ගැස්මක් හදවත නො වූවා කීවොත් මුසාවකි. ඒ සමග රසවත් කමක් ද පැටලී තිබුණා කියන එක වඩා නිවැරදි ය. පිට මැද්දට වන ලෙස යූ හැඩයට කපා තිබූ දුඹුරුවන් වරල දකුණු උරහිස මතින් ඉදිරියට දා ගන්නා ගමන් මම මුණිවර අභිෂේක් බණ්ඩාර ගේ වීදුරු කුටියේ දොර හැරියෙමි.
අතින් මට අසුන පෙන්වූවාට ඔහු සිටියේ ලිපි ගොනු ගොඩක් පෙරළා ගෙන වෙන වැඩක ය. මාව සතයකට ගණන් ගැනෙනා බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඉතින් මම ඒ සුව පහසු අසුනේ හිඳ ගෙන අතින් වරල කොන පිරිමදිමින් බලා සිටියෙමි. ඔහු ගේ සුදු දිගටි ඇඟිලි ඉතා කඩිසර ලෙස කඩදාසි කොල ඒ මේ අත පෙරලයි. ඒවායින් නික්මුණ දුහුවිලි සුවඳක් මගේ නාස් පුඬු වලට දැනිණ. ඒ අතැඟිලි වෙත යොමු ව තිබි මගේ ඇස් ඊළඟට අතැඟිලි දිගේ ඉහළට ආවේ ය. කමිස අතේ මැණික් කටුව ළඟ බොත්තම ගලවා එය මඳක් ඔසවා තිබිණි. ඒ අතරින් නිරාවරණය වූ සුදු අත මත ඝණ ව රෝම වැවී තිබුණේ ය. මැණික් කටුව මත රිදී පැහැති අත් ඔරලෝසුවක් ද ගෙතූ පාට නූල් කිහිපයක් ද බැඳ තිබුණේ ය. මට ඒ අත අල්ලා බලන්නට සිතුණේ ඇයි කියා නම් නො දනිමි. ඒ බොළඳ ආශාව මුණිවර දුටුවා දැයි හදිසි ගැස්මකින් මම ඔහු ගේ මුහුණ දෙස බැලුවෙමි. මා මෙතැන අසුන් ගෙන සිටිනා බවට වගක් වත් නැතිව ඔහු සිය දෑස් ලිපි ගොනුව මත නතර කර ගෙන සිටියේ ය.
ඔහු ට කතා කරන්නට මට නො සිතුණා නොවේ. නමුත් සිය කාරියට බාධා කිරීම ගැන උදහස් ව පෙර දා සේ ම කෑ ගසාවිය යන බිය ද මට විය. ඔහු ළඟට වී ඕනෑ තරම් වෙලාවක් ඒ පිරිමි සුවඳින් මත් ව ඉන්නට බැරි කමක් හෘද සාක්ෂියට එකඟව මට නැතිවා නොවේ. නමුත් මා සිටියේ ද කඩි කෑ එකියක සේ මඳ නො සන්සුන් කමක ය.
ටික වෙලාවකට පස්සේ ඔහු දුරකතනයෙන් ව්‍යාපාරික ඇමතුමක විනාඩි කිහිපයක් ගත කළේ ය.
“මිස්ට මුණිවර මං….”
ඒ සංවාදය නිමා වූ වහා මම මැද්දෙන් පැන කතා කළෙමි. මෙතැන ඉන්නට හෝ මෙතැනින් යන්නට මගේ ගැහැනු හිත මට පුදුම වදයක් දුන්නේ ය.
“අම්…මං ඔයාට එන්න කිව්ව නේ…”
ඒ පුදුම අහංකාර හඬ තානයකි. නමුත් මම ඒ තුළ අසීමිත මත් වීමකට පත් වෙමින් සිටියෙමි. මගේ ඇස් සිටියේ ඔහු ගේ මුහුණේ එල්ලී ගෙන, කොයි මොහොතක හෝ ඒ ඇස් වල පැටලීමේ නිර්භීත කමක් ඇතිව ය.
“මොකක් හරි ප්‍රශ්නයක්ද…”
අවසානයේ ඔහු මගේ මූණ බලා අසා ගත්තේ ය. මගේ ඇස් කණීනිකා මුළුමනින් විවර වී ඒ මුහුණේ සෑම අංශුවක් ම නිරීක්ෂණය කළේ ය. ඒ තොල් කොනක මාංශ පේෂී ගැස්සී ගියයුරු මට පෙනිණ.
“ප්‍රශ්න….ය…ක්…”
මම මිමිණුවෙමි.
“මං කියන්නෙ…අම්…”
ඔහු අතකින්, තද කොළ පාටින් රැවුල් කොට වැවුණ නිකට හා කම්මුල පිරිමැද්දේ ය. මේ පිරිකම් ඉදිරියේ ගැහැනුකම් අතිශය අකීකරු වන වග ඔහු ට කියා ගන්නට දිරියක් මට තිබුණේ නැත.
” මෙහෙ…ෆාම් එකේ…වැඩ ගැන මුකුත් අවුලක් තියනවද…”
“අවු…ල…ක්…නෑ මං හිතන්නෙ”
“මිස්ට දිසානායක කරන වැඩ ටික මන්දාකිණීට තනියම කර ගන්න බෑ වගේද…”
“අ..නෑනෑ. තව ටිකක් වැඩ තිබුණත් මට කරන්න පුළුවන්. අවුලක් නෑ”
“හරි. එහෙනං යන්න පුළුවන්. මං හිතුව ඊයෙ මීටින් එක වෙලාවෙ වෙන ලෝකෙක හිටියෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසා කියල”
මා නැගිට්ටේ නෝක්කාඩු හිතකිනි. ඔහු නම් කිසි ම හිතක් පපුවක් නැති මිනිසෙකි. අඩු තරමින් ඊයේ කෑ ගැසූ එකට සොරි කියාවියි මම බලාපොරොත්තු වුණෙමි. නමුත් ඇඬුවේ ඇයි කියා හෝ ඇසුවේ නැත. ප්‍රශ්නයක් ද කියා ඇසුවේ ඇතැම් විට ඒ සියල්ල හිතේ හංගා ගෙන වෙන්නට ද ඇත.
කෙසේ වෙතත් මා තුළ ඔහු ගැන වූ පිස්සුව තවත් වැඩි වූ සෙයක් දැනිණ. ඉබ්බබෙකු සිය කටුව තුළට වී සිටින්නා සේ සියල්ල හිතේ ගුලි කර ගෙන හිඳිනා ඔහු ගැන මහත් ස්නේහී හැඟීමක් ඇති නැති වෙමින් තිබිණ.
ඒ දවස මට ජව සම්පන්න එකක් විය. දිසානායක මහතා ට කාර්යාලය තුළ රැඳෙන්නට කියා උදේ ෆාම් එකේ සියලු අංග වලට ස්කූටියෙන් ගියේ මා ය. මා දුව පැන එහෙ මෙහෙ යනු වීදුරු බිත්තියෙන් මුණිවර ට නො පෙනෙන්නට විදිහක් නැත. නමුත් ඔහු මට දැනෙන්නට නම් ඇසක් ඇර මදෙස බැලුවේ නැත.
“සර් දන්නව මිස් මන්දාකිණී හොඳට වැඩ ටික කරං යයි කියල”
කෑම කන අතරේ දී දිසානායක මහතා කීවේ ය. මට බත් පිඬ පිටි උගුරේ ගියේ ය. මම ඉක්මනින් වතුර බෝතලය මුව තබා ගෙන බීවෙමි.
“ඇයි මිස්ට දිසානායක එහෙම කියන්නෙ…”
“නෑ ඉතිං…මං යනව කියපු මුල් දවස් වල සර්ගෙ මූණෙ තිබුණ අවුල් ගතිය දැන් නෑ. එයාට විශ්වාසයක් ඇති වෙලා තියෙන්නෙ ඔයා ගැන”
“එහෙම කිව්වද…”
“කටින් දෙයක් කියන මනුස්සයෙක් නෙවෙයි. හැම දේම හැබැයි හිතේ තියෙනව. මිස් මන්දාකිණීට තේරෙයි එයත් එක්ක වැඩ කරන්න පටන් ගත්තහම. හැබැයි අර ඊයෙ වගේ නැතුව එයා ළඟදි සම්පූර්ණ අවධානය වැඩේට දීල ඉන්න ඕන”
ඔහු ඒ කීවේ සිනහා වෙමින් මා ව හාස්‍යයට ලක් කරනා පීතෘ ස්වරූපයකිනි.
“මිනිස්සු එක එක විදිහයි මිස් මන්දාකිණී. සමහරු මූණිච්චාවට පණ දෙන්න කතා කරන්නෙ. හැබැයි ඒ මිනිස්සු ළඟ තිබිල තියෙන්නෙ මූණිච්චාව විතරයි කියල තේරෙන්නෙ දෙයක් වුණාම. සමහර මිනිස්සු බැලූ බැල්මට හරි ආඩම්බරයි. නපුරුයි. බොරු සෝබන නෑ. කතා බහ අඩුයි. ඒකත් උවමනාවකට විතරයි. හැබැයි ඒ මිනිස්සුන්ගෙ පපුව ඇතුලෙ මනුස්සකම තියනව කියල දැනෙන්නෙත් උවමනාවක් වුණ වෙලාවකදි තමයි. මං හොඳයි කියල පෙන්නන්න හදන කියවන මිනිස්සුන්ට වඩා…හොඳ නෑ කියල අපි හිතං ඉන්න මිනිස්සු ඇත්තටම හොඳයි. මෙතන වැඩ කරං ඉද්දි මිස් මන්දාකිණී අත්දැකීමෙන්ම ඒව තේරුං ගනී”
ඔහු හුඟක් දේවල් කීවේ ය. ඒ මුණිවර ගැන මගේ හිතේ අපැහැදීමක් ඇතැයි සැකයෙන් වන්නට පුළුවන. එවැන්නක් තිබේ නම් මා ඒවා අත් හැර දමා නිදහස් මනසින් මෙහි සේවය කළ යුතු යයි ඔහු සිතන්නට ඇත.
