අකල් වැහි – 20

“සිතිජ බලන්න බෑ.ඔපරේෂන් එකක්ලු.”

රෝහලේදී ඒ ආරංචිය දැන ගත්තේ නිපුනි ය.යකඩ පොල්ලකින් එල්ල වූ ප්‍රහාරයේ බරපතලකම ගැන වෛද්‍යවරු කිසිම අනාවැකියක් පළ කරන්නේ නැත.හිරුදිට බියක් දැනෙන්නට වූයේ එනිසාම ය.ඔහු අනතුරක ය.

“අපිට එයාව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ගෙනිච්චැකිනෙ..”

එසේ පැවසූ හිරුදි එයට ඌණපූර්ණය එක් කළා ය.ඒ රෝහල් බිල ගෙවන වගකීම ඇයට භාර ගන්නට හැකියාව තිබේ.මේ මොහොතේම සිතිජව පෞද්ගලික රෝහලකට ගෙන යන්නට ඇයට ඕනෑ විය.

“ජෙනරල් හොස්පිටල් එකට වඩා හොඳ තැනක් තියෙන්න බෑනෙ නංගි.මෙතන හිටියට සිතිජට මොකුත්ම කරදරයක් වෙන්නෙ නෑ.එහෙම වුණොත් මේ සොබාදහම බොරුවක් නංගි.ඔයාලා බය නොවී එළියෙන් ඉන්න.”

කසුන් බොහෝ පිරිස් සන්සුන් කර යුවතියන් දෙදෙනාට ද පැවසී ය.හිරුදිට දැනෙන්නේ උසුලා ගත නොහැකි දුකකි.නිසල්ගේ ජීවිතය ද බේරා ගන්නට හැකි වෙන බවට වෛද්‍යවරුන් පැවසූ බව කියමින් මිතුරන් ඈ රැවටූ අන්දම ඇයට සිහි වේ.සුළු මොහොතක සතුට ප්‍රමාණවත් නොවී ය.නිසල් සදහටම නික්මී තිබිණ.

“හිරූ..”

හිරුදිගේ සීතල වී ගිය අතක් අල්ලා ගන්නා ගමන් නිපුනි සිහින් හඬින් ඈ ඇමතුවා ය.හිරුදි හිඳින්නේ අසාමාන්‍ය ලෙස කම්පනයෙනි එය ඈ හිඳින ගර්භනී තත්වයට යුතු නොවේ.එනිසාම ඇය සන්සුන් කර ගැනීම තම වගකීමක් බව නිපුනි සිතුවා ය.

“රට වෙනුවෙන් කතා කරන රටේ අනාගතේ වෙනුවෙන් පාරට බහින කොල්ලො කෙල්ලන්ට ගහන්න තරම් මිනිස්සු තිරිසන් වුණානෙ.”

නිපුනිගේ හඬ ආවේගයට පත් වී තිබිණ මේ පහර දීම පසුපස චේතන දේවතිලක පවා හිඳින්නට ඉඩ ඇති බව නිපුනි දනියි.නමුත් මිතුරිය පවා සිටගෙන හිඳින්නේ සැමියාට විරුද්ධ පාර්ශවයේ ය.එනිසා නිපුනිට එවැනි මතයන් ගෙන එන්නට බියක් නොදැනෙන තරම් ය.

“සිතිජව ඔපරේෂන් එකෙන් පස්සේ වෝඩ් එකට දානවා නංගි.බයක් වෙන්න ඕනෑ නෑ.”

නම නොදන්නා තවත් තරුණයෙකු දහදිය වැකුණු මුහුණ අතින් පිස දමමින් කියද්දී හෝරා කිහිපයක්ම රෝහල් කොරිඩෝවක ගෙවුණු බව හිරුදිට දැනිණ.
ඔහු ගැන ආරංචියක් පැමිණෙන තුරුම එසේ රැඳෙද්දී ඇයට කිසිම අපහසුතාවයක් නොදැනිණ.එයට හේතුව නිපුනි විමසූයේ ආපසු එන ගමනේ ය.

“සිතිජ ඔයාගේ ක්‍රෂ් එකක් නේද? ඔයා සෑහෙන්න අවුල් වුණා එයා ගැන.”

ම්ලේච්ඡත්වය ගැන සිදුවීම් මාලාවකින් උදාහරණ සැපයීමට හැකි ඒ ප්‍රහාරය ගැන නිපුනි හුන්නේ ද කෝපයෙනි;වියවුලෙනි;භීතියෙනි.ඈ සෑම තුවාලකරුවෙකු ගැනම කම්පා වෙද්දී හිරුදිගේ කම්පනය සිතිජ සම්බන්ධයෙන් වැඩි බව නිපුනිට නොතේරුණා නොවේ.මේ ඇගේ ළමා වියේ පටන් මිතුරිය ය. ඈ කියවා ගැනීම නිපුනිට පහසු ක්‍රියාවකි.

“නෑ..සිතිජ මගේ ක්‍රෂ් එකක් නෙවේ.මං එයාට ආදරෙයි.කවමදාවත් එයා මට ආදරය කරන්න ඉඩක් නෑ කියලා දැනදැනම මං එයාට ආදරෙයි.මගේ ආදරේ කවදාවත් එයාට නොකියන්න තීරණය කරන ගමන්ම මං එයාට ආදරෙයි.සිතිජ කියන්නේ හීතල හිරිකඩක් වගේ මනුස්සයෙක්.බලන් ඉන්න ආස හිතෙන ජාතියේ මනුස්සයෙක්.එහෙම අනිත් මිනිස්සු ගැන කරුණාවෙන් බලන,අනිත් අය ගැන කැපවෙන කෙනෙක්ව මං මීට කලින් දැකල නෑ.මං එයාට ආදරේ ඒ නිසා.කිසිම දවසක එයා ඒ ආදරේ ගැන දැන ගන්නේ නෑ.ඒත් දුරින් ඉඳගෙනත් ආදරේ කරන්න පුලුවන් නිපූ.අයිති කරගන්න එකම ආදරේ වෙන්නේ නෑ.”

සිතිජ ආදරය හිතෙන තරුණයෙකු බව සැබෑවකි.රූප සම්පත්තියෙන් උතුරා නොගියාට ඔහු හිත් අලවන පන්නයේ තරුණයෙකි.ඔහුගේ කාරුණික බැල්ම ප්‍රේමය උපදවන්නට සමත් වග නිපුනිට ද වැටහේ.ආදරයක් නැති නෛතික විවාහයක හිර වී සිටින හිරුදි සසල කරන අන්දමේ කාන්දම් බලයක් ඔහුට තිබෙන්නට ඉඩ ඇති බව නිපුනි සිතුවා ය.නමුත් ප්‍රේමයේ ළා දල්ල මෙතැනම සිඳ නොදමන්නේ නම් අතීත දවසක නිසල් හෙට්ටිආරච්චි හුන් තැන සිතිජට අයිති වීමේ ඉඩකඩ වැඩි ය.චේතන දේවතිලක එතරමට නරුමයෙකි.

“පොතේ හැටියට ඔයා සිතිජගේ හතුරෙක් කෙල්ලෙ.කොහොමටත් හිරූ කියන්නේ භාග්‍යා කියලා දැනගත්තම අපිට ඔය වගේ සැලකීමක් ඒ ළමයින්ගෙන් ලැබෙන් නෑ..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles