“අම්..මන්දාකිණී..මං දැනං හිටිය මට ඉන්න තරහකාරයො ගැන. ඇත්තටම..මං වරදක් නොකර ම මගෙං පලි ගන්න බලං ඉන්න මිනිස්සු. මට මොනා හරි වුණොත්.. මගෙ ජීවිතේට ලං වෙන කෙනෙක්ට තනි වෙන්න වෙනව නේද කියල හිතද්දි මට මාර අවුල්. අපේ අම්ම එයාගෙ තරුණ කාලෙදිම තනි වෙලා දරුවො දෙන්නෙකුත් එක්ක අසරණ වෙච්ච හැටි මට මතකයි. ඒක නිසා..ඒක නිසයි මං..”
“අයියෝ…ධාරා කියන්නෙ එහෙම බයගුළු ගෑනු ළමේක් නෙවේ මිස්ට මුණිවර”
මා එහෙම කීවේ හිතා මතා ම ය. ඔහු ධාරා ව ප්‍රතික්ෂේප කළේ ඇය ගැන කැමැත්තක් තිබියදී නොවේ ය කියා දැන දැන ම ය. සමහර විට ඔහු ව අවුස්සා යටි හිතෙන් සතුටු වන්නට ය.
“මං මේ කියන්න යන්නෙ ධාරා ගැන නෙවෙයි ඔයා ගැන” කියා ඔහු කේන්තියෙන් ද ආදරයෙන් ද පුපුරා හැලෙමින් කියනු බලා හද පුරා ප්‍රේමයෙන් හුස්ම ගන්නට ය. ඔහු නො රිස්සුමෙන් රවා බලා ඉවත බලා ගත්තේ ය. සිනහව පිට වන්නට නොදී මම ඒ ගිල ගතිමි.
“හායි ගයිස්”
අප හිටියේ අප තුළ ම නිමග්න ව නිසාවෙන් ධාරා කුටිය තුළට එන තුරු අප දෙදෙනා ම නො දකින්නට ඇත. මුණිවර ගේ මූණ ඇද වී ගියේ ය. මම සිනහව දෙතොල් වලින් තද කොට ගතිමි.
“මොනාද මං ගැන කියනව ඇහුණේ…”
“ආ…මේ මිස්ට මුණිවර කියනව..”
“මන්දාකිණී දැන් යන්න”
මා යමක් කියන්නට පෙර මුණිවර සැරයෙන් කීවේ ය. මා නැගී සිටියේ ආදරයෙන් ඔහු දෙස බලාගෙන ය. ධාරා මවෙත ඇසක් ඉඟි මැරුවා ය. මගේ ඇස් වල සතුට වැගිරෙමින් තිබෙන්නට ඇත.
ආදරය ප්‍රකාශ කරන්නට සිටි අන්තිම තත්පරේ මුණිවර ට ධාරා නිසා ඒ අවස්ථාව අහිමි වී ගියේ ය. නමුත් ඔහු ආදරේ බව මට දැනේ!
මමත් ඒ උදයේ ඒ ගමන යන්නට සැරසුණෙමි. බස් එක නතර වී තිබුණේ මීදුම අතරේ මනහර දර්ශනයක් මවා ලමිනි. අපි, නංගී මා කසුනි හා හංසිකා බසය වෙත ඇවිද යන ගමන් මම පෙර දා සන්ධ්‍යාවේ වූ සිදුවීම විස්තර කළෙමි. කෙල්ලන් ගේ සිනහව පුපුරා යන්නට වූයේ ය.
“අනේ දෙයියනේ කවද මේකා මේක කියයිද…”
“අපරාදෙ..ධාරා කෑව ගම. නැත්තං ඊයෙ අමාරුවෙං හරි කොල්ල ඕක කියනව”
“පව් අනේ. මුණිවර අයිය බය ඇති එයාගෙ ජීවිතේට ලං වුණොත් අක්ක දවසක තනි වෙයි කියල”
“හ්ම්. ඒක තමයි ජූජකය හිර වෙලා ඉන්න තැන”
“හැබැයි එහෙම හිතන එකෙං තේරෙනව කොල්ල කෙල්ලට කොච්චර ලව්ද කියල”
මුණිවර හිටියේ තද නිල් ඩෙනිම් කලිසමක් මතින් සුදු ලිනන් අත් දිග කමිසයක් හැඳ දුඹුරු පාට ලෙදර් සපත්තු පැළඳ ගෙන ය. ඔහු අප්පච්චී සමග කතා කරමින් බසය ළඟ හිඳියදී මාව දුටුවේ හිස මඳක් හරවත්දී ය. තත්පර ගණනකට ඔහු ඒ ඇස් මුදා නොගෙන සිටියේ ය. ඊළඟ මොහොතේ ඔහු මගෙන් හංගන අයස්කාන්ත සිනහව ක්ෂණිකව මුහුණ මත පායා ආ අතර, මා වෙනුවෙන් උපන් සිනහවක් නොවන සෙයින් ඔහු ඉවත බලා ගත්තේ ය. ඒ සිනහව මට හිරු දහසක කැල්ම ගෙන දිණි.
බස් රියෙහි අප අසුන් ගත්තේ මැද හරියේ ය. මුණිවර ඉදිරි පෙළ වල අප්පච්චිලා සමග හිඳ සිටියේ ය. ඒ ලස්සන ගමනාන්නතයෙහි වූයේ කඳු යායකින් හා හරිතවන් කුඹුරු යායකින් වට වූ අද දවසේ අපේ පාරාදීසය කදුරුකෙත ජෙට්වින් ය.
දිවා ආහාර ගැනීමෙන් අනතුරුව ගුරු පිරිවර ගී ගයමින් විනෝද වන්නට වූහ. මුණිවර ගෙන් ගීතයක් ඉල්ලා සිටියේ ඉන් අනතුරුව ය. පාසල් කාලයේ දී ඔහු දක්ෂ ගායකයෙකු බව මා දැන ගත්තේ ඇතැම් ගුරුවරුන් ගේ කතා වලිනි.
“මේ ගී කියයිද දන්නෑ”
නංගී මගේ කනට කොට රහසින් කීවා ය. ඒ වෙලාවේ අම්මා හා මල්ලී ද අප අතරේ අසුන් ගෙන සිටියෙන් අපේ දඟකාරකම් සීමා කර ගන්නට සිදු ව තිබුණේ ය. එක අතකට මට එය පහසුවක් විය.මම සිනහ වෙවී බලා සිටියෙමි. මුණිවර එකවර ඒ ඉල්ලීම නො පිළිගත් අතර සිනහ වෙමින් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සිටියේ ය. නමුත් බලවත් ලෙස ඉල්ලීම් වැඩි වෙත්දී ගිටාරයක් අතට ගෙන සූදානම් වූයේ ය.
“මේ හිත තනියෙන් නුඹ එනකන් සිටිය තරම්…නෑ මන්දන්නා වෙන කවුරුත් නුඹව තරම්…ආදරයෙන්…එදා ඉඳන්…”
ආත්මා ලියනගේ ගේ ශෝකයෙන් ළය පහුරු ගානා වේදනාත්මක හඬ ඔහු ට මැනවින් ගැලපුණායි මම සිතමි. මගේ අතක් තද කොට කසුනි ගේ අතක් අල්ලා ගත්තේ මටත් නො දැනී ය.
“කඳුළක් ළඟ නැවතුණ ඇහිපිය දුරකට යවමින්..හුස්මත් මට අමතක කරවන මතකය සොයමින්..ආයේ හීනේ මැද්දෙන්… ජීවිතේ අලුතෙන් ලියන තරම්…”
කෙල්ලන් හිටියේ කහඹිලියා ගෑවුණ සෙයින් නො සන්සුන් ව ය. සිනහව ඔවුන් ගේ ඇස් වල හිර වී තිබිණ. මොනවා හෝ කියන්නට ඔවුන් ගේ මුව නලියමින් තිබිණි. නමුත් අම්මා ළඟ සිටින නිසා කිසිවෙකුට ඒ කිසිත් කර ගත හැකි වූයේ නැත.
“වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද සිතමින්… තනියක් නැති දවසක් එනකල් තව මග බලමින්…ආයේ හීනේ මැද්දෙන්..ආදරේ අමුණා තියෙන තරම්…”
සමහර දේවල් වචන වලින් කියන්නට ඕනේ නැත. කියන දේවල් වලට වඩා දැනෙන දේවල් වටිනවා වැඩි ය. එදා දවස ගෙවෙමින් තිබුණේ මා ප්‍රීතිමත් ගැහැනු ළමයෙකු බව මට ම පසක් කරවමිනි.
හවස් වී ගෙන එත්දී අප ගුරුතලාවේ දී බසයෙන් බැස ගන්නා විට ධාරා සිමෙන්ති බංකුවක් මත්තේ හිඳ ගෙන පෙර මග බලා සිටියා ය. මා ගෙදර සිටිනවා දැයි ඇය හෝරාවකට පමණ පෙර දුරකතනයෙන් විමසත්දී මා කීවේ අප්පච්චිලා ගේ ගමනට සහභාගී වී සිටින බවයි. නමුත් ඇය මෙසේ බලා සිටීවියි නිකමට හෝ මට සිතුණේ නැත.
“අභීත් ගියාද…අනේ හරි නරකයි. මාව එක්කං ගියෙ නෑ”
මුණිවර ව දුටු ගමන් ඇය මට නෝක්කාඩු කීවා ය.
“මිස්ට මුණිවර ඕබීඒ එකේ සීනියර් වයිස් ප්‍රසිඩන්ට්නෙ. එයා තමයි මේ ගමන ඕගනයිස් කරල තියෙන්නෙ”
“බෑ කියද්දිත් මං මෙහෙම පස්සෙං එන්නෙ ආදරේ නිසා කියල එයා තේරුං ගන්නෙ නෑනෙ”
ඇගේ හඬේ ශෝකයක් තැවරී තිබිණ.. ගමන් වෙහෙස දුරු වනු වස් දිය නා ගෙන මම ධාරා සමග ගුරුතලාව අවට ඇවිද්දෙමි. මුණිවර ගේ මව විසින් සිය පුතනුවන් ගේ අදහස ගැන ධාරා ගේ මවට ද කණගාටුවෙන් දැනුම් දී තිබේ. නමුත් ධාරා තවමත් ඔහු අමතක කොට දමන්නට සූදානම් නැත.
“මං කවදාවත් මෙහෙම කොල්ලෙක් පස්සෙං ගිහිං නෑ. මේක මහ ලැජ්ජ නැති ගොං වැඩක් කියල මට තේරෙනව. ඒත් දැං මේක පිස්සුවක් වෙලා මන්දාකිණී”
ඒ මුහුණ මත වූයේ අවංක අහිංසක කමකි. ඒක පාර්ශ්වික ප්‍රේමයක ඇති බර ගැන ඇය මට අමුතුවෙන් කියා දිය යුතු නැත. අනිත් අතට මටත් වඩා ඇය අසරණ ය. මන්ද යත් ඇගේ ප්‍රේමය දැනටමත් ඇය ව ප්‍රතික්ෂේප කොට තිබේ.
