(අ)හිමි සිහින -106

තාත්තා කෙනෙකු කියන්නේ දරුවෙකුගේ ජීවිතය වසා පැතිර ගත් රූස්ස ගහකට.දරුවෙක් ආරක්ෂාව රැකවරණය සොයා දිව එන්නේ තාත්තා කෙනෙකු ළඟට.දරුවෙක්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තාත්තා කෙනෙකුට නෑ සහ බෑ කියන වචන කවමදාවත් වලංගු වන්නේ නෑ.මේ දවස්වල රටේ තියන තත්ත්වය එක්ක ඉන්ධන,ගෑස්, කිරිපිටි පෝලිම් වල රැඳෙන තාත්තලාගෙන් හෙළි වෙන්නේ අන්න ඒ පොදු සත්‍යය.ඔවුන් ඒ සෑම කැප කිරීම ම කරන්නේ දරුවන් වෙනුවෙන්.

මගේ සුධාරක කියන්නේ අන්න ඒ වගේ තාත්තා කෙනෙකුට.දිල්හානි දරුවන් ඔහුට සමීප නොකරන්නට වග බලා ගත්තත් ඔහු නිරන්තරයෙන්ම දරුවන් ගැන වද වුණා.නමුත් දැඩි ලෙස මූල්‍යමය අර්බුදයක සිටි සුධාරකට දරුවන්ගේ සමහර කටයුතු හරියාකාරයෙන් කරගන්නට නොහැකි වීම ඔහුව විශාල මානසික කම්පනයකට ඇද දමන හේතුවක් වුණා

මේ එහෙම දවසක කතාවක්!! මගේ ජීවිතයේ මම වැඩිපුරම කම්පා වූ දවසක් නම් කරන්න කිව්වොත් මේ දවසත් ඒ අතර තියෙනවා.

එදා සුධාරකට ඔහුගේ වැඩිමහල් දියණියගෙන් ඇමතුමක් පැමිණියා. ඔහු ඇය සමඟ කතා කරනකොට මම හිටියේ මුළුතැන්ගෙයි කටයුතුවල නිරත වෙමින්.දියණිය ඔහු අමතා තිබුණේ ඇගේ පාසලේ කටයුත්තක් සම්බන්ධයෙන් මුදල් ඉල්ලා ගන්නට.එය තරමක මුදලක්.

“එච්චර ගානක් දෙන්න තාත්තා අතේ  සල්ලි නෑ පුතේ..”

අන්න ඒ වාක්‍යය ඇහෙනකොට මම කතාවට අවධානය යොමු කළා.සුදාරකගේ කම්පනයට පත් හඬ මට ඒ කතාව අසා හිඳින්නට බල කළ නිසාම මම ඔහුට නොදැනෙන්නට ඔහුගේ දියණියගේ සංවාදය අසා සිටියා.දූ කියන කිසිම දෙයක් නෑහුනත් සුදාරකගේ වෙව්ලන කටහඬ මට හොඳින් ඇසෙනවා.

“තාත්ත ළඟ සල්ලි නෑ පුතේ.ගොඩක් දේවල් වෙලා තියෙන්නෙ ඔයාට දවසක තේරෙයි තාත්තා ඔයාට දවසක මේවා කියලා දෙන්නම්..”

සුදාරකගේ කටහඬ මාව අතිශය කම්පනයට පත් කරන සුළුව ඇහෙමින් තිබුණා.මම ඔහුට පෙනෙන්නට ගියේ අන්න ඒ මොහොතේ.

ඒ මම ජීවිතය තුළ දුටු ඉතා දුක්බර දර්ශනයක්!

රැකියාව නිසාදෝ මන්දා මම ඔහුගේ දෑසේ කදුළු දුටු අවස්ථා ඉතාම අල්පයි.ඔහු ශක්තිමත් මිනිසෙක්.සියල්ල දරා ගත් මහ කන්දක්.නමුත් මේ මොහොතේ ඔහු දියවී වැගිරෙමින් සිටියා.ඔහුගේ දෑස් මත කදුළු ගුලි මට පෙනුණා.උඩුකය නිරුවතින් සිටි ඔහුගේ පපුව දිග ඇල්ලක් මෙන් කදුළු ගලා යමින් තිබුණා.

“දෙන්නං කියන්න” 

මම දියණියට නෑහෙන්නට රහසින් ඔහුට අතින් පැවසුවා.ඒ ඉල්ලා සිටින මුදල දෙන්නට ඔහු අත මුදල් නැහැ.නමුත් මා ළඟ තිබෙනවා.

“මොකක්ද?”

දුරකථනයෙන් මිදී සුධාරක මගෙන් ඇසුවේ පුදුමයෙන්.දූ ඉල්ලා සිටින මුදල දිය හැකි බව මම ඔහුට කිව්වේ අභිරූපණයක යෙදෙමින්.ඒ මුදල් ඉල්ලන්නේ දියණියක්.ඇයට ඇති ලොකුම පිහිට ඇගේ තාත්තා.අම්මාගේ නාස්තිකාර ජීවිතය නිසා තාත්තා ණය කාරයෙකු වූ සතයක්වත් අත නැතුව සිටි නමුත් දියණියට දුක් වන්නට ඉඩ දිය යුතු නෑ.මම එසේ සිතුවා.

“හා පුතේ.මම මොකක් හරි බලලා ඔයාට කියන්නම්කෝ..”

ඔහු එහෙම කිව්වේ සැනසිලිදායක හඬකින්.මට මහත් සතුටක් දැනුණා.මගේ ඇස් මතද කඳුළු ඇති බව මට වැටහුණේ අන්න ඒ මොහොතේ.දියණියක ඉදිරියේවත් ඔහුට අසරණ වන්නට ඉඩ දිය යුතු නැතැයි මගේ හිත මට පැවසුවා.

මම සුධාරක සමඟ ATM යන්ත්‍රයක් වෙත ගොස් මුදලක් ලබා ගත්තා.දූ ඉල්ලූ ගාණට වඩා වැඩිපුර මුදලක් මම ඔහු අත තබද්දී ඔහු ඒ වැඩි මුදල වහා මගේ අත තැබුවා.

“මෙතන ඉල්ලපු ගාණට වඩා තියනවා මැණිකේ..”

ඔව්! ඔහු එහෙම මිනිසෙක්.නමුත් මට වැරදීමක් සිදු නොවූ වග පවසා මම ඔහු අත සම්පූර්ණ මුදල තැබුවා.

“සල්ලි ඉල්ලුවේ ලොකු දූනෙ මහත්තයා.ඔය සල්ලිය එයාට දෙන්න.ඉතුරු සල්ලිවලින් නංගිලා ආස දේකුත් ගන්න කියන්න.එයාට සල්ලි දෙන්නේ තාත්තනෙ.”

මම එසේ කීවේ ආදරයෙන්.සුධාරකගේ මුහුණේ ඇඳුණු සැනසිලිදායක මඳහස මට සෑහුණා.මම ඔහුට ආදරය කරන තරමටත් වඩා වැඩියෙන් ඔහු මටත් මගේ දියණියටත් ආදරය කරමින් සිටියා.ඒ ආදරය ඉදිරියේ මේ දේවල් ඉතාමත් සුළු කාරණා හැටියට මට දැනුණේ.මේ කිසිවක්ම මා මෝඩ වී කළ දේ නොවේ.මා ඉතා හොඳ උපයන්නියක වී සිටියා.හොඳ රැකියාවක නිරත වුණත් ණය බරින් මිරිකෙමින් සිටි සුධාරකට මේ මොහොතේ මා සවියක් විය යුතු බව පමණක් මගේ හදවත මට පවසමින් තිබුණා.

දියණියගේ උවමනාවකට බව පවසා ඒ ඉල්ලා ගත් මුදල් අවශ්‍ය වී තිබුණේ දිල්හානිට වග අපි දන්නේ පසු කාලයේදී.හොඳම විහිළුව වන්නේ ඒ මුදල ඈ ලබාගෙන තිබුණේ මා විනාශ කරන්නට නොදන්නා බලවේගවල පිහිට පතන්නටයි.මිථ්‍යාවේ දැඩිව එල්බ ගත් මේ ගැහැනිය නොනවත්වාම ඒ දේවල්වලට ධනය විනාශ කරගනිමින් සිටියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles