සීත මාරුතේ – 28

ඉරණම සමහර වෙලාවට සමහර දේවල් අපේ ජීවිත මත සිදු කරන්නේ අප නිරුත්තර කරමිනි. අසුබ දින වල සුබ පැතුම් ද සුබ දින වල අසුබ ආරංචි ද පැමිණෙන්නට පුළුවන. කෙසේ වෙතත් ඇය ආවේ මාව ද එසේ නිරුත්තර කරමිනි.

අකල් වැහි කෝඩයක් අහඹු නිමේෂයක කඩා ගෙන වැටුණා සේ ඇය මුණිවර ගේ කුටියට ම ආවා ය. ඔහු ට දුරකතනයේ වෝල් පේපර් එක පෙන්වා තුනී වී යමින් පැවති සිනහවෙන් මා සිටියදී ම ඇය ආවා ය. මුණිවර ගේ මුහුණ මත කැළඹීමක සේයා සනිටුහන් කරමින්, මහෝඝයක් සේ ඇය ආවා ය.

“හායි. ඔන්න මං ඔයාගෙ ෆාම් එකටම ආවා…”

ලස්සන සිනහවකින් මුහුණ මඳක් ඇල කරමින් මුණිවර දෙස බලා කියූ ඕ මට ද සිනහවකින් සංග්‍රහ කරමින් ‘හායි’ කීවා ය.

“ඇත්තටම මේක මාර ලස්සන තැනක්නෙ. ශා ශා…මෙතන ගැන කියල තිබුණනං මං මීට කලින් එන්නත් තිබුණා”

මට යාබද ව මුණිවර ගේ මේසය ඉදිරියේ තිබූ අනිත් පුටුවේ ඇය අනවසරයෙන් ම අසුන් ගත්තා ය. මම ඇය කවුදැයි හිතින් නිර්ණය කිරීමේ උත්සාහයක සිටියෙමි. ඇය සිහින් උස කෙල්ලකි. තළෙලළු සමක් තිබුණා ට, ලොකු සුදක් නො තිබුණා ට, ඒ මුහුණෙන් කාන්තිය වෑහිණි. එක ගාණට ලං ව ඇමිනුණ මුතු පටක් වන් දසන් විදහා ලන ඒ සුදු සිනහව ඇගේ මනෝහර බව තීව්‍ර කළේ ය. ඕ කන අසලට තරම් කොටට කොණ්ඩය කපා සිටියා ය. නමුත් ඒ වගේ කෙටි කොණ්ඩයකට වුව ඇගේ ස්ත්‍රීත්වය බිඳකිනිදු අඩු කළ හැකි ව තිබුණේ නැත. ඒ ඇස් යුග නිල් මැණික් දෙකක් සිහි කරනා ඒවා ය. ඇතැම් විට ඒ නිල් පාට අක්ෂි කාච පළඳා තිබීම නිසා විය හැක. මිලාධික ඇඳුම් ආයිත්තම් වලින් ඕ සැරසී සිටියා ය. ඉතා කෙටි සායක්, අඩි උස පාවහන් යුගලක්, අගනා ජැකට් එකක්…ඒ සියල්ල ඇය වටිනා කෙල්ලක බව හඬ ගා ලෝකයට කියනා නිහඬ සාක්ෂි වූයේ ය. 

“ඔන්න මං මෙතනට ඇවිත් ඔයාටම කියනව. මං ඔයාට කැමතියි. මං ඔයාව මැරි කරන්න කැමතියි”

මට දැනුණේ එතැන පොළොව පලා ගෙන මා ගිලා බසින්නට වූවා සේ ය. මම හිස වඩාත් බිමට හරවා ගෙන දෙතොල් දසන් අතරේ තද කර ගතිමි.

“අම්..මන්දාකිණි යන්නකො. මං ඔයාට පස්සෙ කතා කරන්නං”

මුණිවර ගැඹුරු හඬකින් කීවේ ය. හදිසියේ ම මම ඔවුන් ඉදිරියේ ආගන්තුක කුරු කුහුඹු කෙල්ලක වෙමින් සිටියෙමි. මම අසුනින් නැගී සිටියෙමි.

