“මේ මෝඩය විහින්ම හප්පගෙන කියලයි ජනක අයියා කිව්වෙ හිමෝ.”
පාරමීගේ කටහඬ කලබලය ද කලකිරීම ද පිරී තියේ.සිය දිවි නසා ගන්නට තරම් ගැටළුවක් රවිඳුට තිබුණාදැයි හිමාෂා කුතුහලයෙන් සිතන්නට ගත්තා ය.ඔහු විනෝදකාමී තරුණයෙකි.නිතරෝම සිනාවක් සොයා දෙන්නට සමතෙකි.
“බීලා ඉඳලලුද?”
ඔහු සිය දිවි නසා ගන්නට තැත් දරන්නට ඇතැයි තවම විශ්වාසයට ගන්නට අකමැති හෙයින් හිමාෂා නැවත විමසුවා ය.පාරමී සංකා පිරුණු කටහඬකින් කියවන්නට පටන් ගත්තා ය.
“ඔව්, බීලත් ඉඳල.ඒත් මැරෙන්න ඕන කියල යාළුවෙක්ට කියල.ඒ කොල්ලා කලබල වෙලා හොයාගෙන එනකොට තමයි කට්ටිය දැනගෙන තියෙන්නෙ මෙයා ඇක්සිඩන්ට් වෙලා කියලා.”
සිනාවකට යට කදුළු තිබෙන්නට ඉඩ ඇති වග හිමාෂා දන්නේ ඇය නිසාම ය.ගෙදර විත් අඳුරු සළු මුහුණේ පොරවා ගත්ත ද සමාජයේ ගැවසෙන ඕනෑම මොහොතක ඇය ඉතා සමාජශීලි චරිතයකි.ඇය හිඳින්නේ විසඳන්නට නොහැකි ගැටළු කන්දක් මත වග කිසිවෙකුත් අදහන්නේ නැත.
“අක්කා, ඔයා ඔය හිනා යන්නෙ නැති දේටත් හයියෙන් හිනා වෙන එක නවත්තන්න.ඔයා ඔය රඟපානව කියලා කාට නැතත් මට තේරෙනවා.ඔයා දවස පුරාම වෙස් මූණක් දාගෙන බොරුවට හිනා වෙලා හිනා වෙලා රෑට ඉකි ගහ ගහ අඬන සද්දෙ කාට නැතත් මට ඇහිලා තියනවා.ඔයා ඉන්නෙ ප්‍රශ්නෙක කරදරේක බව ඇත්ත.ඒත් ඒ ප්‍රශ්නෙට ඔයාට රිද්දන්න දෙන එක අපි නවත්තන්න ඕන.”
අමායා දිනක් අක්කාට සැරෙන් පැවසූයේ හිමාෂා ඇය හිඳින්නේ ශෝකයෙන් නොවන බව නිතරම ඒත්තු ගන්වන නිසා ය.විශාදයට ලක් වන බොහෝ දෙනෙකු බාහිර සමාජයට දුක්බර මුහුණක් නොපෙන්වන වග අමායා දැන සිටියා ය.ප්‍රීතිමත් මුහුණ පිටුපස ඇති ශෝකය සහ ආවේගය හඳුනා ගැනිමට අපහසු ය.පිටතින් ශක්තිමත් වග පෙන්වන අක්කා ද ඇතුළතින් ඉරි තලමින් හිඳින වග තේරුම් ගන්නට අමායාට හැකි වූයේ හිමාෂා වරින්වර ලියා සැඟවූ ලිපි කිහිපයකි.ඒ සියල්ලම ඇය ලියා තිබුණේ ද අමායාට ම ය.
දියණිය හොඳින් රැක බලා ගන්නැයි ඇය නැගණියගෙන් අයැද තිබුණේ ජීවිතයට නැවතුම තබන්නට සිතමිනි.ඒ සියල්ල ගැන රහසේ දැනුවත් වූ අමායා අක්කාව මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්නට රැගෙන ගියා ය.
ඒ ප්‍රතිකාර නිසා සුවය ලැබූ හිමාෂා සිනහව පිටුපස විශාල ඛේදවාචකයක් සැඟවී තිබෙන්නට ඉඩ ඇති වග දැන සිටියා ය.රවිඳු ද හිඳින්නේ මීට මාස කිහිපයකට පෙර ඈ සිටි තැනම විය හැකි ය.
“උඹ අහගෙනද ඉන්නේ හිමෝ?”
පාරමීගේ කටහඬින් හිමාෂා පියවි සිහිය ලැබුවා ය.කුමක්දෝ හේතුවකට ඇයට රවිඳු දකින්නට ද ඔහු සනසන්නට ද ඕනෑ විය.
“රවිඳුට මොකක්ද තිබ්බ ප්‍රශ්නෙ?”
ඇය මිතුරියගෙන් විමසුවා ය.
“කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් තමයි බං.”
පාරමීගේ කටහඬ කළකිරීම තැවරී තිබිණ.ඇය ඔහුට රහසේ පෙම් කරන්නී ය.එනිසාම ඔහු යුවතියක නිසා සිය දිවි නසා ගන්නට තැත් කිරීම ඇයට කෝපය සහ කළකිරීම ඇති කරන බව හිමාෂා තේරුම් ගත්තා ය.
“කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් කිව්වෙ?”
සහජ ගැහැනු ඉව නැඟී ආයේ ය.ඒ කතාව සහමුලින්ම දැන ගන්නට හිමාෂාට ඕනෑ විය.පාරමී ඇය දැන ගත් සම්පූර්ණ කතාව කියන්නට පටන් ගත්තා ය.
“ඒ ගර්ල් බඳින්න යනවලු.ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනල්ලා.ඒ මනුස්සයා අත් ඇරලා එන්න කිව්වට කෙල්ල අකමැති වෙලා.දරන්න බැරි වෙලා ඉතින් මෙයාට.ඒ වුණාට ඔහොම චපල ගෑනු වෙනුවෙන් ජීවිතෙ නැති කරගන්න ඕනයැ.යන්න අරිනව මිසක්.”
ප්‍රේමය විවිධාකාර ය.ඇතැම්විට ඒ යුවතියට දෙමාපියන්ට පිටු පාන්නට නොහැකි වන්නට ඇත.නැතිනම් වඩා යහපත් ජීවිතය ලැබෙන්නේ යෝජිත තරුණයා ළඟ මිස රවිඳු ළඟ නොවන වග ඇය තේරුම් ගන්නට ඇත.මිනිස් හදවත ක්‍රියා කරන අන්දම ගැන කිසිසේත්ම අනාවැකි පළ කරන්නට නොහැකි ය.
“සමහරවිට ඒ ගර්ල්ට එහෙම කරන්න හේතුත් තියෙන්න ඇති පාරා..”
හිමාෂා එනිසාම සිතිවිල්ලේ එසේ පැවසුවා ය.
“මොන හේතුද බං.චපල ගෑනු.”
පාරමී ඕනෑම මොහොතක ගන්නේ රවිඳුගේ පැත්ත වග හිමාෂා දනියි.ඇයට අඩ සිනාවක් පහළ විණ.නමුත් මේ හිනැහෙන්නට මොහොතක් ද නොවේ.හිතවතෙකු අනතුරක ය.
“රවිඳුට දැන් කොහොමද ඉතිං? ඇත්තටම අමාරුද?”
ඇය මිතුරියගෙන් විමසුවා ය.පාරමී සුසුමක් හෙළා මොහොතක් නිහඬ වූවා ය.ඒ නිහඬ තත්පර කිහිපය ගැන බිය දැනෙද්දී රවිඳුට දරුණු අනතුරක් සිදුව ඇත්නම් පාරමී මෙසේ ඕපාදූප කියමින් හිඳින්නට ඉඩ අවම බව හිමාෂා සිහියට ගත්තා ය.
“ජනක අයියනම් කියන්නෙ ලොකු අමාරුවක් නෑ කියලා.ඒ වුණාට සේරම ස්කෑන් එහෙම කරනකම් මට හරි බයයි හිමෝ.පොඩ්ඩක් ජනක අයියගෙන් ඔයත් අහනවද ඇත්තම තත්වෙ.”
හිමාෂා ඒ වග අසන්නට මිතුරියට පිළිණ දුන්නා ය.පාරමීගේ හදවත මේ ගැහෙන්නේ නොපැවසූ පවසන්නට ඉඩ නොලත් ආදරයෙනි. ආදරය කියන්නේ වේදනාවට ළඟ හැඟීමක් නොවේදැයි හිමාෂා සිතන්නට වූවා ය.
“හිමෝ.අපි හෙට උදේම රවිඳු බලන්න යං?”
පාරමීගේ ඊළඟ ඉල්ලීම මතු විණ.හිමාෂා එයට ද එකඟ වූයේ දෙවතාවක් නොසිතා ය.මිත්‍රත්වය පැවතිය යුත්තේ අසීරු මොහොතක ය.මේ අසීරු මොහොතේ රවිඳු අසලින් රැඳෙන්නට ඇය මුළු හදවතින්ම පිළිණ දුන්නා ය.