සසංක එහෙම ම රැහැන් දුරකතනය ඔස්සේ නාලිකා ප්‍රධානියා ට ඇමතුමක් ගත්තේ ය. ඔහු ගේ දෑස් තව දුරටත් නතර ව තිබුණේ ජංගම දුරකතන තිරයේ වන ටෙරාරියම් සැකැස්මෙහි ය. හරිත පෙදෙසක ඉන්නා සිහිල් හැඟීම, එදෙස බලා හිඳියදී දෑස් අත්විඳී.
මොහොතකින් එහා ඉම කතා කළේ ය.
“හෙලොව්…”
” සංජය..මං සසංක”
“ආ ඔව් සසංක..ඇයි මොකක් හරි අවුලක්ද අපේ චෙක් එකේ..”
“නෑ නෑ එහෙම දේකට නෙවේ මං කතා කළේ..අර ඔයා දැං කමෙන්ට් කළා නේද ග්ලාස් බෝල් එකක කරපු අරේන්ජ්මන්ට් එකකට…ගර්ල් කෙනෙක්ට…මචං මට ඒ අරේන්ජ්මන්ට් එකක් ගන්න ඕන. මගෙ කියුබිකල් එකේ තියන්න. ඇත්තටම ඒක දැක්ක ගමන් මාර ෆීලින් එකක් ආව බං. ටිකක් එක්ස්පෙන්සිව් ඇති. කමක් නෑ උඹ දන්න කෙනෙක්නං මට කන්ටැක්ට් කරල දීපංකො. මට එකක් ඩිලිවර් කරන්න කියපං. නැත්තං මං ගිහිං හරි ගන්නංකො”
සසංක ඒ දිග ඡේදය කියවා ගෙන ගියේ අපරාජිතා ගේ ටෙරාරියම් සැකැස්මෙන් ඇස් ඉවතට නොගෙන ම ය. ඒ තරමට එය ඔහු ගේ හද බැඳ ගෙන තිබිණ.
“ආ…ඔය කියන්නෙ අපේ අපරාජිතා දාල තිබුණ අර බෝතලේ ගැන නේද…”
“අපරාජිතා…වෙන නමක්නෙ ප්‍රොෆයිල් එකේ තියෙන්නෙ. මේ..අපූ රත්මල්ගොඩ. අඩේ..මට ක්ලික් වුන්නෑනෙ මචාං…මේ ඒ කෙල්ල නේද..උඹලද ස්ක්‍රිප්ට් රයිටර්…”
“මං හිතන්නෑ අපරාජිතා සේල් කරන්න ඕව කරනව කියල. නිකං හොබී එකට කරනව ඇති. එනි වේ..මං අහන්නංකො එයාගෙන්”
සසංක දුරකතන සම්බන්ධයෙන් මිදුණේ උදේ අපරාජිතා දැකුමේදී අත්වින්දා වූ සමනල චලන වලින් සිය පිරිමි පපුව පිරී යත්දී ය. ඔහු ගේ දෙයතාලතර මඳහසක් විය. සසංක ඔහු ගේ ම අතකින් සිය රැවුල් කොට වලින් ගහන වූ නිකට හා කොපුල් පිරිමැද ගත්තේ ය. අසේල සසංක ගේ කුටියට පැමිණියේ ඔහු දුරකතනයෙන් අපරාජිතා හෙවත් අපූ ගේ ෆේස් බුක් ප්‍රොෆයිලයට වැද එහි සිත් සේ සරමින් සිටියදී ය. ඈ ගැන පුද්ගලික තොරතුරක් ඉව කළ හැකි කිසිවක් ම එහි වූයේ නැත. තිබුණේ ගස් වල, මල් වල, සතුන් ගේ හෝ සොඳුරු දර්ශන වල ඡායාරූප පමණකි. නමුත් ඒ හැම තැනක ම නතර වී බලන්නට හිතෙනා යම් දෙයක් වන බව සසංක ට දැනුණේ ය.
