(අ)හිමි සිහින -193

ආදරය එකිනෙකාට එක් එක් ආකාරයට දැනෙන්නට ඇති ඉඩ ඉතාම වැඩියි.නමුත් ඒ ආදරය අවංක එකක් නම් තමන්ගේ ගමන් සගයා  අවසාන මොහොතේ සිටියදී අත් හැර දමන්නට කිසිවෙකුට හැකියාවක් නෑ.මම සුධාරක සුව කර ගන්නට මගේ හුස්ම වුණත් පූජා කරන්නට කැමැත්තෙන් හිටියත් ඔහු කොළ කෑල්ලක් නිසා සිර කරුවෙකු වී සිටියා.

සුධාරක මා ඔහු අසල සිටිනා වගක් වත් දන්නේ නැහැ.අතපය වකුටු කරගෙන වම් ඇලයට හරවා තිබූ ඔහුගේ සිරුරේ බිමට නැමී තිබුන හිස ඔසවන්නටවත් ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් මා ඔහුගේ සිනිඳු හිසකෙස් අතරින් මගේ ඇඟිලි තුඩු යවා ආදරයෙන් හිස අත ගෑවා.

“මහත්තයා.ඔයාගෙ මැණිකේ ඔයා බලන්න ආවා.අද මගේ උපන්දිනේ.ඔයා නැතුව මට මොන උපන්දිනයක්ද.ඒ නිසා මං අද ඔයා ළඟට ආවා.මං ඔයාට ආදරෙයි මගෙ රන්කඳ.මේ සංසාරේ නිවන් දකිනා තුරා මං ඔයාව අත්හරින්නේ නැහැ”

මම ඒ වනවිටත් හම ගැලවී යමින් තිබූ ඒ සුරතේ ඇඟිලි පටලවාගත්තේ මහත් සෙනෙහසකින්. මුලින්ම ආදරය දැනුණුදාටත් වඩා මම ඔහුට ආදරය කරන්නට ඇත්තේ සහ ඔහු ගැන තණ්හාව උපදවාගන්නට ඇත්තේ ඔහු ගිලන්වූ දා පටන් බව මට සිතෙනවා.ඒ ඔහුට මගේ ආදරයත් රැකවරණයත් විශ්වාසයත් වැඩියෙන්ම අවශ්‍යව තිබුණු කාලයයි.

කාලය ඔහුගෙන් කෙමෙන් ගිලිහෙමින් තිබෙන බව අසීරුවෙන් හෝ අවබෝධ කරගන්නැයි මගේ බුද්ධිය මට පවසමින් හිටියා ඒත් හදවත එය පිළි ගන්නට සූදානමක් තිබූ බවක් පෙනෙන්නට නැහැ.

ඒ ආදරයේ ස්වභාවය වෙන්නට ඇති.ආදරය හදවතට දැනෙන්නක් වුණත් ආදරය පවත්වා ගන්නට බුද්ධිය අත්‍යවශ්‍යමයි.ඒත් කිසිම වෙලාවක හදවතින් කර ආදරයට අඩු ලංසුවක් දෙන්නට එපා.වාණිජ හැඟීම් සමඟ සටන් කරන බුද්ධියට වඩා මානුෂිය හැඟීම් සමඟ ගනුදෙනු කරන හදවත සංවේදී බවින් වැඩියි.ආදරය සංවේදිව කළ යුතු දෙයක්.

මම සුධාරකගේ මුලු සිරුරම ආදරයෙන් පිරිමදිමින් ඔහුට කතා කළා.ඕනෑම ආදරණීයයන් දෙදෙනෙකුට ඔවුන්ටම ආවේණික වූ ස්පර්ශයන් සහ ආමන්ත්‍රණ විදි තිබෙනවා.මම ඔහුගේ අප්‍රාණික සුරතේ ඇඟිලි පටලවාගනිමින් ඔහූගේ කනට කර ඔහුට ආදරයෙන් කතාකරමින් මටත් දුවටත් ඔහු අවශ්‍ය බවත් මේ ගිලිහී යන්නට කාලය නොවනබවත් යුද්ධයක් දිනාගෙන පැමිණි ඔහුට මේ ජීවිත සටන දිනියහැකි බවත් පැවසුවා.

මේ හැම දෙයක් අතර තුරම මම ඔහු සම්බන්ධකර තිබූ යන්ත්‍ර වල සටහන් වන දේ නිරීක්ෂණය කරන්නට අමතක කළේ නෑ.මගේ හදවත රිදවමින් මා ඔහු අසලට එනවිට ඉතා අඩුම වේගයකින් ස්පන්දනය වෙමින් තිබූ ඔහුගේ හදවත ඉතාමත් ඉහළ වේගයකින් ස්පන්දනය වනබව ඒ යන්ත්‍රයේ සටහන්ව තිබුණා. ඔහුට මගේ ස්පර්ශය, මගේ හඬ, මගේ උණුසුම දැනෙන බවත් ඔහුගේ මනසේ සංවේදීතාව තිබෙන බවත් වටහාගන්නට මට ඊට එහා යමක් අවශ්‍ය වූයේ නැහැ.

එහෙත් මෙය පැවසීමට හෝ තේරුම් කර දීමට කෙනෙකු නැති බව මට වැටහුණා.ඔහු තවමත් ජීවත් කර ගත හැකි මට්ටමෙ සිටින බව කෑගසා කියන්නට මට අවශ්‍ය වුණා.

කාලය අසුරු සැනින් පියාඹා ගියා.දැඩි සත්කාර ඒකකයක අවේලාවේ ඒතරම් වෙලාවක් රැඳීසිටින්නට කිසිවකුටත් අවසර නැහැ.ඒත් මම ගියේ විශේෂ අවසරයක් මතයි.මට එහි සිටින කිසිවෙකුත් කිසි බාධාවක් කලේ නැහැ.ඔවුන් මා කවුදැයි හඳුනනවා.ඔවුන්ද ඈතට වී අප දෙදෙනා දෙස බලමින් අතිශය වේදනාවට පත්වූ බව මට ඔවුන් පසුව පැවසුවා

මට යන්නට කාලය එළඹුණා ඒත් මට ඔහු දමා යන්නට තිබුණු ලෝබකම තරම් මා මේ ලෝකයේ ආසක්ත වූ කිසිවක් තිබුණේ නැහැ.ඒ උණුසුම් පපුවේ හිස හොවා සිටින්නට,කෑගසා හඬන්නට මට අවැසි වුණා. ඒත් ඒ පපුවේ සෑම අඟලකම තිබුණේ යන්ත්‍රයකට ගැසූ වයර් ගොඩක් පමණයි.මට ඔහුගේ ඡායාරූප කිහිපයක් ගන්නට උවමනාව තිබුණා.ඒත් පැයකටත් වඩා ගෙවී ගියත් ඒ සිරුර තිබුණේ මා යනවිට තිබූ ලෙසටමයි. 

“මහත්තයා මට ඔයාගෙ පින්තූරයක් ගන්න ඕන.ඔයාට මතකද ඉස්සර හැම පින්තූරෙකම ඔයා මාව බදාගෙන ඉඹගෙන තමයි ඉන්නේ. ඉතින් අද මං දිහා වත් බලන්නෙ නැද්ද.ඔයාගෙ මැණිකේ දිහා බලන්නෙ නැද්ද.අනේ මං දිහා බලන්න මගෙ රත්තරන්.මං දැන් යන්න ඕනනෙ.මගේ දිහා එකපාරක් බලන්න මගෙ මහත්තයා” 

ආදරය මොනතරම් හයියද ඔබ දන්නවාද?අපි ආදරය කරන්නේ සංසාර පුරුද්දක් මතයි.ආදරයට කළ හැකි දේ බොහෝ ඇති බව සිහි කරමින් ඒ බව මට ඔප්පු කරමින් දශමයක්වත් සොලවා ගත නොහැකිව පැත්තට හැරී තිබූ ඒ හිස එලෙසම තිබියදී දෙනෙත පමණක් ඉතා අසීරුවෙන්  හරවා ඔහු දෑස් දල්වා මා දෙස බලා සිටියා.ඒ මොහොතේ මා ගත් ඡායාරූප අදටත් දකිනවිට මගේ හදවතට දැනෙන වේදනාව මට ඔබට කියන්නට තේරෙන්නේ නැහැ.

ඒ දෑසේ ඔහුට මාගෙන් අසන්නට ඇති දහසක් දේ ලියැවී තියෙන්නට ඇති.

“අනේ ඇයි මැණිකේ මාව බලන්න එන්නේ නැත්තේ?”

“අනේ මොනවහරි කරලා මාව බේරගන්න මැණිකේ”

මම ඒ හැම හැඟීමක්ම කියවා ගත්තා.

“නැහැ.මම ඔයාව අතහරින්නේ නැහැ.මම ඔයාව කොහොමහරි සනීපකරගන්නවාමයි.දුවටත් මටත් ඔයාව ඕනේ.අපි ඔයාට පණ වගේ ආදරෙයි මහත්තයා.මගෙ රන්කඳට බුදුසරණයි.” 

කියා හිස අතගා ඒ නළලත දැඩිව සිපගත් මා මගේ මුලු ආත්මයම ඔහු ලඟ තබා ගත විතරක් දරාගනිමින් රෝහලෙන් පිටවූවා.

එදා ඒ මගේ උපන්දිනය දා අතිනත පටලවා හුන් අප දෙදෙනාගේ දෑත්වල සැබෑ ජායාරූපයයි මේ.මා ජීවත්ව හිඳින තුරාවට මට ලැබුණු හොඳම තෑග්ග මෙයයි.ඒ මා ජීවත්ව සිටිනතුරාවට මට තිබූ හොඳම උපන්දිනයයි.

ගංගාවක් මොනතරම් වැටකඩොලු බාධා තිබුණත් ඒ සියල්ල බිඳහෙළමින් සාගරයට එක්වෙනවා සේම දෙහදක නැගෙන ආදරය මොන තරම් බාධා වැටකඩොලු නීති රීති දමා සිර කළත් සංසාරයේ හුරු පුරුදු ලෙස ඒකාත්මික වෙනවාමයි. ඒ ගමන තවතවත් මා ශක්තිමත් කලා. ඔව්!!අන්තිම මොහොත වනතුරු මගේ ඔලුවේ පණ තියෙනතුරු මම ඔහු සුවකරගන්නට සටන්කරනවා

මම ඒ අධිෂ්ඨානය සිතේ තබාගෙන රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මුණගැසෙන්නට කාලය වෙන් කරගත්තා

ඒ කතාව හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles