ධනවත්කමේ උඩඟුවෙන් සැමියාට අවමන් කළ බිරිඳක්.

විවාහ ජීවිතය තුළ එකිනෙකා පරයා යන්න උත්සාහ කරනකොට අපි නවතින්නේ මොන වගේ තැනකද කියලා ඔබට යම් අදහසක් තිබුණා ද? මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන මේ කතාව කියවන්න.ඔබ නොදන්න දුර්වලතා ඔබට වටහා ගන්න පහසු වෙනවාට සැක නෑ.

නිලූපා සහ චරිත විවාහ වන්නේ යෝජනාවකින්.චරිත හොඳ රැකියාවක් කරන පුද්ගලයෙක්.හොඳින් ඉගෙන ගෙන හැකිතාක් ඉහළට ගිය කෙනෙක්.නිලූපා විශාල වත්කම් ඇති තරුණියක්.ඒ වත්කම් නිසාම ඇයට චරිත වැනි උසස් රැකියාවක් ඇත්තෙක් ලැබෙනවා.විවාහ වී ඔවුන් පදිංචි වෙන්නේ නිලූපා සතු සුවිසල් නිවසේ. චරිතට හොඳ වර්ගයේ වාහනයක් ද දෑවැද්දට හිමි වෙනවා.

විවාහ වී ටික දවසකට පසු නිලූපාගේ යම් වරදක් ගැන පෙන්වා දෙන්න චරිත ක්‍රියා කරනවා.නිලූපාගේ සැබෑ වර්ණ එළියට එන්නේ ඒ මොහොතේ දි.

“තමුන් වැටිලා ඉන්නේ මගෙ ගෙදරක..මට ලොකු සීන් දාගෙන එන්න එපා..”

මේ විවාහය ගැන දෙවරක් හිතන්නට චරිත කල්පනා කරන්නේ ඉන්පසුව.නිලූපා ඕනෑම මොහොතක චරිතට මතක් කර දෙන්නේ එකම කාරණා ටිකක්.මෙය ඉතාම පීඩාවක් නමුත් චරිත කිසිවක්ම නොකියා ඉවසා සිටින්නේ පවුලක් අවුල් කර ගැනීමේ ඇති වරද ගැන ඔහුට වැටහෙන නිසාමයි.

“මට ඇත්තටම ඔයාට බය වෙලා යටත් වෙලා ඉන්න ඕන නෑ චරිත.මගෙ අම්මලාගෙන් උරුම වුණු මහ විශාල දේපලක් මට තියනවනෙ.මම උගත් වැදගත් මිනිහෙක්ව බඳින එක පවුලට හොඳයි කියලයි එයාලා මේ කසාදේ කරේ.මට නම් ඇත්තටම මිනිහෙක් ඕන නෑ.මට ජීවත් වෙන්න මේවා හොඳටම ඇති.මේ හැම දෙයක්ම මගේ.තමුන්ට හොඳ ගෙයක් හම්බුණේ මං හින්දා.හොඳ කාර් එකක් ඩ්‍රයිව් කරන්නෙ මං හින්දා..ඒ නිසා හරිනම් තමුන් මං කියන එක අහන් ඉන්න ඕන..”

හිතූ මනාපයට තීරණ ගන්නා සහ පුංචි කාරණාවලට පවා චරිතට බැන අඬ ගසන නිලූපා එවැනි වියරුවකින් හැසිරෙන්නට වග බලා ගන්නවා. ඇය පුදුම දරදඬුකමක් සහ උජාරුවකින් ජීවිතය පවත්වා ගෙන යනවා.

“නිලූ, මම මොකුත්ම නැති මිනිහෙක් නෙවෙයි.යම් දේපලක් මටත් තියනව.අනික මිනිහෙක්ට ලබා ගන්න පුලුවන් ඉහළම උගත්කම් හොඳම ඉස්කෝල සහ කැම්පස් වලින් මම අරන් තියෙන්නේ.මට උපාධිම කීයක් තියනවද? මේ දේවල් මට ඔයාගේ පවුලෙන් ලැබුණා මිසක් මම ඉල්ලලා ගත්තේ නෑනෙ.මේ කිසිදෙයක් නැතත් මේ වගේම ගෙයක් හදන්න, වාහන ගන්න මගේ සැලරි එකෙනුත් මට පුලුවන්..”

චරිත තදින් මේ බව කියද්දී ඉන්න බැරිනම් යන්න කියන තැනට නිලූපා පත් වුණා. වරදක් පෙන්වන හැම මොහොතකදීම දේපල ගැන කියමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන නිලූපාගෙන් දික්කසාද වෙන්න සිතෙන නිසා පවුල් උපදේශනයට යොමු වෙන්න චරිත තීරණය කරනවා.

“අපි විවාහ වෙලා දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි.තාම දරුවෙක් හැදුවෙත් නෑ. නිලූපාගේ හැසිරීම දකින පවුලට සමීප අය මට කියනවා ඔහොම රණ්ඩු වෙනව නම් ළමයි හදන්න එපා කියලා..”

චරිත රත්නා මහත්මියට එහෙම කියනවා.

“අපි පවුල් ජීවිතයක් ගෙවනවනෙ මට ළමයෙක් ඕන.මේ මනුස්සයා ඒකටත් අකමැති..”

නිලූපා එහෙම දොස් නගනවා.

පවුලක් ඉදිරියට ගලාගෙන යාමේදී එහි නොයෙකුත් ස්ථර සහ පියවර පසු කරන්නට අපට සිදු වෙනවා.ගෙයක් හැදීම , වාහනයක් ගැනීම, රැකියාවේ ඉහලට යාම වගේ දේවල්. නමුත් මේ යුවලට ඒ හැම දෙයක්ම තිබුණා.පවුල හොඳින් පවත්වාගෙන යන්න එයම ප්‍රමාණවත්.නමුත් උජාරුව සහ ධනවත්කමේ ආටෝපය නිසා මේ පවුල විනාශ වෙන්න ගියේ.

විවාහය කියන්නේ සියළු දේ බෙදා ගැනීමක්.ආදරය, දුක සතුට වගේ හැම දෙයක්ම බෙදා ගන්නවා.නීතියෙන්ම අනෙකාගේ දේපල වස්තුවට සැමියාට හෝ බිරිඳට අයිතිය ලැබෙනවා කියන එක අමතක කරනවා.අපේ සජීවී පැවැත්මට අජීවී දේ බාධාවක් බලපෑමක් කරගන්න නරකයි. දේපල නැති බොහෝ අය ඉන්නවා, නමුත් ආදරය සහ ගෞරවය ඉතා හොඳින් පවත්වාගෙන යන්න සමත්. භෞතික වස්තු වලින් ඔලුව උදුම්මා ගෙන ආදරය සහ ගෞරවය නැති කරගන්න එපා.සැමියාගෙන් ඔබට ලැබෙන ආදරය ගැන උජාරුව ඇති කරගන්න. ඔබේ පවුල් ජීවිතය ගැන තණ්හාව ඇති කරගන්න.ඔබේ කැපවීම,ආදරය, ගෞරවය ගැන අභිමානයෙන් ඉන්න.දේපල වස්තුව අද තිබී හෙට නැති වෙන්න පුලුවන්.ඔබේ දේපල උජාරුව නිසා ඔබව සැමියා අතැර දැමුවොත් තනිකම පිරුණු ලෝකයේ සතුටින් ඉන්න උජාරුව පමණක් ප්‍රමාණවත් නෑ.

ලොකුකම සහ උජාරුව වෙනුවට ආදරය සහ ගෞරවය තෝරා ගන්න.ඔබේ ජීවිතය සුන්දර වෙනවාට සැක නෑ.

Related Articles

Don't Miss


Latest Articles