උදම් රළ, සුළි කුණාටු හා නාය යාම් කිහිපයකට පසු අපරාජිතා රත්මල්ගොඩ යළි පුරුදු ශාන්තිදායක බවට පිළිපන්නා ය. ටික වෙලාවක් සිය ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස නිවී සැනසිල්ලේ අවධානය යොමු කළ ඕ නැගිට ගොස් රයිස් කුකරයට හාල් එකක් ගැසුවා ය. ඇය තුළ කිසිදු කෑම රුචියක් නැත්තේ ය. නමුත් දැන් සසංක එන්නේ ගෙදර කෑම ටිකක් රාත්‍රී ආහාරය ලෙස බුදිනා බලාපොරොත්තුවෙනි.
කොහොමටත් වෙන්නට ඇති යමක් වළකා ලිය නො හැකි බව අපරාජිතා විශ්වාස කරන්නී ය. බුද්ධ ධර්මය තරයේ අදහන ඇය අකුසල කර්ම වලට බිය වන්නේ සසරේ කොතැනක දී හෝ ඒවායේ බියකරු විපාක වලට මුහුණ දෙන්නට වන භීතිය නිසා ය. කර්ම විපාක වළකාලිය හැකි නම් ඒ එවැන්නක් අහෝසි කොට දැමිය හැකි තරම් ප්‍රබල අහෝසි කර්මයක් වෙතොත් පමණකි. නො එසේ විණි නම් එහි විපාක වලට මුහුණ දිය යුතුම ය.
රොශෙල් සමග දුරකතනයෙන් කතා කිරීමෙන් පසු අපරාජිතා තීරණයක් ගත්තා ය!
ඇය තව දුරටත් හිත සන්සුන් කර ගනිමින් සරල වූ රාත්‍රී භෝජනයක් සූදානම් කරමින් සිටියා ය. සසංක ගේ රිය නැවතෙන හඬ ඇය ට ඇසිණ. අපරාජිතා ඒ ගැන කලබල වූයේ නැත.
දම් පාට වොක්ස්වැගන් බීට්ල් රියෙන් බිමට බට තරුණයා ගේ මුහුණේ තෘප්තිමත් මඳහසක සේයා විය. මීට පෙර යෞවනයේ දී පෙම් සබඳතා දෙක තුනක් ද ඉනික්බිති කායික සබඳතා කිහිපයක් ද පවත්වා තිබිණි ද මේ ඔහු ස්ත්‍රියකට ජීවිතය බෙදා හදා ගන්නට ඇරයුම් කරන්නට සූදානම් වන ප්‍රථම අවස්ථාවයි. මඳ පමණ මත් වුවහොත් මිස අපරාජිතා ගේ සන්සුන්කම නමැති මහා පෞරුෂය ඉදිරියේ එවැනි යෝජනාවක් කළ නො හැකි යයි මුල දී සිතුව ද, කෙසේ හෝ පිරිමි පෞරුෂය ඇති කොට ගෙන පියවි සිහියෙන් ම ඒ යෝජනාව කළ යුතු යයි අන්තිමට ඔහු තීරණය කළේ ය.බීමත් ව පැමිණ එවැන්නක් පැවසීම තුළ අපරාජිතා ඔහු ව මුළුමනින් විශ්වාස නොකරනු ඇත ය යන බිය සසංක තුළ ඇති විය.
විවාහ ගිවිස ගැනීමක් වෙනුවෙන් තිළිණ කරන්නේ රන් රිදී අබරණ බව සසංක දැන සිටියේ ය. නමුත් අපරාජිතා කියන්නේ අබරණ වලට රිසි ගැහැනියක නොවන බව ඈ දෙස බලන ඕනෑ ම කෙනෙකුට වටහා ගත හැකි ය. ඒ නිසා ඔහු ඇය වඩාත් රිසි තේමාවක් ඔස්සේ සැමරුම් තිලිණයක් තෝරා ගන්නට සිතුවේ ය. මල් වලට ඕ බෙහෙවින් ප්‍රිය බව ඇත්ත ය. නමුත් මල් කළඹක් කියන්නේ දිගු කලක් පවත්වා ගත හැකි දෙයක් නොවේ. එහෙයින් මල් දරනා විසිතුරු පැළයක් සසංක ගේ අවසාන තෝරා ගැනීම විය. මේ සඳහා ඔහු ප්‍රකට මල් ආයතනයක් වෙත ගියේ, එහි වූ දහස් ගණනක් විසිතුරු පැළ හා මල් වර්ග අතරින් තෝරා ගත්තේ සුදු පාට මල් ද තද කොළ පාට දීප්තිමත් පත්‍ර ද දරන්නා වූ මල් පඳුරකි. එහි ව්‍යවහාරික නම ‘පීස් ලිලී’ බව ඔහු දැන ගත්තේ මල් සාප්පුවේ යුවතිය ගෙනි.
“සර් හරිම ශෝක් ගිෆ්ට් එකක් සිලෙක්ට් කළේ. පීස් ලිලී කියන්නෙ ලෝකෙ ලොකුම ඩිමාන්ඩ් එකක් තියන ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. මේක ගේ ඇතුළෙ බෙඩ් රූම්ස් ඇතුළෙ එහෙම තියන්න හොඳම ප්ලාන්ට් එකක් සර්. මොකද පීස් ලිලී වලින් රෑටත් ඔක්සිජන් පිට කරනව කියල විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු කරල තියෙනව. ඒ විතරක් නෙවෙයි වොශ් රූම්ස් ඇතුළට එහෙමත් යූස් කරනව පොලියුටඩ් එයා ක්ලීනර් එකක් විදිහට. මේකෙ මල් වලින් පිට වෙන හරිම පීස්ෆුල් ස්මෙල් එක තමයි සර් වටිනම දේ. හිතක් ශාන්තියට පත් කරන සුවඳක් ඒක. පාඩං කරන තැනක ටේබල් එක උඩ එහෙම තියන්න මීට වඩා හොඳ ප්ලාන්ට් එකක් නැති තරං. සර්නං හරිම අන්ඩස්ටෑන්ඩින් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලයි මට හිතෙන්නෙ”
ඇය කියවා ගෙන ගියේ සසංක විසින් තෝරා ගන්නා ලද තනි සුදු පෝසිලේන් මල් පෝච්චියෙහි මල් පඳුර නැවත බඳුන් ගත කරනා ගමන් ය. අනිච්ඡානුගව වුව තමන් විසින් හොඳ ම පැළයක් තෝරා ගැනීම ගැන සසංක ආඩම්බර වූයේ ය. මෙය දුටු විට අපරාජිතා ගේ ඇස් ප්‍රහර්ෂයෙන් දීප්තිමත් වෙන හැටි ද ආදරයෙන් බර වෙන හැටි ද ඔහු ට මවා ගත හැකි විය.
සුදු පෝසිලේන් බඳුනෙහි ලූ දීප්තිමත් තද කොළ පාට පත්‍ර සහිත හා තනි සුදු මල් කිහිපයක් දරනා, සිත් සුව කරනා සාමකාමී සුවඳකින් යුත් පීස් ලිලී තිළිණය දෑතින් ගෙන සසංක පිය ගැට පෙළ නැග ආවේ ය. ඔහු ගෙදොරින් ඇතුළු වන පිය ගැටෙනා හඬ ඇසිණ. අපරාජිතා සිය කාරියෙහි ම නියුතු ව සිටියා ය. ඔහු පටු කොරිඩෝරය දිගේ කුඩා මුළුතැන්ගෙට ආවේ ය. අපරාජිතා අවසාන බඳුන ද සෝදා පිඟන් රැක් එකෙහි නවා අත්පිස්නාවෙන් දෑතෙහි තෙත මාත්තු කළා ය. තවමත් ඈ සිටියේ ඔහු ට පිටුපා ගෙන ය.නමුත් සසංක ඈ පිටුපස වන බව අපරාජිතා දැන සිටියා ය. ඈ හැකි තාක් ඔහු ට මුහුණ නොදී සිටියේ කොයි මොහොතේ කඳුළු මේඝය ඉහිරේද කියා නො දන්නා නිසා ය.
සසංක සිය සුරතින් ගත් පීස් ලිලී බඳුන, පිටු පා සිටින ඇය ඉදිරියට කළේ ය. අපරාජිතා වහා එය දෝතින් ම ගත්තා ය.