“අවුරුදු ගාණක් ෆ්‍රාන්ස් වලට වෙලා යහතින් ඉඳල ඇවිත් මං කර ගත්ත දෙයක්. මට මේකෙන් ගැලවෙන්න ඕන කියල දැනුණත්…අනිත් අතට ඒක හරි අමාරුයි නංගි. එහෙම කරන්න හිතද්දි මං මැරෙන්න යනව වගේ. කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක තිබුණ සම්බන්ධකං කැඩිල ගියාට පස්සෙ…ආයෙනං කොල්ලෙක් නිසා පිස්සු වැටෙන්නෙ නෑ කියලයි මං හිතං හිටියෙ. ආදරේ මහ පුදුම දෙයක්..”
මඳ සිනහවකින් ධාරා කියවූවා ය. ඇගේ දුකට මගේ ඇස් මත්තේ ද තෙතමනයක් විය. හැම සතුටක් ම සංවේගයකින් කෙලවර වීම වූ කලී ලෝක ධර්මතාවය ද? අද දවස පුරා මම සතු💜️ටෙන් සිටියෙමි. ඊයේ කියා ගන්නට බැරි වුණත් මුණිවර අද ගීයකින් මට ඒ ආදරය කීවායි ඉපිලෙමින් සිටියෙමි. නමුත් තවත් ගෑනු ළමයෙකු ගේ හිතට වේදනාවක් දී සතුට තනිව තුරුලු කර ගත හැකි ද?
“ලොකු ළමය මීට පස්සෙ තනියම වැඩට යන්න බෑ”
රෑ කෑම කන අතරේ එක් වරම අප්පච්චි කීවේ ය. අපි සියලු දෙනා ම උනුන් ගේ මුහුණු බැලුවෙමි. ඔහු එසේ කියන්නට හේතුවක් මට වැටහුණේ නැත.
“මොකද්ද පුතාලගෙ අප්පච්චි ඒ කතාවෙ තේරුම…”
“මට මුණිවර ළමය හැම දේම කිව්ව. මෙයා මෙච්චර දවස් ඒ ළමයට කියලත් නෑ. මුණිවරගෙ බිස්නස් වලට ඉන්න තරහ කාරයො මෙයාට කෝල් කරල මෙයාව එහෙට ගන්න. මෙයා පණ්ඩිතය වගේ ඒ මැරයොත් එක්ක ඩීල් කරන්න ගිහින්නෙ. මුණිවර ළමයත් බයේ ඉන්නෙ මගකදි මෙයාට උංගෙන් කරදරයක් වෙයි කියල. මං ගිහිං දාන්නං. මුණිවර මෙහෙට ගෙනත් දායි. එයාට ගේන්න බැරිනං එයාගෙ ලොකු තාත්ත එක්ක එවනව කිව්ව”
“ඉතිං අප්පච්චි…”
“මුකුත් කියන්න එපා. පොඩි කාලෙ ඉඳන්ම ඔයා අසාධාරණේට විරුද්දයි කියල මං දන්නව. ඒත් ලොකු දුව…අපිට මැරයොත් එක්ක හැප්පෙන්න බෑ.මොකද ඒ මිනිස්සු මොළෙන් වැඩ කරන අය නෙවෙයිනෙ”
ඒ අවසාන තීන්දුව ය.
“එහෙම තර්ජනයක් තියනවනං දුවා වැඩට යන්න ඕන නෑ”
අම්මා ගේ ප්‍රතිචාරය වූයේ එයයි.
“නෑ නෑ එහෙම ඕන නෑ දූලයි අම්මෙ. මොකද අපි නරක මිනිස්සුන්ට එච්චර බයක් පෙන්නන්න ඕන කමක් නෑ. ටික දවසක් මෙහෙම කරල බලමුකො”
එදා මට ඔවුන් ගෙන් පැමිණි දුරකතන ඇමතුම, ලොකු තාත්තා ද සැහැල්ලුවට නො ගත් බව පෙනිණ. මුණිවර මේ ගැන අප්පච්චිට කියූ එක ගැන මා නො සතුට හඟවත්දී ද ලොකු තාත්තා ඊට එරෙහි වූයේ ය.
