දිසත් වටා ත්වරණය වෙමින් පැවති වායු අංශු ද දුහුවිලි අංශු ද වල වේගය අඩු වී මඳින් මඳ ඒවා සාමාන්‍ය තත්වයකට හැරුණාට පස්සේ ඔහු හෙමිහිට ආශ්වාස ප්‍රශ්වාස කරන්නට වූයේ ය. නමුත් හද ගැස්මෙහි තව දුරටත් මඳ වෙනසක් ඉතිරි වී තිබිණි.
ඔහු කේෂි දෙස බැලුවේ ය. ඇය බීමත් බව මත කෙටි නිද්‍රාවකට පිවිසෙමින් ද යළි පියවි තත්වයට පත් වෙමින් ද යහනෙහි ඇන්දට බර ව වැතිර සිටියා ය.
“දරුවෙක් බඩේ තියාගෙනද මනුස්සයො ඔය විදිහට බිව්වෙ…”
ඇදෙස බැලූ ඔහු ගේ මුවට මුලින් ම පිවිසි ප්රශ්නය ඒ ය. කෑ ගැසීමක් බඳු එහඬින් කේෂි ගැස්සී නෙතු හැර ගත්තා ය.
දරුවෙක් කියනා මාතෘකාවේ දී දිසත් සංවේදී වන්නේ ම ය. ඔහු ට, ඔහු ගේ ඇස් පනා පිට ම බෙහෙත් පෙති වර්ගයක් බී ඇය විසින් විනාශ කර දමන ලද ඔහු ගේ දරුවා සිහි විය. මේ විදිහට මධ්‍යසාර දේහ ගත කිරීම මත ඇය මේ උත්සාහ කරන්නේ තවත් දරුවෙකු ගේ ඉරණම ලියා තබන්නට ද? මෙලොව එළිය දකින්නට හෝ වාසනාවක් නැති පව් පිරූ ආත්මයන් අම්මා ලෙස ඇය ව තෝරා ගෙන ඇගේ කුස පිළිසිඳ ගන්නේ ද?
“දරුවන්ට ආදරේ ඇති එක්කෙනා. ඒකනෙ එයාව දාල යන්න හදන්නෙ.”
“කේෂි මේ…නිකං බොරු චෝදනා කරන්න එපා හොඳේ”
එවර දිසත් කෙතරම් කෝපාවිෂ්ඨ වූයේ ද යත් ඔහු කතා කළේ දත් මිටි කමින් කේෂි වෙතට තර්ජනාංගුලිය දිගු කරමිනි. ඇය වෙරි මත අතැර නැගී සිටියා ය.
“මොකද්ද චෝදනා කරනව කියන්නෙ…”
“නිකං පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා. ඇත්තටම කන්සීව් වෙලානං…ඒ දරුවගෙ තාත්ත කවුද කියල ඔයා දන්නව ඇති. මට වැඩක් නෑ ඒ කවුරු වුණත්…මෙහෙම කරන්න එපා. දරුවෙක්ව මරා ගන්න හදන්න එපා. අනේ ඇත්තට තමුන්ල වගේ ගෑනුන්ගෙ බඩේ ඉපදෙන්න දරුවන්ට පාර පෙන්නල….ඉරණම මොකද අර දේවාල වල කන්නලව් කර කර ළමයි ඉල්ලන ගෑනුන්ගෙ බඩවල් හිස් කරන්නෙ කියල මට තේරෙන්නෑ”
“දිසත්..”
ඇය නැගී සිටියා ය.
“හරි මං මේ ළමය හදන්නං. ඔයා යං ගෙදර”
“ඒක ආයෙ කවදාවත් වෙන්නෑ”.
“එහෙම කොහොමද…ඔයා මගෙ හස්බන්…මං වෙනම නඩුවක් දානව. මට මේ ළමයව එපා ඔයා ගන්න ඕනෙ කියල. මං කියන්නෙ මේ…ආවෙ නැත්තං. ඒව ඕන නෑ. අපි යමු දිසත් ගෙදර”
කේෂි දිසත් ගේ අතක එල්ලුණා ය. ඔහු අත ගසා දැමූ පාරට ඇඳට වැටුණ ඇය එහෙම ම නිදන්නට වූවා ය. ඇය ව අවදි කරවා ගෙදර යවන්නට දිසත් දැරු උත්සාහය ගඟට කැපු ඉණි සේ අපතේ ගියේ ය. අන්තිමට ඔහු ට සෝෆාවේ නිදන්නට සිදු විය. උදේ ද ඇය ව අවදි කරවා ගැනීම පහසු වූයේ නැත. ඒ නිසා ම සූදානම් වූව ද වෙනදා වෙලාවට රැකියාව සඳහා පිටත් වන්නට ඔහු ට හැකි වූයේ නැත. දිසත් කේෂි ව විටින් විට අවදි කරවමින් ද, දෑත් කලිසම් සාක්කු වල ඔබා ගෙන සක්මන් කරමින් ද බෝ වෙලාවක් ගත කළේ ය.
ඔහු තවමත් නොපැමිණීම නිසා එක හදවතක ස්ඵන්දනය යම් පමණකට වෙනස් වී තිබිණ. අමාරසී මොහොතක් ගානේ නෙතු ඔසවා වීදුරු කුටිය දෙස බැලුවා ය. නමුත් එය තවමත් තිබුණේ හිස් ව ය. වෙනදා තිබෙන සියල්ල නො අඩු ව එහි තිබේ. අඩුවකට වන්නේ දිසත් පමණකි. නමුත් මහා හිස් කමක් අමා ට දැනේ. විටෙක ඒ හිස් කම බඩ පපුව දවනා දැවිල්ලකින් හෝ පිච්චීමකින් පිරී යන හැටි ඇය බලා උන්නේ කම්පිත ව ය.
කාර්යාලයට පැමිණීමෙන් පසු අනූ නව වන වතාවටත් අත් ඔරලෝසුව දෙස බැලූ ඕ අන්තිමට ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමක් ගන්නට ගියා ය. යළිත් එය මේසය මතින් තැබුවේ ඒ තමන්ට අයිති නැති කටයුත්තක් බව සිහි වී ය. නමුත් හදවතක් හඳුනන්නේ අයිතිය නොව ප්‍රේමය ය. ඇය යළිත් දුරකතනය අතට ගෙන වට්ස් ඇප් පණිවිඩයක් තැබුවා ය.
“පරක්කු නිසා බැලුවෙ. කරදරයක් නෙවෙයි නේද…”
ඒ පණිවිඩය දිසත් ගේ දුරකතනය මත සටහන් වත්දී ම එය සීන් කළ බව අමාරසී දුටුවා ය. ඇයට එක්වන දැනුණේ සැනසුමකි.
“මං එනව”
සැනසෙන්නට ඇය ට ඒ හොඳට ම ප්‍රමාණවත් විය.
බලයෙන් වාගේ කේෂි ව අවදි කරවා ගත් දිසත් ඇය වොෂ් රූම් එකෙන් එනතුරු නොසන්සුන් විනාඩි ගණනාවක් තව දුරටත් ගත කළේ ය.
“මොකද්ද මේ නටන නාඩගම…රෑට මෙහෙ රිංගන්න තියා ගත්තහම මගෙ ආත්ම ගෞරවේට මොකද වෙන්නෙ…පින් සිද්ද වෙයි කේෂි…මට මගෙ පාඩුවෙ ඉන්න දීල ඔයා ඔයාට ඕන විදිහට ජීවත් වෙනවද…ඇයි මේ මගෙ පස්සෙං පන්නන්නෙ…”
“පන්නන්නෙ…”
කේෂි ගේ සිනහවේ සමච්චලය පදමට තිබිණි.
“පන්නන්නෙ ඔයා මගෙ හස්බන් නිසා. මගෙ බඩේ දරුවෙක් ඉන්න නිසා. ඇත්තටම මං පන්නන්නෑ මේක කලින් දැන ගත්තනං. දැන ගද්දි පරක්කුයි. බෙහෙත් වලටවත් මිස්කැරි වුණ් නෑ. හරි මං ඔයාට ඩිවෝස් එක දෙන්නං. හැබැයි එක කන්ඩිශන් එකක් උඩ”
“කන්ඩිශන්…”
“මාව ඇබෝශන් එකකට එක්කං යන්න”
“මොකක්…”
දිසත් ට දැනුණේ ඔහු කේන්ද්‍ර කර ගෙන ලෝකය කැරකෙනවා සේ ය. හෙතෙම යහන කොනක හිඳ ගත්තේ සැබවින් ම මේ සිහිනයක් ද හැබෑවක් ද යන අවිනිශ්චිත බවෙන් යුතුව ය.
“තව ලේට් වෙන්න බෑ දිසත්. මං ඔයාට ප්‍රොමිස් වෙනව. මාව මේකෙං නිදහස් කෙරෙව්වොත් ඔයා ඉල්ලන නිදහස දෙනව”
“පිස්සුද මනුස්සයො”
දිසත් කෑ ගැහුවේ පහළ මහලේ හිඳිනා ගෙහිමියන් ට ඇසේවිය යන කල්පනාව ද පහ වී ය.
“ජරා වැඩ කරන්න එපා. ළමයෙක් නේද…ආත්ම ගාණකට පව් පුරෝගන්න එපා”
“බණනං කියන්න ඕන නෑ දිසත්. හරි එහෙනං ඔයා ගෙදර එන්න. අපි ළමයව හදමු”
කියමින් කේෂි පඩි පෙළ බැස යන්නට වූවා ය. ඔහු දහදියෙන් උතුරා යන බවක් දිසත් ට දැනුණේ ය. ඇය ඔහු ගෙන් ඉල්ලා සිටින්නේ ඝාතකාගාරයකට ඇය ව ගෙන යන්නට කියා ය. ඔහු එක්තරා ආකාරයක භීතියකින් වෙව්ලා ගියේ ය.
තවත් ටික වෙලාවක් දෑත ම කම්මුල් වල ගසා ගෙන කල්පනා කළ හෙතෙම නැගී සිටියේ ය. සැබවින් කල්පනා කළා කීවා ට කිසිත් සිතට පිවිසියා නොවේ. මුළු තුන් හිත අක්‍රීය ව පැවතිණ. කිසිවකින් අවහිර වී පැවතිණ.
“මල්ලි”
ඔහු රියට නැගෙන්නට හදනකොට ම ගෙහිමි කාන්තාව දිසත් වෙත ආවා ය. හැර ගත් රියෙහි දොර වසා දමා ඔහු ඇය වෙත හැරුණේ ය.
“මල්ලි ගෑනු කට්ටියව මෙහෙට ගෙන්න ගන්නවටනං අපි එච්චර කැමති නෑ. අපි ඔයාට මේක දුන්නෙ තනි කෙනෙක්ට කියපු නිසා”
ඇය ඇස් වලින් මතු මහල පෙන්වූවා ය.
“ඒ…මගෙ වයිෆ්”
මඳ නිහැඬියාවකට පසු දිසත් ඒ පිළිතුර දුන්නේ ඇය නිහඬ කරන්නට වෙන මගක් නොපෙනුණ නිසාවෙනි. ඇය හුස්ම ඉහළට ඇද්දා ය.
“ඔයා බැඳලද…”
“ඔව්. පොඩි ප්‍රශ්නයක් නිසයි මං ඇනෙක්ස් එකක් ගත්තෙ”
ඇය නිරුත්තර ව සිටිනාතරවාරයේ ඔහු රියෙහි නැගුණේ ය.
