සූර්යා ලැසි ගමනින් ආලෝක ගේe මේසය වෙතට ම විත් පුටුවක් ඇද එහි අසුන් ගත්තා ය. මුහුණේ එක සිනහ බිඳක් හෝ නොවිණ. ආලෝක ඇදෙස බලා ගත් මුහුණෙන් ම සිටියේ ය. සූර්යා යටි තොල් පට සපා ගත්තා ය.
“බොරුමනෙ කරන්නෙ. ඔය තුරුල් වෙලා ඉන්නෙ ලස්සනට…සන්දීපනීට…මට කියන්නෙ කොහොමද..රඟපාන්න ඕන නෑනෙ. ඔයා එයාව මැරි කරන්න. මං කිව්වෙ නෑනෙ කොහොමත් එපා කියල. හැබැයි මං ආස නෑ රැවටෙන්න. ඒ වගේ ම කවුරුවත් මාව රවට්ටන්න හදනවට”
“සූර්යා මේ අහන්න…”
ආලෝක දෙතොල් විවර කර ගත්තේ අසීරුවෙනි. තොල් තද වී තිබිණි. ඔහු ඒ වචන ටික උගුරෙන් පිට කර ගත්තේ වුව අමාරුවෙනි. ඒ වෙලාවේ ඔහු ගේ මුහුණ අන්ත අසරණ ය. සූර්යා එහෙම ආලෝක කෙනෙක් කවදාවත් දැක නැත.
“මොකද්ද තවත් ඔයාට කියන්න තියෙන්නෙ…”
සූර්යා මේසයේ ඇතිරූ වීදුරුව දෙස බලා ගෙන තදින් කතා කිරීමේ උත්සාහයක් දැරුවා ය.
“ඒක බොරුවක්..උදේ මං නිදා ගෙන ඉද්දි…”
සූර්යා ට තවත් ඒ රංගනය නඩත්තු කළ නො හැකි වූයේ ඒ මොහොතේ ය. ඇය ට හයියෙන් සිනා ගියේ ය. කිසිත් වටහා ගත නො හැකි ව ආලෝක තව දුරටත් විපිළිසර දෑසින් බලා සිටියේ ය. පුටුව පිටුපසට දමා නැගී සිටි සූර්යා ආලෝක ගේ අසුන පිටුපසින් ගොස් ඔහු ගේ ගෙල වටා දෑත් දමා ඔහු ව සිප වැළඳ ගත්තා ය.
“අනේ මගෙ අහිංසකය. තවත් බය කරන්න බෑ”
ඇය ටික වෙලාවක් ඔහු ගේ හිස සිප ගෙන හිඳ නැවත අසුන වෙතට ආවා ය.
“මං දන්නව ආලෝක…ෆොටෝ එකක නෙවෙයි…ඇස් දෙකෙං දැක්කත් ඔයා එහෙම ඉන්නව….මං ඒක විශ්වාස කරන්නෙ නෑ. සමහර වෙලාවට අපි ඇස් වලින් දකින දේ වුණත් ඇත්ත නොවෙන්න පුළුවන් කියනවනෙ. ඒක නිසා මං විශ්වාස කරන්නෑ”
“සූර්යා…”
ආලෝක සිය දෑත් වීදුරු තලාව දිග ගෙනැවිත් සූර්යා ගේ දෑත් අල්ලා ගත්තේ ය.
“මට එච්චරටම ආදරේද ආලෝක..”
පෙම් කරනා පිරිමියා වෙතින් එසේ ප්‍රශ්න කරන්නට සිදු වීම ම ගැහැනියක ගේ විශේෂ භාග්‍යයකි. පසලොස් වසරක යුග දිවියක් ගත කළ ජනිත් “ඔයාට මාව විශ්වාස නැද්ද” කියා ව්මසූ දවස් සූර්යා ට මතක ය.
“ඇයි මං ඔයාව විශ්වාස කරන්නෙ”
කියා එහැම විටෙක ම ඕ විමසුවා ය. ගේට්ටුවෙන් පිටතට ගිය පසු පිරිමියෙකු විශ්වාස කළ හැක්කේ කෙසේ දැයි ඇය සිතුවා ය. සිය විවාහක පුරුෂයා ගැන එසේ සිතූ ඇයට ආලෝක සම්බන්ධයෙන් එසේ නො සිතෙන්නේ එය වූ කලී ප්‍රේමයේ අනුහසක් වන නිසාවෙන් ද?
“යං”
කියාගෙන ආලෝක අසුනෙන් නැගිට ගත්තේ ය. සූර්යා යන්නේ කොහේදැයි විමසන්නේ නැතිව ම නැගිට ගත්තා ය. ඔවුන් කාර්යාල පරිශ්‍රයේ පිටතට එත්දී ආරක්ෂක නිලධාරියා හිස මඳක් පහත් කොට සූර්යා හා සිනාසුණේ ය. එය වූ කලී ගෞරවය මුසු ළෙංගතු සිනහවකි.
“ඕන්නං මෙහෙම ඉද්දි ෆොටෝ එකක් අරං සන්දීපනීට යවන්න පුළුවන්. ඒත් ඕන්නෑ. එයාට එහෙම අසරණ හැඟීමක් දෙන්නෙ මොකටද..පව්…”
රියට නැගුණ ඉක්බිති සූර්යා කීවා ය. ආලෝක ඇය දෙස බලා උන්නේ සිය දෑසට ඈ වෙනුවෙන් වසඟ වන්නට ඇති තරම් ඉඩ දෙමිනි.
“ඒ ළමයට කොහොම තේරුං කරල දෙන්නද කියල මට තේරෙන්නෑ. එක අතකට අපේ අම්මා තමයි මේ වැරැද්ද කළේ. නැත්තං සූර්යා අපේ ගෙදරදි හම්බ වුණත් කෙලින් මගෙ මූණ බලපු ළමයෙක් නෙවෙයි”
“ඒ කියන්නෙ ඒ කාලෙත් හොරෙන් තමයි බලල තියෙන්නෙ”
ඇය සිය දෑසින් දඟකාර තරවටුවක් කළා ය. එසැනෙන් සිය මුහුණේ භාවයන් ද හඬේ තානයන් ද වෙනස් කළා ය.
“ආලෝක”
ඔහු රිය ඉදිරියට ගන්නා ගමන් ම හිස හරවා බැලුවේ ය.
“මගේ අතේ තියෙන සල්ලි ටික නිකංම මෙහෙම තියන් ඉන්න එකේ තේරුමක් නෑ. ඉන්වෙස්ට් නොකර”
“මොකද්ද ඉතිං ඔයා කරන්න යන්නෙ..”
“මං හිතුවෙ කුරුඳු අක්කර කීපයක් අරං දාන්න ආලෝක. වැඩි වෙන්නෙ නෑනෙ අපිට කුරුඳු. අනික දැං මට බිස්නස් එකක් කරන්න තරං මූඩ් එකක් නෑ”
“එහෙනං සල්ලි තියා ගන්න. ඔයාගෙ සල්ලි බිස්නස් එකට දාන්න ඕන නෑ”
“ආලෝක. ඉතිං ඔයා කුරුඳු ගන්න සල්ලි මට එනවනෙ අනේ”
ඇය එසේ කීවේ ඔහු හිත වෙනස් කර ගන්නට පෙර ය. සූර්යා ගේ හිතේ තිබුණේ ද කුළුබඩු අපනයනය ගැන ය. ඇගේ ප්‍රංශ ජාතික මිතුරා වන ෆ්‍රැන්සිස්කෝ යුරෝපය තුළ කුළුබඩු ව්‍යාපාරය ජයටම කර ගෙන යාම ඊට හේතුවයි. ලංකාවේ කුළුබඩු වලට යුරෝපයේ හොඳ ඉල්ලුමක් තිබේ. නමුත් තනි ගැහැනියක ව පවතිත්දී හිතක වන දිරිය හා ශක්තිය, පිරිමියෙකු ගේ ප්‍රේමයට නතු වූ ඉක්බිති අහිමි ව යන්නේ ය. දැන් ඉන්නා සූර්යා ට ද සාර්ථක ව්‍යාපාරිකාවක් වන්නට උවමනා නැත.
“බලමු එහෙනං”
ආලෝක අධිවේගී මාර්ගය ට රිය හැරවූයේ ය. මීටියාගොඩ අවටින් ම කුරුඳු අක්කර කිහිපයක් මිල දී ගන්නට බැරි කමක් නැත. දැන් දැන් කුරුඳු ඉඩම් අඩු වී ගිය ද කාලයකට පෙර වෙරළ තීරය දිගට ම කෙරුණේ කුරුඳු ව්‍යාපාරය ය. ආලෝක ගේ සීයා දකුණේ කෙනෙකු නොවේ. ඔහු මීටියාගොඩ බින්න බැස්සේ විවාහයෙන් පස්සේ ය. නමුත් ඔහු සිය කුරුඳු ඉඩම මිලදී ගත්තේ ඔහු ගේ මුදල් වලිනි. එකල ඔහු වාගේ පුංචි ව්‍යාපාරිකයන් බිහි වෙමින් සිටියද කුරුඳු ඉඩම් වැඩි වශයෙන් පැවතියේ පාරම්පරික ව්‍යාපාරිකයන් අතේ ය. ඔවුහු ඉතා ධනවතුන් වූහ. ඔවුන් ට අයිතිව තිබූ ප්‍රකට වලව් බොහොමයක් අදට ද දකුණු ප්‍රදේශයේ ශේෂ වී තිබේ. ධන කුවේරයන් වූවා සේම ඔවුහු පරිත්‍යාගශීලීහු ද වූහ. බටහිර ජාතීන් ගේ පාලන සමයේ සිට ම දිවයිනේ බොහෝ සංවර්ධන කටයුතු සඳහා ඔවුහු සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කොට ඇති බව සීයා කීවා ආලෝක ගේ ළමා මනසේ සනිටුහන් ව තිබේ.
“මාත් ආසයි දවසක…අම්ම තාත්ත නැති ළමයින්ට ඉන්න ළමා නිවාසයක් හදන්න. හැබැයි ඒක හැම තැනම තියනව වගේ එකක් නෙවෙයි. ඒ ළමයින්ට ඒගොල්ලො කාත් කවුරුත් නැති අසරණයො නෙවෙයි කියන අභිමානයෙන් ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕන”
“අපි එහෙම කරමු”
සූර්යා එසේ කීවේ ආලෝක ගේ ඇස් වල ඒ වෙලාවේ සනිටුහන් ව තිබූ අතීත භීතියක සේයා දුටු නිසා ය.
එදා සන්දීපනී හිටියේ ද්වේශී සතුටක් විඳිමිනි. එක අතකින් ආලෝක ඇය ට කළ අපහාසය වෙනුවෙන් පළි ගත හැකි විය. අනිත් අතට දැන් ඔහු මොනවා හිතා ගෙන උන්න ද ඒ සම්බන්ධය බිඳී යනු ඇත. තමන් ට නොලැබෙනවා කියා හිත හදා ගැනීම වෙනම දෙයකි. බොහෝ දෙනෙකුට බැරි ඒ දේ වෙන කෙනෙකුට ලැබෙනවා කියා හිත හදා ගැනීමට ය.
ඇය කැඩපත ඉදිරියට වී සිය රූපය දෙස බලා ගෙන සිටියා ය. ඇයට කැමති නො වන්නට ආලෝක ට වන හේතුව හොයා ගන්නට සන්දීපනී ට ඕනෑ විණි. ඇය වඩාත් උවමනාවෙන් කැඩපත දෙස බලා සිටියේ එබැවිනි.සූර්යා සතුව ඇය ට වඩා විශේෂයෙන් ඇත්තේ මොනවා ද? මුරණ්ඩු ලෙස දුරකතනය අතට ගත් ඕ සූර්යා ට ඇමතුමක් ගත්තා ය.
“කියන්න නංගි”
සූර්යා ගේ හඬෙහි කිසිදු කලබලයක් වූයේ නැත.
“දැක ගත්තනෙ නේද…ඔයාගෙ ප්‍රේමවන්තයගෙ හැටි…”
“ඒ කිව්වෙ…”
සූර්යා එසේ විචාලේ තත්පර කිහිපයක නිහඬතාවයකට පසු ය.
“මං කිව්වෙ ආලෝක…ඔයා තවත් එයා ගැන බලං ඉන්න එපා. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි නිසා”
“නෑ…”
සූර්යා එසේ කීවේ සිනහ වෙවී ය.
“මං එදත් කිව්වෙ…ඔයා ඕන වෙලාවක එයාව මැරි කරන්න කියල”
“ඒ කියන්නෙ මැරි කළාට පස්සෙත් ඔය සම්බන්දෙ තියං ඉන්නද හදන්නෙ…”
“තමන්ගෙ හස්බන් වෙන ලේඩි කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කර ගන්නෙ නැති තැනට වැඩ කරන එක වයිෆ් කෙනෙක්ගෙ වගකීම නේද…”
“මේ. ඔයා වගේ කසාද බැඳපු ගෑනු කොල්ලංව අල්ල ගන්න දාන මායං ගැන මං දන්නෙ නෑ හරිද…”
පරාජිත හැඟීම වැඩි වෙන තරමට සන්දීපනී ද්වේශයෙන් ද වෛරයෙන් ද කැකෑරෙන්නට වූවා ය. ඇය ගැහෙනා බවක් ඇය ට ම දැනිණ. එහෙව් අවස්ථාවක වඩාත් හොඳ නිසල වීම බව අසරණිය දැන සිට්යේ නැත.
“නංගි”
සූර්යා සන්දීපනී ඇමතුවේ කරුණාවෙනි. තමන් ඉදිරියට ව්‍යාජ දරු ගැබක් මවා ගෙන ආ චිංචි ටත් බුදුන් වහන්සේ අනුකම්පා කළ සේක. එසේ කිරීම පහසු නැත. ඒ සඳහා අසීමිත පෞරුෂයක් වර්ධනය කොට ගෙන තිබිය යුතු ය.
“ඔයා ලොකු මිස් අන්ඩස්ටෑන්ඩින් එකක ඉන්නෙ. මායං දාල වුණත් ගෑනු ළමයෙක්ට අල්ලගන්න හිතෙන කොල්ලෙක් තමයි ආලෝක. ඒත් මං එහෙම කරන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ තියෙනව”
“ඒ කියන්නෙ මං මායං දාල එයාව අල්ලගන්න හදනව කියලද ඔය කියන්නෙ…”
“කවුද දරුවො එහෙම කිව්වෙ…මට එහෙම කරන්න ඕන වුණත්..මීට අවුරුදු විසි ගාණකට කලින් එහෙම කර ගන්න බැරි වුණා. අවුරුදු විසි ගාණකින් ආයෙ එයාව හම්බ වෙනකොට මං ඉන්නෙ මනසින් ඊට වඩා ගොඩක් එහාට ගිහිං. මායං දාල අල්ල ගන්න දේවල් වැඩි කාලයක් අල්ලල තියා ගන්න බෑ කියන එක අත්දැකීම් ලැබෙනකොට ඔයා තේරුං ගනී”
තමා තුළ ම ඇය මිරිකී යන්නා සේ සන්දීපනී ට දැනිණ. ඇය නොයෙක් ආකාර වල කාන්තාවන් දැක තිබේ. වැඩ කරන සමාජය තුළදී ඇය ට දුක් විඳින අම්මලා ද, වේදනා විඳින බිරින්දෑ වරු ද, සතුට සොයනා තරුණියන් ද හමු වේ. අයාලේ යන බිරින්දෑ වරු ද, මාතෘත්වයට නිගා දෙන අම්මලා ද, කඳුළින් යෞවනය ගෙවා දමනා තරුණියන් ද හමු වේ. සූර්යා ඒ කාටත් වඩා වෙනස් ය. ඇගේ පෙනුම ගිනි සිලක් බඳු ය. නමුත් ඇයට තිබෙන්නේ මෙහෙනක ගේ බඳු නිවුණු හඬකි. ඒ හිත අවුරුදු විසි පහක කෙල්ලක ගේ එකකැයි සන්දීපනී දන්නේ නැත.
“වෙලාවකට මට හිතෙනව මං වගේ කෙනෙක් ඔයාට හරියන්නෙ නැති වෙයි කියල සූර්යා”
එදා රෑ කෑම ගන්නා ගමන්,වෙරළ බඩ අවන්හලේ දී ආලෝක කීවේ ඇත්තට ම උදේ සිට ම ඔහු ගේ හිත ට වද දෙමින් තිබි කතාවකි.
“හදිස්සියෙම එහෙම හිතුණෙ…සන්දීපනී ගැන කැමැත්තක් ඇති වෙලා වත්ද…”
ඇය සිනහ වෙවී විචාලා ය.
“මං ළඟ කොච්චර අඩු පාඩු තියෙනවද කියල ඔයා ඉස්සරහදි මට වැඩියෙන් දැනෙනව. ඔයා අර ෆොටෝ එක නිසා මාව සැක කරයි කියල කොච්චර මං බය වුණාද කියල හිතන්නකො. දවසක ඒ අඩුපාඩු ඔයාට වදයක් වෙයි. ඒක තමයි දෙන්නෙක් අතරෙ එපා වීමක් ඇති වෙන්න හේතුව”
“මං ආදරේ කරන්නෙ ඒ අඩුපාඩු තියෙන ආලෝකට තමයි”
ඇය ඔහු ගේ අතක් වැළඳ ගනිමින් ඒ මුහුණ බලා මිමිණුවා ය.
“ඒ අඩු පාඩුත් නැති සර්ව සම්පූර්ණ කෙනෙක් වුණානං මං මේ තරං ඔයාට බැඳෙන්නැති වෙන්න තිබුණා ආලෝක. අඩුපාඩු තියන කෙනෙකුට වැඩිය හොඳට ගැලපෙන්නෙ අඩුපාඩු තියෙන කෙනෙක්මයි. අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනෙ. මේ අඩුපාඩුත් එක්කම අපි ඉස්සරහට යං. වැඩිය වැදගත් වෙන්නෙ අපිට අපේ අඩුපාඩු වලටත් ආදරේ කරන්න පුළුවන් වෙන එකයි. මන්දා…මට පුළුවන් එහෙම කරන්න”
ලෝකයේ එක තැනෙක එහෙම මිනිසුන් සිටිය දී තව තැනෙක ඉන්නේ වෙනත් කෙනෙකු ගේ අඩුපාඩු නොව දියුණුව දැක ඉවසා ගන්නට බැරි මිනිසුන් ය.
“සුමනයට ඔය සූර්යා කියන ගෑනිගෙ මූණවත් ආයෙ බලන්න හිතෙන්නෙ නැති විදිහටයි මේ වැඩේ වෙන්න ඕනෙ”
ප්‍රවීන් සිය සගයාට උපදෙස් දෙමින් සිටියේ ය.