ඔබ දකින තුරා – 18

දිසත් සිය අලුත් නවාතැනට බෙහෙවින් රිසි වූයේ ය. එක කාමරයකින් ද කුඩා ආලින්ද කොටසකින් හා පැන්ට්‍රියකින් ද සඳැල්ලකින් ද යුතු වූ එය නිදහස් තැනකි. සඳැල්ලේ යකඩ වැටෙන් පහළට කඩා හැලෙන සේ වර්ණවත් බෝගන්විලා සිටවූ කළු පාට ප්ලාස්ටික් මල් පෝච්චි පෙළක් තබා තිබිණි. නිවසේ ඔහු කැමති ම තැන එය විය. එතැනින් පහළ පේන්නේ තණ පළස මැදි කර ගත් මල් පාත්ති ය. කුඩා ගෙමිදුලක් වන එහි තාප්පය අයිනේ ෆොක්ස් ටේල් ගස් පෙළක් සිටුවා තිබිණි. ඒවා අතරේ විවිධ හැඩ සිටින සේ කප්පාදු කළ වර්ණවත් ක්‍රිස්ටිනා, කුරු පිහිඹියා, ඉවට්, ඉක්සෝරා, දුරන්ත වැනි පඳුරු ය. තණ පලසට හරි මැදින් රඹුටන් ගසක් අතු පතර විහිදමින් මිදුලට සෙවන දුන් අතර, ඒ සෙවනේ දීප්තිමත් වර්ණ වලින් යුතු ඇන්තූරියන් මල් යායක් ම විය.

ඉතා ක්‍රමානුකූලව මේ මිදුල නඩත්තු කරන්නට මේ ගෙදර ගෑනු ළමයින් දෙදෙනෙක් ම සිටි අතර, ඔවුන් ගේ මව ද ඉතා තරුණ පෙනුමැති කාන්තාවකි. මුල් දින දිසත් සිතුවේ ඇය ගෑනු ළමයින්ගෙන් වැඩිමහල් ම තැනැත්තිය බවයි. බොහෝ අය අම්මා ව දූවරුන්ගේ අක්කා ලෙස පටලවා ගනිති.

උඩු මහල කුළියට දෙනු පිණිස ඔවුන් හෙව්වේ කුඩා පවුලකි. විශේෂයෙන් ම නව යුවළකි. කුඩා දරුවන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සිටිනා පවුල් කිහිපයක් ම එය කුළියට ගන්නා කැමැත්තෙන් මුදල් ගෙවන්නට සූදානම් වූ මුත්, ළමයින් සිටිනා අයට එය ලබා දෙන්නට ගෙදර හිමි කරුවෝ කැමති නොවූහ. විශේෂයෙන් ම ඒ ඔවුන් ගේ මල් වලට හානි කරතැයි බියෙනි.

“ඒගොල්ලො හොයන්නෙ වඳ ගෑනියෙක් ඉන්න පවුලක්නෙ. අපරාදෙ..ඒකත් ඇඩ් එකට දැම්මනං අපි එන්නෑනෙ බලන්න”

යනුවෙන් එක පවුලක පුරුෂයා ඔවුන්ට ඇහෙන්නට ම බැණ බැණ ගියේ ය.

දිසත් ට ගේ දෙන්නට ඔවුන් බෙහෙවින් කැමති වූයේ තනි පුද්ගලයෙකු නිසා ය.

“ඒ වුණාට කොල්ලෙක් දාගෙන බෑනෙ කෙල්ලො දෙන්නෙක් ඉන්න තැනකට”

කියා ගෘහ මූලිකයා කීවත් ගෘහණිය ගේ තීරණය වූයේ දිසත් ට මතු මහළ ලබා දිය යුතු බවයි.

“හොඳ පෙනුමක් තියන හොඳ ජොබ් එකක් කරන කොල්ලෙක්නෙ. හාල්පාරුවෙක් නෙවෙයිනෙ. එහෙම කොල්ලෙක් එක්ක අපේ කෙල්ලෙක් යාළු වුණත් ලොකු අවුලක් නෑනෙ”

ඒ කතාව ඇත්ත වුණත් නැතත් බිරිඳ ගේ අදහස අන්තිමට ක්‍රියාත්මක කරන්නට ම වන බව අත්දැකීමෙන් දන්නා සැමියා නිහඬ වූයේ ය. දිසත් ට මේ සොඳුරු නවාතැන හිමි වූයේ එසේ ය.

“දිසත් උයන්නැත්තං ඉතිං අපිට පුළුවන් රෑට කෑම ටිකක් දෙන්න. ඔයා කඩෙං අරං එන්න එපා”

ඔහු හැන්දෑවේ කඩෙන් කෑම පැකට් එකක් ගෙන එනු දුටු ගෘහණිය විශේෂ දයානුකම්පාවකින් කීවා ය.

“අනේ තෑන්ක් යූ මිසිස් පෙරේරා. මං රෑට එක ම දෙයක් කියල කන්න කැමති නෑ. හිතුණ දෙයක් ඒ වෙලාවට තීරණය කරල තමයි කන්නෙ. ඉතිං පිටිං ගන්න එක ලේසියි”

දිසත් වහා ම ප්‍රතික්ෂේප කරමින් මතු මහළට නැගුණේ ය. ඒ පිය ගැට පෙළ දිගට ම විචිත්‍ර කොළ සහිත පැළ සිටවු පෝච්චි තිබුණේ ය.

“එක විදිහක ආඩම්බරකාරයෙක්”

ඔහු පිය ගැට පෙළෙහි ඉස්මත්තට ම ගිය කල මිසිස් පෙරේරා කීවා ය. දියණිවරු දෙදෙනා දෙතොල් තද කර ගෙන සිනහ වූහ.

නිතර දෙවේලේ අමාරසී ගේ ගෙදර නොයා යුතු බව, එදා එහි රෑ කෑම ගෙන පැමිණි දාට පසු දා කාර්යාලයේ දී දිසත් සිතා ගත්තේ ය. ඒ ගැහැනුන් නොව පිරිමින් ම, අමාරසී හා අජිත් ව ඔහු ගේ මෝටර් රථයෙහි දමා ගෙන යාම ගැන කනින් කොනින් කතා වන බව දැනුණ නිසා ය.

“මිස්ට දිසත් කලින් ඉඳන් රසීගෙ තාත්තව දන්නවද..නෑ මේ කා එකේ යනව දැකපු නිසා කීප දෙනෙක්ම එහෙම කතා වුණා”

නිරෝෂන් දිසත් ගේ මූණට ම ඇසුවේ ය.

“ඔව්. හැබැයි ඒ අමාරසී ගෙ තාත්ත කියල දැනං හිටියෙ නෑ”

අවස්ථාවේ හැටියට දිය යුුතු හොඳ ම පිළිතුර එය යයි දිසත් සිතුවේ ය. එය ඇත්තක් නොවී ද නො එසේ වී නම් අමාරසී ගේ අභිමානයට එය කැළලක් වනු ඇතැයි ඔහු ට සිතිණ.

“කට්ටියගෙ ඇස් වල කටු අනින්න වගේ වුණා ඔයා මිස්ට දිසත් ගෙ කා එකේ ගිය එක. ඊටත් වඩා තාත්තත් එක්කම. දන්නැද්ද මුංගෙ කටවල්”

දිලිනි අමාරසී ට මුමුණා කීවා ය.

“අපි හිතන් හිටියට අපි හුඟක් දියුණුයි කියල…අපි මාර නොදියුණු මිනිස්සු රසී. අපි පට්ට ප්‍රාථමිකයි. ස්පෙශලි…අනිත් අය ගැන හිතද්දි අපිට දියුණු මනසනින් හිතන්න ඕනම නෑ. ඒකට හේතුව අනිත් මිනිස්සුන්ට වරදිනව දකින්න අපේ ලේ වලම කැළතිලා තියන ආසාව. ඒක මේ දූපත් මිනිස්සුන්ගෙ ජාන වලින් ම එන දෙයක්. මූණිච්චාවට අනේ අපොයි කිව්වට අපි ආස ළඟ ඉන්න එකාට හෙණ ගැහෙනවට. මෙතන ඉන්න එවුන්ට ඔයා තාත්තත් එක්කම මිස්ට දිසත් ගෙ කා එකේ ගිය එක දරා ගන්න බැරි වෙන්න ඔය ඔක්කොම හේතු බලපානව. ඊරිසියාවත් එකතු වෙනව. ඒ ඊරිසියාව නිසා තමයි රසීයි මිස්ට දිසතුයි අතරෙ මොකක්ම හරි හුටපටයක් ඇති කියල හිතන තැනට වැටෙන්නෙ. එතනදි ඔයා ලෝකෙ ඉන්න නරකම ගෑනියෙක් ගෙ තැනට තල්ලු කරන එක තමයි උන්ට තියන ලොකුම සතුට. හැබැයි ඒ වුණාට කියන්නෙ…අපරාදෙ රසී අර යකාට අහු වෙලා කියලයි. පෙන්නන්නෙ අනුකම්පාව”

දිලිනි එච්චර දෙයක් කීවේ නිකං ම නොවන බව අමා දනී. මූණට ලස්සනට සිනහ වෙන හුඟක් මිනිස්සු නැති තැන කියන්නේ අහස පොළොව නූහුලන කතා බව, රැකියාව කරන්නට ගත් පසු අමා අත්දැකීමෙන් ම දන්නී ය.

“අනේ කුද ගහ ගන්න කියමු. එතකොට එක එකාට බයේ..උං කියන කතා වලට බයේද අපි ජීවත් වෙන්න ඕනෙ…”

තරුෂි දිලිනි ව අනුමත කළේ නැත. කොහොමටත් ඇය තමන්ට අවශ්‍ය දේ ගැන මිස අනුන් හිතන දේ ගැන ඒ හැටි උනන්දු වූ යුවතියක නොවේ.

“හැබැයි ඉතිං මට දුක මගෙ ක්‍රශ් එක මාව කා එකේ දාගෙන යන්නැතුව මේකාව දාං ගිය එක ගැන”

ඇය කට ඇද කළා ය.

“ඒකට කමක් නෑ. එයා කාගෙ වුණත් මගෙ ක්‍රශ් එක”

විහිළුවට ගෙන සිනහ වූවා ට අමාරසී ගේ හිතේ ගින්දරක රස්නය නොවූවා නොවේ.

එදා දිසත් හිතා මතා ම කාර්යාලයේ වැඩක් මවා ගෙන පමා වූයේ අමා හා ඔහු ගේ පියා ව මග හරින්නට ම ය.

“අපි මිස්ට දිසත් ගෙ කා එකේ ගිය එක ගැන ඔෆිස් එකේ කට්ටිය එක එක ඒව කතා වෙලා තියෙනව”

හැන්දෑවේ ගුරු පාරේ ඇවිද යන ගමන් අමාරසී අජිත් ට කීවේ ශෝකයකින් ද කලකිරීමකින් ද නැත්නම් ඒ දෙකෙහි ම මුසුවකින් ද කියා ඇය ම වුව දැන සිටියේ නැත. අජිත් අඩි කිහිපයක් නිහඬව ම ගමන් කළේ ය.

“අම්ම කිව්ව හරි”

යුවතිය වහා හිස හරවා පියා දෙස බැලුවා ය.

“මොකද්ද අම්මා කිව්වෙ…”

“දිසත්ව වැඩිපුර ගෙදර එක්කං එන්න එපා කියල. මොනා වුණත් ගෑනුන්ට ඉව තියෙනව. ගෑනු අනුමාන කරන ඒව හුඟක් වෙලාවට හරි යනව”

සිත්හි පැටැළුණ ගතියක් තිබුණත් ඒ ඇයි ද කියා හෝ අමාරසී ට වැටහුණේ නැත. ඇය නිහඬ ව ම ගමන් කළා ය. එක අතකට තරුෂි කියන්නේ ඇත්ත ය කියා ද ඇය ට නො සිතුණා නොවේ. අනිත් මිනිසුන්ට ඕනෑ විදිහට ජීවත් වන්නට යාම වෙහෙසකි. නමුත් ගෙදර දී සේ ම කාර්යාලයේ දී ද, දිසත් ඉදිරියේ දී ද අමා හැසිරුණේ ඒ ගැන ඇය කිසි සේත් කණස්සළු නොවන ආකාරයකිනි.

දිසත් කේෂි ගේ පියා පරාක්‍රම හමු වනු වස් ඔහු ගේ කාර්යාලයට ගියේ ය. ප්‍රශ්න වහ වහා විසඳා නො ගෙන ඒවා එක්ක ම ඔහේ ජීවත් වීමේ විපාකය, කේෂි නිසා දැන් ඔහු උගෙන තිබේ. දික්කසාද වීම යන කාරණය ද කාලයත් සමග කුරුවල් වීමට නො හැරිය යුතු යයි ඔහු තීරණය කොට තිබිණ.

“මං ඩිවෝස් කේස් එකක් ෆයිල් කරන එක කේෂිට හොඳ නෑ අංකල්. මං කැමතියි කේෂි ඒක කරනවනං. මං දැං එයාගෙ ගේ අත්ඇරල ගිහිං නිසා…ලේසියෙංම එයාට ඒක කරන්න පුළුවන්”

පරාක්‍රම මේ කොල්ලා දෙස බලා සිටියේ ආදරය මුසු බැල්මකිනි. ඔහු හැබෑ පිරිමියෙකු බව අවිවාදිත ය. එහෙව් පුරුෂයෙකු අහිමි වෙන තැනට කටයුතු කිරීම සිය දියණිය ගේ අවාසනාව ය.

“කේෂිනං පොඩ්ඩක්වත් කැමති නෑ පුතා ඩිවෝස් එකකට යන්න. මං එයා එක්ක මේ ගැන කතා කළා”

“ඒත් අංකල්…මට තවත් ඒ තේරුමක් නැති ජීවිතේ ඇතුළෙ විඳවන්න ඕන කමක් නෑ”

දිසත් ගේ ප්‍රකාශය ඍජු ය. පැකිළීමකින් තොර ය.

“මට කේස් එක ෆයිල් කරන්න පුළුවන්. ඒත් අංකල් දන්නවනෙ ඒවට හේතු විදිහට ප්‍රසන්ට් කරන දේවල්..මං කැමති නෑ කේෂිට එහෙම කරන්න. මොකද එයා මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා හිටියා. අවුරුදු තුනකට වැඩිය වයිෆ් වෙලා හිටිය”

ඉතාම තීරණාත්මක ලෙස කතා කරන මේ මිනිසා ගෙන් තවත් යමක් ඉල්ලා සිටීමෙන් පලක් නොවන බව  පරාක්‍රම ට නොතේරෙනවා නොවේ. නමුත් අන්තිම මොහොතේ ත් සිය එක ම දියණිය වෙනුවෙන් බැගෑපත් වෙන තැනට, තාත්තා කෙනෙකු වශයෙන් ඔහු පත් වී සිටියේ ය.

“මං දන්නව මට මෙහෙම කියන්න අයිතියක් නෑ. ඒත් මේක තාත්ත කෙනෙක්ගෙ රික්වෙස්ට් එකක් කියල හිතන්න දිසත්. ප්ලීස්…පුළුවන් නං තව එක චාන්ස් එකක් කේෂි ට දෙන්න”

දිසත් සුසුමක් හෙළමින් ම පුටුවේ පිටුපසට වී හරි බරි ගැහුණේ ය. ඔහු ට අජිත් සිහි විය. ඔහු අමාරසී ගැන හිතන, කතා කරන ආඩම්බරය ඔහු ට සිහි විය. හැම තාත්තා කෙනෙකු ම එසේ යයි හිතන්නට බැරි කමක් දිසත් ට නැත. ඔහු ගේ පියා හේන් කුඹුරු කොටමින් ඔහු ට ඉගැන්නුවේ ය. කොළඹට  පය ගහන්නට පාර කපා දුන්නේ ය. තාත්තලා ගේ ආදරය ගැන පොත් ගණනාවකින් වත් ලිවිය නො හැකි ය. අම්මලා ගැන තරම් තාත්තලා ගැන නො ලියවී ඇත්තේ ඒ නිසා විය යුතු ය!

“සොරි අංකල්”

මේ කොල්ලා ගේ පෞරුෂය ඉදිරියේ පරාක්‍රම ට දැනුණේ ඔහු කුරා කුහුඹුවෙකු සේ ය. ඒ තත්වයට පත් වන්නට ඔහු ට සිදු වූයේ දුවක නිසි ලෙස නො තැනූ නිසා ය යන හැඟීමෙන් මිදෙන්නට ද ඔහු අපොහොසත් වූයේ ය.

“මං හිතන්නෑ තවත් එහෙම කරල තේරුමක් වෙයි කියල. අංකල් දන්න තරමටත් වඩා අංකල් නොදන්න තරමට මං කේෂිට චාන්සස් දීල තියෙනව. ඒත් එයාට ෆැමිලි ලයිෆ් එකක් කියන්නෙ විහිළුවක් විතරයි. ඒ විහිළුව ඇතුළෙ විහිළුවක් වෙන්න මට තවත් පුළුවන් කමක් නෑ අංකල්. මං දන්නව එයාට ඕන නෑ ඩිවෝස් වෙන්න කියල. හැබැයි මං දන්නෙ නෑ ඇයි එයාට මාව ඒ මැරේජ් එක ඇතුළෙ හිර කර ගෙන ඉන්න ඕන කියල. අංකල් දන්නවද එයා මගෙ දරුවව මගෙ ඇස් පනාපිටම නැති කළා කියල…මේ ඇති අංකල්. හොඳටම ඇති”

පරාක්‍රම ට කට උත්තර නැති තරම් වූයේ ය. දිසත් ගේ මූණ දෙස කෙලින් බලන්නට බැරි අපහසුවක් ඔහු ට දැනුණේ ය. සැබවින් ම කේෂි බලාපොරොත්තු වන්නේ කුමක් දැයි ඔහු ට වුව පැහැදිලි කර ගත නො හැකි වූයේ ය.

“ඕකේ පුතා. අපි එහෙම කරමු. මං කේෂිට කියන්නං ඩිවෝස් එක ඉල්ලල නඩුවක් දාමු කියල”

“ලොකු උදව්වක් අංකල්”

දිසත් අසුනෙන් නැගිට ගන්නට තනත්දී ම වීදුරු දොර තල්ලු කර ගෙන කේෂි පරාක්‍රම ගේ කුටිය වෙත ආවා ය. දිසත් එහෙම ම අසුනේ ම සිටියේ ය. මේ මොහොතේ ඇය ඔහු ගේ හිතේ මේ තරම් හිස් කමක් ව දැනෙන්නේ කෙසේ ද කියා දිසත් ට සිතා ගත නො හැකි තරම් විණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...