සීත මාරුතේ -24

මා හිටියේ බෙංගාල බොක්ක තුළ පවතිනවා යි සිතිය හැකි විදිහේ කැළඹීමක ය. නේකාකාර කුණාටු සිතිවිලි විත් මගේ මනසේ ඒකාග්‍රතාව බිඳ දමන්නට ක්‍රියා කරමින් තිබිණ. මුණිවර රිය පැදවූයේ ඉතා හෙමිහිට කියා සිතමි. මගේ හිත ඊට වඩා වැඩි වේගයකින් දිව්වේ ය. 

“මන්දාකිණී…”

මම ඇතුළාන්තයෙන් ම වෙව්ලා ගියෙමි. ඔහු ගේ ස්වර සංගතියේ දෙදරීමක් හෝ වෙව්ලීමක් වන් සංවේදනයක් මට දැනිණ. සත්තකට ඒ හඬ ඇසුණේ ඈත එපිට වෙනත් මන්දාකිණියක සිට මා ඇමතූ හඬක් සේ ය.

 මන්දාකිණී! මගේ ඒ නම ඒ තරම් ලස්සනට -හැඟීම්බර ව කියනා වචනය වඩා සුදුසු යයි සිතමි- කිසිවෙකු මීට පෙර කියනවා මා අසා නැති බව විශ්වාස ය.

“ම්…”

මා මුණිවර දෙස බලන්නට ඇත්තේ කලබලයෙනි. 

“මාත් එක්ක ගමනක් යන්න එන්න පුළුවන් ද..”

“දැන්ද…”

මගේ ඒ ප්‍රශ්නයේ ත් වූයේ කලබලය ම ය.

“නෑ. ඔයාට ෆ්‍රී වෙලාවක. අම්..සන්ඩේ හරි…”

“ම්..හෙට…හෙට සැටර්ඩේනෙ…හෙට හවස පුළුවන්නං…”

“ඕකේ”

මා ඉරිදා ට වඩා සෙනසුරාදා සුදුසු යයි සිතුවේ, ඉරිදා නිවාඩු දවස වන නිසාවෙන් මා විශේෂ ගමනක් යන්නට සූදානම් වෙත්දී ඒ ගැන හේතු පාඨ කියන්නට වීම අපේ ගෙදර සම්ප්‍රදාය බව දන්නා නිසා ය..රාජකාරී ගමන් ගැන ඕනෑ තරම් නිදහසට කාරණා කියන්නට මගේ කටට පුළුවන. නමුත් ඉරිදා ගමනක් සඳහා බොරු ගොතන්නට සිදු වනු ඇත. මා බොරු කියනා කල ඕනෑ ම මෝඩයෙකුට ඒ බොරු බව වැටහෙනවා යි නංගී කියයි.

ඒ දුරකතන ඇමතුම ගැන මුණිවර ට කිව යුතු ද නො කිව යුතු ද කියන පටලැවිල්ල මට විය. කතා කළ කෙනා මුණිවර ව දන්නා කෙනෙකි. ඔවුන් දෙදෙනා ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ කියා සිතමි. තරගකාරිත්වය හා තරහකාරයන් ඇති වීම එක ක්ෂේත්‍රයක සිටිනා අය අතරේ සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයකි. එක තැනක කැපී පෙනෙනා කෙනෙකු වැඩි වැටුපක් හා වෙනත් වරප්‍රසාද සහිත ව එතැනින් කඩා ගෙන සිය ආයතනයට සම්බන්ධ කර ගැනීම ද එක ක්ෂේත්‍රයක් තුළදී සුලභ ව සිදු වන දෙයක් බව මම දැන සිටිමි. ඒ නිසා දැන් ම මේ ගැන මුණිවර ට කියා අනවශ්‍ය කලබලයක් ඇති කළ යුතු නැත ය කියා මම සිතුවෙමි. නමුත් ඒ දුරකතන ඇමතුම තුළ අමුතු අසාමාන්‍ය බවක් ද මට නො දැනුණා නොවේ.

“මං කොහොමත් තේ කෝප්පෙත් කිඹුල්ලු දකිනව කියල අම්ම කියනවනෙ”

මම මාව ම විනිශ්චය කර ගනිමින් මගේ ගැස්ම සාමාන්‍ය කරනය කරන්නට උත්සාහ කළෙමි. 

ගෙදර ගොස් හෝ මා ඒ දුරකතන ඇමතුම ගැන කීවේ නැත. මට එය කියන්නට හිත් දුන්නේ නැත. නො එසේ නම් තව දුරටත් එහි බලපෑමක් වන්නේ ද කියා විමසා පසුවට එය පැවසිය යුතු යයි මා සිතා ගන්නට ඇත.

ඒ කැළඹීම අස්සේ මුණිවර යන්නට කතා කළ ගමන ද මා කුතුහලවට පත් කරමින් තිබිණ. මා ඔහු ව දන්නේ ටික කලක සිට ය. ඊට ‘ටික කලක්’ කියන වචන දෙක ද දිග වැඩි විය හැක. කෙසේ වෙතත් ඒ ටික දිනට මා ඔහු ගැන දන්නා පරිදි, ඔහු කිසිවෙකු වෙතින් ඉල්ලා සිටීම් කරමින් හිඳිනා කෙනෙකු නොවේ. මීට පෙර අප දෙදෙනා ගේ නුවර ගමන් සිදු වූයේ ද එසේ ය. ඔහු ට යමක් සිදු විය යුතු නම් එය කරනවා මිස කරන්නද කියා අසනා කෙනෙකු නොවේ ඔහු. ඒ නිසා කල් ඇතිව ම ගමනක් යන්නට එනවා ද කියා ඔහු මා විමසීම මට අමුත්තක් දැනවී ය. ඊටත් වඩා ඒ වෙලාවේ ඔහු ගේ ස්වභාවය අමුතුයි කියාම ය මට සිතුණේ. අර දුරකතන ඇමතුම නිසා මා අමුතු වී සිටියා වන්නට ත් පුළුවන.

කෙසේ වෙතත් සෙනසුරාදා දිවා ආහාරයෙන් පසු මගේ හදෙහි ආගන්තුක ගැස්මක් තිබිණි. මා නිරතුරු වීදුරු බිත්තියෙන් එපිට හිඳිනා මුණිවර වෙතට දෑස් දිවෙව්වේ කොයි මොහොතක හෝ ඔහු සිය ගමන යන්නට කතා කරාවියි බලාපොරොත්තුවෙනි. ඒ වාගේ ම එක මොහොතක ඔහු හිසෙන් යමු යයි අඟවමින් අසුනින් නැගී සිටියේ ය. මම සියල්ල එහෙම ම තබා නැගී සිටියෙමි. 

වැලිමඩ පසු කොට කිලෝ මීටර හතරක් පමණ ගිය තැන උමා ඔය ජලාශය අසබඩ ඔහු රිය නතර කළේ ය. බොර පැහැ දිය කඳ, වැලිමඩ අවට වගා බිම් වල සාරය උරා ගත්තා බඳු හැඟීමකින් රළ නැගුවේ ය.

“අම්…දන්නවද මේ මොකද්ද කියල..”

මුණිවර ගේ දෙතොල් මත්තේ යාන්තම් හසරැල්ලක් විය. නමුත් ඒ මුහුණේ තිබුණේ හඬන්නට ඕනා පෙනුමක් වාගේ ය මට දැනුණේ. 

“උමා ඔය ඩෑම් එකනෙ…වැලිමඩ පුහුල්පොල ජලාශෙ කියලත් කියන්නෙ…”

අප මෙහි එන්නට නියමිත දින වල, නමුත් කොළඹ අතැර කඳුකරයට සංක්‍රමණය වීමට එරෙහි ව අපේ ම යටි හිත් විසින් අරගලයක් දියත් කොට තිබූ දින වල, වැලිමඩ කෙරේ අප තුළ හදිසි ප්‍රේමයක් ජනනය කරනු වස් අප්පච්චි භාවිත කළ උපක්‍රම අතරේ උමා ඔය ව්‍යාපෘතිය ද තිබුණේ ය. 

“වැලිමඩ කියන්නෙ දැන් ඉස්සර අපි දැකල තිබුණ අපි හිතං හිටිය වැලිමඩ නෙවෙයි. දැං ඒව සෑහෙන්න දියුණු නගර. ඔය උමා ඔය වගේ ප්‍රොජෙක්ට්ස් නිසා ඒ පැති බලා ඉඳිද්දි සංවර්ධනය වුණා”

මහා මාර්ග, අධි වේගී මාර්ග හා වෙනත් විශාල සංවර්ධන ව්‍යාපෘති හරහා ඇති කෙරෙන්නා වූ සංවර්ධනය ය කියනා වචනයේ අරුත ගැන මම කිහිප වතාවක් සිතා ඇත්තෙමි. වතාවක් අධිවේගී මාර්ගයකට සිය පාරම්පරික ඉඩම් බිලි වීම ගැන විරෝධතාවයක නිරත වූ මිනිස් සමූහයක් බණ්ඩාරගම කළුතර වැනි ප්‍රදේශ ආශ්‍රිතව මම දුටුවෙමි. 

“පිස්සු මුන්ට. කොච්චර හොඳද හයි වේ හදල ගමන් බිමන් ලේසි වුණහම. රටක් දියුණු කරන්නෙ කොහොමද මේ වගේ ළිං මැඩියොත් එක්ක”

ඒ වෙලාවේ මා හා උන් මිතුරු සමූහයක් විරෝධතාවය හා අධි වේගී මාර්ග සැලැස්ම ගැන සිය අදහස් පල කළ ද, බෝඩ් ලෑලි අතැතිව මග දිගට හිට ගෙන උන් මිනිසුන් ගේ මුහුණු වල මා දුටුවේ ඒ බෝඩ් ලෑලි වල ලියා පැහැදිය නො හැකි විදිහේ සන්තාපයකි. ඇතැම් විට සිය පාරම්පරික බිම් වල හිලව්වට ඔවුන් ට සංවර්ධිත ප්‍රදේශ වලින් ඉඩ කඩම් හා වාසස්ථාන ලැබුණ ද, කිසිවෙකුට කිසි දා ලබා දිය නො හැකි යමක් ඒ බිම් ආශ්‍රිතව ඔවුන් ට තිබුණා වන්නට ඇතැයි මට නිකමට සිතිණ.

“උමා ඔය කියන මේ මහ වතුර කඳට යටින් තියෙන්නෙ මතක කන්දක් මන්දාකිණී…ඔබා ගෙන ඉන්නකල් යට ගිහිං තියන…අත් ඇරිය ගමන් වතුර දෙබෑ කර ගෙන මතුපිටට එන රබර් බෝලයක් වගේ…වතුර කඳකින් වහල දාන්න බැරි මතක කන්දක්…”

මම මුණිවර ගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහු ගේ දෑස් යොමු වී තිබුණේ ඈතට ඈතට දිවෙනා දිය කඳ දෙසට ය. ඒ ඇස් වල වේදනාවක් මම හැඳින ගතිමි. ඇතැම් විට එදා අර කළුතර බණ්ඩාරගම ප්‍රදේශයේ බෝඩ් ලෑලි උස්සා ගෙන ‘අධි වේගී රකුසා’ ට එරෙහි ව විරෝධතාවය පෑ මිනිසුන් ගේ ඇස් වල ද තිබෙන්නට ඇත්තේ මේ වේදනාව ම යයි අවස්ථා සම්බන්ධ කර ගන්නට මේ මොහොතේ මට හැකි විය.

ඒ අතරේ ම මගේ හිත පත්ලේ කොහේදෝ තැනක බිය මුසු ගැස්මක් ද ඇති ව තිබුණේ ය.ඔහු ඒ තරම් වේදනාවට පත් කොට ඇති මතකය හා ඔහු ගේ හිටපු පෙම්වතිය ගැන සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නට මගේ ගැහැනු හිත උත්සුක වූයේ ය. පසු බිමෙන් මට ‘මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී’ ගීතය ඇසෙන්නා සේ විය. ඇය මේ ජලාශයට වැටී මිය ගියා වත්ද? මා නො දැන ම මගේ අතක් මගේ ම පපුව අල්ලා ගෙන තිබිණ.

“මේ වතුරට යට වෙලා තියෙන්නෙ පුහුල්පොල. මගෙ තාත්තගෙ ගම. මගෙ ළමා කාලෙ මතක. මේ වතුර කඳ යට කරගෙන ඉන්නෙ තාත්තලගෙ දහදිය මහන්සියෙන් අස්වද්දපු සරුසාර වගා බිම්”

දුක වැඩි වූ විටත් මිනිසුන් ගේ ඇස් දිළිසෙන්නේ ඇයි දැයි මම නො දනිමි. ඔහු වේදනාවකින් පසු වන බව මට දැනේ. ඊට නිශ්චිත හේතු නො දන්නවා සේ ම ඒ වේදනාව සමනය කරනු වස් භාවිතා කළ හැකි වචන ද මා සතු නොවන බවක් මට දැනෙමින් තිබුණේ ය.

“ඒ කාලෙ පුහුල්පොල හිටියෙ අත මිට සරු ගොවියො. ඒ අතරෙ එයාල අතරින් මතු වෙච්ච ව්‍යාපාරිකයො කීප දෙනෙකුත් හිටිය. මිනිස්සු කිව්වෙ මුදලාලිල කියල. මේ ලොකු මුදලාලිලට ලොරි තිබුණා. අපි පුංචි කාලෙ මට මතකයි…ඒ ලොරි වලට තිබුණෙ ගෑනු අයගෙ නම්…සීදේවි..චන්ද්‍රිකා..සුනීතා..ශ්‍යාමලී…ඒගොල්ලො තමයි පුහුල්පොල ලොකුම මුදලාලිල. මඅදලාලිලව ඇඳින්නුවෙත් ලොරි වල නම් වලින්. චන්ද්‍රිකා මුදලාලි…ශ්‍යාමලී මුදලාලි වගේ..”

මුණිවර ගේ ඇස් වල සන්තුෂ්ටියක රේඛා මතු වන්නට විය. මිනිස්සු වර්තමානයට වඩා නිතර ම අතීතයට ආදරය කරති. අතීත කාමය වූ කලී මිනිස් චිත්ත සන්තාන වල ගැඹුරින් කා වැදී තිබෙන්නා වූ සිද්ධාන්තයකි. වර්තමානයේ කෙබඳු සුව පහසු ජීවිත ගත කළ ද මිනිස්සු මොහොතක් අතීතය තුළ තනි වී ඉන්නට කැමැත්තක් දක්වති.

අප හිටියේ මුණිවර ගේ රියට හේත්තු වී ගෙන ජලාශය දෙස බලා ගෙන ය. සුළඟ අමුතු නදකින් හැමුවේ ය. මම සීතලට අත් දෙක පපුවේ බැඳ ගතිමි.

“අපේ සීයත් ඒ මුදලාලිල අතරෙ හිටිය කෙනෙක්..තාත්තලගෙ මහ ගේ ප්‍රොජෙක්ට් එකට යට වුණෙ නෑ. ඒත් සීයල ලොකු තාත්තල තාත්තල බාප්පල වවපු එයාලගෙ ඉඩම් උඩ තමයි මේ උමා ඔය අඬන්නෙ..”

ඔහු සිනහ වීමේ උත්සාහයක් ගත්තේ ය. මා අහක බලා ගත්තේ ඒ සිනහව ඉකි බිඳුමකට වඩාත් සමීප වූ නිසා ය.

“ඒ ඉඩං යට වුණාට ඔයාට මුකුත් නැති වෙලා නෑනෙ මිස්ට මුණිවර”

හිත හදන්නට වුණත් මම මෝඩ ම කතාවක් කීවෙමි. ඔහු ගේ සුසුම ඒ මහා ජලාශය නිසා උපදින සුළං ඉදිරියේ කෝඳුරුවෙකු  සේ වී ද මට එය සුළි සුළඟක් ව දැනිණ.

“ඉඩං ගැන නෙවෙයි මන්දාකිණී මට දැනෙන දෙයක් දැනෙන්නෙ…ඇස් පනාපිට වැළලිලා ගිය මගෙ අතීතෙ ගැන. මේ හැම තැනම මං ඉන්නව කියල මට දැනෙනව. පොඩි කොල්ලෙක්…එහෙ මෙහෙ දුව පනින..මෙතන තිබුණෙ පුහුල් පොල ටවුන් එක. මං චූටි කාලෙ සීය ලොකු පෝසතා. ඉඩං තියනව..ඒවයෙ මිනිස්සු අඳේට වවනව. සීයයි තාත්ත ලොකු තාත්ත බාප්ප එහෙම වටේ පිටේ අනිත් ගොවියන්ගෙත් එළවළු මිරිස් තක්කාලි අල එහෙම සල්ලි දීල ගන්නව. දැන් මේ වගේ කුණු කොල්ලෙට ගොවියව ගසා කෑවෙ නෑ ඒ කාලෙ මුදලාලිල. හවසට මාවත් කරේ තියං සීය හරි ලොකු තාත්ත හරි තාත්ත හරි බාප්ප හරි ටවුන් එකේ කඩ වල ඇවිදිනව. මට තාමත් මවා ගන්න පුළුවන් ඉස්සර ටවුන් එකේ කඩ සාප්පු. ඇත්තටම ඒව මට කට පාඩං. මං චූටි එකා..ඒ වුණාට හැමෝම හරි ආදරෙයි. සීයගෙ බිස්නස් තමයි ලොකු තාත්තල තාත්තල ඔක්කොමල කළේ. ඒගොල්ලන්ට වෙන වෙනම ආදායම් බෙදල දුන්නා. ඒ කාලෙ තමයි අපේ තාත්ත බොරලන්දෙන් ඔය මිස්ට් ෆීල්ඩ් ඉඩම් අක්කර කීපෙ අරං තියෙන්නෙ. අම්ම කියන විදිහට තාත්ත ඒක අරං තියෙන්නෙ මං නිසාමයි. මාව ගුරුතලාවෙ ඉස්කෝලෙ යවන්න”

ඔහු ඒ අතීතයේ සමහර තැන් වල සතුටෙන් සැරිසැරුවේ ය. නමුත් සමහර තැන් වල වූයේ ඔහු ට දරා ගත නො හැකි තැවුලකි. මට කළ හැකි වූයේ නිදහසේ ඒ ඕනෑ ම තැනකට ගොස් එන්නට ඔහු ට ඉඩ හැර ඔහු ළඟ ට වී ඉන්නා එක විතර ය. 

“පුහුල්පොල පුරා ඒ කාලෙ ලොරි. ඒවයෙං ගමේ එළෝළු එකතු කරං මුදලාලිල කොළඹ කුරුණෑගල,ගාල්ල, මාතර, ඇඹිලිපිටිය..ඔය හැම තැනකම බිස්නස් ගියා. ඔය ලොරි වලට වැඩිපුරම ප්‍රසිද්ද පුහුල්පොලයි කියල සීයල ලොකඅ තාත්තල පුහුල් පොල කඩ මණ්ඩියෙ තේ බිබී කතා කරනව මට මතකයි. බාප්ප කිව්ව පංචිකාවත්තෙන් ගිහිං ඔය ලොරියකට කෑල්ලක් හෙව්වත් එහෙ මිනිස්සු කියනවලු වැලිමඩ පැත්තෙ පුහුල්පොල කියල හරියක් තියෙනව. අන්න එහෙනං ඔය කෑල්ල ඇති කියල. ඒ තරමට ඒ ලොරි පුහුල්පොලට විශේෂයි. මට මතක විදිහට ඒව ඔස්ටින් කියන ලොරි. පුහුල් පොල ටවුම මැද සිමෙන්තියෙන් බැඳපු හතරැස් ළිඳක් තිබුණා. මං චූටි කාලෙ ඒකෙ ලොකු මාළු දෙන්නෙක් හිටිය. ටවුන් එකට ආවම මං ඒ ළිඳට එබී ගෙන මාළු දෙන්නා දිහා බලං ඉන්නව. ඒ වැලිමඩ හරිම සශ්‍රීකව තිබුණ කාලයක්. වැලිමඩ පොල රටේම ප්‍රසිද්දයි. අඟහරුවාදාටයි සිකුරාදාටයි පොළ. ඒ දවස් දෙකට බස් එකවත් යන්න බෑ පාරෙ. පොළට එන ලොරි ලෑන්ඩ් මාස්ටර් එහෙම නවත්තල පාර දිගේ. රටේ හැම පැත්තෙංම පොලට ආව එළෝළු අල ගෙනියන්න. හරි ලස්සන චිත්‍රයක් වගේ මතකයක් මට ඒව ගැන තියෙන්නෙ. අපි කොණ්ඩෙ කැපුවෙ ආං අර හරියෙ බාබර් සාප්පුවක් දාං හිටිය අලගරාජා කියන මනුස්සයගෙං. අපි බොරලන්දට ගියාට පස්සෙත් අලගරාජා කාලයක් ම ආව මගෙ කොණ්ඩෙ කපන්න. දැනුත් පුහුල්පොල හරහා යන එන ගමන් ඔය පාරක ඇන තියාගෙන උමා ඔය දිහා බලං ඉන්න අලගරාජාව දැක්කොත් මං නතර වෙලා කතා කරල යනව. දැං අවුරුදු අසූ ගාණක් ඇති. අපිව අඳුරගෙන ම නෙවෙයි..පුරුද්දට සෙයියාවට වගේ කතා කරනව මගෙ හිතේ”

පපුව පැලෙන්නට එන දුකක් මට දැනෙන්නේ ඇයි කියා මම ම නො දනිමි. මගේ සම්බන්ධතාවයක් නොවූවත් එය මට අයිති දුකක් සේ දැනෙන්නේ ඇයි?

“ඒ හැම දේ ම එහෙම වුණත් කමක් නෑ කියල හිත හදා ගන්න පුළුවන්. ඒත් මේ වතුර කඳ යට සීයගෙ වගේම තාත්තගෙයි බාප්පගෙයිත් අකාලෙ හුස්ම ගියා නේද කියල මතක් වෙන කොට…”

මුණිවර හිස වේගවත් ව සලමින් හැඟීම් ප්‍රවාහයකින් මිදෙන්නට හැදුවේ ය. මම වහා ඔහු ගේ අත් ගොබයෙන් අල්ලා ගතිමි. ඉසිහින් කඳුළක් විසි වී ඇවිත් මගේ අතකට සීතල දැනවූයේ ය.

“සීය ලොකු මුදලාලි කෙනෙක් වෙලා ඉන්න කාලෙ කුරුණෑගල පැත්තෙන් අමුතු විදිහෙ මිනිස්සු ටිකක් ආව. උස මහත උඩු රැවුල් වවා ගත්ත පච්ච කොටපු සුර දාපු මිනිස්සු. මට මතකයි ඒ එක මිනිහෙක්ගෙ පපුවෙ අම්මා බුදු වේවා කියල පච්ච කොටල තිබුණා. එක මිනිහෙක්ගෙ අතේ යක් මූණක් කොටල තිබුණා. තව මිනිහෙක් කට ඇර ගත්ත සිංහයෙක් කොටං හිටිය. ඒ මිනිස්සු ඇවිත් තිබුණෙ වැලිමඩින් ඉඩං අරං වගා කරන්න..අපේ සීය කුරුණෑගල එළෝළු අරං යද්දි තමයි දැන අඳුරගෙන තියෙන්නෙ. සීයගෙං ඉඩං ඉල්ලුව. සීය දුන්නෙ නෑ. ඒව පාරම්පරික ඉඩං. කොහොමත් සීයල ඉඩ කඩං විකුණං කන මිනිස්සු නෙවෙයි. ඒ කාලෙ තාත්ත විතරයි තාත්තලගෙ පවුලෙ පිරිමින්ගෙන් බැඳල හිටියෙ. නැන්දා කෙනෙක් හිටියා නුවරින් බැඳල. කොහොමත් කොල්ලො තුන් දෙනෙක් ළඟට කෙල්ලෙක් හම්බුණාම හොඳ නෑ කියල ඒ නැන්දව පොඩි කාලෙ ඉඳලම සීයගෙ නංගි කෙනෙක් ළඟ නුවරයි තියල තියෙන්නෙ. නැන්දා ගැන මට ලොකු මතකයක් නෑ පොඩි කාලෙ. අපි සිංහල අවුරුද්දට වගේ නැන්දලගෙ දිහා ගියා. සීයගෙ ඔටුන්න කියල තමයි ටවුන් එකේ මාමල මට කිව්වෙ. පවුලෙ ඒ පරම්පරාවෙ ඒ වෙනකොට හිටිය එකම කොල්ල මං. ඉතිං අර කුරුණෑගලිං ආපු මුදලාලිල ඉඩං විකුණුවෙ නැති නිසා සීයා එක්ක කෝන්තරයක් ඇති කරං තිබුණා. මට එච්චර තේරුමක් තිබුණෙ නෑ ඒ දවස් වල. හැබැයි මේ පුහුල්පොල හන්දියෙ රා බිල කතාවක් දුර දිග ගිහිං අර මිනිහෙක් සීයට කඩුවෙං කොටල මැරුව”

“අනේ”

මට කියවිණ. මගේ ඇඟ හිටි වැටී රෝම කූප උද්දීපනය වී තිබිණ. 

“ඒ මළ ගේ ගැන මට තියෙන්නෙ හීනයක් වගේ මතකයක්. මාත් ලොකු මිනිස්සු එක්ක නිදි මැරුව. සෙනග පිරිච්ච මළ ගෙයක් ඒ. රටේ හැම පැත්තෙංම වගේ මුදලාලිල ආව. ලොරි පිරිල තිබුණා. මං ඒ ලොරි ගණං කරන්න පුදුම මහන්සියක් ගත්තා මතකයි. එක සැරයක්වත් මට ඒක කර ගන්න පුළුවන් වුණෙ නෑ. ඒ මරණෙන් පස්සෙ ඒ රණ්ඩු ඉවර වුණෙ නෑ. බාප්ප ඒ මිනිස්සු එක්ක පැටළුණා. දෙපැත්තෙන් ම ගහ මරා ගත්තා. බාප්පවත් මරල දැම්ම. බාප්ප කියල තිබුණෙ තාත්තට ඕවට පැටලෙන්න එපා කියල…පවුල් කාරය නිසා. ඊට පස්සෙ තාත්ත පුහුල් පොල එන එකත් අඩු කරා. මාවනං ගෙනාවෙම නැති තරං. බොරලන්දෙ තියල ගුරුතලාවට යවල ඉගැන්නුව. ලොකු තාත්තගෙ මොළේ නරක් වුණා ඔය ප්‍රශ්න නිසාම. මට මතකයි ලොකු තාත්තව කීප සැරේ පේරාදෙණියෙ හොස්පිට්ල් එකේ නතර කරනව. පුහුල් පොලදි මං සෙල්ලං කරපු අහල පහල ගෙවල් වල ළමයි ගුරුතලාවට නෙවෙයි ඉස්කෝලෙ ආවෙ. ඉඳ හිට වැලිමඩදි එයාල හම්බ වෙලා තියෙනව. කාලයක්ම ඒ යාළුවො ගැන මතකය මගෙ හිතේ සාංකාවක් වගේ පැටලි පැටලි තිබුණා.. අපේ තාත්ත හිතා මතා ම මගෙං ජීවිතේ ඒ චැප්ටර් එක වහල තිබ්බ කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ පුහුල්පොල සිද්ද වෙච්ච හුඟක් දේවල් මං දන්නෙ නෑ. අර මිනිස්සු එහෙං මෙහෙං ඉඩං අරං කොහොම හරි බිස්නස් කාරයො වුණා. අදටත් ඉන්නව. හැබැයි තාත්තගෙ පවුල විනාස කළේ ඒ මිනිස්සුයි කියන මතකය මගෙ හිතේ කෙටිල තියෙනව. ටික කාලෙකට පස්සෙ…ඒ කියන්නෙ මං දහයෙ පන්තියෙදි තාත්ත ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. මේ පුහුල්පොල හන්දියෙදිම. අන්න අර පැත්තෙ පාළු හරියක… “

මුණිවර ඇස් කුඩා කොට හිස මඳක් ඇල කොට බැලුවේ ය. හදවත් පටක නාය යමින් පවතින බවක් මට දැනිණ.

“ඒක ඇක්සිඩන්ට් එකක් කියල වැහිල ගියාට මට මතකයි මළ ගේ දවස් වල එක එක්කෙනා කතා වෙනව…තාත්තව උවමනාවෙන් හප්පල මැරුව කියල. ඒ වෙනකොට ලොකු තාත්තගෙ අසනීප හොඳයි. හැබැයි අර තරුණ කාලෙ හිටිය ලොකු තාත්ත නෙවෙයි ඒ වෙද්දි හිටියෙ.හරි නිවුණු සන්සුන් මනුස්සයෙක්. ලොකු තාත්ත දැන් අතීතයක් නැති මන්ස්සයෙක්ද කියලත් ඕන තරං මට හිතිල තියෙනව. ජීවිතේ අත්දැකීම් නිසාම එයා මේ උමා ඔය ජලාශෙ වගේම හුඟක් දේවල් දැනගෙනත් ගිලගෙන හිටිය.  තාත්තගෙ පවුලෙ වෙන පිරිමියෙක් හිටියෙ නෑ කිසි දේකට මැදිහත් වෙන්න. මං පොඩියි. අම්මට ඔය දේවල් එක්ක ඔට්ටු වෙන්න හයියක් තිබුණෙ නෑ. ගුරුතලාවෙන් ඕලෙවල් ඉවර වුණාට පස්සෙ අම්ම මාව මවුන්ට් ලැවීනියා බ්‍රාන්ච් එකට දැම්ම ඒලෙවල්ස් වලට. කොළඹ ගත වෙච්ච කාලෙ මං වැලිමඩින් ඈත් වෙලා හිටිය තමයි. ඒත් මතකය කටුවක් වගේ හිතේ ඇනි ඇනි තිබුණා.  මං ලොකු මිනිහෙක් වෙලා මේව බාර ගන්නකොටත් අළු යට ගිනි පුපුරු වගේ තමයි හැම දේම තියෙන්න ඇත්තෙ. පස්සෙ…දෙදාස් දහය විතර වෙනකොට උමා ඔය ප්‍රොජෙක්ට් එක ඇවිත් මතකත් යට කරල දැම්ම”

අකුණක් වැදුණා සේ මගේ මනසේ යමක් විහිද ගියේ ය. ඒ නිර්ණාමික දුරකතන ඇමතුම!

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...