එක්ක තරහ වුණෙ නෑ”
ආලෝක ට වඩාත් ලං ව, තිර රෙදි මෑත් කරන ලද කාමරයේ යහන මත හිඳ වැස්ස දෙස බලමින් සූර්යා මිමිණුවා ය.
“නෑ. එහෙම දෙයක් මට කිව්වෙත් නෑ. අම්ම සැහැල්ලුවෙන් හිටිය වගෙයි මට දැනුණෙ”
“ආලෝක”
“ම්..”
“මට හිතෙනව මට බිස්නස් කරන්න ඕන නෑ කියල”
ආලෝක සිය සුරත යවමින් ඇය ව සිය සිරුර වෙතට වඩාත් සමීප කර ගත්තේ ය.
“ඒක ඔයාගෙ නැමැත්තක්”
“මං කවදත් ඕවට කැමති වුණ කෙනෙක් නෙවෙයි. ඒත් මට එහෙම ඕන කමක් දැනෙන්න ඇත්තෙ ඒ පාරෙ ආවොත් පහසුවෙන් ඔයා ව මීට් වෙන්න පුළුවන් නිසා වෙන්න ඇති. අතේ තියන සල්ලි ටික ෆික්ස් ඩිපොසිට් කළත් මට ජීවත් වෙන්න පුළුවන්. මට තියෙන්නෙ ගොඩක් සරල අවශ්‍යතා ටිකක්. ඒත් මට හිතෙනව ඒ සල්ලි වලිං කුරුඳු ඉඩමක් ගත්තනං හොඳයි කියල”
ඇගේ සමහර කල්පනාවන් ගැන ආලෝකට තවම වටහා ගන්නට ද නො හැකි ය.
“ඒ කුරුඳු ඔයාගෙ තේ රස කරයිනෙ. මට දැන් වෙන මොනා නැතත් ආදරේ කියන දේ දැනෙනව ආලෝක. කිරණක් වගේ ඒ හැඟීම මගෙ ඇඟේ දුවනව. ඔයා බිස්නස් වලින් සතුටු වෙන්න දන්න කෙනෙක්. මං ඔයා දිහා බලං සතුටු වෙන්න පුරුදු වුණ කෙනෙක්”
ආලෝක සිය පෙම්බරිය ගේ නළල් තලාව සිප ගත්තේ ය. තව තවත් තදින් මහ වැසි ඇද හැලෙන්නට විය.