කෙනෙකුගේ ජීවිතය තුළ නරක මතකයක් වන තරමටම වැරදි තීරණයක් වීම භයානක බව ඉනික්බිතිව මම උගත්තෙමි.මා සචිර අයියා දෙහිතකින් ගන්නා තීරණයක් විය යුතු නොවේ.
“අයියා..මම ඔයාගෙන් දෙයක් ඉල්ලන්නම්..”
ඔහු යන්නට ගොස් නැවත මා වෙත ආවේ ය.ශිෂ්‍යත්වය සමත්ව ලොකු ඉස්කෝලයක් යැයි සම්මත පාසලකට ආ කුඩා කොලුවන් තිදෙනෙකු වැඩුණු තරුණයන් වන තුරුම සහෝදර බැම්මකින් බැඳී සිටි අන්දම වසර ගණනක් මම දුටුවෙමි.ඒ මිත්‍රත්වය මා නිසා බිඳී යා යුතු නොවේ.දෙනෙත් ඒ බැම්මෙන් ගිලී ගොස් ඇත.සචිර අයියා ද අපේ අයියාගෙන් දුරස් වීම මා ඔහුට කරන අසාධාරණයකි.
“මම ඔයාව තෝරා ගන්න තැනකට කවදාවත් නොඑන්න පුලුවන්.එහෙම වුණත් අපේ අයියා එක්ක තියන යාලුකම අත් අරින්න එපා..මං ආයේ කවදාවත් ඔයාගේ සූකිරි නොවුණට කමක් නෑ..”
අර නළල් තට්ටු දැමීම වෙනුවට මගේ හිස මුදුව පිරිමැදෙන බව මට දැනිණ.ඔහු මදෙස බලා සිටියේ ද මදමුදු බැල්මකිනි.
“තීරණය මොකක් වුණත් ඔයා හැමදාම අපේ සූකිරි නංගි තමා..”
බැඳීමක් බිඳී යද්දී එය බිඳුමක් මිස නාය යාමක් නොවිය යුතු බව මට සිතිණ.දෙනෙත් අප සියල්ලන්ම අතැර දමා ඇත්තේ හිස්තැන් ඉතිරි කරමිනි.ලැබෙන සහ නොලැබෙන දෑ තේරුම් ගන්නට සචිර අයියා සමත් වීමම මට සතුටක් මිස වෙන යමක් ඉතිරි නොකළේ ය.
“තමන් දැන් හොඳට මොලේ කල්පනා කරලා තීරණයක් ගන්නව..”
දෙමිතුරියෝ කතාව ඇසීමෙන් පසු මට සුපුරුදු පරිදි තර්ජනය කරන්නට වූහ.නමුත් ඔවුන් මට සචිර අයියාගේ හොඳ කියන්නේ මා ඔහු වෙත කෙසේ හෝ සමීප කරන්නට ය.දෙනෙත්ට රිදවන්නට මා කළ යුතු හොඳම තෝරා ගැනීම සචිර අයියා බව ඔවුහු විශ්වාස කරති.
“ආදරේ කියල මිනිස්සු කරන මොකක්දෝ පටලා ගැනිල්ලට සචිර අහු වෙලා නැති එක සතුටක්..”
නිර්මාණි අක්කා පැවසුවේ එබන්දකි.ඇය මගේ අත මුදුව අල්ලාගෙන මා අසා හුන්නා ය.තාත්තාගේ නංගිලා අපේ අම්මා ප්‍රතික්ෂේප කරන්නේ එළිපිටම ය.එවැනි පුහු අදහස් අපේ පරම්පරාවෙන් අවසන් ව යාම එක අතකට යහපතකි.පාසල් කාලයේ ගැලවී ගිය රිබන් පටියකට පවා බැන වැදුණු ශිෂ්‍ය නායිකා අක්කා දැන් මගේ නෑනන්ඩිය ය.රිබන් පටියට වඩා බොහෝ වැරදි පෙනෙද්දී ඇය මගේ අතකින් තරයේ අල්ලා ගනිමින් මා දරා ගන්නී ය.
“ඇත්තටම කීවොත් චුටි..මම හසරැල්,අම්මා තාත්තා, මම්මා එක්ක ඔයා ගාවින් සචිර තිබ්බම අපේ පවුල සම්පූර්ණයි.හසරැල්ට ඒ පවුල දරන්න හොඳම හයිය වෙන්න සචිරට පුලුවන්.හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්.මොකද ඔයාට කැම්පස් එකෙන් ඊට වඩා කෙනෙක් ලැබෙන්න බැරි නෑනෙ..”
අක්කාට වූයේ එවන් අදහසකි.අයියාට තම හොඳම මිතුරා මස්සිනා වීම සැබෑ සතුටකි.නමුත් මා මගේ තේරීමට තවත් කල් ගත යුතු බව මම සිතීමි.
“අපි තුවාල පිටින් තව කෙනෙක් ගාවට ගිහින් ඒ මනුස්සයා තුවාල කරනවට වඩා කැලැල් එක්ක යන එක හොඳ ඇති අක්කා.කැලැල් පිළිගන්න ඉඩ දුන්නට කමක් නෑ.ඒ වුණාට මට තාම දෙනෙත් ගැන මොකක්දෝ එකක් හිතෙනවා..”
කාලය මා සුවපත් කරන තුරු මඟ බලන්නට මම තීරණය කළෙමි.එය මේ මොහොතේ මට කළ හැකි වඩාත්ම හොඳ තීරණය ය.නමුත් ඒ තීරණය ඉක්මනින්ම ගත යුතු බව ද මම දනිමි.