දිසත් කාර්යාලයට ආවේ වීදුරු කුටියට ගොඩ වෙන්නටත් පෙර “අමාරසී” කියා කතා කරගෙන ය. ඔහු කාර්යාල පරිශ්‍රයට පිවිස වීදුරු දොරෙන් ඇතුළු වී පුළුල් කොරිඩෝරය දිග ඇවිද එන තුරාවට අමාරසී ගේ ඇස් එක මොහොතකට හෝ ඉවත බැලුවා නොවේ. ඔහු ගේ හඬ මඳක් උස් වූයේ ය. අමාරසී කියා මුවින් කීවා ට ඔහු ‘එන්න’ කියා සංඥා කළේ අතිනි. දිසත් ගේ මුහුණ හොඳ නැති බව ඔහු දෙස යොමු වූ ගිනුම් අංශයේ හැම නෙතකට ම හැඳිනිය හැකි විය. නමුත් ඒ රාජකාරීමය ප්රශ්නයනැයි බොහෝ දෙනෙකුට සිතෙන්නට ද ඇත. ඔහු ගේ පමාවත්, මූණේ වන හොඳ නැති කමත්, කුටියට යන්නටත් පෙර අමාරසී ඇමතූ විලාශයත් ඒ සිතිවිල්ල ට අලගු තබන්නට ද ඇත.
අමාරසී ෆයිල් දෙක තුන ම තුරුලට ගෙන ඔහු වෙත ගියා ය. දිසත් හිටියේ නොසන්සුන් ව ය. ඔහු ලිපි ගොනු ගෙන පෙරලා බැලුවේ ය. අසුනෙන් නැගිට කබඩ් එක වෙත ගොස් ඇරියේ ය. එහි වන ලිපි ගොනු අත පත ගෑවේ ය. නමුත් ඒවා හා ඔහු ගේ හදවත අතරේ සම්බන්ධයක් නැති බවට, මේ මොහොතේ ඒවා එකිනෙක බෙහෙවින් දුරස් බවට ඔහු ගේ නොසන්සුන් බව ම සාක්ෂි දැරුවේ ය.
යළි අසුන වෙත පැමිණි දිසත්, අමා රැගෙන ආ ෆයිල් පෙරළමින් වැසුවේ ය. වසමින් යළි හැරියේ ය. ඒ නොසන්සුන් මිනිසා තුළ දුක් විඳින අසරණ ආත්මය අමාරසී සිය දෑසින් ම දුටුවා ය.
සියල්ල පසෙකට කළ දිසත්, ඔහු ඉදිරියේ අකම්පිත ව බලා හිඳිනා යුවතිය ගේ මුහුණ දෙස කෙළින් බැලුවේ ය.
“කේෂි ප්‍රෙග්නන්ට්ලු”
අන්තිමට ඒ දරන්නට බැරි බර ඈ ඉදිරියේ අතෑරියේ ය. අමා ගේ පපුව මැද්දේ ම සුළියක් ඇති විය. එය කෙතරම් දරුණු වී ද යත් ඇය ට බිම බැලිණ. මුව මඳක් විවර කර ගෙන ඇය හුස්ම ගත්තේ ආශ්වාසය අවහිර වන බවක් දැනුණ නිසා ය. එය කොයි විදිහේ කුණාටුවක් ද? විටෙක මහ දියක මතු පිට ඇති වන දිය සුළියක් සේ ඒ ඇය ගහ ගෙන ගියේ ය. පිදුරු ගසක් වැනි සිතිවිල්ලෙක ඕ එල්ලී ගත්තා ය. එවර ටර්නාඩෝ සුළියක් විත් ඇය ව ඉහළ අව පීඩන කලාපය තෙක් වේගයෙන් ඇද ගෙන ගියේ ය. අමාරසී මියෙන්නට හෝ බිමට පැන්නා ය. ඒ සුළි කුණාටු අවසන් වන විට ඒවා ට හසු වීමත් මුහුණ දීමත් නිසා ඕ පදම් වී සිටියා ය.
හිස ද ඇස් ද ඔසවා දිසත් දෙස බැලුවේ ඊළඟට ය..මේ වන තුරුත් බිම බලා ගෙන සිතිවිලි කුණාටු සමග පොර බදනා යුවතිය දෙසට දිසත් ගේ නො වෙනස් දෑස යොමු වී තිබිණ. අමාරසී සිනහවක් නගා ගන්නා උත්සාහයක් දැරුවා ය. එය වූ කලී දියෙහි ගිලෙන්නට යන මිනිසෙකු පිහිනා ගොඩ එන්නට දරනා උත්සාහය බඳු අව්‍යාජ වූවකි.
නමුත් කිව යුත්තේ කුමක් දැයි ඇය දැන සිටියේ නැත.
“ඒක ඉතිං සාමාන්‍ය දෙයක්නෙ..මැරි කරපු කෙනෙක්නෙ”
කියා කියන්නට සිතුණත්, එවැන්නක් දිසත් ගේ මූණ බලා ගෙන පැවසීම ඔහු ට කරනා බලවත් අසාධාරණයක් බව ඇය ට දැනුණේ ය. එවන් ප්‍රකාශයකින් කියවෙන්නේ ඇයට ඔහු නො දැනුණ බව ය. මුළු මහත් ඔහු තුළින් නිහඬ ව ප්‍රකාශ වෙන කතාව විශ්වාසයට නො ගත් බව ය. මොන හේතුවක් නිසා ද මන්දා මේ මොහොතේ අමාරසී ඈ ඉදිරියේ හිඳ ගෙන සිටිනා නො සන්සුන් මිනිසා ව කොන්දේසි විරහිත ව විශ්වාස කරමින් සිටියා ය.
“පරක්කු වෙද්දි මං බැලුවෙ..මග කරදරයක්වත්ද කියල”
අන්තිමට හිතත් එක්ක ලොකු පොර බැදීමකින් පසු ඕ කියා ගත්තා ය. ඒ වෙලාවේ ඇගේ මුවග වූ මඳහස අතිශය අවංක ය.
දිසත් ට සිතුණේ මේ කෙල්ල ට තුරුළු වී ඉකි බිඳිමින් හඬන්නට ඇත්නම් කියා ය. කේෂි ගේ ගැබ් ගැනීමට ඔහු ගේ කිසිදු සම්බන්ධයක් හෝ වගකීමක් නැති ය කියා වචන වලින් කියන්නට ඔහු සිතුවේ වත් නැත. වචන වලින් ශුද්ධවන්තයන් වෙන්නට හදනා පිරිමින් ද ගැහැනුන් ද ඔහු ඕනෑ තරම් දැක තිබේ. නමුත් සිය විවාහක බිරිඳ ගැබ් ගෙන තිබෙන්නේ සිය අනුදැනුමකින් තොරව ය කියා කෙසේ නම් කියන්න ද? ඔහු ඇය ගෙන් වෙන් වීමේ ස්ථිර තීරණයක් ගෙන ඇති බව අමාරසී දනී. නමුත් ගැබ් ගැනීමක් ගැන ඇය ට වුව ඇගේ ම කෝණයකින් බලා සිතීමේ අයිතියක් තිබේ. ඒ අයිතියට බලපෑම් කිරීමේ උවමනාවක් කිසි සේත් දිසත් ට වූයේ නැත.
“මිස්ට දිසත් උදේට කෑම කාල නෑ නේද…කාල ඉන්න”
අව් වැසි සුළි කුණාටු ඉදිරියේ දීත් නොසැලී උපේක්ෂාවෙන් හිඳිනා මහ කන්දක් සේ සියල්ල තමා තුළ දරා ගෙන අමාරසී කීවා ය. දිසත් අසුනේ පසුපසට වී සැහැල්ලු වූයේ ය.
“කෑම ගන්න මතක් වුණෙත් නෑ”
ඔහු ගේ මුහුණට ආවේ කිරි දරුවෙකු ගේ සිනහවකි.
“මං පියසිරිට කියල ගෙන්නන්නං”
කියා ගෙන අමාරසී නැගී සිටියා ය. ඇය ට දැනුණේ ඇය මර සෙන් පරදවා නැගී සිටියා සේ ය.