පෙමාතුර 21

මගේ මුහුණේ විසල් ගේ රැවුල් කොට ඇණෙනු දැනුණේ ය. තදින් මුහුණ සිප ගත් ඔහු ඉනික්බිති දැඩි ව මා වැළඳ ගත්තේ ය. කලින් දැන ගෙන සිටියා හෝ පෙර පුරුද්දක් ඇතිව සිටියා සේ මම ඒ පපුතුර ගුලි ගැහුණෙමි. ඒ තරම් සුව දායී හැඟීමක් ඉන් පෙර කිසි දා මා විඳ නො තිබි බව ඉඳුරා විශ්වාස ය. මට දැනුණේ මා අනන්ත අහසේ වලාකුළු වියනක් මත සැතපී පා වෙමින් හිඳින්නා සේ ය. අති විශාල පුළුන් කොට්ටයක් මත්තේ වැතිරී සිටින්නා සේ ය.

එහෙව් සංස්පර්ශයක් විඳ ගත් බවට මතක ඉතිහාසයක් හෝ නොමැති ආත්මයක් යනු මොන තරම් අසරණ වූවක් ද කියා මට සිතිණ. සිරුරේ ඇට  මස්,ලේ විනිවිද, සියුම් ම සියුම් ස්නායු තන්තු පවා සුසර කරමින් එක් මොහොතක සුවාසු දහසක් අකුණු පුපුරුවා ලමින් ද යළි නිර්වාණයක ශාන්තිය උදා කරමින් ද එය සිරුර දිග පැතිර ගියේ ය. ඉක්මනින් ද හෙමින් ද මම හුස්ම ගනිමින් සිටියෙමි. සංසාරේ මින් පෙර ද මේ වගේ ඔහු ට උණුහුම් ව සිටි බවට ඉපැරණි මතකයක් යටි හිත විසින් අවදි කර ගන්නා ලදී. 

ඒ සියල්ල සිදු වූයේ තත්පර හෝ විනාඩි කිහිපයක දී ය. කාමරයේ දොර හැර දමා තිබෙන බවත්, කවුරුන් හෝ මතු මහළට පැමිණිය හොත් අප දකිනු ඇති බවත් වහා සිහිපත් වෙත්දී මම හෙමිහිට ඒ ග්‍රහණයෙන් මිදුණෙමි. විසල් සුසුමක් හෙළා ගෙන කාමරයේ දොරකඩට ගියේ ය. මම ඉක්මනින් අල්මාරිය හැර සුදු රෙදි ගෙන ඇඳ මතින් ගොඩවල් දෙකක් වන සේ දැමුවෙමි. මා ඉන් එකක් තුරුලු කර ගනිත්දී විසල් අනෙක ගත්තේ වචන කතා නො කළත් අප අතරේ සවිඥානික ව ඇති වූ එකඟතාවයකිනි. ඒ වෙලාවේ මම මගේ මුළු දෑසින් ම ඔහු දෙස බැලුවෙමි. දෑස් පුරා ම ඔහු විඳ ගනිමින් ද උරා ගනිමින් ද සිටියෙමි. මට සිනහ වෙන්නට ඕනා වුණාට විසල් සිනහ බිඳක් හෝ පෙන්වූයේ නැත. මම තව තව ද වසඟ වන්නට වූයෙමි.

“රෙදි විව්වද..”

අප පහළට එත්දී ඉෂිනි ඇසුවා ය. ඇගේ මුහුණේ කේන්තියක් හෝ නො රිස්සුමක් නොමැති වග මම පසක් කොට ගතිමි. නමුත් ඇගේ හිතේ යමක් වන්නට ඇත. නො එසේ විණි නම් එවැන්නක් කියවෙන්නේ නැත. 

දානය ඉව්වේ නැතිවාට ඒ වෙනුවෙන් කළ යුතු වැඩ පහන් වන තුරු ද තිබිණි. වරින් වර තේ කෝපි පිළියෙල කෙරිණි. ඒ රැයක් වූවාට මට නම් දැනුණේ හිරු සඳු දෙක ම එක වර පායා ඇතිවා මෙනි. ආත්මය ආලෝකයෙන් ආලෝකයට පත් ව තිබිණ.

ඔහු ගේ සුසුම් සුවඳ මට තව දුරටත් දැනි දැනී තිබුණේ ය. ඒ ග්‍රහණයෙහි වූ උණුහුම තව ආත්ම හතකට මතක සිටිනා සෙයින් පපුවට කිඳා බසිමින් තිබිණි. විසල් ගේ නෙත් සර පහර මා ව තව තවත් ඔහු වෙතට ම අත් පත් කර ගනිමින් සිටිනු ද දැනිණ. මම කැමැත්තෙන් ම ඔහු ට අවනත ව ඔහු ගේ ම වෙමින් සිටියෙමි. 

රැය පහන් ව දානයේ කටයුතු ද නිමාවට පත් වූයේ අප අතරේ අංශු මාත්‍රික ඉඩක් ඉතිරි නොකරමිනි. සංසාර සහකරුවන් ගැන මම අසා ඇත්තෙමි. සමහර විට ඔහු මාගේ සංසාරගත සහකරුවා වන්නට ඇත. ආත්මයක් ආත්මයක් ගානේ අප ලං ව සිටියා වන්නට ඇත. එක් ව සිටියා වන්නට ඇත. ඒ තරම් දැඩි බැඳීමක්  හිත් දෙකක් අතරේ ඇති වන්නට වෙනත් හේතුවක් තිබිය හැකි ද?

“විසල් හිටිය නිසා මට කිසි දෙයක් ගැන හොයල බලන්න ඕන වුණේ නෑ. අනේ ඇත්තට ඒ ළමය පුදුම අපේ හැඟීමක් තියන ළමයෙක්”

දානයේ කටයුතු අවසන ආ පිරිස ද විසිර ගොස් හැන්දෑවේ අප විවේක ගනිමින් සිටියදී අම්මා කීවා ය. තත්පර කිහිපයක නිශ්ශ්බ්දතාවයක් ඇති කරමින් කිසිවෙකු කතා නොකිරීම මගේ පපුවට බරට දැනිණ.

“ඉෂී ලකී”

නදීරා ටික වෙලාවකින් කීවා ය.

“උන් දෙන්නා මැච් වෙන්නෑ. ඒක විසල් දන්නව. ඉෂිනි ඒක තේරුං අරං නෑ. ගෙවල් වලින් තීන්දු කරල බන්දනව උනත් උන් දෙන්නගෙම ජිවිත කුරුවල් වෙලා යන එකයි ඒකෙන් වෙන්නෙ”

සනෝජා පුංචි කතා කළේ මඳහසකින් වී ද ඇගේ පපුවේ ඒ ගැන රිදුමක් තිබෙනා බවක් දැනිණ.

“ඒකනං ඇත්ත. ගම් වල තාමත් ඔය විදිහට කසාද තීන්දු කරන එක හරි අපරාදයක්”

“පවුල් ඇතුළෙ කසාද සිද්ද වෙන එකෙං පවුලෙ තියෙන නරක ලක්ෂණ තව තව ඉස්මතු වෙනව කියන එක ගැනවත් ඒ මිනිස්සුන්ට අදහසක් නෑ”

“ඔවු ඉතිං…ජාන වලින් අරං යන අසනීප වුණත් වැඩි වෙන එකනෙ වෙන්නෙ”

“පව් විසල්. එක අතකට ඒ ළමයි දෙන්නම පව්”