මා සේවයට විත් මාසයක් ගත වී නැතත් එදා සේවකයන් ට වැටුප් ගෙවනා දිනය වූයෙන්, ගිනුම් අංශයෙහි පොතක අත්සන් දමා මම ද මගේ ලියුම් කවරය අතට ගතිමි.
“ඔන්න මන්දාකිණීට ෆුල් සැලරි එක ඇති. සර් කියල තිබුණා දවස් ගාණ අඩු කරන්න එපා කියල”
ගිනුම් ලිපිකරුවෙකු කීවේ ය. ඒ ලියුම් කවරය අතට ලැබෙනා තුරු මම මගේ වැටුප කීයද කියා හෝ නො දැන සිටියෙමි.
“ට්‍රේනිං පීරියඩ් එක වුණත් සර් කිව්ව මිස් මන්දාකිණී මහන්සි වෙන නිසා මගෙ සැලරි එකම මුල ඉඳලම දෙන්න කියල. මං කිව්වෙ. සර් හරි මනුස්සකං තියෙන මනුස්සය”
දිසානායක මහතා කීවේ ය. ඒ තරම් වැටුපක් සැබවින් ම මම බලාපොරොත්තු නොවුණෙමි. මේ මා වැටුප් බලා ගෙන පැමිණි ගමනක් ද නොවේ. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් මගේ උපරිමය මිස්ට්ෆීල්ඩ් වෙනුවෙන් ලබා දෙන්නට මම මට ම පිළිණ දුනිමි.
එදා මා ගෙදර ගියේ වැලිමඩ ගොස් අප්පච්චි ට කමිසයක් ද අම්මා ට සාරියක් ද නංගීට ජංගම දුරකතනයක් හා මල්ලී ට අත් ඔරලෝසුවක් ද රැගෙන ය. නංගී ටික කලක සිට ජංගම දුරකතනයක් ඕනේ කියමින් කන්කෙඳිරි ගාමින් සිටී. නමුත් අප්පච්චි සිටියේ නෑසූ කන් ව ය. අප්පච්චි මට වුව දුරකතනයක් ලබා දුන්නේ උපාධිය හදාරත්දී ය. නංගී දැන් නැටුම් ගුරුවරියක ලෙස අප්පච්චි ගේ ම පාසලේ සේවයට බැඳී සිටිනා නිසාවෙන් ඇය ට සිය ආශාව ඉටු කර ගත හැකි වනු ඇත. නමුත් ඊට පෙර ඇගේ ආශාව ඉටු කර දීම මගේ සතුට වූයේ ය.
මා යන විට අම්මා සිටියේ ගුරු නිවාසයේ මිදුලට බැස පාර දෙස බලා ගෙන ය.
“පරක්කු නිසා මං මේ බලං හිටියෙ…කෝල් එකක්වත් ගත්තෙ නෑ බයිසිකලේ එන ගමන් ඕකට උත්තර දෙන එක තවත් කරදරයක් නිසා”
“ලස්සනද බලන්න”
මම ඉක්මනට අම්මා වෙනුවෙන් මිල දී ගත් සාරිය සහිත බෑගය ඈ අතට පත් කළෙමි.
“ඇයි මේ…”
“අද සැලරි හම්බුණා”
“අනේ…ඉතිං ඔය තනියම වැලිමඩ ගියාද…”
“තනියම වැඩ කරගන්න පුරුදු වෙන්න ඕන කියල අම්මමනෙ හැම තිස්සෙම කියන්නෙ. කෝ අප්පච්චි…”
“එළවළු පාත්ති වලට වතුර දදා හිටියෙ…පුතාලගෙ අප්පච්චී…”
‘මට මොනාද ගෙනාවෙ කියාගෙන’ නංගී හා මල්ලී දෙදෙන ම මවෙත පැමිණියහ.
“ෆෝන් එකක්..මට…”
එය දුටු ගමන් මල්ලී උදුර ගන්නට ගියේ ය.
“ආ…මේ මට තාම ෆෝන් එකක් දුන්නෑ අප්පච්චි. මෙයාට දෙන්නකො ෆෝන්”
නංගී නෝක්කාඩු කීවා ය. මම දුරකතනය සහිත පෙට්ටිය ඇය වෙත පෑවෙමි.
“මේක ඔයාට තමයි සුදූ”
“ඇත්තටම මටද…”
“හ්ම්”
“උම්…මා…මගෙ හොඳ අක්කා”
“බෑ බෑ. එයාට විතරක් නෙවෙයි. දුවා මටත් දෙන්න කියන්න හොඳේ”
“යනව යන්න. තාම ඕ ලෙවල් කළෙත් නෑ නේද…”
“මොකද මොකද ආ මේ සද්දෙ..”
කියා ගෙන අප්පච්චි එතැනට පැමිණියෙන් නංගීත් මල්ලීත් දෙදෙනා ම නිහඬ වූහ.
“දුවා තෑගි ගෙනත් තියෙන්නෙ. සැලරි හම්බ වුණාලු”
“හම්මේ…මාසෙකුත් ගියාද…කාලෙනං ඉගිල්ලෙනව ඇත්තට…”
මම අප්පච්චි අතට ඔහු ට ගෙනා කමිසය දුන්නෙමි. ඔහු එය ගත්තේ “මොකට වියදං කළාද මේවට” කියමිනි. මල්ලී දුක් මුසු බැල්මකින් බලා සිටියේ තවමත් ඔහු ට කිසිත් නො ලැබී තිබූ බැවිනි. මම මගේ අත් බෑගය හැර එහි වූ අත් ඔරලෝසුව ඔහු ට දුන්නෙමි.
“දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි නිස්කාරණේ සෙල්ලං වැඩ වලට වියදං කරනව නෙවෙයි. මං මේ දෙවෙනිටත් එක්ක කියන්නෙ. අපිට ඕගොල්ලොංගෙ සල්ලි ඕන නෑ. මට පුළුවන් ඕගොල්ලන්ට කන්න බොන්න දෙන්න. හම්බ කරන මුදලක් පත පොතක දාල ඉතුරු කර ගන්න. මතු ප්‍රයෝජනේට ගන්න”
ඒ මා ඉපයූ ප්‍රථම මුදල ය. ඒ නිසා හිතේ සතුටක් තිබිණ. පසු දා ඉරිදා වූයෙන් ඒ සතුට වඩා වැඩි විය. කසුනි ලා කලින් ම පාටියක් ඉල්ලා සිටියෙන්, විදුනි ට ද පැමිණිය හැකි දැයි මම දුරකතන ඇමතුමක් දී ඇසුවෙමි.
“නෑවිත් කොහොමද…මං හිතුවෙ නෑ ඔයා අපේ පෝරිසාදය එක්ක මාසයක් වැඩ කරයි කියලනං. ඒ කියන්නෙ ඔයා මාර දක්ෂ කෙල්ලෙක්”
“දක්ෂ නෙවෙයි මං යක්ෂ කෙල්ලෙක් නිසා යන්නෑ ඔතනිං. මිස්ට මුණිවරට දුම්මල ගහන්න වෙයිද දන්නෑ අන්තිමට මාව එලවන්න”
“දන්නවද මමයි ඔයාව එව්වෙ කියල…”
“නෑ මගෙං අහල නෑ. ඔයා කිව්වද…”
“නෑ. මගෙං ඇහුවෙත් නෑ. මාත් මුකුත් දන්නෑ වගේ තමයි හිටියෙ. කොහොමත් හස්බන් ආව නිසා දැං මං ඉන්නෙ අපේ ගෙදරනෙ. අයියව ටික දවසකින් මීට් වුණෙත් නෑ”
“විදුනි මට දෙයක් ඔයාගෙන් අහන්න ඕන. ඒත් ඔයා වැරදියට හිතයිද මන්දා. බලෙන් වගේ මං ජොබ් එක ඉල්ල ගත්ත එකේ…මිස්ට මුණිවර ට ෆස්ට් සැලරි එකෙන් ගිෆ්ට් එකක් දෙනවද…දුන්නත් ගනීද…මට නිකං නෝන්ඩි වෙන්න වෙයිද…”
ඇය හඬ නගා සිනහ වන්නට වූවා ය. මගේ හිතේ දෙගිඩියාව තවත් වැඩි විය.
පසු දා, මා හා නංගී මගේ ස්කූටරයේ ත්, කසුනි හා හංසිකා කසුනි ගේ එකෙහිත් නැගී පාසල් ගේට්ටුවෙන් පිට ව අඩි කිහිපයක් ගියා පමණකි. මුණිවර ගේ රතු පාට ජීප් රථය ඇවිත් අප පසු කරමින් පාසල් ගේට්ටුවෙන් ඇතුළට දැමුවේ ය. එක වර ගින්දරක් ද සිසිලක් ද මගේ පපුවට දැනිණ.