ඒ මොහොතේ සුධාරක ජීවිතයෙන් සමු ගනීවි යන අදහසක් මගේ තුන් හිතකවත් වූයේ නැහැ.ඔහුට සුළු ආබාධයක් මිස ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බව මට කිසිවෙකු පැවසුවේ ද නැහැ.
ඔහුට පපු තෙරපුම ආදිය දුන් බව මට නිතර නිතර පැමිණි දුරකථන ඇමතුම් වලින් කියවුණා.නමුත් ඒ තත්ත්වය බරපතළ බව කියන්නට නොවේ.සුධාරකගේ කාර්ය මණ්ඩලය මට දිගින් දිගටම පැවසුවේ දැන් තත්ත්වය වඩා යහපත් වී ඇති බවයි.ඇත්තටම ඔහු රෝහලට පැමිණියාට වඩා ඒ වෙද්දි තත්ත්වය යහපත් වන්නට ඇති.නමුත් ජීවිතය සම්බන්ධ දැඩි අනතුරක් වූ බව මම කිසිසේත්ම දැන සිටියේ නැහැ.
මම ඒ නිසා රෝහලට යන්නට හදිසි නොවූ බව දැන් ඔබ සිතන්නට පුලුවන්.
නැහැ!
සැබෑ හේතුව එය නොවේ.
මට තනිව මන්නාරම් රෝහලට යන්නට හැකියාවක් වූයේ නෑ.ඒවා එතරම් දුර ගමනක් තනිව යන්නට නොදන්නා නිසා නොවේ.මට එවැනි බය සැක ජීවිතයේ කිසිම දවසක තිබුණේ නෑ.මම ඉතාමත් තරුණ ගැහැනියක කාලයේ අසංකගේ නිවසේ සිට තනිව කොළඹ මහ ගෙදරට ආ හැටි ඔබට මතක ඇති.ඔව්! මම එපමණට දිරිය ඇත්තියක්.එනිසා මට සුදාරක දකින්නට යාමට නොහැකි වූයේ දුර ගමනක් යන්නට ඇති බිය නිසා නොවේ.
මම සුධාරකගේ විවාහක බිරිඳ නොවේ.ඔහුගේ රැකියාව තුළ විනය යන කාරණාවට විශාල තැනක් තිබුණා.විවාහ නොවී මා ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටීම එතැන ලොකු ගැටලුවක් ඇති වන්නට හේතුවක්.ඒ මොහොතේ මම ඉතාම අසරණ වුණා.මට සුධාරක වෙනුවෙන් කිසිම ලියවිල්ලකට අත්සන් කරන්නටවත් හැකියාවක් නෑ.ඔහු බලන්නට රෝහලට යාමෙන් ඔහුත් මාත් දෙදෙනාම අසරණ වන්නට ඉඩ තිබුණා.ඇත්තටම ඒ අසරණ හැඟීම ගැන මට ඔබට කියන්නට වචන ද නැති තරම්.අඩුමතරමේ ඔහුට සැත්කමක් කරන්නට අත්සන් තබන්නටවත් මට හැකියාවක් නැහැ.ජීවිතය නැවතත් මා දරුණු පරීක්ෂණයකට යොමු කරමින් සිටියා
ඒ නිසා මම සුධාරකගේ පවුලේ අයගේ උදව් පතන්නට හිතුවා.ඒ වෙද්දී සුදාරකගේ මස්සිනා මේ ගැන දැනගෙන සිටියත් ඔවුන් ඒ පිළිබඳව මට කියා නැහැ.
“අනේ අපි දැන්මම යමු. මට දැන්මම මහත්තයා ළඟට යන්න ඕනේ.”
ඉතා සමීප ඥාතීත්වයක් තිබූ නිසා මට හැකි සෑම විටකම ඔවුන්ට හැකි අයුරින් උදව් කළ නිසා මට ඒ මොහොතේ ඔවුන් ගැන දැඩි විශ්වාසයක් තිබුණා.එනිසා මම ඒ අයැදීම ඔවුන්ගෙන් කළා.නමුත් මා විඳි වේදනාව වටහා ගන්නට හෝ ඉතා ඉක්මනින් සහෝදරයා වෙත යන්නට ඔවුන්ට ඇත්තටම උවමනාවක් නොතිබූ තරම්.
“ICU එකේ ඉන්නේ දැන් ගිහිං වැඩක් නෑ”
කිසිම තෙතමනයක් මස්සිනා එසේ පැවසූ අන්දම මේ මොහොතේත් මගේ දෙසවනේ දෝංකාර දෙනවා.වහා ඉගිල සුදාරක වෙත යන්නට උවමනා වූ මට එවැන් කතාවක් ඇසෙද්දී ඇතිවූ වේදනාව ගැන මට වචනයෙන් විස්තර කරන්නට උවමනා යැයි මම සිතන්නේවත් නෑ.
ඒ රැය මම ජීවිතය තුළ ගෙවා දැමූ දීර්ඝතම රාත්‍රියයි .