“මන්දාකිණී…ලස්සන නමක්. ඊට වඩා ඔයා ස්වීට්”

ඇය මදෙස බලා සිනහ වෙමින් කීවා ය. එය කිසි සේත් ම මූණිච්චාවට කරනා ලද ව්‍යාජ ප්‍රකාශයක් නොවන බව ඇදෙස බැලූ බැල්මට මට දැනිණ. හැකි තරම් සුහද බව එක්කාසු කොට සිනහවක තවරා මම ඇය ට දුන්නෙමි.

“අයියෝ… මෙච්චර ලස්සන ගෑනු ළමයෙකුත් මෙතන වැඩ කරද්දි ඔයාට මැරි කරන්න කෙනෙක් නෑ කියන්නෙ..කමක් නෑ. මං එනකල්ම ඔයා ඉතුරු වෙලා හිටිය එක ගැන තෑන්ක් ගෝඩ්…”

මා කුටියෙන් පිට වීමටත් පෙර එසේ කියමින් ඇය ඉහළ බලා දෙවියන් ට ස්තූතිය පුද කළා ය.

මගේ කකුල් වල මොන තරම් බරක් වූයේ ද කියා මට දැනුණේ මගේ අසුන වෙත ගොස් ඉඳගත්තා ට පස්සේ ය. ඇය මුණිවර ට නො පැකිල සිය කැමැත්ත ප්‍රකාශ කොට සිටියා ය. මා එතැන සිටිනවා ය කියා වගක් හෝ ඇය ට වූයේ නැත. 

මම මේසය මත වූ පොතක් පෙරළා ගතිමි. එහි වූ ගණන් හිලව් කිසිවක් මට පෙනුණේ නැත. නැතහොත් මගේ හිස ක්‍රියා කළේ නැත. මම ඒ පොත වසා තබා අලුත් ඇඳුම් මොස්තරයක් නිර්මාණය කිරීමට පැන්සල අතට ගෙන සුදු කඩදාසිය මත රේඛා අඳින්නට වීමි. රේඛාවකින් දෙකකින් වෙනදාට නිර්මාණය වෙන මෝස්තරය වෙනුවට එහි බලි කුරුටු ගොඩක් විය. මේසය මත වූ ජංගම දුරකතනය හැඬවෙන්නට වූයේ ය. මම ඉක්මනට එය ගෙන සවනෙහි තබා ගතිමි.

“විදූ කියන්න”

කට හඬ සාමාන්‍ය තත්වයේ පවත්වා ගන්නට මා මහන්සි වූවා ට එය එසේ කළ හැකි වූවා ද කියා මා දන්නේ නැත.

“ධාරා අක්කි ආවද…”

“ධා..රා..”

“ඔව්. අපේ අයිය මීට් වෙන්න ගර්ල් කෙනෙක් ආවෙ නැද්ද…අම්ම මට දැන් කතා කරල කිව්ව. එයා අම්මට කියල තියෙනව මිස්ට් ෆිල්ඩ් එකට යනව කියල”

“අ…කවුරු හරි ආව. ඉන්නව දැං”.

“හ්ම්. එහෙනං එයා තමයි. එයාගෙ නම ධාරා. ෆ්‍රාන්ස් වල හිටියෙ. ස්ටඩි කරන ගමං වර්ක් කළා. අම්මගෙ යාළුවෙක්ගෙ දුවෙක්. අපේ අම්ම පහු ගිය කාලෙ හෝ ගාල අයියට මනමාලියො හෙව්වනෙ. ඇත්තටම එහෙම කළේ අම්ම කැමති කෙනෙක්ව මැරි කරන්නං කියල එයා වචනෙ දුන්නට පස්සෙ. මේ ගර්ල්ව මතක් වෙලා අම්ම ඒ ආන්ටිගෙං අහල තිබුණ. එයානං උඩින් කැමති වෙලා. ඒත් ධාරා අක්කි කැමති වෙලා නෑ. දවසක ලංකාවට ඇවිත් අයියව දකිනකල් එයාට වචනයක් දෙන්න බෑ කියල තිබුණා. මාතලේ ෆැමිලි එකක්..”

එසේ නම් ඇය ඔහු දුටු වහා ම තවත් කාලය නොගෙන සිය අදහස ප්‍රකාශ කළා ය. 

“හැබැයි මං හිතන්නෑ දැං අයිය එයාට කැමති වෙයි කියල..එයත් කිසි කොල්ලෙක්ට කැමති වෙන්නැතුව හිටිය කෙනෙක්ලු. බඳින්නම ඕන කියල එකක් නෑ කියල”

“එයා..කැමැත්ත දුන්න”

මම අසීරුවෙන් කෙඳිරි ගා ගතිමි.

“මොකද්ද…”

“මං එතන ඉද්දිම. හරිම ෆෝවර්ඩ්…හරිම පොලයිට්..හරිම ස්මාට් ගර්ල් කෙනෙක්. මටත් එයාට ආස හිතුණා”

මොහොතකට හෝ ඇය වගේ වෙන්නට මට ආශා නො හිතුණි ද? නැත කියා සිතමි. ඇගේ ස්වභාවය මසිත් ගත්ත ද මට කිසි දා ක ඇය වාගේ විය නො හැකි වනු ඇත. ඇය වාගේ වන්නට ඕනෑ ද නැති වනු ඇත.

පුංචි සීරුම් තුවාලයක් පපුවේ ලේ බිඳක් තවරා ඇති වගක් මට දැනේ. ඇවිදින්නට පුරුදු වෙන කාලයේ දී කුඩා ළමයින් වැටේ. තුවාල වේ. ඇවිදින්නට හොඳින් පුරුදු වූ පසු ද ළමයින් වැටේ. තුවාල වේ. ඒ තුවාල වැටෙනා විට නැගිටින්නට අත්දැකීමක් වෙන බව අපි කියමු. 

මේ තුවාලය ගැන නො සිතා ඉන්නට මම සිතා ගතිමි. එතකොට රිදුම් ඒ හැටි දැනෙන්නේ නැතිවා විය හැක.

සුදු කඩදාසිය මත මා බලි අඳිමින් සිටියදී, හෝරාවකට පමණ පසු ඇය නැගී සිටියා ය. ඇගේ බැල්මෙන් මිදිය නො හැකි තැන මම සිනහවක් නගා ගතිමි. ධාරා මගේ කුටියේ දොර තල්ලු කළා ය.

“බායි මන්දාකිණී…මං යන්න කියල”

“යන..වද…”

“ආයෙ හම්බ වෙමූ…දැන් මං මෙහෙට එනවනෙ…ඔයා හරිම ස්වීට් අනේ…බබෙක් වගේ…”

මගේ කුටිය තුලට ම හදිසියේ ආ ඕ, මගේ කම්මුල් දෙකෙන් අල්ලා මිරිකා බායි කියමින් අත වනා ගියා ය. ඇය සමගින් ම මිදුලට බට මම ස්කූටියේ නැගී මිස්ට් ෆීල්ඩ් වටේ යන්නට පටන් ගතිමි. වෙනදාටත් වඩා මම කම්කරු ගැහැනු මිනිසුන් සමග කතා බහ කළෙමි. ඔවුන් ට නොයෙකුත් ප්‍රශ්න තිබේ. ඔවුන් ගේ පවුල් වල අය කර ගෙන ආ කෘෂි කර්මාන්තයට උමා ඔය ව්‍යාපෘතිය නිසා මරු පහර එල්ල වී තිබේ. ගොවි බිම් ඉතා විශාල ප්‍රමාණයක් උමා ඔය දිය කඳට යට වී ගොසිනි. ඔවුන් ට වවන්නට ඉඩම් නැත. උමා ඔය උමං පද්ධතිය නිසා ලිං දිය හිඳී ගොසිනි. ඔවුන් ගේ ආර්ථිකයත් ජන ජීවිතයත් කඩා වැටී තියේ. කාලයක් අත මිට සරු ගොවි ජනතාවක් ලෙස සාඩම්බරයෙන් ජීවත් වූ මිනිස් සමූහයක් අන්ත අසරණ භාවයට පත් ව තිබේ. ඔවුන් ගේ දුක් ගැනවිලි නිසා මම වෙනදාට වඩා සංවේදී වීමි. මිනිසුන් වශයෙන් අප කිසිවෙකු සර්ව සම්පූර්ණ නැත. අප හැම කෙනෙකුට ම ජීවිතයේ යම් යම් අසීරුතා තිබේ. වේදනා තිබේ. අහිමි වීම් තිබේ. නමුත් ඒ සියල්ල අතරින් ද අප ජීවත් විය යුතු ය. 

