ඉස්කෝලේ වතුර පයිප්පයට දෝත අල්ලා ඊට මුව තබා පහත් වී ගෙන මම බඩ පිරෙන්නට වතුර බීවෙමි. අවසාන දිය දෝතෙන් මුව දොවා ගෙන මඳක් ඉහළ බලමින් නැගී සිටියදී, ක්‍රීඩා පිටිය සම්මුඛ කර ගත් අඩ කවාකාර දැවැන්ත අහස් තලාවක් මා ඉදිරියේ නැගී සිටියේ ය. නීල වර්ණ එඅහස් තලය පුරාවට සුදු වලා කැටිති තැන් තැන් හි නතර වී මදෙස බලා සිටියේ ය. මගේ මුවග යන්තම් හස මලක් පිපෙන්නට ඇත. පෙර දා සිට ම නිරාහාරව සිටීම නිසා හිස් ව තිබි කුස, සීතල නැති පයිප්ප වතුරට වී ද සීතල වෙනවා මට දැනේ. වතුර විතරක් උදරයෙහි ඇති ව නිදි වැරූ අනන්ත රාත්‍රීන් වෙනුවෙන් විශ්වය ප්‍රතිචාර දක්වා තිබේ. හිනා වෙන්න ද අඬන්න ද කියා මට නොතේරේ!
මේ කතාව කොතනින් පටන් ගෙන කොතනකින් කෙළවර කරන්න ද කියා මම නො දනිමි. කතාවක් නම් මුල මැද අග සහිත ව ගලපා ගන්නට පුළුවන. නමුත් ජීවිතය එහෙම නොවේ. ජීවිත කතාවකට නිසි පිළිවෙලක් ඇතැයි කිව නො හැකි ය. මගේ ජීවිත කතාව ද එබඳු ය. කවදාවත් නිසි පිළිවෙළක් වූයේ නැත. තියෙනා වෙලාවට යමක් කා, නැතිනම් ප්‍රශ්න නොකර මම ගුලි වී නිදා ගතිමි. නෑයින් ගෙන් ද නොනෑයින් ගෙන් ද නින්දා පරිභව විඳිමින් ද ඔවුන් ගේ චාටු කතා වලට මුලා වෙමින් ද දුප්පත් කමේ අන්තිම පත්ලෙහි වන දරුණු අඳුර හා කටුක තිත්ත රස වළඳමින් ද මඳහසකින් මුව සරසා ගෙන හැම මොහොතක් ම ගත කළෙමි. එහෙව් ජීවිතයකට පිළිවෙලක් ඇති කතාවක් තිබේ යයි ඔබ සිතන්නෙහි ද?
පිළිවෙලක් කෙසේ වෙතත් මටත් කතාවක් තිබේ. තනි වෙන වෙලාවට තැන් තැන් වලින් මම අතීතය මෙනෙහි කරමි. බිඳුණු වීදුරුවක් ඔස්සේ පෙනෙන්නා වූ යමක් සේ, මිනිස් රූප හා සිදුවීම් සමූහයක් මගේ මනසෙහි තැන් තැන් වලින් කැඩි කැඩී බිඳි බිඳී පෙනෙන්නට ගනියි. ඒ කිසිවකට කිසි පිළිවෙලක් නැත්තේ ය. ඇතැම් විට සිදු වූ පිළිවෙළෙහි අනුපිළිවෙලක් ද ඒවායෙහි නැත්තේ ය. තැන් තැන් වලින් ඇහිඳ ගත් මතක කැබලිති පමණ ය. නමුත් ඒ සියල්ල එක් කර ගත් කල කතාවක් ගොඩ නගා ගන්නට ඔබට හැකි වනු ඇත.
මීට ටික කලකට පෙර නම් කොළඹ නගර සභා සීමාවෙහි පාසල් වල දරු දැරියන්ට බනිසක් හා කිරි පැකට් එකක් බැගින් ලැබිණ. පහේ ශිෂ්‍යත්වය සමත් වීම නිසා ගමේ පාසලේ සිට මා ගියේ නගරයේ බාලිකාවකට ය. කිරි පැකට් කතාවට කලින්, මතක් වූ නිසා ශිෂ්‍යත්වය ගැන කතාව කිව යුතු ය. ශිෂ්‍යත්වය කියන්නේ කුමක් දැයි එම විභාගයට ලියනා තුරු මම නො දැන සිටියෙමි. අම්මා දැන සිටියත් ඒ ගැන උනන්දු වීමේ උවමනාවක් හෝ එසේ කිරීමේ හැකියාවක් ඇය ට නො වන්නට ඇත. කෙසේ වෙතත් මා ඒ විභාගය සමත් වී තිබිණ.
“බොරුද කොහෙද අනේ…පන්තියකටවත් නොයා මෙයා පාස් වෙයි ඔච්චර ලකුණු අරං. අච්චර අපි පන්ති ඇදං ගිහිං පාස් කර ගන්නම ට්‍රයි කරපු චංචලා ගත්තෙත් ලකුණු එකසිය විස්සයි”
මා ගෙදර එන ගමන්, මහ ගෙදර වත්තේ දී පෙර මගට හමු වූ නීලිකා නැන්දා වසන්ති පුංචී ට එසේ කීවේ, අතක් ද ඔසවමින් මා “මං පාස්” යයි උද්දාමයෙන් කී නිසා ය. වසන්ති පුංචි යනු මගේ අම්මා වන නන්දනී වීරසේකර ගේ පියාගේ දෙවන විවාහයේ දියණියයි. නීලිකා යනු සීයා ගේ එකී දෙවන විවාහයේ පුතුන් වන සුනිමල් ගේ බිරිඳ වේ. අපේ අම්මා ඔහු ගේ පළමු විවාහයේ දරුවා වන අතර, එම බිරිඳ ගේ වියෝවෙන් පසු අම්මාව හදා වඩා බලා කියා ගැන්මටත් සමග සීයා දැන් සිටින ආච්චි මමී ව විවාහ කොට ගෙන තිබේ. බලා ගන්නවා කෙසේ වතුදු ඇය අම්මා ට කර තිබෙන්නේ ම වෙනස්කම් ය.
මුලදීත් මා කීවා සේ කතාව වෙන පැත්තක් කරා ගමන් කරන්නට පෙර යළිත් මම මුලින් කියමින් සිටි තැනට එමි. නැන්දා ද පුංචී ද ආච්චි මමී ද ඔවුන් ගේ දරුවන් ද ඇතුළු ගෙදර සියලු දෙනා ම මා ශිෂ්‍යත්වය සමත් ය යන පුවත විශ්වාස කළේ අලුත් පාසලට යන්නට පටන් ගත්තා ට පසුව ය.
“නැති බැරි එවුන්ට එහෙම චාන්ස් වදිනව. ශිෂ්‍යත්වෙ පාස් වුණා කියල රස්සාවක් ලැබෙන්නෙ නෑ කෙල්ලෙ. කොළඹ ඉස්කෝලෙකට ගියා කියල අනිත් විභාග පාස් වෙන්නෙත් නෑ. ශිෂ්‍යත්වෙ පාස් නැති ළමයි තමයි රටේ හැම තැනම ඉහළ තනතුරු වල ඉන්නෙ”
ඉන්පසු වතාවක් නීලිකා නැන්දා මගේ මූණට ම කීවේ ශිෂ්‍යත්වය සමත් වීම මා කළ බලවත් වරදක් සේ හඟවමිනි. ඒ කී දේ වල තේරුම හරියට අවබෝධ නොවුණ ද එක වචනයක් හෝ නෑර අදටත් මගේ මතකයේ ඒ සියල් වදන් තැන්පත් වී තියේ.
මා කියන්නට ගියේ ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසලට ගිය නිසා මට ලැබුණ සුවිශේෂ ම වරප්‍රසාදය ගැන ය. ඒ දවල් විවේක වෙලාවේදී බනිස් එකක් හා කිරි පැකට් එකක් ලැබීම ය. පළමු දවසේ එසේ ලැබුණ ගමන් ම මා බනිස කන්නට පටන් ගත්තේ, පෙර දා ද හරියට කෑමක් නොතිබුණෙන් මහත් ගිජු බවකිනි. නමුත් බනිසෙන් අඩක් කා ගෙන යන විට මට මල්ලී ද අම්මා ද සිහි විය. ඔවුන් කුස ගින්නේ සිටියදී මා මෙසේ බනිස් ගිල දමා කිරි බොන්නේ කෙසේද යන පැනය, නහස් පුඬු දැවිල්ල කරමින් මගේ ඇස් වලට කඳුළු ගෙනාවේ ය. මම ඉතිරි බනිස් බාගයත් සමග කිරි පැකට් එක බෑග් එකෙහි ඔබා ගතිමි.
පන්තියේ සිටිනා ළමුන් ගණනට කිරි පැකට් හා බනිස් නිකුත් කරන්නේ ය. නමුත් ගුරු මේසය මත තව බනිස් ද කිරි පැකට් ද ඉතිරි වී ඇති බව මා දුටුවේ පසුව ය. චොකලට් රසැති කිරි පැකට් ඇති දවසට පමණක් බාලිකාවේ ළමයි කිරි බොන බව ද, වැනිලා රසැති කිරි පැකට් හා බනිස් මේසය මත ඉතිරි වන බව ද මා දැන ගත්තේ දෙවන හා තෙවන දින ගෙවෙත්දී ය. වැනිලා රසැති කිරි තිබෙන්නයි, හැම උදයක ම මම පැතුවෙමි. ඒ ඒවා ඉතිරි වන නිසා බනිස් සමග පැකට් කිහිපයක් ම මට ගෙදර ගෙන යා හැකි බැවිනි. පාසල් බස් රිය නැවතුමේ නතර වෙන තෙක් බලා හිඳින මගේ මල්ලී ඇසිල්ලෙන් සිය බයිසිකල් රිම් එක තල්ලු කර ගෙන මවෙත දිව එන්නේ බනිස් තිබෙනවාද කියා අසා ගෙන ය. ඔහු ගේ ඇස්, බනිස් හා කිරි පැකට් දකිත්දී ප්‍රීතියෙන් දීප්තිමත් වෙන සැටි දකින්නට මගේ ළමා සිත ආශා වූයේ ය. මල්ලී බනිස කත්දී මම මොහොතකට ඔහු ගේ අම්මා වී මව්වත් හැඟීමක් වින්දෙමි. එදා පමණක් නොව හැම දාක ම මට මගේ මල්ලී ව දැනුණේ මගේ දරුවා සේ ය. මා ඔහු ගේ අම්මා සේ ය. විටෙක අපේ අම්මා ද මට දරුවෙකු සේ විය. චොකලට් කිරි ඇති දවසට ඒවා ඉතිරි නොවෙන බැවින් මම බනිස පමණක් කා මගේ කිරි පැකට් එක මල්ලී ට ගෙන එමි. මගේ කුස පිරුණාට වැඩි සතුටක් මල්ලි ගේ කුස පිරවීමෙන් මම අත්වින්දෙමි.
පිට පලාත් වල ළමයි “කොළඹට කිරි අපිට කැකිරි” කියමින් විරෝධතාවය පෑහ. අවාසනාවකට එසේ බනිස් හා කිරි දීම පසුව වියළි ආහාර සලාකයක් ලෙස වෙනස් විය. පාසලේ ම සමූපකාරයක් විවෘත වූ අතර, කිරි පැකට් දෙනවාට වඩා මේ වියළි සලාක ක්‍රමයට පොහොසත් ගෑනු ළමයි රිසි වූහ. ඒ, සමූපකාරයේ බඩු ගැනීම වෙනුවෙන් පෝලිමේ සිටින්නට කාල පරිච්ඡේද කිහිපයක් වැය වන නිසා ය. කෙසේ වෙතත් සමූපකාරයෙන් බඩු ගේන දවසට සැමන් මිරිසට උයා පරිප්පු කිරට උයා රස බත් වේලක් අපි අනුභව කළෙමු. එදාට මගේ සිත ආඩම්බරයෙන් පිම්බී තිබුණේ ය. ඒ මා හරි හම්බ කර ගෙන ආ ආහාර වේලක් සේ ය. කෙසේ වී ද ඔය සියලු දේ කෙරුණේ වසර කිහිපයක් පමණකි. ඒවා නතර වීම මට නම් දැනුණේ දුප්පත් අපට ම වැදුණු බඩේ පහරක් සේ ය.
මේ කියනා දවසේ පාසල් බස් රිය නැවතුමේ නතර වන විටත් මල්ලී ඈතට වන්නට බලා සිටිනු මට පