“තාත්තේ..මං ගාව ඉන්න..”
තාත්තාට වෙහෙස ඇති බව පවා නොසිතමින් මම පැවසීමි.තාත්තා හිනැහුණේ උස් හඬිනි.අයියා මවෙත ආවේ බොරු අමනාපයක් මවාගෙන ය.
“පේනවනෙ මම්මේ..ඔන්න ආයෙමත්.අපිව අමතක කරලම දාලා ඉතින්.”
මම්මා හෝ අයියා මා ඔවුන් නොසලකා හැර නැති බව දනිති.ඔවුන් මේ කරන්නේ මගේ මානසික මට්ටම යහපත්ව තබා ගැනීම බව මම දනිමි.මම තාත්තාගේ ළය මත හිස තබා ගතිමි.එවැනි දවස් මට ලැබී ඇත්තේ අල්පව ය.නැති තරම් ය.තාත්තාගේ සුවඳ පවා මට අමතකව ගොස් ඇතැයි මට සිතුණේ ඒ මොහොතේ ය.
“තාත්තේ..දැන් ඔයා එහෙ හිටිය ඇති..”
මා පැවසුවේ වේදනාව තැවරුණු හඬකිනි.තාත්තා මගේ හිස පිරිමැද්දේ ය.
“ඇත්තටම තාත්තේ තාත්තා ආපහු යන්න ඕන නෑ..”
අයියා පවසන්නේ මා මෙන් දුක්බර හඬකින් නොවේ.වගකීම පිරුණු හඬකිනි.ඔහු තව නොබෝ දිනකින් රැකියාවකට පිවිසෙන නිසා තාත්තාට විවේක ගන්නැයි පැවසීම අපහසු කාරණාවක් ද නොවේ.නමුත් ඇත්තම කාරණාව අපට මුදල් අඟහිඟයක් නොවීම ය.නමුත් තාත්තා කිසිසේත්ම මව්බිමේ නොරැඳීම ය.
“අම්මා කැමති වුණොත් මං ඉන්නම්කො චූටි..”
තාත්තා පැවසුවේ මට ය.පිලිතුරු දුන්නේ මම්මා ය.ඇගේ දෑස යම් තද ගතියකින් හැඩව ඇති බව මට සිතිණ.
“මල්ලි, දැන් එයා කියන තාලෙටම වැඩ කරා ඇති.ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න.මෙයාලාත් දැන් ලොකුයි.දැන්වත් හරි දේ කරන්න..”
තාත්තා කිසිත් නොපැවසී ය.ඔහුගේ මුහුණ අඳුරකට බරව ඇතැයි මට සිතිණ.එය දන්නා කාලයේ පටන්ම එවැනි අඳුරකින් වැසී තිබූ බව ද ඉනික්බිතිව මට සිතිණ.තාත්තා ද අම්මා ද මේ විවාහය තුළ හිඳින්නේ අසතුටින් නම් ඔවුන් වෙන් නොවුණේ ඇයිදැයි මට සිතේ.එය විමසීම ද මට අපහසු ය.එවැනි දෙයක් අසන්නට තරම් තාත්තා ද මා ද සමීප නැති බව අනතුරුව මට සිතිණ.නමුත් ඒ දුරස් වීම තවදුරටත් තිබිය යුතු නොවේ.තාත්තා සමඟ සමීප දියණියක වන්නට කාලය එළඹ ඇතැයි මම සිතුවෙමි.
ඒ ඈත් බව බිඳ වැටුණේ තාත්තා අතිනි.අයියා ද මම්මා ද නික්ම ගිය පසු ඔහු මගේ දුරකථනය රැගෙන මා අතින් තැබී ය.
“තාත්තා ඉන්නව කියන්න ඕන නෑ.අයියා යනකන්නෙ ඉන්න ඇත්තේ දැන් එන්න කියන්න..”
ඔහු කියන්නේ අමුතු තාලයේ සිනාවකිනි.මම විස්ම බැල්මකින් තාත්තා දෙස බැලීමි.
“කාවද තාත්තෙ.”
තාත්තා පුටුවේ හරිබරි ගැසුණේ ලොකු කතාවක් ඇති අන්දමිනි.මම ඔහු දෙස බැලුවේ පුදුමයට පත් දෑසිනි.
“ඔහොම සිහියක් නැතුව පාරේ ගිහින් හැප්පෙන්න තරම් සිහිය අවුල් කරපු මනුස්සයෙක් ඇතිනෙ. “
තාත්තා පවසන්නේ තරහකින් නොවේ.අම්මා වාගේ ඔහු කැළඹී නැත.ඔහු මට සරදම් කරමින් හිඳින බව මම තේරුම් ගතිමි.
“අනේ තාත්තේ,මං හැප්පුණේ අම්මා එක්ක තරහ වෙලා..”
මම සුරතල් වෙන්නට පටන් ගතිමි.තාත්තා එය විස්වාස නොකරන බැල්මකින් උස් සිනා නැඟී ය.තාත්තා සමඟ දෙනෙත් ගැන කියන්නට මට සිතෙන්නට වූයේ ඒ මොහොතේ ය.
“තාත්තේ..”
ඒ වචන ඇහිලීම එවැනි මාතෘකාවට බව තාත්තා ද තේරුම් ගන්නට ඇත.ඔහු මා ඔසවා යහනේ කෙළින් කර තබා මට සවන් දුන්නේ සාවධානව ය.නමුත් ඒ කතාවට ආයුෂ නොවී ය.අමුත්තෙකු පැමිණ දොරට සන් කළේ ද තාත්තා ඔහු පිලි ගන්නට ගියේ ද ඒ මොහොතේ ය.
මල් කළඹක් ඔසවා ගත් සචිර අයියාගේ පිටින් තාත්තාගේ සරදම යන්නට ඇති බව මට පැවසුවේ තාත්තාගේ දෑස ය.ඒවා සිනාවෙන් පිරී තිබිණ.