“මෙතන ඉඳං ඉස්සරහට අපි ජීවිතේ ගමන එකට යමුද…”
රිය පදවන ගමන් කෙතරම් පුරුදු පුහුණු වී පැමිණිය ද තමන්ට එය කියවුණේ නාට්‍යානුසාරයෙන් යයි සසංක ට සිතිණ. මේ මොහොතේ ම ඇගෙන් ප්‍රතික්ෂේප වන්නට ඒ නාටකීය බව ම ප්‍රමාණවත් වන බව ද ඔහු ට වැටහුණේ ය. පීස් ලිලී බඳුන සිය සිරුරට තුරුලු කර ගනිමින් අපරාජිතා එහෙම ම හැරී සිය සිරුරට වාරු වනු ඇත කියා නම් තරුණයාට සිහිනයෙන් හෝ සිතුණේ නැත.
“මං ඔයා එනකල් බලං හිටිය සසංක”
අපරාජිතා ගේ හඬ බිඳී ගියේ ය. සත්තකට ඇය ට ඉකි බිඳී හැඬිණ. එකතකින් පීස් ලිලී බඳුන තුරුලු කර ගත් ඕ අනිත් අත සසංක ගේ බඳ වටා යවමින් ඔහු ගේ පපුවට වාරු වී එහි මුහුණ ඔබා ගත්තා ය. කිසිත් අදහා ගත නො හැකි වී ද ඔහු සිය දෑතින් ම ඇය දරා ගත්තේ ය.
“මට අඬන්න ඕන වෙලා තිබුණා සසංක. ඒත්…තනියම අඬන්න මොකද්දෝ බයක් දැනුණා. මට මෙහෙම අඬන්න දෙන්න සසංක”
ඇගේ අතකින් තද වී ඔහු ගේ කමිසයේ පිටුපස කොටස පොඩි පට්ටම් වී ගියේ ය. ඇගේ ඇස් වලින් වට කඳුළු දිය ඇලි වලින් සසංක ගේ කමිසයේ ඉදිරිපස තෙත් ව ගියේ ය. නමුත් ඔහු නො සෙල්වී ඇය ව දරා ගත්තේ ය. අපරාජිතා හිතට සැනසිල්ලක් දැනෙනකල් ම ඉකි බිඳ හැඬුවා ය. ඇය තරමක් සන්සුන් වූ ඉක්බිති සසංක ඇය වාරු කොට ගෙන ම සෝෆාව වෙත ගියේ ය.
“මොකද වුණේ…ම්…”
අපරාජිතා දෑතින් ම පීස් ලිලී බඳුන තුරුලු කර ගත්තා ය. ඇගේ ඇස් පහළට හැරවී සුදු මල් මත නතර වී තිබිණ. ඒවායින් මුදු මකරන්ද පුසුඹක් හැමුවේ ය. සසංක ප්‍රේමාරාධනයක් කළ බව ඇය ට සිහි වී යළි අමතක වී ගියේ ය.
“අරවින්දට අමාරුයි සසංක. මට ඒත් හිතා ගන්න බැරි වුණා දුව ෆ්ලයි කරන දවසෙ එයාපෝට් එකට ආපු නැති එක ගැන. එදා එයා ටෙස්ටිංස් වගේකට හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා. ඊයෙ අනන්‍යා කිව්වහම තාත්තිට හුගක් අමාරුයි කියල….මං රොෂෙල් ට කතා කළා. අරවින්දගෙ තත්වෙ හුඟක් බරපතලයි”
“ඔයාට දැන් හොස්පිට්ල් එකට යන්න ඕනද…ම්…”
ඇය ට ඒ හඬ ඇසුණේ දුර ඈත් සදෙව් ලොවකින් නැගුණ දේව භාෂිතයක් සේ ය. කාලයකින් වතුර පොදක් නොලැබ මැළ වී මිය ඇදෙමින් සිටිනා පැළයකට වතුර ටිකක් වත් කරන්නට හිතිවිල්ලක් උපදිනා හිතක් යනු කරුණාව වෑහෙනා හිතකි. කළ යුත්තේ කුමක් දැයි හසරක් නො දැන අසරණ ව සිටින කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් වී ‘මට කරන්න පුළුවන් මොනාද’ කියා ඇසිය හැකි මිනිසෙකු යනු දෙවියෙකු නොව හැබෑ මිනිසෙකි. මේ වෙලාවේ අපරාජිතා ට සසංක පෙනුණේ පෙර කී දේව ගති සහිත දුලභ මිනිසෙකු සේ ය. ඔහු ගේ වචන වල තිබී ඇය හැඳින්නේ ආදරය විතර ය.
“දැන් නෙවේ. හෙට උදේ”
ඇය බිඳුණු හඬකින් කීවා ය. ඇස් දැවෙමින් තිබෙණා බවක් ඇය ට දැනිණ.
අරවින්ද ඒ මොහොතේත් සිටියේ පෞද්ගලික රෝහලක දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ය. ඔහු ගේ රුධිර පීඩනය ඉහළ යමින් පැවති අතර ඔක්කාර හා වමනය ගතිය ද උදරයේ හා සිරුරේ ඉදිමුණ ගතිය ද රෝග ලක්ෂණ අතරේ පෙනෙන්නට තිබිණ. ඊට අමතරව අධික තෙහෙට්ටුවක් ද කෑම අරුචිය හා අප්‍රාණික බවකින් ද ඔහු පෙළුණේ ය. කාලයක් තිස්සේ පවතින අධි රුධිර පීඩනය හා දියවැඩියාව තත්වයන් ද ඇල්කොහොල් අධික භාවිතය ද නිසා අරවින්ද ගේ වකුගඩු වලට බලපෑම් වී තිබිණ. මේ සඳහා අවශ්‍ය කෙරෙන පිළියම් නිසි ලෙස නො කෙරුණේ ඔහු ගේ නො සැලකිලිමත්කම නිසා ය. අවසාන වශයෙන් වකුගඩු දෙකෙහි ම ක්‍රියාකාරීත්වය අඩාල වන තත්වයකට පත් ව තිබේ. යන්ත්‍රාණුසාරයෙන් රුධිරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම හෙවත් ඩයලයිස් කිරීම මගින් යම් තාක් දුරකට ජීවන චක්‍රය ක්‍රියාත්මක කර ගත හැකි වී ද වඩාත් සාර්ථක වන්නේ වකුගඩුවක් බද්ධ කිරීම බව වෛද්‍ය නිර්දේශය වූයේ ය. මේ බව දැන ගත් පසු විශාල මුදලක් ගෙවා වකුගඩුවක් ලබා ගැනීම සඳහා දායකයෙකු සෙවීමට රොෂෙල් යුහුසුළු වූවා ය. එවන් මුදලක් වෙනුවෙන් වකුගඩුවක් විකිණීමට කැමති මිනිස්සු මේ රටෙහි නැතිවා ම නොවේ. එසේ පැමිණි සිව් දෙනෙකු ගේ ම රුධිර ගණ වෙනස්කම් නිසා ඔවුන් ගේ වකුගඩු අරවින්දට බද්ධ කිරීමට ගැලපී තිබුණේ නැත.
“බලන්න මැඩම්. අපි මැරි කරල තාම මහ කාලයක් ගියාද…ඒ මදිවට මගෙ බඩේ දරුවෙක්. අරවින්ද මෙච්චර ලෙඩ තියාගෙනත් පරිස්සං වෙලා නෑ. පහු ගිය ටිකේ එයා අසාමාන්‍ය විදිහට ඩ්‍රිංක්ස් ගත්තා. මං හිතන්නෙ ඒවත් බලපාල ඇති හදිස්සියෙ මෙහෙම වෙන්න. හැබැයි ඩොක්ටර් කිව්වෙ මේක කාලයක් තිස්සෙ තිබුණ ප්‍රොබ්ලම් එකක අන්තිම ස්ටේජ් එක කියල. අරවින්ද අමාරුවෙ දැම්මෙ මාවයි අපේ දරුවවයි මැඩම්…”
ඇය ගතු කීවේ වරින් වර කඳුළකට ඉඩ දෙමිනි. එය දුක ද කේන්තිය ද කලකිරීම ද ආත්මානුකම්පාව ද මුසු හැඟීම් පොදියක් බව වටහා ගන්නට බැරි කමක් අපරාජිතා ට නැත. විවා පත් වී වැඩි කලක් යන්නට පෙර, සිය කුළුඳුල් දරු ප්‍රසූතියට ද පෙර සිය සැමියා වකුගඩු අක්‍රිය වීම මත මාරාන්තික තත්වයට පත් වීම තරුණ බිරිඳක වශයෙන් ඇය ට කෙසේ බලපෑ හැකි දැයි සිතන්නට අපරාජිතා උත්සාහ කළා ය.
අනිත් අතට ඇය තමන් වෙතට ද වරද පටවා ගත්තා ය. අවසාන වශයෙන් ජය පාරේ ගේ දොරකඩට විත් දේශිකා ගෙන් දොස් අසාගෙන ගියාට පසු, අනන්‍යා ද එහි නො එනා ලෙස තදින් කියා සිටීමෙන් පසු අරවින්ද යළි අපරාජිතා දකින්නට නො ගියේ ය. ඔහු කතා කළේ ද අනන්‍යා එක්ක පමණ ය. අනන්‍යා නිවාඩු නිම වී විදෙස් ගත වන්නට ආසන්න වෙත්දී අරවින්ද ගේ රෝග තත්වය උන් හිටි ගමන් උත්සන්න වන්නට ගත්තේ ය. නමුත් ඔහු දියණියට ඒ බවක් හැඟවූයේ නැත. ඇය ගුවන් ගත වන දින උදේ පරීක්ෂණ සඳහා රෝහල් ගත වන ලෙස වෛද්‍යවරයා විසින් දැනුම් දී තිබුණ ද අරවින්ද ඒ බවක් අනන්‍යා ට නොකීවේ ඇය කලබල වන බව ඉඳුරා දැන උන් නිසා ය. ඔහු ට රෝහල් ගත වීමට නියමිත ව ඇති බව දැන ගත්තා නම් ඇය එදා නික්ම නොයන්නට තිබිණ.
එදා සිට දිගට ම පරීක්ෂණ හා ප්‍රතිකාර ය. අපරාජිතා ට කතා කිරීමේ ඕනකම අරවින්ද ට හොඳට ම වූයේ ය. නමුත් ඔහු තමන් ව පාලනය කර ගත්තේ ය. අනන්‍යා අවසාන වශයෙන් ඉල්ලා සිටියේ ද අම්මා ගේ තුවාල නොපාරා සිටින ලෙසයි. ඔහු ට ජීවත් වීමට තව ලොකු කාලයක් නොවන බව දැන සිටියෙන්, ඒ ටික කාලය වුව ඇගේ හිත නොරිදවා ඉන්නට ඔහු තරයේ හිතා ගත්තේ ය.
අරවින්ද ඇයට ඇමතුමක් නො ගත්තේ පවතින තත්වය මැනවින් වටහා ගැනීම නිසා යයි අපරාජිතා සිතුවා ය. අනිත් අතට රොෂෙල් ට කතා කොට ඇය කළ ඉල්ලා සිටීම ගැන ඔහු දැනුවත් නම්, යළි කතා නොකිරීම ගැන පුදුමයක් ද අපරාජිතා ට නොවී ය. අනිත් අතට ඒ සියලු දේ අතීතයට ගසා යා යුතු දේවල් නිසාවෙන් ඇය යළි යළිත් ඒවා ගැන නො සිතා සිටියා ය.
නමුත් සිය දියණිය ගේ පියාණන් මරණාසන්න වන තුරු ඔහු ගැන සොයා නො බැලීම ගැන ඇය තමන්ට ම දොස් පවරා ගත්තා ය.
“මං හරි වැරදියි සසංක. අරවින්ද ට මොනා හරි වුණොත්නං දුව කවදාවත් මට සමාව දෙන එකක් නෑ”
ඇස් පියන් පත් බිමට හරවා ගෙන අපරාජිතා බිඳුණු හඬින් මිමිණුවා ය. ඇගේ ස්වර පුරා තැවරී තිබුණේ කඳුළු වල තෙත හා සුසුම් වල සීතල ය. සසංක සිය සිහින් දෑස් වලින් ඇය දෙස බලා සිටිනා ගමන් අපරාජිතා ගේ හිස් මුදුනෙහි අතක් තැබුවේ ය. ඇගේ ඇස් ඔහු දෙසට හැරිණ.
“ඔයාට දොස් කියා ගන්න එපා. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියල”
“කරන්න ඕන දේ ගැන මං තීරණයක් ගත්තා සසංක. මගෙ කිඩ්නි එකක් අරවින්දට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න පුළුවන්නං…මං ඩොනේට් කරන්න ලෑස්තියි”
“අපූ…”
සසංක ට දැනුණේ පරක් තෙරක් නැති අගාධයක ඔහු ගිලී යනවා සේ ය. නමුත් අපරාජිතා ගේ මුහුණේ තව දුරටත් වූයේ පියෙටා ප්‍රතිමාවේ මරිය මව්තුමිය ගේ මුහුණේ වූ උපේක්ෂාවේත් කරුණාවේත් දරා ගැනීමේත් සමාධිය විතර ය.