ධාරා…ඇය මගේ  මනසේ හැම මොහොතක ම නැගී සිටින්නට වූවා ය. මුතු පබළු සිනහවක් මා වසා ලමින් ආත්ම අසරණ කමක වේදනාව දනවන්නට වූයේ ය. ඇය වූ කලී සොඳුරු ගැහැනියකි. විවෘත ගැහැනියකි. මුණිවර නමින් පැමිණි විවාහ යෝජනාව මුලින් ම ඕ ප්‍රතික්ෂේප කොට තිබේ. නමුත් ඔහු දුටු ගමන් සිය කැමැත්ත ඍජු ව ප්‍රකාශ කරන්නට තරම් ඇය සිය ආත්ම ශක්තිය ගැන විශ්වාස කළා ය. 

“හරිනෙ…කළේ ඔය…දෙන්නත් එක්කම තෙපර බබා හිටියනෙ බබා හම්බ වෙනකල්. අන්තිමට ප්‍රංශෙ හිටිය කෙල්ලෙක් ඇවිත් කොල්ලට කැමැත්ත දුන්න. අතට ආපු ටොපිය කටට දා ගන්න පිණ නෑ කියන්නෙ ඕකට තමයි”

කෙල්ලන් රංචුව හවස මා වට කර ගෙන මට දොස් කීහ. 

“ඉතිං මං මොනා කරන්නද..”

මා සිටියේ සිනහ වෙවී ය. නමුත් ඒ සිනහව යට කඳුළු කොයි තරම් තිබුණා ද කියා ගිනිය නො හැකි ය. එදා වාර්ෂික ආදි ශිෂ්‍ය හමුව දා, මුණිවර ‘මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී’ ගයත්දී මම පොරෝනාව තුලට ගුලි වී ගෙන ඉකි ගගහා ඇඬුවෙමි. ඒ ඔහු තවමත් සිය අතීත පෙම්වතිය ට පෙම් කරනවා ය යන හැඟීමෙනි. නමුත් මට අද අඬන්නට හෝ අවසර නෑ නොවේ ද? ඈ විවාපත් කර ගන්නට ඔහු කැමැත්ත දී තිබෙන්නේ කලකට පෙර ය. ඇය ඊයේ ඇවිත් අද ඔහු සොයා ගෙන විත් ඔහු ට කැමතියි කියා ගියා ය. මා කවුරුන් ද? ඔවුන් අතරේ මට හිමි තැන කුමක් ද?

“ඒ අක්ක අමූතු ලස්සනක් තියන කෙනෙක්. එයාගෙ හිතත් වීදුරුවක් වගේ පැහැදිලියි කියල මට හිතෙන්නෙ ඇයි මන්දා”

“අනේ මේ..එක සැරයක් විතරක් දැක්ක මිනිස්සුන්ට කැරැක්ටර් සර්ටිෆිකේට්ස් ලියන්නෙ නැතුව ඉන්නව”

එක සැරයක් විතරක් දැක්කා ට සමහර මිනිසුන් ගැන දැනෙනා හුරු පුරුදු බව ඊට වඩා පරණ එකකි. මම ඒ බව වචන වලට පෙරලන්නට නො ගියෙමි.

“ඕන එකෙක් ඕන මගුලක් කර ගත්තාවෙ කියල එක්කො ඔය සීන් එකෙන් අපි කට් වෙන්න ඕන. එහෙම නැත්තං ඕන එකෙක් ගේමට ආපුදෙං කියල අපිත් බහින්න ඕන. ඔය දෙකෙං කෝකද කරන්නෙ කියල මන්දි දැං කියන්න බලන්න”

“මට ඔය මුකුත් කරන්න පුළුවන් ද කියල මං දන්නෑ”

ඒ මගේ අවංක ප්‍රකාශය ය. හඬ බෙහෙවින් දුර්වල වූවා ට හිත හයිය කර ගත යුතු බව මම දනිමි. කෙල්ලෝ මුහුණෙන් මුහුණ බලා ගත්හ. 

එදා නාන කාමරයට වී මම හොඳට ම හැඬුවෙමි. හැඬුවාට කඳුළු වලට කිසිත් කළ නො හැකි බව මා නො දන්නවා නොවේ. නමුත් අසරණ කම බලවත් ව නැගෙත්දී කඳුළු වලට හෝ ඉඩ නොදුන හොත් පපුව පැලී යන්නට වුව පුළුවන.

රාත්‍රියේ විදුනි නැවත ද දුරකතන ඇමතුමක් දුන්නා ය.

“ඔයා අවුලෙන් ද…”

“අනේ නෑ…”

මම නො දැරියක සේ සිනහ වීමි. 

“නැත්තෙ නෑ කියල මං දන්නව. ධාරා අක්කි ගෙවල් දෙකටම කියල එයා කැමතියි කියල. අපේ අම්ම හරි සතුටෙන් හුස්මක් ගන්නකොටම පෝරිසාද් හවස ගෙදර ගිහිං අම්මට කිව්වලු ධාරාව බඳින්න බෑ කියල”

“ආ…”

“හ්ම්. ඒකට හේතුව ඔයා දන්නවද කියල අහන්නයි මං මේ කතා කළේ”

“ම්..මං..මං දන්නෙ කොහොමද…”

“හරි හරි ඉතිං කලබල වෙන්න එපා සුදූ. මං හිතුව එයා ඔයාට මොනා හරි කියල තියනවද දන්නෑනෙ කියල”

“ඉතිං දැං…මොකද වෙන්නෙ…අර ගර්ල්…”

“අම්ම ඒ කට්ටියට කියල නෑ. අම්ම අහනව කටක් ඇරල කොහොම කියන්නද මෙහෙම දෙයක් කියල. ඒ මනුස්සයට ප්‍රෙශර් වැඩි වෙයි. මං කිව්ව දැං එයා කැමති වෙන කෙනෙක් ඉන්නවද දන්නෑනෙ..අපි ටිකක් හෙමීට බලමු කියල. අම්මට තියෙන්නෙ එයාගෙ යාළුවට මූණ දෙන්න බැරි කම..”

“එයා…මුහුදු හතක් ගෙවාගෙන ඇවිත් තියෙන්නෙ මිස්ට මුණිවර වෙනුවෙන්නෙ…බෑ කියන්න හොඳ නෑනෙ ඉතිං…”

“මූදු හතක්නං මොනාද මන්දි…එයාට හිතෙනවද දන්නෑනෙ ආත්ම හතක් ගෙවාගෙන එයාව හොයං ආපු කෙනෙක් හම්බ වෙලයි ඉන්නෙ කියල”

“මං ගැනද ඔය කියන්නෙ…”

“ඔයාට එහෙම දැනෙනව ඇතිනෙ..”

“මං නිසා කිසි දෙයක් වෙනස් වෙන්න ඕන නෑ”

“දැනටමත් වෙනස් වෙලාද කවුද දන්නෙ…අපිට ඉරණම වෙනස් කරන්න බෑනෙ”

“ඒ අක්ක මාත් එක්කත් කතා කරලයි ගියේ. මට දැනුණෙම… අර කෙනෙක් ගෙ අනිත් බාගෙ කොහේ හරි ඉන්නව කියනවනෙ…ඒ අක්ක මිස්ට මුණිවරගෙ එයාට වැඩියම ගැලපෙන අනිත් බාගෙ කියලයි”

“මන්දි…සමහර වෙලාවට කෙනෙකුට ගැලපෙන බාග දෙකක් මැවිල තියෙන්න පුළුවන් කියනව. දෙන්නෙක් ගැන එක ම විදිහෙ හැඟීමක් ඇති වෙන වෙලාවල් තියෙන්නෙ. මේකත් එහෙම සිද්දියක්ද දන්නෑනෙ. අපේ පෝරිසාද් හරි ම බාගෙ තෝර ගනී”

හුස්ම ගනිත්දී ඒ හුස්ම වල පවා මට තද ශීතලක් දැනිණ. විටෙක කන් පවා අගුල් වැටුණේ ය. නමුත් හදවත තුළ වූයේ ගිනි මැලයක උණුහුමකි. 

පසු දා උදයේ මා මල් ඕඩර ටික ලොරි වලට බාර දී ආපසු හැරෙත්දී මා පසු පස සිනහ වෙවී ඇය වූවා ය. ධාරා!

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...