සුධාරකගේ රැකියාව ආශ්‍රිතව ජේෂ්ඨ නිලධාරීන්ට කනිෂ්ඨ නිළධාරීන් පත් කරන්නේ ඔවුන්ට ඉතාමත් සමීපතම අය තෝරා ගෙන.කනිෂ්ට නිලධාරීන් ඔවුන් සමග බොහෝ කාලයක් එකට කටයුතු කරනවා.එහි ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දිගු විස්තරයක් ඔබට කියන්නට මගේ අදහසක් නැතත් එය තමන්ට සැබෑවටම හිතවත් අය තමන් අසල සිටි රැකියාවක්. එය රාජකාරි ජීවිතයට වගේම රාජකාරි ජීවිතයට අනුබද්ධ පෞද්ගලික ජීවිතයට ඉතාම වැදගත් වුණා.සාමාන්‍යයෙන් ඉහළ නිලධාරියෙකුගේ එදිනෙදා පෞද්ගලික විස්තර පවා මේ කණිෂ්ට නිලධාරීන් වැඩ සිටි අතර එදිනෙදා ජීවිතයට ඔවුන්ගෙන් ලැබුණු උදව් අතිමහත් වුණා
එහෙත් රෝගී වීමත් සමඟ සුධාරකගේ අසල සිටි සෑම කණිෂ්ට නිලධාරියෙක් ම ඔහු වෙතින් ඉවත් කරන්නට කටයුතු යෙදුණා.එය සැබෑවටම රෝගියෙකුට කළ යුතු දෙයක් නොවේ.අප අසනීපයෙන් සහ අසරණව සිටින මොහොතක සමීපයේ සිටින මිනිසුන් අපෙන් ඈත් වීම තරමට වේදනාවක් තවත් නැහැ.ඒ වෙද්දී වචන පිට කරන්නට නොහැකි තත්ත්වයක සිටියත් සුධාරකට ද ඒ වේදනාව එතරමට දැනෙන්නට ඇති බව මම සිතනවා.ඔහුගේ සෑම සමීපතමයෙකු ම ඔහුගෙන් ඈත් වී තිබුණා.එය ද මට මහත් වේදනාවක් ඇති කළ දෙයක්.
සුධාරකගේ කටයුතු සහ ඔහුගේ ගිලන් උපස්ථාන සඳහා පත් කර තිබුණේ ළාබාල නිලධාරින් දෙදෙනෙක්.මට වැටහුණු පරිදි ඔවුන්ට කිසිම රෝගී උපස්ථාන පුහුණුවක් තිබුණේ ද නැහැ.ඒ ගැන අප යම් තරමක් සොයා බැලූ පසු ඉන් එක් තරුණයෙකුට ගිලන් උපස්ථානය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දෙන්නට කටයුතු කර තිබුණා. මානුෂීය මෙහෙයුමේ පෙරමුණ ගෙන කටයුතු කළ සුධාරක කියන්නේ කවුදැයි කියාවත් ඒ නව නිලධාරින් නොදැන සිටියා.නම අසා තිබුණත් ඔවුන් සුදාරකව දැක තිබුණේවත් නැහැ.
ඒ සියල්ලම එසේ සිදු වූයේ සුදාරක මගෙන් ඈත් කිරීමට බව මා හොඳින්ම දන්නවා.මට දැන් සුදාරක දකින්නට ඒම තහනම්.අපේ නිවසේ දොරවල් කෙසේ හෝ විවෘත කර ගත්තාට මගේ නිවසේ දොරවල් පවා මට අවහිර කර දමා තිබුණු බව අමතක කරන්නට බෑ.අනුරාධා කියන්නේ ඉතාම සාමාන්‍ය ගැහැනියක බව සිතා සිටි ඔවුන්ට ප්‍රශ්නයක් හමුවේ මගේ සටන් කිරීමේ ගුණය ගැන ඉතාම පුදුමයක් දැනෙන්නට ඇති.මට ඉතා ඉහළින් රිදවන්නටනම් මට සුධාරක ගැන වචනයක් හෝ පවසන අය මගෙන් ඈත් කළ යුතු බව ඔවුන් සිතන්නට ඇති.ඒ නිසා සුධාරකගේ ඥාතීන් සහ දිල්හානි කියන දේ ඒ අයුරින්ම කරන පිරිසක් ඔහු වටා තබා ගන්නට සුධාරකගේ ඥාතීන්ට උවමනා වුණා.ඔහුගේ ප්‍රතිකාරවලට පවා තමන්ගේ නීතිමය අයිතිය හරහා මැදිහත් වීමට තරම් ඔවුන් නරුම වී තිබුණා.
“දිල්හානි නීත්‍යානුකූල බිරිඳ හැටියට තමන්ගේ බලතල පාවිච්චි කරද්දී අපි ඇත්තටම අසරණයි.අපිටත් උසාවි ගාණේ යන්න වෙන වැඩක් මේ.”
ඉහළම නිලධාරීන් පවා එසේ පවසන්නට පටන් ගෙන තිබුණා.
ඒ විවාහ සහතිකය සියලුම දේවල් පාලනය කරමින් තිබූ කාලයක්.අනුරාධා කතාවෙන් ඉවත් විය යුතු කාලය පැමිණ ඇතැයි සියල්ලන්ම විශ්වාස කළා.ඒ නිසා සිදු වූ නරකම කාරණාව සුධාරකට හරිහැටි ප්‍රතිකාර දීම පවා මඟ හැරුණා.
මේ අතර සුදාරකගේ ඥාතීන් බලාගෙන සිටියේ ඔහුගේ අවසන් හුස්ම පිට වී යන තුරු.මේ වෙද්දි ඔවුන් කළ කී දේ නිසා ඔහුට නැවත සිහිය ලැබීම ඔවුන්ට භයානක සිහිනයක් වූවා.සුධාරක නැවත සම්පූර්ණ සුවපත් භාවයට පත් වී දිල්හානි සමග කළ ගනුදෙනු සහ අපගේ නිවසට කළ අලාභානි ගෙන ඔවුන්ගේ විමසාවියැයි ඔවුන් සිටියේ විශාල බයකින්.ඒ නිසා ඔවුන්ගේ ඒ මොහොතේ එකම පැතුම වූයේ සුධාරකට යළි කිසිදිනක සිහිය නොලැබීමයි.ඒ කාලේ මටත් සැබෑවටම භීතියට කරුණක් තිබුණා.ඒ මගේ අයිතිය ගැන නොවේ.”දවසක අපේ මහත්තයට සිහිය ආවහම මේ දේවල් කොහෙන් කොහොම කෙළවර වෙයිද? මේ මිනිස්සුන්ට එයා මොන විදියට සලකාවි ද?” කෝපයට සීමා නැති සුදාරක මේ තත්ත්වෙ කෙසේ ඉවසා දරා ගනිමි දැයි මට තිබුණේ සැබෑවටම විශාල බයක්.නමුත් ඔහුව කෙසේ හෝ පාලනය කර ගන්නට සිතමින් මම දිගින් දිගටම නිරෝගී සුවය පතන්නට වුණා.
“මේ මිනිහා මැරෙන්නෙත් නෑ.ඇද ඇද ඉන්නවා අපටත් මල කරදරේ.ඉස්පිරිතාලේ යන්න ඕන වෙන වැඩක් කරගන්න වෙලාවක් නෑ .”
ඔහුගේම මස්සිනා පවා එවැනි කතා කියමින් බලා සිටි බව මා හොඳින්ම දන්නවා.තමන් කළ කී දේ දිරවා ගන්නට නොහැකිව සුදාරකගේ මරණය ප්‍රාර්ථනා කරන්නට තරම් ඔවුන් නිහීන වුණා.
Ventilator එකකට සුදාරක ව සම්බන්ධ කර නොතිබීම මට විශාල මානසික සහනයක් වුණා.මේ වෙද්දි සිහිය නොතිබුණාට ඔහු හුස්ම ගැනීම අරඹා තිබුණා.දිගින් දිගටම මැෂින් ආධාරයෙන් හුස්ම ගන්නට ඔහුට සිදු වූවා නම් ඒ මැෂින් ගලවා දමන්නට අත්සන් කරන්නට පවා දිල්හානි සහ ඥාතීන් සූදානමින් සිටියා.
“අවයව දන් දෙන්න පුළුවන්.”
සුදාරකගේ ජීවත්වීම වදයක් කරගත් දිල්හානි ඔහුගේ පණ ගැහෙන සිරුරෙන් පින්කම් කරගන්නට සිතුවේ ඒ ආකාරයෙන්.
මේ ඔබ කියවන අරුම පුදුම කතාවක් වන්නට ඇති.එහි අරුම පුදුම කතාව තුළ ජීවත් වූ මා හිස් කබලක් වෙනුවට ගලින් කළ හිස් වැසුමක් පැළඳ ගත් ගැහැනියක සේ ඔබට සිතෙනවා ඇතැයි මට සමහර වෙලාවට හිතෙනවා.
ඔව්! මං ගලක් සේ දරා ගනිමින් සිටියා.