“මේ රහස් ඔක්කොම දුව හිතේ තියං ඉඳල බෑ. යකාගෙ හැටියටයි විමානෙ හදන්න ඕන කියනවනෙ. අපි පොලීසියෙ පැමිණිල්ලක් කරන්නත් ඕනෙ. දුවගෙ ආරක්ෂාව වෙනුවෙන්. මෙහෙම තර්ජනයක් තියෙනවය කියල. ඒක තමයි මුලින් ම කරන්න ඕන දේ”
ආත්මාරක්ෂාව වෙනුවෙන් පැමිණිල්ලක් කර ඇති විට සතුරා අනතුරක් කරන්නට බිය වන බව මුණිවර ද කීවෙන් අපි තිදෙනා පොලීසිය වෙත ගොස් පැමිණිල්ල දමා පැමිණියෙමු. කිසි දාක මුහුණ නොදුන් විදිහේ ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙමින් සිටියේ වී ද මා උන්නේ බියකින් තොරව ය. එය වූ කලී ප්‍රේමය විසින් මිනිස් හදක ඇති කරන්නා වූ අසීමිත බවක් ය කියා සිතමි.
“ලොකු තාත්ත ශර්ට් එකේ බොත්තං දෙක දාගන්න”
පොලීසිය ළඟ දී මම කීවෙමි. මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණි මුල් දින පටන් ම ඔහු කමිසයේ උඩ බොත්තම් දෙක නො පියවන බව මා දැක තිබිණ. නමුත් මා කීවට සිනාසුණා මිස පොලීසිය තුළදී හෝ ඔහු එසේ කළේ නැත.
“පුහුල්පොල මිනිස්සු කවදාවත් කමිසෙ උඩ බොත්තං දෙක පියවන්නෑ දුව. ඒක අපේ තාත්තලත් කරපු නැති දෙයක්”
ලොකු තාත්තා මට ඒ ගැන පැහැදීමක් කළේ අප ආපසු එන ගමනේ දී ය. ඒ එන ගමන් මුණිවර දෙඩුවේ ඊළඟ දෙතුන් දින තුළ මිස්ට් ෆීල්ඩ් හි පිරිතට සූදානම් විය යුතු ආකාරය ගැනයි. ඔහු ගේ පියා, සීයා හා බාප්පාට පින් පැමිණවීමක් ද මේ වාර්ෂික පිරිත් පිංකමෙන් බලාපොරොත්තු වෙන බවක් පැවසිණ. මිස්ට් ෆීල්ඩ් වල සමස්ථ සේවක පිරිසට පිරිත් දිනයේ ත් පසු දාත් වැටුප් සහිත නිවාඩු ලැබේ. අපි වැලිමඩ ගොස් සේවකයන් ගේ දරුවන් ට බෙදා දීමට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගතිමු. පිරිතේ වැඩ වලට සහාය පිණිස පසු දා මුණිවර ගේ පාසල් මිතුරා කොළඹ සිට පැමිණ සිටියේ ය.
“කෝ…මං එදා කියල ගිය වැඩේ හරිද…”
මා මුණිවර ගේ කුටිය තුලට ගිය විට ඔහු මුලින් ම ප්‍රශ්න කළේ ය.
“හරි”
මම සිනා සී පිළිතුරු දුනිමි.
“හරි…”
ඔහු මදෙසත් මුණිවර දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ය.
“ඔව් හරි…මිස්ට මුණිවර ගෙ අම්ම තමයි එයාව ගෙන්නල තියෙන්නෙ. මිස්ට මුණිවර කැමති වුණාලු එයා එනවට. ධාරා. එයා එයි. අයියට බලා ගන්න පුළුවන් එයාව තව ටිකකින්”
“පිස්සු බං”
මුණිවර අඩ සිනහවක් හෙළුවේ ය. ඒ සිනහව මගේ උදරය තුළ සමනල චලන දැනවීමට සමත් විය. ඉතින් ධාරා කොහොම පසු බා යන්න ද?