“උඹට හිතුන්නැද්ද අපරාජිතා මොකක්හරි වහගෙන කතා කරනව කියල”
“ම්..”
අසේල ගේ කතාව සසංක ගේ දැහැන බිඳ දැමුවේ අඩ වශයෙනි.
“ඕක තියහංකො පැත්තකින්. අපරාජිතා ඊයෙ මං අහන හුඟක් ප්‍රශ්න වලින් ලිස්සල ගියා කියලයි මට හිතෙන්නෙ. හස්බන් ගැන අහපු කිසි දේකට ඒකි උත්තර දුන්නෑ කියල උඹට නෝට් වුන්නැද්ද…”
සසංක හරි හැටි අසේල වෙත යොමු වූයේ ඉනික්බිති ය. ඔහු ගේ ඇස් තරමක් කුඩා හා සිහින් විය. නමුත් අසේල කියන්නට යන්නේ කුමක් දැයි තවමත් ඔහු ට නිරවුල් නැත.
“මට හිතෙන හැටියට එතන මොකක් හරි දෙයක් තියනව. මං කියන්නෙ…මොකක් හරි ක්‍රැක් එකක්.”
“ඒ කිව්වෙ…”
“ඒ කිව්වෙ මචං…ගෑනියෙකුයි මිනිහෙකුයි අතරෙ කිසිම ලව් එකක් බොන්ඩ් එකක් නෑ කියමු. ඒ වුණත් ලෝකෙ මිනිස්සුන්ට පේන්න හරි උං තමන්ගෙ ගෑනි හරි මිනිහ හරි ගැන මිනිස්සු අතරෙදි කතා කරනව. හොඳ කියනව. අපේ හස්බන්..අපේ වයිෆ් කිය කියා..ගේ ඇතුළෙදි මරා ගන්නව වෙන්න පුළුවන්. හැබැයි එළියට ඒක පෙන්නන්නෑ. මේ ගෑනි මිනිහගෙ නම මොකක්ද කියල මං ඔච්චර අහලත් ඒකත් මගඇරිය”
සසංක බලා සිටියේ නො තේරුම් බවකිනි. විවාහ ජීවිතයේ ඒ තරම් සියුම් තැන් හැඳින ගත හැකි තරමට ඔහු ට ඒ ගැන අත්දැකීම් නැත්තේ ය.
“උඹ බුවාව යන්තං දැකල හරි තියනවද…”
“නෑ”
“එතකොට අර කෙල්ල යාළුව. ඒකි ඉන්නෙ ඇනෙක්ස් එකේ නෙවේනෙ. එතකොට මේ ගෙදර ඉන්නෙ කවුද…ළමයෙක්ගෙ සද්දයක්වත් ඇහුන්නෑනෙ”
“මොකද්ද උඹ කියන්න යන්නෙ..”
“ඒකිගෙ මොකක් හරි මිස්ට්‍රි එකක් තියනව වගේ”
“උඹ කියන්නෙ අපරාජිතා මර්ඩර් එකකට හවුල් කියලද..”
“මගුලක් කතා කරනව. මං කියන්නෙ ඒකිගෙ ෆැමිලි ලයිෆ් එක ගැන”
“අපි ඒවට ඉන්ටෆියර් වෙන්නවත් ඒව ගැන වොරි වෙන්නවත් ඕන්නෑනෙ බං”
“ඒත් උඹේ හාට් එක ඒකි නිසා ඩාම් වෙලා ඩූම් වෙලා තියන එකේ…ඉස්සල්ල ඇත්ත හොයා ගනිං කොල්ලෝ…මට ශුවර් අපරාජිතා කියන්නෙ ටැක්ල් කරන්න ලේසි ගෑනු පරාණයක් නෙවේ”
මිතුරා වෙනුවෙන් දිය හැකි හොඳ ම උපදේශය දුන්නා සේ අසේල ට දැනිණ.
අපරාජිතා එදා දවල් ට කෑවේ නූඩ්ල්ස් පැකට් එකකට වැඩිපුර වතුර දමා තක්කාලි හා ලූණු කුඩා කැබලි කොට ද බිත්තරයක් ද ඊට ම දමා සුප් එකක් සේ හදා ගෙන ය. කෙසේ වෙතත් එහි අමෘත රසයක් වූයේ ය. ජීවිතය වෙනස් වී ඇති සැටි ගැන ඇය ට පුදුම ය. දික්කසාදයට පෙර වෛද්‍ය පාරේ ගෙදර සිටියදී දහ තුන් අවුරුද්දක් පුරා ඈ අවදි වූයේ අළුයම හතරට ය. දැන් හය හත වන තුරු නිදා ගැනීම සුර ලොව සැපතක් සේ දැනෙන්නේ එබැවිනි. ඒ දහ තුන් අවුරුද්දේ අනන්‍යා පාසල් ගියා ය. ඇය අවදි වන විට උදේ කෑම ද ඇය ට පාසලේ විවේක කාලය සඳහා ගෙන යාමට කෑම ද අතිරේක පන්ති තිබෙනවා නම් දවල් ට කෑම ද පිළියෙල කළ යුතු ය. ඒ අතරේ ම තේ සෑදීම, ගිලන්පස හා මල් පහන් සූදානම් කිරීම, අනන්‍යාව අවදි කොට කිරි එක පොවා පාසල් වෑන් රථය එන විට ඈ සූදානම් කොට තැබීම වැනි දෑ කළ යුතු ය. ඇය ගිය පසුව ද වැඩ වල නිමාවක් නැත. ගේ මිදුල් අස් කොට අතු ගෑම, මොප් කිරීම, මල් වලට වතුර දැමීම, රෙදි සේදීම…. !යන්තම් පිටපතක් ලියා ගන්නට කාලය සොයා ගන්නේ ඒ අතරෙනි. අනන්‍යා හවස පන්ති වලට සහභාගී වන්නේ නම් අවසාන වන වෙලාවට ඈ කැටුව එන්නට මෝටර් රථයෙන් යා යුතු ය. විවාහයක් යනු වගකීම් සම්භාරයක් බව දැනෙන්නේ දැන් එයින් නිදහස් ව සිටිනා විට ය. ඒ කාලේ කෑම පිසීම වුව යුද්ධයකි. දුව කන දේවල් තාත්තා කන්නේ නැත. තාත්තා කන දේවල් දූ කන්නේ නැත. එතකොට අපරාජිතා ට ඒ දෙන්නා වෙනුවෙන් ම වර්ග කිහිපයකින් ව්‍යාංජන පිළියෙල කරන්නට සිදු වේ. අනන්‍යා ගේ පාසල් වැඩ වලට උදව් කිරීමට ද නැවත මල් වලට වතුර දැමීම, රාත්‍රී ආහාර සැකසීම, අනන්‍යා ගේ පාසල් නිල ඇඳුම් මැදීම යනාදී කටයුතු රැසක් හවස් වන විට ද පෝලිම් ගැසී තියේ. එක ම සම්ප්‍රදායික රාමුවක් තුළ ඒ තරම් දිගු කාලයක් මැසිවිලි නොනගා හිර වී සිටියේ කෙසේද කියා හෝ දැන් සිතා ගත නො හැකි තරම ය. අළුයම හතරට අවදි වී එක සීරුවට වැඩ කිරීමේ කෙඩෙත්තුව හා නිදි මත මුළු දවස පුරා ම ඇස් කොනිති ගසමින් තිබූ හැටි තව ම මතක ය.
අනිත් අතට ඒ ඇය විශේෂයෙන් කළ කිසිත් නොවේ කියා අපරාජිතා සිතුවා ය. ඕනෑම මවක් සිය දරුවන් වෙනුවෙන්, සිය පවුල වෙනුවෙන් කරනා දේ ය. අරවින්ද කාර්ය බහුල වන්නට පටන් ගත්තේත් අනන්‍යා පාසල් යන්නට පටන් ගත්තේත් එකට ම වාගේ ය. විවාහ දිවියේ පූර්ව සත් වසර ගත වූ හැටි, පරණ චිත්‍රපටයක් සේ ඉඳ හිට ඇගේ හිතේ ඇඳී මැකී යයි. එතකොට ඔවුන් හිටියේ වෛද්‍ය පාරේ නොවේ. ඒ ඉඩම් කැබැල්ල ගෙන ගෙයක් හදා ගෙන පදිංචි වූයේ අනන්‍යා වසරක් පාසල් ගියාට පස්සේ ය. එකී පූර්ව වෛවාහක අවධිය දෙහිවල අවට ම කුළී කාමර කිහිපයක ගත ව ගියේ ය. අපරාජිතා ගේ මවු පියන් පැපිලියානේ මහ ගෙදර පදිංචි වෙන්න කීවාට අරවින්ද ගේ උඩඟු කම ඊට එකඟ වූයේ නැත. අනිත් අතට අපරාජිතා ට ද ඕනෑ වූයේ සිය අලුත් ජීවිතය ඔවුන්ගේ නිදහස ඇතිව ගත කරන්නට ය. ඒ කාලේ අරවින්ද ට ස්ථිර රැකියාවක් වූයේ නැත. සැබෑව නම් ඔහු ට එක තැනක රැකියාව කළ නො හැකි වීමයි. ආයතන වල ප්‍රධානියා සමග හෝ සේවකයන් සමග වචන හරඹ වලට පැටලී ඔහු ගෙදර නතර වන්නේ ය. අරවින්දට ගැලපෙන්නේ අනුන් යටතේ සේවය කරනා රැකියාවක් නොව ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් බව අපරාජිතා පසෙක සිට වටහා ගත්තා ය. මේ කාලයේ ඔහු කැමරාවක් ගෙන ඡායාරූප ශිල්පියෙකු සේ පුවත් පතක වැඩ කළේ ය. නමුත් එයින් ලැබුණ ආදායම සෑහුණේ නැත. ඉන්පසු කැමරාව විකුණා මහන තැනකින් ඇඳුම් ගෙන මුදලක් තබා ගෙන සාප්පු වලට දැමුවේ ය. ‘බයින් ඇන්ඩ් සෙලින්’ අරවින්ද ගේ හිත ගෙන තිබුණ ද ඔහු ට ඕනෑ වූයේ සුළු ලාභයක් නොව එක වර විශාල ලාභ ලබන්නට ය. එසේ ම වෙහෙසීම ට ද ඔහු කම්මැළියෙකු වූයේ ය. කැස්බෑව පැත්තේ පර්චස් දහයක ඉඩමක් මිතුරෙකු විසින් හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අඩුවට විකුණන බව දැන අරවින්ද පිස්සු වැටුණේ ඔය වාගේ සුළු ව්‍යාපාර වල යෙදෙමින් සිටියදී ය. මේ වෙත්දී කුඩා මුදලක් ඔහු ඉතිරි කර ගෙන සිටි අතර ඉඩම විකුණා ගෙවන්නට ණයක් ගත හැකි තැනක් සොයමින් නිතර කියවන්නට විය. ඔහු බලාපොරොත්තු වූයේ අපරාජිතා සිය මව් පියන්ගෙන් ණයක් ගෙන දේවි කියා ය.
“ඒ මිනිස්සු ගාව කොහෙන්ද එච්චර සල්ලි. තිබුණ සල්ලි වලින් මගෙ වෙඩින් එකේ වියදං කළා. මල්ලිව රට යවන්න වියදං වුණා. තව මොනාද..”
“ඉඩම උකස් තියල දෙන්න බැරිද ඇයි…මං මේක විකුණපු ගමං බේරල දෙනවනෙ”
“ඔයාට පිස්සුද අරවින්ද…මං කොහොමද කටක් ඇරල කියන්නෙ…ඒ මිනිස්සුන්ට බඩගින්නෙ හරි වැටිල ඉන්න තියෙන තැන උකස් තියන්නයි කියල…බැරි වෙලාවත් අපිට බේරගන්න බැරි වුණොත්..නෑ නෑ. මං ඒක කරන්නෑ”
අපරාජිතා සිය මතය වෙනස් කිරීමට කිසි සේත් සූදානම් වූයේ නැත. අරවින්ද ඈ සමග රණ්ඩු අල්ලන්නට පටන් ගත්තේ ඉනික්බිති ය. හුඟක් දුර දිග කල්පනා කළ අපරාජිතා, විවාහයේ දී ඇය ට ගෙදරින් ලැබුණ රන් අබරණ සියල්ල උකස් කොට අරවින්දට අඩුපාඩු ව තිබූ මුදල් සපයා දුන්නා ය.
“මං ඉක්මන්ට බේරල දෙන්නං”
කියා කීවාට ඒ ඉක්මන ඉක්මනට උදා වූයේ ම නැත. අරවින්ද ඉඩම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට විකුණුවේ ඉතා විශාල ලාභයක් ඇතිව ය. එය ඔහු කිසි සේත් බලාපොරොත්තු නොවූ ලාභයකි. ඒ මුදලින් තවත් ඉඩම් කැබලි කිහිපයක් ගත් හෙතෙම මේ ආකාරයට ඉක්මනින් ව්‍යාපාරිකයෙකු වූයේ ය. අපරාජිතා ගේ රන් අබරණ ගැන ඔහු ට අමතක ව නො ගිය ද ඒවා බේරා ගන්නවාට වඩා මුදල් සිය ව්‍යාපාරයෙහි ම යොදවමින් මුදල් ඉපයීම ගැන ම සිතුවේ ය. අපරාජිතා කිසි දා ක ඔහු ට වද කොට ඒවා යළි බේරා ගත්තේ නැති හේතුව නම් ඇය කොහොමත් රන් අබරණ වලට තෘෂ්ණා වැඩූ අයෙකු නොවීම නිසා ය. ඇගේ උපන් දිනයකදී හෝ සිය විවාහ සංවත්සරයක් වැනි අවස්ථාවකදී අරවින්ද අපරාජිතා ට අහිමි වූ රන් භාණ්ඩ ගැන සිහි කරමින් අලුතෙන් ඒවා තිලිණ කළේ ය. මේ වෙත්දී ඔහු ඉඩම් හා රථ වාහන ද අලෙවි කෙරෙනා ආයතන කිහිපයක හිමිකාරිත්වය දරනා ප්‍රබල ව්‍යාපාරිකයෙකි. නමුත් දික්කසාදයේ දී අපරාජිතා ඒ රන් අබරණ කිසිවක් ම ඇය වෙත යළි ලබා නො ගත්තා ය. ඒවා තැන්පත් කොට තිබුණේ ආරක්ෂාව පිණිස බැංකුවේ සේප්පුවක ය. අරවින්ද නීතීඥවරයා අත දික්කසාදයෙන් පසු අපරාජිතා ට ඒවා ලබා දුන්න ද ඇය ප්‍රතික්ෂේප කළා ය.
මෙතැන් සිට බලත්දී අතීතය වූ කලී විශ්වාස කර ගත නො හැකි සිදුවීම් වලින් පිරුණ අද්භූත නවකතාවක් වාගේ දෙයකි. බිත්තර කටුවකින් එළියට එන කුරුලු පැටියෙකු වාගේ අපරාජිතා ඇස් පිය ගසමින් ද හිස සොලවමින් ද අතීතයෙන් පිටතට ආවා ය.
හිත මඳක් අවුල් වී තිබුණෙන් ඇය දෙහිවල දෙසට රිය ධාවනය කරමින් වෛද්‍ය පාරට ගියා ය. වසර දහයක් පමණ සිය වාසභවනය වී පැවති නිවහන ළඟ දී ඈ රිය පදවා ගෙන ගියේ ඉතා සෙමෙනි. ඈ සිටවූ මල් පැළ ගැන ඇය ට දුක සිතිණ. නමුත් ජීවිතය යනු යාම් හා ඒම් ය. අල්ලා ගැනීම් හා අත් හැරීම් ය. මුහුදු වෙරළට ගිය ඕ තනිව වෙරළ දිග ඇවිදිමින් සිප්පි කටු එකතු කළා ය. හැමදාමත් සේ හිතේ දුක හා කාංසාව මුහුදු හුළඟට ගසා ගෙන ගියේ ය.
නාලිකා ප්‍රධානියා ගෙන් දුරකතන ඇමතුමක් ආවෙන් ඇය ඉක්මන් කොට ගොඩබිම දෙසට යන්නට වූවා ය.
“අපරාජිතා මේ එක්කෙනෙක් උදේ ඉඳලම ඔයාගෙ මොස් ටෙරාරියම් එක ගැන උනන්දුවෙන් මට කතා කරනව”
අපරාජිතා අහිංසක ලෙස සිනහ වූවා ය.
“එයාට එයින් එකක් ඕනලු ෆර්ම් එකේ කියුබිකල් එකෙන් තියා ගන්න. උදේ මට කතා කළේ ඔයාගෙ එෆ් බී පෝස්ට් එකට මං කමෙන්ට් කරල තියෙනව දැකල. මං කෝල් බැක් කළේ නැති නිසා ඔෆිස් එකටම ඇවිත්. පොඩ්ඩක් ඉන්නකො මං එයාට දෙන්නං”
“අනේ මිස්ට සංජය..”
අපරාජිතා එසේ කියත්දී ම සංජය අතින් දුරකතන සසංක අතට මාරු විය. අපරාජිතා නිවහන කොට වසන්නේ සිය මතු මහලෙහි බව සසංක සංජය ට නො හඟවා සිටියේ ය. එසේ ම ඔහු කවුරුන් දැයි අපරාජිතා ට වුව නො දැනෙන සෙයින් කතා කරන්නට සිතා ගත්තේ ය.
“ටෙරාරියම් වලට හොඳ මාකට් එකක් හැදීගෙන එනව දැන්. ඒත් මං ප්‍රොෆෙශනලි ඒ වැඩේ කරන කෙනෙක් නෙවේ. ආසාවට කරපු එකක්”
ඇය අවංක ලෙස කීවා ය.
“ඒකට කමක් නෑ. මට ටිකක් ලොකු ස්පේස් එකක් තියන කන්ටේනර් එකක එකක් ක්‍රියේට් කරල දෙන්න. අපි රීසනබල් විදිහට ඔයාට පේ කරනව”
“ඇත්තටම ඒක ප්‍රොෆෙශනලි කරන කෙනෙක්ට කියල කරවගන්න..මං දන්නව ඒකට මං සුදුසු නෑ කියල”
“ඔයා එකක් කරන්නකො. කරල පික්චර් එකක් සංජයට දාන්නකො. සංජය මට ෆෝවර්ඩ් කරයි. මං ඒ ගැන සැටිස්නං මං ඒක අරගන්නං. එහෙම හොඳයිද…”
“ඕකේ”
ඇය සිනහ වෙවී එකඟ වූවා ය.
“ඔයා ඒක කරන්නකො. කරනකොට ඔයත් ප්‍රොෆෙශනලි ඕක..මොකද්ද ඒකෙ නම..මට මතක නෑ..”
“ටෙරාරියම්”
“දැට්ස් ඉට්. ඔයා ප්‍රොෆෙශනලි ඒක කරයි. හොඳ මාකට් එකක් හදා ගන්න පුළුවන්. ශුවර්…”
“තෑන්ක් යූ”
හදවත උණුසුම් වන සතුටක් අපරාජිතා ට දැනෙමින් තිබිණ. ඒ තරම් වටිනාකමක් මෙතුවක් කිසිවෙකු විසින් හෝ සිය නිර්මාණයක් වෙනුවෙන් ලබා දී නැති සෙයක් ඇය ට දැනිණ.