ඔවුන් ගේ පා පහරින් මගේ හදවත පෑගී තද වී යන්නා සේ විය. මම පරිස්සමෙන් හුස්ම ගත්තෙමි. මට කතා කරන්නට බැරි ය. කතා කරන්නට අයිතියක් ද නැතිවා සේ දැනේ. ඉෂිනි ගැන මා තුළ දැඩි අනුකම්පාවක් ලියලයි. ඇය විවාහ වන්නට යන්නා වූ පිරිමියා ඇය ට පෙම් කරන්නේ නැත. ඒ බව ඔහු ගේ දෑත් හා පපුව අතරේ තද වී සිටියදී මට හොඳින් ම දැනිණ. පිරිමියෙකු සරාගී හැඟීමකින් ඕනෑ තරම් ස්ත්‍රීන් ගණනක් තුරුලු කර ගන්නට පුළුවන. නමුත් ප්‍රේමය කියන්නේ එහෙම තැන තැන පැළ කළ හැකි හැඟීමක් නොවේ. ඒ වගේ ස්පර්ශයක් දනවනුයේ ප්‍රේමය ම පමණක් බව මගේ අභ්‍යන්තරයේ වන නම නො දන්නා ඉසව්වකට දැනේ. එය වනාහි කශේරුකාව පසාරු කර ගෙන යන්නා වූ ප්‍රබල හැඟීමකි. මට දැන් ඒ හැඟීමෙන් වෙනත් පුරුෂයෙකු ට තුරුලු විය නො හැකි ය. ඉතින් විසල් මල්වැන්න අරබයා ද ඒ හැඟීම එසේ ම නො වෙතැයි කියන්නේ කෙසේ ද?

ගිමන් නිවනු වස් අපි හවස් වරුව ම නිදා ගතිමු. ඉන් පසු මුලින් අවදි වූයේ කවුද කියා දන්නේ නැත. තේ පිළියෙල වී තිබිණි. කැවිලි පෙවිලි ද සමග තේ බොන්නට පුංචි විසල් ට ද කතා කළා ය. ඔහු ගේ ඇස් වල ආගන්තුක යමක් මට ඒ වෙලාවේ දී පෙනිණ. 

“මං ගැන හිතන්නවත් වද වෙන්නවත් එපා”

අම්මලා එහෙ මෙහෙ වෙමින් ඔවුන් ගේ අවධානය අපෙන් මිදුණු වෙලාවක මම ඔහු ට මුමුණා කීවෙමි. අප දෙදෙනා සිටියේ සෝෆාවෙහි සම්මුඛ ව හිඳ ය. ඒ නිසා දුරින් හිඳිනා කෙනෙකුට නො ඇසෙන සේ කතා කිරීමේ හැකියාව තිබිණ. 

මා එසේ කීවේ කෙළින් ඔහු ගේ දෑස් දෙස බලා ගෙන ය. මේ මොහොතේ මට දැනෙනා ඔහු ගේ ඇස් වල නලියන ආගන්තුක හැඟීමට හේතුව මගේ ප්‍රේමය නම්, එය ඔහු ට බරක් වෙනවා දකින්නට මට ඕනෑ නැත.

විසල් නළල රැලි නංවාන කුඩා කර ගත් දෑසින් මදෙස බැලුවේ ය. ගැහැනු හදවතක් ගිම්හාන ඍතුවකදී වී ද ශීත හිමෙන් ගල් කොට දැමිය හැකි සිහිල් බවක් ඒ දෑස් දෑලේ විය. 

“ඇයි…”

“ඔයා මැරි කරන්න ඉන්නව කියල නොදැන නෙවෙයිනෙ මං ලං වුණේ”

“මගෙං ඈත් වෙන්න හදන්න එපා”

“අපිට ලං වෙන්න බෑ”

“අපිට වෙන් වෙන්නත් බෑ නේද..”

ඒක පාර්ශ්වික ප්‍රේමයක් තුළ තනි ව දැවීම, ද්වී පාර්ශ්වික ප්‍රේමයක් තුළ දැවෙන එකට වඩා කෙතරම් පහසු දැයි ප්‍රථම වතාවට මට දැනිණ. මේ ගින්න දෙදෙනෙකු වට කොට ඇවිළෙනා නිසා දරුණු වැඩි ය. නිවනු අසීරු ය. 

අලුත් දවස උදා වූයේ අලුත් බලාපොරොත්තු එක්ක නොවේ. නමුත්, අළු යට ගිනි තිබුණත් සිනහ වී ඉන්නට මම තීරණයක් ගෙන සිටියෙමි. මේ සියල්ල වැඩි කල් නො පවතිනු ඇතය කියා යටි හිත මට කොඳුරා කීවේ ඇයි දැයි නො දනිමි. එය හරියට ඔඩු දිවූ පිළිකාවක් සමග ජීවත් වීම සරි ය. ඔඩු දිවූවාට පස්සේ පිළිකාවක් සුව කිරීම කළ නො හැකි දෙයකි. ඉදිරියට කෙතරම් කාලයක් ජීවත් වෙනවාද යන්න ගැන ද කිසිවෙකුට අනාවැකි කිව නො හැකි ය. ඒ නිසා එවැන්නෙකු ගන්නා හොඳ ම තීරණය වනුයේ සතුටෙන් ජීවත් වීමයි. ඇතැම් විට ඒ තව වසර කිහිපයක්,මාස කිහිපයක්, සති කිහිපයක් හෝ දින කිහිපයක් වන්නට පුළුවන. මටත් විසල් නිසා තව කෙතරම් කාලයක් මේ හැඟීම විඳ ගන්නට හැකි වෙනු ඇත්දැයි නිශ්චිත නැත. ඒ නිසා මේ භවයට ඇති තරමට මතක වලින් ආත්මය පුරවා ගැනීම පමණක් කළ යුතු ව තිබේ.

ඔහු රැකියාවට යාම සඳහා සූදානම් ව පිටතට එන තෙක් මම සඳැල්ලෙහි කල් මැරුවෙමි. ඔහු වෙනුවෙන් සිනහවක් පිපුණේ හදවතින් ම ය. විසල් ඇස් පිය නො සලා මදෙස බලා ගෙන සිටියේ ය. 

“ඇයි…”

මම නො දැරියක සේ සිනහ වූයෙමි.  ඔහු සතුව පිළිතුරක් නොවූ බව පෙනිණ. 

“පරිස්සමට ගිහින් එන්න එහෙනං”

එක වහළක් යට හිඳිනා ස්වාමි පුරුෂයා රැකියාවට යන්නට සැරසෙත්දී දැනෙනා හැඟීම මෙබඳු විය නො හැකි ද? 

ඒ තෝන්තු ගතියෙන් යුතුව මම උදේ වරුව කාමරයට වී ගත කළෙමි. පුංචි පාසල් ගොස් ද නදීරා රූපලාවන්‍යාගාරයට ගොස් ද සිටියා ය. මා තවමත් දාන කටයුතු වලට නිදි වැරීමේ වෙහෙසින් යයි අම්මා සිතන්නට ඇත. මම දිවා ආහාර පිළියෙල කළෙමි. අම්මා ගැන මා දැන් වැඩියෙන් සිතිය යුතු ය. ඇය නො වෙහෙසා හැකි තාක් මා වැඩ කළ යුතු ය. නමුත් වැඩ කිරීමෙන් මා වැඩි පුර බලාපොරොත්තු වූයේ හිත මත පැට ගවී තිබි බරක් අමතක කොට දැමීම ය.

වෙන්නට තිබෙනා දේවල් ගැන සිතා පළක් නැත. අප කෙතරම් සිතුව ද ඒවා සිදු වෙන එක නතර කළ නො හැකි ය. 

දවාලේ පුංචි පාසල් ගොස් පැමිණි පසු මම විසල් ට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

“මට ඔයා මීට් වෙන්න ඕන”

එවෙලේම ඔහු එය දුටුවත් පිළිතුරක් ලැබුණේ නැත. ඒ ගැන කල්පනා කරන්නට හුඟක් දේවල් ඔහු ට වන බව මම දනිමි. ඇතැම් විට එය අතුරේ යාම වැනි අවදානමක් ගැනීමක් වනු ඇත. විවාහපේක්ෂිත තරුණයෙකු පෙම් පලහිලව්වකට මැදි වූ විට එය එසේ නොවේ යි කෙසේ කිව හැකි ද?

