(අ)හිමි සිහින -141

සුධාරකගේ තත්වය යහපත් වන තුරුම කල් බලන්නටත් ඔහුට සම්බන්ධ කර ඇති යන්ත්‍ර නොගලවන්නටත් මට වෛද්‍ය කණ්ඩායම අවසානයේ දී පොරොන්දු වුණා .

“මේ රට ජාතිය වෙනුවෙන් බොහෝම විශාල මෙහෙවරක් කරපු විශිෂ්ට රණවිරුවෙක් බව අපි දන්නව.ඔහුගේ එඩිතරකම ගැනත් රට වෙනුවෙන් කරපු දේවල් ගැන අපි අහල තියෙනවා.මේ විදියෙන් හෝ හදවත ක්‍රියා කරන තුරුම සුදාරක මහත්මයාගේ මැෂින් නොගලවන්නට අපි ඔබතුමියට පොරොන්දු වෙනවා”

මම යන්ත්‍රයක් මුදලට හෝ රැගෙන දෙන්නට හැකි බව කඳුළු පිරි දෑසින් පවසන විට ඔවුන් මට එසේ පැවසුවා.නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන්නට අප්‍රමාණ ලේ කඳුළු වැයකරමින් වෙහෙස වූ මිනිසෙකුට ගෞරවය ලැබිය යුතු බව මම ද කල්පනා කළා.ඔහුගේ අති සමීපතමයන් ඔහු මොනතරම් වටින මිනිසෙක් ද යන්න අවබෝධ කරගෙන නොසිටියත් ඔහු ගැන අසා තිබෙන අය හෝ ඔහුව වටිනා බව අවබෝධ කර ගැනීම ම මට සහනයක් වුණා.

“මගේ මහත්තයට වෙන රටවල් වලින් හරි ඖෂධ වර්ග ගෙන්වන්න උවමනා නම් ඒක මට කියන්න.”

මම එසේ පැවසුවා.අනතුරුව මේ මගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා නොවන බව පවසා අපේ කතාව උන්ට කෙටියෙන් කියන්නට ද මම අමතක කළේ නැහැ.

“මගේ මහත්තයා කිසිම කෙනෙකුට ණය වෙන්න කැමති කෙනෙක් නෙමේ.මොනවම හරි උවමනාවකට ගත්තු ණය පවා පඩියෙන් කැපෙන්න ඇරලා තියන සල්ලියකින් ජීවත් වුණු කෙනෙක් එයා.ඒ නිසා එයාගේ බෙහෙත් කිසිම දෙයක් පිට කෙනෙකුට ගේන්න කියන්නං එපා.මට කියන්න.එයාගෙයි මගෙයි අතර ගනුදෙනු නැහැ.එයාගේ හැම දේම බැලුවෙ මම.ඒ නිසා පිටින් ගෙන්නන්න අවශ්‍ය බෙහෙතක් හරි තියනවනම් මට කියන්න.”

මේ ගෙවෙමින් පවතින්නේ කුමන මොහොතක් ද කියන්නට මම දන්නේ නැහැ.නමුත් ඒ මොහොතේ පවා සුදාරක ණයකාරයෙක් කරන්නට මට උවමනා වූයේ නැහැ.අපේ සංසාර ගනුදෙනුව අප දෙදෙනා ගෙන් කෙනෙකු මියනතුරු ම පවතින බව මම දැන සිටියා.නමුත් කිසිම හේතුවකට සුදාරක ව වෙනත් කෙනෙකුට රුපියලකින් හෝ ණය කරන්නට මම කැමති වූයේ නැහැ.

වෛද්‍යවරුන් ඔහුගේ ඇඳ වටා පිරී සිටියා.ඒ ඒකකයට අයත් නොවන අය පවා සුදාරක රෝහල්ගත වී ඇති බව ආරංචි වී ඔහුව බලන්නට පැමිණියා.ඔවුන් තමන් දන්නා සියලු දැනුම බෙදා ගනිමින් මේ වීර චරිතය කෙසේ හෝ බේරාගන්නට තම හැකි පමණින් ශක්තිය යොදමින් සිටියා.අනෙක් අතට ඉතා ඉහල පුටු වලින් කෙසේ හෝ මේ ජේෂ්ඨ නිලධාරියා බේරා දෙන මෙන් වෛද්‍යවරුන්ට ඉල්ලීම් පැමිණි බවත් මා දැන සිටියා.

“කොහෙන්හරි බේත් ගෙනල්ලා දීලා අපේ කොල්ලව ගොඩ දාන්න ඕනේ”

ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා නිතරම රෝහලට පැමිණියේ එසේ කියමින්.ඔහු සමඟ රෝහල් කාර්ය මණ්ඩලයට ම ඉතා සමීප සබඳතා තිබුණා.ඒ නිසා ඔහු කියන දේ කෙසේහෝ ඉෂ්ට කරන්නට ඔවුන්ට අවශ්‍ය වුණා.

බොහෝ අවස්ථාවන්හිදී අප අන්ත අසරණව ගිය පසු ළඟ රැඳෙන්නේ ලේ බැඳීම් නොවෙයි.ඒවාට වඩා ඉක්මනින් පැමිණ අපේ අත් අල්ලා ගන්නේත් අපව වැටෙන්නට නොදී පවත්වා ගන්නෙත් හදවතින් බැඳුණු මිනිස්සු.මේ මොහොතේ සුදාරක සහ මා දරා සිටියේ අපේ මිතුරු කවය.ඒ වගේම සුදාරකගේ සේවා ස්ථානයන්හි ජේෂ්ඨ සහ කනිෂ්ඨ නිළධාරීන් සියල්ලම ඔහුව කෙසේ හෝ බේරාගන්නට අහස සමුදුර පීරන තරමේ ආවේගයකින් බලා සිටියා.අප රාජකාරිය දේවකාරිය කරගත යුතු නැති බවත් රැකියාව කරන තැන උදවිය පවුලේ උදවිය කර ගත යුතු නැති බවත් බොහෝ ප්‍රචලිත කතාවක්.නමුත් සුදාරක ට එය වලංගු වූයේ නැහැ.සේවා ස්ථානයටත්,රැකියාවටත් තම රැකියා සඟයන්ට ඔහු ඉතාමත් ආදරය කළා.මා හැරුණු විට ඔහුගේ ජීවිතය වූයේ එයයි.

ඒ ආදරය මේ මොහොතේ පෙරළා ඔහුට ලැබෙමින් තිබුණා.ලෝකයට අපි ලබාදෙන දේවල් ලෝකය අපිට පෙරලා ලබාදෙන දවසක් තිබෙනවා.සුදාරක ට මේ උදා වෙමින් තිබුණේ එහෙම දවස්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles