කදෝකිමි ඇස් -13

0
3994
කදෝකිමි ඇස්

මේඝ කාමරයට පිවිසියේ ආරණ්‍යාට ෆේස්බුක් මිතුරු ඇරයුමක් යවන’තර ය.ඇය මේ මොහොතේ අන්තර්ජාලයේ සැරිසරන බවක් පෙනෙන්නට නැත.නමුත් ඈ මේ ඇරයුම ප්‍රතික්ෂේප නොකරන බව ඔහු සිතී ය.ඊළඟ මොහොත විදුකට මුළු කතාවම කියන්නට වැය කරන්නට මේඝට සිදු විණ.දුරකථනය එහා අන්තයේ සිටි විදුක ගැඹුරු සුසුමක් හෙළූයේ ය.

“උඹට තිබ්බේ තාත්තගෙන් ඒ පරණ කතාව අහ ගන්න.”

ඔහු එසේ කියද්දී මේඝ එයට විරුද්ධ වූයේ ය.ඒවා ඇසීමෙන් කිසිම ප්‍රයෝජනයක් ඇතැයි මේඝට නොසිතේ.නමුත් විදුක කියන්නේ පුදුමාකාර කතා ය.

“මේකලා මායාදුන්න එයාගේ පුතාට මේඝ කියල නමක් නොදැම්ම එක මට සැකයි.මං දෙයක් කියන්න උඹ කේන්ති ගන් නැද්ද?”

විදුක කියන කතාවලට කේන්ති ගත්තානම් පෙර පාසල් සමයේ පටන්ම කෝප ගන්නවා විනා කිසිවක්ම කරන්නට ඉඩ නොලැබෙන බව සිහි කළ මේඝ හිනැහිණ.සැබෑවටම විදුක කියන්නට යන කාරණාව ගැන ඔහුට සසැලීමක් නොදැනුණා නොවේ.

“මට හිතෙනව මේඝ කෙනෙක් කොහෙහරි ඇති..”

විදුක ඉතිරිය පැවසුවේ ප්‍රවේසම් ව ය.මේඝ කෙනෙකු කොහේ හෝ ජීවත් වීම ම ආරණ්‍යා සහ මේඝ අතර සුහදත්වය වර්ධනය නොකරන්නට හේතුවක් විය නොහැකිදැයි විදුක කියයි.මේඝට ඒ කතාවට කේන්තියක් නොදැනේ.ඔහුගේ විදෙස් සරසවි සගයන්ගේ මව්පියවරුන්ගේ දෙවැනි විවාහ උත්සව වලට ඔහු අනන්තවත් සහභාගී වී ඇත.ප්‍රේමය සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විනිශ්චය නොකරන්නට ඔහු උගත්තේ ඉන්පසුව ය.කොහේ හෝ තමන්ගේ වැඩිමහල් සොයුරෙකු මේකලාට දාව ඉපිද ජීවත් වනවානම් එය මේඝට ගැටලුවක් නොවේ.ගැටලුව ඇත්තේ ඔහුට මව සහ පියා දෙදෙනාම අහිමි වීම ය.ඔහු නිසා තමාත් ආරණ්‍යාත් සහෝදරයන් වීම ය.

“මං නිකං ෆිල්ම් සීන් එකක් කිව්වෙ.උඹ ලොකුවට ඔලුවට ගන්න එපා.මගෙ මෝඩ ආතල්.”

විදුක කියද්දී මේඝ සන්සුන් විණ.මේකලා තමන්ගේ දරුවෙකුට එසේ වෙනත් තැනක ජීවත් වන්නට ඉඩ දෙන්නියක විය නොහැකි බව ඔහු ඉන්පසුව සිතී ය.
නමුත් මේ කතාවේ පැටලැවිල්ලක් තිබේ.එය විශාල මට්ටමේ පටලැවිල්ලකි.

මැදියම ගෙවී අඩ හෝරාවක් ද ඉක්ම ගිය පසු ආරණ්‍යා මිතුරු ඇරයුම පිළිගෙන තිබුණා ය.ඈ විනාඩි කිහිපයකට පෙර ෆේස්බුක් ගිණුමට මුදාහරින ලද ඡායාරූප දෙස මේඝ බලා හුන්නේ ය.ඒ සඳරැස්ගේ දහඅටවැනි උපන්දිනය ය.කුමක් දෝ ඇල්මක් ඒ කුඩා පවුල වෙනුවෙන් හටගත් හන්දාම මේඝ ඒවා බොහෝ වෙලාවක් නැරඹී ය.

“ඇයි ආරණ්‍යාගේ බෝයි ගැන හොයන් නැත්තෙ?”

හදවත තුළින් හඬක් නැඟේ.ඇයට පෙම්වතෙක් හිඳිනවා නම් මේඝගේ සමීප වීමට මේකලාට පෙර විරුද්ධ වන්නේ ඔහු නොවේදැයි මේඝට කල්පනා වේ.ඔහු කාලය ඇතිපදමට ගෙන ආරණ්‍යාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළේ ය.

නැත! එහි ප්‍රේමයක් ගැන සලකුණක්වත් නොවේ!

නමුත් තමන්ගේ ගිණුම පුරා නේහා සමඟ ඡායාරූප ඕනෑතරමට ය.ආදරය කියන්නේ සැක කිරීම වග විශ්වාස කරන පෙම්වතියක තමන්ට සිටින බව ආරණ්‍යාට කියන්නට මේඝ නොකැමති ය.දුක කියම්න් තම ආදරවන්තිය අපහාසයට ලක් කරමින් වෙනත් යුවතියක පතන්නන් සැබෑ පිරිමින් නොවන බව ඔහු දනියි.එනිසාම ඔහු ආරණ්‍යා සමඟ කතාවට නොගියේ ය.

මුලින්ම නේහා සම්බන්ධ ගැටළුව විසඳා ගත යුතු වේ.

“සුදූගේ පර්ස් එක අහුලපු ළමයා මාව කියවන කෙනෙක්..”

එදින රැයේ නිදන්නට ගිය පසු මේකලා ජාලියට පැවසුවා ය.කොට්ටය මත හිස තබන පමාවට ගොරවන්නට පටන් ගන්නා ජාලිය ඒ තරුණයාගේ මුහුණෙහි හැඩහුරුකම ගැන කියන්නට නොගියේ ය.තමන්ට ඔහුගේ නමවත් අසන්නට නොලැබුණු බව පමණක් මේකලාට පැවසී ය.

“ඒ දරුවා දූ මගේ කියලා අඳුනා ගත්තු නිසා තමයි එහෙම අපි අතටම පර්ස් එක දෙන්න හිතලා තියෙන්නේ.”

තාරකාවක් වන් බිරිඳක් ලැබීම ජාලිය විඳගන්නේ උපේක්ෂාවෙනි.මේකලා සම්මානයට පාත්‍ර වන උළෙල හැම එකකටම ගොස් ආරණ්‍යා සහ සඳරැස් දෙපසින් තබා අත්පොළොසන් දෙන ජාලිය ඡායාරූපයකට හඬ ගසා ගැනීම පවා බොහෝ අසීරු ය.බැබළීම මේකලාට අයත් බවත් ඒ එළියෙන් වැජඹීම තමන්ට නොතරම් බවත් ජාලිය සිතයි.එනිසාම කීර්තිමත් ලේඛිකාවක ලැබීම ඔහුට නිහඬ සතුටක් මිසක ජයඝෝෂා නඟන්නට කාරණාවක් වී නැත.

“පුතා,අර පර්ස් එක ඇහිදපු දරුවට ඔයා කෝල් කරාද?”

ආරණ්‍යා පසුදින දේශනවලට පිටත්ව යන්නට පෙර මේකලා එසේ ඇසුවා ය.ආරණ්‍යා අල්මාරියට ඇස් අලවාගෙන අම්මා මඟ හරින්නට මිනිත්තු කිහිපයක්ම වැය කළා ය.අම්මාට සෑම සත්‍යයක්ම පැවසූ කාලය නිමා වෙමින් ඇති බව ඇයට සිතේ.මේඝ සම්බන්ධයෙන් දේවල් හංගන්නට සිතෙන කාරණාව ඇයටම පැහැදිලි නොවේ නමුත් ඈ එසේ කරන්නට සිතුවා ය.

“ඒ බෝයිට මම කෝල් කරා.එයාගෙ වයිෆ් හරි කවුරුහරි ආන්සර් කරේ අම්මා.මම ඉතින් ඒ අයියට තෑන්ක්ස් කරා කියලා පණිවිඩේ දුන්නා.”

ආරණ්‍යා අතිශය සාමාන්‍ය හඬකින් පැවසුවා ය.එය සාමාන්‍ය කතාබහක් වූ හෙයින් මේකලා එය එතැනින් ම අමතක කර දැමුවා ය.නමුත් ආරණ්‍යාට එය එහෙම අමතක කරන්නට නොහැකි ය.මේඝ ඇගේ විසි එක් වයසක කුඩා ජීවිතය ප්‍රථම වරට සොලවා දැමූ දෑස ය.ඔහුගේ කටහඬ සංසාරික පුරුද්දක් සේ ඇයට දැනේ.

“සංසාරයේ මා හමු වී තියේදෝ
දෑසේ ඉනාවේ මා මත් වුණාදෝ..”

රිද්ම වීරවර්ධනගේ හඬ කොහෙන්දෝ විත් සවනට රිංගා ගන්නාක් මෙන් ආරණ්‍යාට දැනේ.එහෙත් මේඝගේ කම්මුලට හාදුවක් තබන තරුණියගේ රුව ඇගේ දෑසට කටු අනින්නාක් මෙනි.

ආදරය කියන්නේ වේදනාවකට ය!!
ආරණ්‍යා එසේ සිතන්නට පටන් ගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here