“පහට කොල්ලුපිටිය ටවුන් එකට එන්න”

කියා විනාඩි විස්සකට පසු ඔහු ගෙන් පිළිතුරක් ආවේ ය. මම එවෙලේ ම සූදානම් ව මගට බැස්සෙමි. 

ඒ මා පිරිමියෙකු හමු වන්නට මේ වගේ පොපියනා හැඟීම් සමුදායකින් යුතු ව මගට බට ප්‍රථම වතාව ය. බස් එක පමා වනු ඇත ය යන සිතිවිල්ල මත මම ත්‍රීරෝද රියක නැගුණෙමි. නමුත් හතරට එය කොල්ලුපිටියට ළඟා වූයේ ය. මම හරියට ම පැයක් මහ මග බලා සිටියෙමි.

එවන් බලා සිටීමක් යමෙකු සිය ජීවිත කාලය තුළ අත් දැක තිබිය යුතු ම ය. ඒ පැය දවසක් වාගේ යයි කීම අතිශයෝකියක් නොවේ. මම ඉතා ඉවසීමෙන් ඒ දවසක් වාගේ පැය ගෙවා දැමුවෙමි. විසල් මල්වැන්න ගේ ඇක්වා රිය මා ඉදිරියේ නතර වූයේ තවත් විනාඩි දොළහකට පස්සේ ය.

“ඔයා ගොඩක් වෙලාද ඇවිත්…”

“නෑ”

මම සිනාසුණෙමි. රිය ගෝල්ෆේස් දෙසට ගමන් කළේ ය. අපි අතර මගක රිය දමා ගාළු මුවදොර පිටිය තෙක් ඇවිද ගියේ පයින් ය. විසල් මගේ අතැඟිලි ඉතා තදින් පටලවා ගෙන සිටියේ ය. ඒ ගැන මගේ කිසිදු විරෝධයක් නොවී ය. සැබවින් ම මම ඒ පහස ඉතා කැමැත්තෙන් අපේක්ෂා කළෙමි. 

ඕනෑ ම මොහොතක යමෙකු අප දකින්නට හැකියාව තිබේ. ඒ තරම් ජන ගඟක් එහි ගලයි. නමුත් මට කිසිදු බියක් වූයේ නැත. විසල් වෙතින් ද මම එවන් සැකයක් බියක් නොදුටිමි. ගෝල්ෆේස් අහසේ සරණා සරුංගයක් සේ මගේ හදවත ප්‍රහර්ෂය අත්විඳිමින් නිදහසේ පා විණි. නමුත් මම තව තවත් තදින් විසල් ගේ අත අල්ලා ගෙන සිටියෙමි. කිසි සේත් ලිහිල් වන්නට ඉඩක් නොතබා අත තද කර ගෙන සිටියෙමි. අප දෙදෙනා ම කතා කළේ නැත. නමුත් සිතිවිලි වලින් දෙදෙනා ම දෝරෙ ගලමින් සිටිනට ඇත. 

“මට හිතෙනව ඔයාව මගෙ ඇස් දෙක ඇතුළෙ හංගගන්න. ගිලින්න වුණත් හිතෙනව..මෙහෙම අතිං මිට මොලෝල තියා ගන්න පුළුවන් නං…මං එහෙම කරයි විසල්…ඒත් ඉක්මනටම මේ අත මගෙං අත් ඇරිල යනව කියල මං දන්නව”

මගේ අතක් අල්ලා ගෙන උන් ඔහු ගේ අත මුව වෙත ගෙන මම උමතුවෙන් වාගේ ඒ සිප ගතිමි. ඉතා තදින් සිප ගතිමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...

සිරුරේ බර අඩු කරන සාර්ථක උපක්‍රම 8 ක්

ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති...