පසු දා උදේ ගිනුම් අංශයට ඇතුළු වෙත්දී ම අමාරසී දුටුවේ සිය වීදුරු කුටිය තුළ වැඩ පටන් ගෙන ඇති දිසත් මල්ලවාරච්චි ව ය. ඇයි දෝ මන්දා ඇගේ මුහුණට ලොකු සිනහවක් ආවේ ය. ඒ සිනහවෙන් ඔහු දෙසත්, සිය යෙහෙළියන් දෙසත් බලමින් ඕ අසුනට පැමිණියා ය.
“අරයා කුකුළා අතිං අරංම එනව වගේ නේ…”
“වයිෆ් එළෝනවලු”
කෙල්ලක ගේ කතාවට අමාරසී හයියෙන් සිනහ වූවා ය. පරිගණක තිරයෙන් හිස එසවූ දිසත්, වීදුරු බිත්තිය අතරින් ඇය ව දුටුවේ ය. ඒ සිනහව පිපුණේ උදා හිරු මඬල මෙනි. තත්පර කිහිපයකට නෙතු මුදා ගන්නට දිසත් ට අපහසු වූයේ ය. යළිත් අංශ ප්‍රධානියා ගේ කුටිය දෙස බැලු අමාරසී ඒ බැල්ම දුටුවා ය. ඕ පුටුව මතට දඩස් ගා වැටුණා ය.
“බොස් මේ පැත්ත ගැන මීටරෙන් ඉන්නෙ හොඳේ”
ඒ අවවාදය අධි සිල් සමාදන් වෙනා මැදි වියෙහි ගිනුම් ලිපිකාරිණියකගෙනි. ළමයින් තිදෙනෙකු ගේ අම්මා වන ගීතානි, මෙතැන ඉන්නා තරුණ කෙල්ලන්ගේ දඟකාර හැසිරීම් ඉවසන්නේ ම නැත..සිය දරුවන් ව මට්ටු කරනාකාරවෙන් ම එකට වැඩ කරනා ගෑනු දරුවන්ව මට්ටු කරන්නට යාම ඇගේ සිරිතයි.
“කොල්ලො දැකල නෑ වගේ දඟලන්න එපා අනේ. මොනතරං කැතද”
ඇය තව දුරටත් පැහැදිලි කරන්නට වූවා ය. අමාරසී දිලිනි දෙස යටැසින් බැලුවා ය. ඇය කට ඇද කළ තාලයට අමාරසී ට සිනහව ගිල ගත හැකි වූයේ නැත. ඇය මේසයේ මූණ ඔබා ගත්තා ය. නමුත් උරහිස් ගැස්සෙනා තාලයට, ඇය සිනහව නතර කර ගත නො හැකි ව සිටිනා බවක් දකිත හැකි විය.
“මේකි ගෙ හිනාව…”
කෙල්ලක කීවා ය.
“විකාර”
ගීතානි නොරිස්සුමෙන් ඉවත බලා ගත්තා ය. ගීතානි ලා කියන්නේ සිනහ වීම අමතක කළ ගැහැනුන් ට ය. ගැහැනියක වී ඉපදීම ම ඔවුන්ට මහත් හිස රදයක් වී තියේ. යන්ත්‍රයක් සේ කාර්යාලයේ වැඩ කිරීම හෝ වැඩ කරනා බව ඇඟවීමත්, ගෙදරක් යනු මහ කන්දක බරක් කියා සිතීමත් හැරුණ විට ඔවුන්ට ජීවිතයක් කියා දෙයක් ඇත්තේ නැත. සතුටක් කියා දෙයක් දන්නේ ම නැත. වෙනත් ගැහැනියක සතුටෙන් සිටිනා දෙස වුව බලා සිටීම ඔවුන් ට අමාරු ම කාරියකි.
“මේ…”
දිලිනි අමාරසී ට ඇහෙන සේ හෙමිහිට කතා කළා ය.
“ඇත්තට මෙයා ඊයෙ රෑ මෙහෙද විදා ගෙන තියෙන්නෙ…”
“ඇයි…”
“මං තමයි අද සෙක්ශන් එකෙන් මුලින් ම ආවෙ..හස්බන් ට වැඩකට යන්න ඕන කියල ටිකක් වේලාසන ගෙදරින් ආවෙ”
“හ්ම්…”
“ඒ එනකොටත් මෙයා ඇවිත්නෙ”
“ම්…”
“ඕව්”
වීදුරු කුටිය දෙස බැලූ අමාරසී නැවත ද වරක් සිනහවක් නගා ගත්තා ය. අද දිසත් ගේ කමිසය කහ පාට ය. ඔහු සූරියකාන්ත මලක් වගේ යයි සිකූ සිතිවිල්ල නැවතත් අමාරසී ගේ මුහුණ සිනහවකින් විකසිත කරවන ලදී.
වැඩිපුර සිනහ වෙන්නේ හිත යටින් හඬනා මිනිසුන් යයි කතාවක් තිබේ. ඇතැම් විට ඒ කතාව සත්‍යය විය හැකි යයි අමාරසී ට සිතේ. ඇය ට තියෙන්නේ ඕනෑ නැති දේ ට පවා නැගෙනා සිනහවකි.
“මළ ගේකදිවත් මෙයාට සිරික්කිය නතර කර ගන්න බෑනෙ”
නිර්මලා නිතර අමාරසී ට කියන කතාවකි ඒ. නමුත් ඇගේ හිත ඇතුළේ තියෙනා පාළු හුදෙකලාව ගැන කිසිවෙකු දන්නේ නැත. ඒ හුදෙකලාවෙන් තමා ම සැඟවෙනු වස් ඇය හැම මොහොතක ම හැම තැනකින් ම සතුට හොයනා බවක් ඇය හැරෙන්නට වෙන කවුරුත් ම දන්නේ නැත. ඒ තරම් සිනහ වීමෙහි හැබෑ අරුත නම් ඇය ඒ තරම් සතුටෙන් සිටිනවා කියන එක ම නොවේ. තමාව ම සතුටෙන් තබන්නට ඇය වෙහෙසෙනවා කියනා එක ය.
“මං කැමති වුණා අන්න අර මගුලට”
පරිගණකය ක්‍රියාත්මක කරනා අතරේ ම අමාරසී යාබද මේසයෙහි වැඩ කරනා දිලිනි ට කීවා ය.
“මොන…”
“අර නංගි කියල තිබුණෙ”
“ඉතිං බලන්න ආවෙ නෑනෙ….”
“මොනා බලන්නද…කාල බලන්නයැ…මොකෙක් එක්ක හරි ගියාම ගෙදරට මාව බරක් නෙවෙයිනෙ…”
“එහෙනං ඉතිං කලිංම එහෙම යන්න තිබුණනෙ. පිස්සුද…”
යෙහෙළිය සැර වූවා ය. අමාරසී එක අතකින් මූණ වහගෙන මඳක් මුව ඉහළට හරවා සිනහ වූවා ය. ඒ මොහොතේ ම දිසත් මල්ලවාරච්චි ඔහු යටතේ සේවය කරනා ගිනුම් අංශය දෙසට නෙතු යොමු කළේ ය. දමින්ද එදෙසට ආවේත් ඒ වෙලාවේ ම ය.
“ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි අමා…”
ඔහු තාලයකට කීවේ ය. ඔහු ගේ ඒ තාලය අමාරසී ගේ සිනහව තවත් වැඩි කරවී ය. දිසත් ට සිය නෙතු මුදවා ගන්නට අමතක වී තිබිණි.
“ඒයි බොස් බලං ඉන්නෙ ආ..”
එසේ කීවේත් දමින්ද ම ය. අමාරසී ඇගේ මල් පෙති දෑස් පා කොට හැරියා ය. ඒත් දිසත් ඉවත බැලුවේ නැත. දෙතොල් තද කර ගත් යුවතිය කිසිවක් නො සිදු වූ ලෙස පරිගණක තිරය ට නෙතු ඔබා ගත්තා ය.
“ඒයි මේ..ඒක නෙවෙයි. අලුත් බොසා පොඩි ලෙවල් එකක වගේ නේද ඉන්නෙ…”
නිරෝෂන් ද කතාවට හවුල් වෙනු වස් එතැනට ආවේ ය.
“අපේ ලෙවල් එකටම පොරවත් ගන්න අපි සෙට් වෙන්න කියල බැලුවෙ”
“සෙට් වෙන්න කිව්වෙ…”
“සෙට් වෙන්න කිව්වෙ ඉතිං…ජොනි වෝකර් එකක් බැකාඩි එකක් කාරිය කඩල…”
“අපෝ මුන්ට බෝතල් වලින් තොර ලෝකයක් නෑනෙ”
“යකෝ. මේ ලෝකෙ හරියට රස විඳින්නෙ බොන උං. උඹල දන්නවද ඒක…බොන උංගෙ බොක්ක හොඳයි. නොබොන එවුංගෙ වගේ කුහක නෑ”
“හොඳයි හොඳයි. බොන එවුංගෙ බොක්ක හොඳයි. ඒකනෙ ඇල්කොහොලික් සිරෝසිස් එන්නෙ”
අමාරසී ට නැවතත් සිනා ගියේ ඇගේ පාලනයකින් තොරව ම ය. ඒ සිනහව යට කෙතරම් නම් ගින්දරක් වී ද කියා දන්නේ ඇය ම පමණකි. දීර්ඝ කාලීන මත්පැන් ඇබ්බැහියක හිඳිනා පියෙකු ගේ දියණිය වීම තුළ, සැබවින් ම සිනහ විය යුතු ද නැත්නම් හැඬිය යුතු ද කියා හෝ ඇයට සිතා ගත නො හැකි තරම ය. තාත්තා ගේ බීමත් බව තුළ මතක ඇති කාලයක් පුරාවට දුක් විඳිනා අම්මා සේ ම ඇය ද නංගී හා අයියා ද අමාරසී ට සිහි විය. ඒ දුක් සමුදාය කිසි දාක වචන වලට පෙරළිය හැකි ද කියා හෝ සිතා ගත නොහැකි ය.
“රසී”
එහඬින් ඇය තිගැස්සී ගියා ය. ඉන්දික අංශ ප්‍රධානියා අසල සිට පිටතට එමින් කතා කළ නිසා ය ඇය එබඳු ගැස්මකට ලක් වූයේ.
“බොස්ට ගිය මාසෙම පර්චේසින් චෙක් කරන්න ඕනලු. ෆයිල් එක ගේන්න කිව්ව”
ලිපි ගොනු ගබඩා කොට ඇති වානේ අල්මාරිය ඇරිය අමාරසී, ඉන් ෆයිල් එක ගත්තා ය.
“මේ යං යං අපිත්. බොසා ඇහැ දාගෙන ඉන්නෙ ආ…තාම මුකුත් නොකිව්වට පොර මොන ජාතියෙද කියන්න බෑ”
කොල්ලෝ විසිර ගිය අතර කාන්තා පාර්ශවය ද තම තමන් ගේ වැඩ වලට යොමු වන්නට වූහ. අමාරසී ඉක්මන් ගමනෙන් බොක්ස් ෆයිල් එක ද ඔසවා ගෙන වීදුරු කුටියට ගියා ය.
“ඉඳගන්න”
දිසත් සැහැල්ලු ලෙස ඇරයුම් කළේ ය.
“හිනා වෙන්නනං දන්නෑ නේ…”
ඇය අතින් මුව වසා ගත්තා ය. ඇදෙස බලා යළි ලිපි ගොනුවට දෑස් හැරවූ දිසත් ගේ ලා තැඹිලි පාට තොල් අතරේ මඳහසක් නළියමින් තිබිණ. ඔහු ගේ මංගල මුදුව දිළිසුණේ ය. එය අලුත් මුදුවක් බව පෙනේ. ඔහු විවාහ වන්නට ඇත්තේ ළඟදී යයි අමාරසී සිතින් මිනුම් කළා ය.
“මොකද්ද නම…”
“මගෙද මිස්ට දිසත්…”
එය කලබලකාරී පිළිතුරු දීමකි. දිසත් නිස්කලංක ලෙස යුවතිය දෙස බැලුවේ ය.
“ඔව්”
“අමාරසී”
“අමා…රසී..නම් දෙකක්”
“නෑ එක නම. ඒ වුණාට කට්ටිය කියන්නෙ රසී කියල”
ඇය ඇස් වලින් සිනහ වූවා ය.
“ඕකේ. පර්චේසින් වලට අපි කොහොමද බජට් කරන්නෙ කියල මට පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕන. අර..ඉන්දික තමයි කිව්වෙ පර්චේසින් බාරව ඉන්නෙ ඔයා කියල..මට කට්ටියට කතා කරන්නත් ඕන. ඕගොල්ලො හරි සතුටෙන් මෙතන වැඩ කරනව වගේ නේ…එහෙම තමයි වෙන්න ඕන. මං ආසයි හිනා වෙලා සතුටෙන් වැඩ කරන කට්ටියක් එක්ක වැඩ කරන්න. හරි. ඉස්සෙල්ලම මං මේ ෆයිල් එක ටිකක් ස්ටඩි කරල ඉන්නං. ඊට පස්සෙ මං ඔයාට කතා කරන්නං රයිට්”
“ඕකේ මිස්ට දිසත්”
අමාරසී අසුනෙන් නැගිට දොර දෙසට දිගු පියවරක් තබමින් ද සිටියා ය.
“අමා”
පිටුපසින් ඇහුණ එහඬින් ඇගේ දෙපා එහෙම ම නතර විය. පපුව ගැඹුරේ ම අහේතුක ගැස්මක් ද ඇති විය. දෙතොල් තද කර ගනිමින් ම ඇය ආපසු හැරුණා ය. ඒ බැල්ම දිසත් ගේ ඇස් වල පත්ලට ම කිමිද ගියා සේ ය. ඈ එහි ගැඹුරේ තිබී යමක් හැඳින ගත්තා ය.
දුකක්!