“ඔයා ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද පුතේ…”
අපරාජිතා උගුර යටින්, දෙදරා ගිය හඬකින් ඇසුවා ය. අනන්‍යා සිනහ වන්නට පටන් ගත්තා ය.
“ඔයා තාම චූටියිනෙ”
අපරාජිතා ඒ සිනහවට යටින්, ඇගේ හද දෙදරීමට මත්තෙන්, යළිදු වතාවක් බිඳුණු ස්වරයෙන් කීවා ය.
“මට වඩා චූටි අම්මි. ඒකයි අම්මි ඔහොම කලබල වෙලා තියෙන්නෙ. බී කාම් අම්මි. මේක ඒ තරං ලොකුවට ගන්න එපා. අයිම් ඕකේ..ඇන්ඩ් අයිම් හැපී. මට පුළුවන් මං ගැන බලාගන්න. අම්මි වද වෙන්න එපා. හොඳද…”
අනන්‍යා ගේ ස්වරයේ වූයේ සතුටක් බව ඇත්ත ය. නමුත් ඇගේ හද සන්තානයෙහි ඇය ම නො දන්නා රිදුමක් විය. බරක් විය. දුකක් විය. තනි කමක් විය. ඒ සියල්ලට වඩා වෛරයක් විය.
ඈ වෛර කළේ සිය පියාට ය. කලක් ඔහු ඇගේ ලෝකයේ වීරයේ වී සිටියේ ය. නමුත් ඔහු තව දුරටත් ඇයට හා අම්මාට පමණක් අයිති නොවන, ප්‍රධාන වශයෙන් තුන් වැනි ස්ත්‍රියකට නීතියෙන් ම අයිති වූ තැනැත්තෙකු බව දැන ගත් කල්හි අනන්‍යා වීදුරු බඳුනක් සේ බිඳී ගියා ය. අපරාජිතාටත් වඩා බිඳී ගියා ය. අපරාජිතා කළේ ඇය ට සතුටෙන් සිටිත නො හැකි තැනින් ඉවත් වීම ය. නමුත් අනන්‍යා වෛර කරන්නට ගත්තා ය.
ගැහැනු දරුවෙකු ගේ ජීවිතයට පුරුෂ රැකවරණයක් හා ස්නේහයක් අත්‍යාවශ්‍ය ය. එය කිසි දාක අම්මා කෙනෙකුට දිය නො හැකි දෙයකි. අම්මා කෙනෙකු ගෙන් ලද නො හැකි දෙයකි. දුවක ඒ රැකවරණයත් ආදරයත් දෙක ම මුලින් ම විඳින්නේ සිය පියා වෙතිනි. දුවක ගේ ප්‍රථම ප්‍රේමවන්තයා සිය පියා වන්නේ එබැවිනි. ඒ ප්‍රේමවන්තයා සිය මව සමග මිස තවත් ගැහැනියක සමග බෙදා හදා ගන්නට ඇය කිසි සේත් සූදානම් නැත. අරවින්ද අලුත් විවාහයකට පය තියන්නට පෙර ඈ වෙනුවෙන් වෙනත් පුරුෂයෙකු ගේ ආදරයක් හොයා ගන්නට ඉක්මන් වීමෙන් අනන්‍යා සිය පියාගෙන් පලි දැරුවා ය.
අපරාජිතා දියණිය සමග සංවාදය නිම කළේ අසීරුවෙන් හිත හයිය කර ගෙන ය. නමුත් ඇය දිය වෙමින් සිටියා ය. නූතන ලෝකය සමග කොයි තරම් පයුරුපාසානම් පැවැත්වුවා වී ද තමන් ගේ චූටි දියණිය මේ තරම් ඉක්මනට පිරිමියෙකු ගේ නිදි යහන සරසතැයි සිතන්නට ඇය ට පහසු වූයේ නැත. ඒ සිදුවීම අමතක කරනු වස් අපරාජිතා පොතක් ද ගෙන පහළට බැස්සා ය. දේශිකා අද රැකියා ස්ථානයේ කාර්ය බහුල බව ඇය දැන සිටියා ය. ඒ නිසා මේ පීඩනය තනිව දරා ගන්නවා මිස බෙදා ගන්නට කෙනෙක් මේ මොහොතේ සිටියේ නැත.
අනන්‍යා ඒ පුවත දැනුම් දෙත්දී අම්මා කෙනෙකු වශයෙන් ඈ පත් තත්වය කිරා මැන බලන්නට අපරාජිතා වුව දැන සිටියේ නැත. ගෑනු දැරියක හදනවා කියන්නේ අනුන් ගේ වත්තක මල් පැළයක් හදනවා වාගේ කාරියකැයි පැරණි කතාවක කියැවේ. අයතිකාරයා පැමිණි විට වත්තත් එක්ක මල් පැළය ද භාර දී ඉවත් විය යුතු ය. අපරාජිතා ඒ නියත දහම ගැන දැන සිටියා ය. ඇස් දෙකේ තියා ගෙන අත පත ගාමින් තනනා දියණිය දවසක ඇගෙන් ඈත් වෙන බව ඇය දැන සිටියා ය. ඒ සඳහා හිත එකලස් කර ගත යුතු බව ද දැන සිටියා ය. මේ තරම් ඉක්මනින් අනන්‍යාව විදෙස් විශ්ව විද්‍යාලයක් සඳහා ඇතුළත් කරන්නට තීරණය කළේ ද ඒ හිත හදා ගැනීමෙහි මූලික පියවරක් වශයෙනි.
“ඔය කෙල්ලව ටිකක් ඈත් කරනව දැන්වත්. නැත්තං ඒකි කසාදයක් බැඳල යන දවසක තමුසෙට පිස්සු හැදෙයි”
දේශිකා පවා ඇතැම් අවස්ථා වල එහෙම කියා තිබේ. අරවින්ද ගෙන් හිස් වූ ලෝකයෙහි ඇය අනන්‍යා ට මුළු අවකාශය ලබා දුන්නා කීවොත් නිවැරදි ය. ඒ හරියට පොල් ගෙඩියක් තුළට දමනා කම්බිලි පණුවකු ඒ මුළු පොල් මදය බුදිමින් පොල් ගෙඩිය පුරා වන අවකාශය මුළුමනින් භාවිතා කරමින් වැඩෙන්නා සේ ය. සැබවින් එය අනන්‍යා ගේ අවශ්‍යතාවයකටත් වඩා අපරාජිතා ගේ අවශ්‍යතාවයක් කීවොත් නිවැරදි ය. විශාල මානව බැඳීමක් අපේක්ෂා කළ හදවතක්, එවැන්නක් හිස් ව යාම තුළ තමන් සුරක්ෂිත යයි තමුන්ට ම අඟවා ගන්නට වෙනත් කුමන හෝ බැඳීමක කරට අත දමා ගන්නේ ය. වැලකට වැඩෙන්නට ගසක එතීම පහසුවක් සලසන්නා සේ ය.
නමුත් දරුවන්ට නිදහස දිය යුතු බව අපරාජිතා විශ්වාස කළා ය. පාර පෙන්වූ පසු එමග ගමන් කරන්නට ඔවුන් සමත් විය යුතු යයි ඇය ඇදහුවා ය. අනන්‍යා ට තනිව ජීවත් වන්නට අවස්ථාව සලසා දෙන්නට ඇය තීරණය කළේ ද එබැවිනි. සිය තනිකම දියණිය ගෙන් පිරිමසා ගෙන, ඇය බලාපොරොත්තුව කොට ජීවත් වන ආත්මාර්ථකාමී අම්මා කෙනෙකු වන්නට අපරාජිතා ට කිසි සේත් අවැසි වූයේ නැත.
ඒ සියල්ල එසේ වී ද සිය දරුවා පිරිමියෙකු ගේ කය පිනවනා මෙවලමක් වී ඇතැයි සිතත්දී ඇගේ මව්වත් ළය පැලී යන්නට ආවේ ය. කටෙන් කිරි සුවඳ පහව නො ගිය කෙළි පොඩිත්තිය ජීවිතය ගැන ඒ සා බැරෑරුම් තීරණයක් ගත්තේ කොහොම ද? ඇය වූ කලී අම්මා ගේ අත තදින් අල්ලා ගෙන මිස පාර මාරු වෙන්නට හෝ හැකියාවක් නොවූ දැරියකි. අඳින ඇඳුම සෝදා ගෙන මැද ගෙන නැති, වේල් තුනෙන් දෙකක්වත් අම්මා ඇනූ බත් ගිල දැමූ, හැරී පොටර් මායාවෙහි යළි යළිත් ගිලෙමින් සිටි අත්දැකීම් නැති දැරියකි. එහෙව් ඇය පිරිමියෙකු ගේ කය සතපමින් ඔහු හා ජීවත් වෙන්නට සිතුවේ කෙසේ ද?
නමුත් අනන්‍යා යනු වයස අතින් වැඩිහිටි ලෝකයට අවතීර්ණ වී හිඳින යුවතියකි. ඇගේ පෞද්ගලික ජීවිතයට අත පෙවීමේ දී සදාචාරවත් ජීවියෙකු වශයෙන් අම්මා ලෙස වුව ඇය ට යම් සීමාවක් තිබෙන බව අපරාජිතා දැන සිටියා ය.
පොත පපුවට තුරුලු කර ගෙන සිටියා මිස අපරාජිතා එහි පිටුවක් පෙරළුවේ හෝ නැත. අයිස් කන්දක් දිය වෙන්නට පටන් ගෙන ඇතිවා සේ ඇගේ ඇස් දිය වී කඳුළු ගලා යමින් තිබිණ. උවමනාවෙන් හඬන්නට නො ගියා සේ ම අපරාජිතා බලෙන් කඳුළු නතර කරන්නට ද උත්සාහ නො කළා ය.
ප්‍රේමය විෂයේ ඇය හැමදාමත් වරදා ගත්තා ය. නමුත් අනන්‍යා ට නො වරදීවා යන පැතුම ඇගේ සිරුරේ සංසරණය වන්නා වූ හැම රුධිර බින්දුවක ම විය. නමුත් යටි හිත පත්ලේ ඇය මතුපිටට එන්න නොදී බලපෑම් කළ එක සිතිවිල්ලක් විය. ඒ අනන්‍යා දවසක ප්‍රේමය නිසා යළි පෑහිය නො හැකි සේ හද බිඳ ගනීවි ද යන භීතියයි.
යන්තම් ‘හ්ම්’ හඬක් ඇති කරමින් රෝලර් ගේට්ටුව විවර වන්නට විය. එය මුළුමනින් විවර වීමට ද පෙර ඍජුකෝණාස්‍රාකාර විවරය තුලින් සසංක ගේ දම් පාට වොක්ස්වැගන් බීට්ල් රිය හෙමිහිට මූණ එබුවේ ය. කහ, තැඹිලි, රෝස අටපෙතියා ගාල අතරින් ඉන්ටර්ලොක් ගල් ඇල්ලූ මග දිගේ විත් එය නතර වන විටත් රෝලර් ගේට්ටුව වැසී හමාර ය.
තරුණයා අලුත් උනන්දුවකින් රියෙන් බැස ගත්තේ ය. සිය ගෙමිදුල දැන් හදිසියේ සුරංගනා ලොවකින් සැපත් වූවා වන් මල් උයනකි. දෙව්දුව නිසොල්මනේ රඹුටන් ගහ යට සිමෙන්ති බංකුවේ හිඳ සිටී. අත් දෙක කලිසම් සාක්කු වල ඔබා ගත් සසංක අපරාජිතා දෙසට පිය තැබුවේ ය. සුදු ලිනන් අත් දිග කමිසයක් හැඳි ඔහු වැලමිට තෙක් නො සැලකිලිමත් ලෙස එහි අත් නවා තිබුණේ ය. කමිසයේ උඩ බොත්තම් දෙක විවර ව, අත් සහිත මේස් බැනියමක් හැඳි පිරිමි පපුවේ රෝම තට්ටුවක් පිටතට නිරාවරණය ව තිබිණ. වමතේ රිදී පැහැති අත් ඔරලෝසුවක් එල්ලී සිටියේ ය. දුඹුරු පාට ලෙදර් සපත්තු වල දුහුවිලි පොදක් වූයේ නැත. උදේ ගල්වා ගෙන ගිය විලවුන් වලින් ශේෂ ව තිබූ අන්තිම සුවඳ පොද පවා අපරාජිතා ගේ නාසයෙන් ඇතුලු ව පෙනහලු තෙක් ගමන් කරනා ලදී.
තමන් ඉදිරියේ වඩාත් සමීප ව හිට ගත් තරුණයා දෙස අපරාජිතා ඇස් උස්සා බැලුවා ය. ඒ ඇස් පොකුණු පිටාර ගලමින් තිබි කඳුළෙන් කම්මුල් තෙත් වී ය. ඇතුළාන්තයෙහි කුමක්දෝ පෙරලීමක් හෝ කැළඹීමක් වෙනවා සසංක ට දැනිණ. ඔහු අනාරාධිත ව ම බංකුවේ ඉතිරි ඉඩෙහි යන්තම් හිඳ ගත්තේ ය.
අඬන්නේ ඇයි කියා අහන්නට තරම් අයිතියක් ඔහු ට නැති බව සසංක දැන සිටියේ ය. දෙදණ මත බර කර ගත් දෑත් පටලා ගත් වන සුසුමකට පිට ව යන්නට ඉඩ හැරියේ එබැවිනි. තරුණයා ගේ ඇස් වල සුදු ඉංගිරියා වන් හි ලා රත් පැහැයක් වේ. දෙකම්මුල් හා නිකට වසා ගෙන, දින කිහිපයකින් නොබෑ රැවුල් කොට ඝණ ව වැඩී එමින් තිබුණේ ය. අපරාජිතා අස මේ තරම් හුරු පුරුදු බවක් දැනෙන්නේ ඇයි දැයි ඔහු දැන සිටියේ නැත.
“කෙල්ල එහෙ කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කර ගෙන”
පොලොව දෙබෑ කර ගෙන බීජයක දෙපෙත්තක් මතු වන්නා සේ බලාපොරොත්තු නොවූ මොහොතක අපරාජිතා ගේ උගුර පලා ගෙන ඒ බිඳුණු ස්වරය පිටතට පැන්නේ ය. සසංක වහා හැරී ඔහු ට අල්පයක් පිටුපසින් උන් ඇගේ මුහුණ දෙස බැලුවේ ය. බලන්නට බැරි ශෝකයකින් ඒ මුහුණ නැහැවී පැවතියෙන්, තත්පරයකටත් අඩු කාලයකදී ඔහු යළි ඉදිරිය බලා ගත්තේ ය.
“එයා…පොඩි ළමයෙක් නෙවෙයිනෙ නේද…නිරෝගී…හරියට හෝමෝන්ස් ඇක්ටිව් වෙන ඒ වයසෙ ළමයෙක් එහෙම සම්බන්ධයක පැටලෙන එක ගැන කලබල වෙන්න ඕන නෑ”
ඔහු වචන තෝරා බේරා ගත්තේ ඉතාමත් ප්‍රවේසම් ව ය. අපරාජිතා කියන්නේ නූගත් ගැහැනියක නොවේ. ඔහු විසින් කියන්නට යෙදෙනා ඕනෑ ම දෙයක් ඊට පෙර ඇය දැන සිටියා වූ බවට සැකයක් නැත. නමුත් සෙමෙන් පිහාටුවකින් සේ හිත පිරිමදිනා සැනසිලි වදනක් මේ වෙලාවේ ඇය බලාපොරොත්තු වන්නී ය. සසංක වාගේ පිටස්තර හා දුරස්ථ පිරිමියෙකු ඉදිරියේ, සිය පවුලෙහි ඒ තරම් පෞද්ගලික කාරණයක් ඇගේ මුවින් පිට වූයේ ඒ නිසා නොවේ යයි තර්ක කළ නො හැක.
“ඒත්..ඒ දෙන්න එකට ජීවත් වෙන්න පටං අරං”
රහසිගත ස්වරයක් අතරේ ම උණු කඳුළු අහුරු දෙකක් ඇස් වලින් එළියට පැන්නේ ය. තිගැස්සී ගිහින් සසංක යළිත් ක්ෂණික ව හැරී ඇගේ මුහුණ බලා ගත්තේ ය. ඒ මොහොතේ අපරාජිතා ඇස් තද කොට පියා ගන්මින් ද යටි තොල තදින් සපා ගනිමින් ද හිස බංකුවේ පිටුපස ඇන්දට බර කර ගනිමින් ද සිටියා ය. කඳුළු වැස්සක් වහිනා ඒ තෙත් බර මුහුණ දෙස ඔහු සුසුමක් පපුවේ හිර කර ගෙන බලා සිටියේ ය. අපරාජිතා සිටින්නේ බියකරු රළ පෙළක් හා පොර බදමිනි. පුපුරා සුණු විසුණු ව යා හැකිවා වන් පීඩනයක් සසංක ගේ පිරිමි පපුවේ තිබිණ. ඔහු හා යහන් ගත වූ ගැහැනු පරාන කිහිපයක ගේ මුහුණු හෝ නම් හෝ අහඹු ලෙස ඔහු ගේ මනසේ නැගී සිටින්නට විය. ඒ සමහර ස්ත්‍රියක ගේ මුහුණ මතක් කර ගත නො හැකි තරම ය. සමහර කෙනෙකු ගේ මුහුණ ඇගේ නම හා සමපාත කර ගත නො හැකි ය. අපරාජිතා කියන්නේ පවිත්‍රත්වයට අධිපති දෙවඟන සේ ය. ඈ ඉදිරියේ දී සරාගයෙන් මත් වූ ඒ ගැහැනු සිහි වත්දී සසංක දැරිය නො හැකි ලජ්ජාවකින් ද දැඩි භීතියකින් ද වෙව්ලා ගියේ ය. අපරාජිතා ගේ මුහුණ මත වන මාතෘත්වයේ ස්නේහී හැඟීම ඒ යහන් ගත ගැහැනුන් ගේ අම්මාවරුන් ගේ මුහුණු වලත් නොවන්නට ඇත්ද? ඔහු වහා ඇගේ මුහුණෙන් නෙතු ඉවතට ගත්තේ ය.
ඒ කිසිදු ගැහැනියක ඔහු විසින් බලහත්කාරයෙන් හෝ රවටා ගැනීමකින් යහනකට ගෙන නො ගිය බව සසංක සැක හැර සිහි කොට ගත්තේ ය. ඒ සියල්ල එකී ස්ත්‍රීන්ගේ කැමැත්ත ඇතිව සිදු වූයේ ය. පිරිමියෙකුට ස්ත්‍රියක හා සිරුරෙන් බැඳෙන්නට ප්‍රේමය යනු විෂය විය යුතු කාරණයක් නොවේ. නමුත් ඒ හැම ගැහැනියක් ම වාගේ ඒ මොහොත තුළ ප්‍රේමයක් කෙසේ වී ද ආශාවකින් හෝ ඔහු කෙරේ වසඟ වී සිටි බව සසංක ට විශ්වාස ය. වහා බංකුව මතින් නැගිට ගත් ඔහු ඉක්මන් අඩි තබා ගෙට ගියේ ය.
අපරාජිතා ගේ මුහුණ බලන්නට බැරි හැඟීමකින් ටික වෙලාවක් ඔහු පෙළෙමින් සිටියේ ය. හිතේ වන අසහනකාරී බවින් මිදෙනු වස් දිය නා ගෙන යළි ඔහු පිටතට එත්දී අපරාජිතා උඩට ගොසිනි.
මුළු සිරුර ම එක වර පණ නැතිව ගිහින් ඇති බවක් අපරාජිතා ට දැනේ. එය අසනීපයක් විය හැකි ද කියාත් ඇය යහනේ වැතිර ගෙන ම සිතුවා ය. ඇතැම් අසනීප ඉස්මතු වන්නේ ක්ෂණික ව ය. දරනු නො හැකි මානසික ව්‍යාකූලතා ඒවාට හේතු සැපයිය හැකි ය. අවුරුදු හතළිහ පහු වන විට බොහෝ කාන්තාවන් ට නොයෙකුත් අසනීප තත්ව හා දුබලතා ඇති වන්නට ගනී. නමුත් අපරාජිතා වූ කලී හෙම්බිරිස්සා උණකට මිස බෙහෙතක් ගන්නට දොස්තර කෙනෙකු වෙත ගොස් නැති තැනැත්තියකි. ඇය රෝහල් ගත වූයේ අනන්‍යා බිහි කරන්නට පමණකි. නමුත් ඉන් අදහස් වන්නේ කිසි දාක රෝ බිය වලින් ඈත් ව සිටිත හැකි ය කියනා එක නොවේ. ඇතැම් විට ඒ රෝගය ජීවිතය කෙළවර කරනා හේතුව වන්නට ද පුළුවන. අපරාජිතා තදින් ඇස් පියාන ඒ ඍණාත්මක සිතිවිලි දුරස් කිරීමේ උත්සාහයක් දැරුවා ය. ආයේ ඒ බොර දියට ම වැටුණා ය. ආයේ ගිලී නො යාමේ උත්සාහයක නිරත වූවා ය.
ඔයාකාරයෙන් කොපමණ වෙලා ගත වී ගියේ දැයි නිනව් නැත. ඇය නින්දත් නො නින්දත් අතරේ ද සිහියත් සිහි මඳ බවත් අතරේ ද දෝලනය වෙමින් සිටියා ය. ඒ අතර මැද්දේ විටෙක කෑ ගසා හැඬීමේ ඕනකමක් ඇය ට දැනිණ. ඈ එසේ කරන්නට ගිය ද උගුරෙන් හඬක් පිට වූයේ නැත. ජීවිතයට වඩා මරණය සැනසිලිදායක බව, ජීවිතයට මත්තෙන් දෝලනය වෙමින් සිටියදී ඇය ට සිතිණ. සැබවින් එය දැනීමක් සේ ය. නිද්‍රාවක් එතරම් ශාන්තිදායක නම් මරණය කෙතරම් සුවදායක විය යුතු ද කියා සිතන්නට ඇය ට ඕනා විය. අපරාජිතා ගේ තොල් අතරේ ඉසිහින් සිනහ රේඛාවක් ඉපිද තිබිණ. දෛවය කැමති දෙසකට, එක්කෝ මරණය පැත්තට, නැත්නම් ජීවිතය පැත්තට කැටුව ගියාවේ යි සිතා අවසන ඇය ඇස් පියවෙන්නට හැරියා ය.
“නූඩ්ල්ස් එකක් ගෙනාව. කාල නිදියන්න”
ඒ නිද්‍රාව අතරේ ඇසුණ ගැඹුරු, කරුණාවත් පිරිමි කටහඬ සසංක ගේ ය. අපරාජිතා නිද්‍රාවෙන් අවදි නොවී සිටියා ය. යළි හෝරා ගණනකට පසු ඈ අවදි වූයේ ඒ කටහඬ ම නැවත ඇසීමෙනි. අපරාජිතා වහා යහන මත හිඳ ගෙන වට පිට බැලුවා ය. කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. ඇය ඇඳෙන් බැස ගොස් ආලින්දයේ ද සඳැල්ලේ ද බැලුවා ය. කිසිවෙකුත් නැත. හැර දමා තිබි දොර ජනෙල් වසා ඇය කුස්සියට ගියා ය. පැන්ට්‍රි කබඩ් එක මත සුදු කාඩ්බෝඩ් පෙට්ටියක් සහිත ශොපින් බෑග් එකක් තිබිණ. අපරාජිතා එය පිටතට ගෙන දිග හැරියා ය. එහි නූඩ්ල්ස් තෙම්පරාදුවක් විය. අපරාජිතා ගේ කටට කෙළ උනා කුස ගිනි මෝරා එන්නට ගති.