සාක්ෂි උඩු යටිකරු වීමෙන් ඝාතකයෙක් නොමැති වූ අමානුෂික මිනීමැරුම

සමහර අපරාධ ඉතිහාසයට එක් වන්නේ ඒවායේ ඇති බිහිසුණු බව නිසා පමණක්ම නොවේ.ඒවාට සම්බන්ධ පුද්ගලයන් නිසා සහ ඒ අපරාධ වල ඇති සමහර කාරණා නිසා සමහර අපරාධ ආන්දෝලාත්මක නඩු විභාග ලෙස අධිකරණ ඉතිහාසයට එකතු වෙනවා.

වංගෙඩියෙන් මිනී මැරූ බව කියවෙන සතාසිවම් නඩුව පනහේ දශකයේ රට කැළඹූ එවැනි නඩුවක්.

කවුද මේ සතාසිවම්?

ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරගත වූයේ 1981 වුවත් ලංකාවේ ඊට පෙර ද ක්‍රිකට් ක්‍රීඩකයන් සිටියා.මහාදේවන් සතාසිවම් එවැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ඔහු අති දක්ෂ පිතිකරුවෙකු ලෙස ලංකාවට කීර්තියක් ද අත්කර දී තිබෙනවා.සතාසිවම් විවාහ වී සිටියේ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිබිරියක සමඟයි.

ඔවුන් දෙදෙනා දියණියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් වුණා.නමුත් මේ විවාහය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ.එයට හේතුව වූයේ සතාසිවම් සහ සුදු ජාතික තරුණියක අතර වූ සම්බන්ධතාවයයි. එනිසා ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවී තිබුණා.

සතාසිවම් මහත්මිය ඝාතනය වූයේ කෙසේද?

1951 ඔක්තෝබර් නම වැනිදා තමන්ගේ අම්මා අසනීප වී ගරාජයේ වැටී සිටින බවට සතාසිවම් පවුලේ කුඩා දියණියන් දෙදෙනා අසල්වැසියන්ට පැමිණිලි කර තිබුණා.එය අසා ඇයට පිහිට වන්නට අසල්වැසියන් ඇගේ ප්‍රාණය නිරුද්ධ වී ඇති බව තේරුම් ගෙන තිබුණා.ඇය අසල ගෙදර වංගෙඩිය වැටී තිබුණු අතර එය මහත් සැකසහිත වුණා.මේ සම්බන්ධයෙන් සතාසිවම් සැක බවට සතාසිවම් මහත්මියගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.පරීක්ෂණ ඇරඹෙන්නෙ ඉන්පසුවයි.මූලික පරීක්ෂණ කටයුතු සිදුකර දේහය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශය භාර මහාචාර්ය ද සේරම් වෙත යොමු කරනවා.ඉන්පසු සතාසිවම්ට එරෙහිව චෝදනා ගොනු වෙනවා.

සාක්ෂි විමසීම ඇරඹෙයි.

මෙහි සාක්ෂි එකිනෙකට පරස්පර වීම සැබෑ ගැටලුවක් වුණා. සතාසිවම් රටේ ප්‍රසිද්ධ පුද්ගලයකු වීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමද පහසු වන්නේ නැහැ.ඝාතනය සිදුවූ අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බව ඔප්පු වෙමින් පැවතුණා.ඔහු උදෑසන නිවසින් පිට වූ බවත් ඒ වෙද්දි මහත්මිය හොඳ සෞඛ්‍යමත්ව බවත් ඔහු සාක්ෂි ලබාදී තිබුණා.ඒ අතර සතාසිවම් මහත්මියව නිවසේ සිටි සේවකයෙකු වන විලියම් විසින් ගරාජයට ඔසවාගෙන ගිය බව දියණියක විසින් සාක්ෂි දී තිබුණා.නිවෙසේ සිටි විලියම් සේවකයෙක් අතුරුදහන් වී ඇති නිසා ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ ඒ අතරයි.

මහාචාර්ය සේරම් මහතාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් වන්නේ සතාසිවම් මහත්මිය ගෙල සිර කර මරා දැමූ බව තහවුරු කරමින්.ඝාතකයා ඇයට පසුපසින් පැමිණ ගෙල සිර කළ බවත් ඒ අවස්ථාවේ ඇය සිටගෙන සිට ඇති බවත් වාර්තාවේ කියැවී තිබුණා.සැකය විලියම් දෙසට වැඩි වශයෙන් එල්ල වන්නේ ඉන් පසුවයි.සතාසිවම් මහතාගේ නීතිඥවරයා ලෙස කොල්වින් ආර් සිල්වා කටයුතු කළා.ඔහු ඉතා සූක්ෂම ලෙස තම සේවාදායකයා වෙනුවෙන් කරුණු රැස් කරන්නට සමත් වුණා.සතාසිවම් නිවසෙන් පිටත් වූ වේලාව,ඔහු ගමන් කළ ටැක්සියේ රියදුරාගේ සාක්ෂිය,ඒ මොහොතේ නිවසේ පසුවූයේ සතාසිවම් මහත්මිය සහ විලියම් පමණක් බව ආදී වශයෙන් සාක්ෂි ඉදිරිපත් කරන්නට නීතිඥවරයාට හැකි වෙනවා.මරණයෙන් දින දහයකට පසු විලියම් අත්තඩංගුවට ගන්නට පොලීසියට හැකි වෙනවා.

විලියම්ගේ සාක්ෂිය.

විලියම් පවසන අන්දමට දික්කසාද නඩුව සම්බන්ධයෙන් සතාසිවම් යුවල අතර මතභේදයක් ඇති වී තිබෙනවා.ඉන්පසු ඔවුන් ගැටුමක් ආරම්භ කරන අතර තනිවම විසින් බිරිඳගේ ගෙල මිරිකා තිබෙනවා.එක වතාවක් ඇගේ ගෙල මිරිකා බිම දමාගෙන ගෙල පාගන ඔහු එයට විලියම්ගේ ද උදව් ලබාගත් බව විලියම් විසින් පවසා තිබුණා.ඉන්පසු මෘත ශරීරය ගරාජය තුළට දමා ගෙදර ඇති වංගෙඩිය ගෙනැවිත් ගේ ගෙල මතින් තැබූ බව විලියම් වැඩිදුරටත් පවසා තිබුණා.මේ බව කිසිවෙකුට නොපවසන්නැයි පවසා ඔවුන්ගේ මංගල දිනයේ ඇගේ ගෙල බැඳි තායි කෝඩ් රන්මාලය, රන් වළලු, මුදු සහ රුපියල් තුනක් අල්ලස් ලෙස ලබා දුන් බව විලියම්ගේ සාක්ෂියේ සඳහන් වුණා.

නමුත් මේ සාක්ෂි විවිධ පරස්පරතා ඇති කළ අතර විලියම් විසින් මෙම ඝාතනය සිදු කළ බවත් එයට සතාසිවම් ගේ සම්බන්ධයක් නැති බවත් පිළිගැනීමට රටවැසියන්ගේ කැමැත්තක් තිබුණා.ඒ අතර පොලිසිය විසින් විලියම්ට පීඩා කරමින් ඝාතනය වගකීම බාරගන්න ඔහුට තර්ජනය කළ බව ද කියවුණා.ඒ නිසා මේ නඩුව  විශාල ප්‍රසිද්ධියට පත්වූ නඩුවක් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ.

කුලී රථ රියදුරාගේ සාක්ෂිය සහ විලියම්ගේ සාක්ෂිය පරස්පරතා බහුල වූවා.සතාසිවම් මහත්මිය සහ සතාසිවම් අතර පැවති මත භේදයත් ඇය හදිසියේ අභාවයට පත් වූවොත් ඔහුට  හිමිවීමට තිබූ විශාල දේපලත් නිසා මෙය සතාසිවම් මහතා විසින්ම සිදුකරන්නට ඇතැයි ඇගේ පාර්ශ්වය විසින් සැක පහළ කර තිබුණා.අධිකරණ නඩු තීන්දුවද විලියම්ගේ සාක්ෂි සමග ගැලපුණේ නැහැ.ඇගේ ඇඳුම් මත ශුක්‍රාණු හෝ මුත්‍රා පැල්ලමක් තිබූ බවද කියැවුණත් ඒවා ඔප්පු කරන්නට DNA පරීක්ෂණ සිදුකිරීමේ හැකියාවක් එකල තිබුණේ ද නැහැ.විලියම් ඇය දූෂණය කර රන් භාණ්ඩ සොරා ගන්නට ඇති බව අනතුරුව තීරණය වුණා.ඇගේ සිරුරේ වූ තුවාල කිහිපයක් නිසා මෙය සතාසිවම් ගෙල මිරිකා කළ ඝාතනයක් නොවන බවට නීතිඥවරු කරුණු පැහැදිලි කර තිබෙනවා.

නමුත් සතාසිවම් මහත්මිය ගේ පවුලේ අය මෙහි වරදකරු විලියම් නොව සතාසිවම් මහතා ම බව තීරණය කරමින් අධිකරණ තීන්දුව භාරගන්නේ නැහැ.අනතුරුව විදෙස් අධිකරණ වෛද්‍යවරයෙකු ද කැඳවා නඩුව නැවත විමසනවා.ඔහුගේ වාර්තාව අනුව සතාසිවම් නිවසෙන් පිට වූ පසු මරණය සිදු වූ බව ස්ථිරවම පැවසෙනවා.ඒ වාර්තාව සහ කොල්වින් ආර් ද සිල්වා ගේ දක්ෂ කම නිසා සතාසිවම් නඩුවෙන් නිදහස් වූ බවයි පැරණි පුවත්පත් වාර්තා වලට අනුව පැවසෙන්නේ.

ඝාතකයා කවුද?

සතාසිවම් කරුණු ඔප්පු කිරීමට නොහැකි වීම නිසා නිදහස ලබනවා.ඒ වෙද්දී විලියම් සාක්ෂිකරුවෙකු වීම නිසාත් ඔහුට විරුද්ධ සාක්ෂි ඔප්පු කිරීමට නොහැකි වීම නිසාත් ඔහු ද නිදහස ලබනවා.අධිකරණ වෛද්‍ය වාර්තා වෙනුවෙන් ගෙන්වූ මහාචාර්ය ස්මිත් ගුවන් යානය කඩා වැටී මරණයට පත් වේවායි සාමාන්‍ය ජනතාව ප්‍රාර්ථනා කළ බව පැවසෙන්නේ ඔවුන් එතරම්ම සතාසිවම් මහත්මියට අනුකම්පා කළ නිසා.ලෝක ප්‍රකට වූ සතාසිවම් නඩුව ඝාතකයෙක් නැති මරණයක් බවට පත් වන්නේ ඒ ආකාරයෙන්.මේ දක්වාම සාමාන්‍ය ජනතාවගේ අනුකම්පාව හිමිවන්නේ සතාසිවම් මහත්මිය වෙතයි.

මහදේවන් සතාසිවම් මහතා තමන්ගේ දීර්ඝකාලීන සුදු ජාතික පෙම්වතිය ම පසු කාලයේ විවාහ කරගන්නවා.ඔහුට රෙජීනා සතාසිවම් මහත්මියගෙන් විශාල දේපලක් ද උරුම වූ බව පැවසෙනවා.ඔහු ඉන්පසු රටින් පිට වී ගොස් තිබෙනවා.මේ නඩුවෙන් පසු  ඉදිරිපත් වූ ඡන්දයෙන් කොල්වින් ආර් ද සිල්වා පරාජය වීමට ඔහු සතාසිවම් වෙනුවෙන් පෙනී සිටීම හේතු වූ බව කියවෙනවා.

මේ ඝාතකයෙක් නැති ඝාතනයක්.ප්‍රබලයන් කිහිප දෙනෙකු එකතු වී රටේ ප්‍රබලයකු රැකගත් මේ නඩුව “වංගෙඩිය මිනීමැරුම කළ නඩුව”බවට ජනතාව අතර උපහාසයෙන් කිය වෙන්නට පටන් ගත් අතර එය අද දක්වාම ප්‍රකට කියමනක්. 

Related Articles

Don't Miss


Latest Articles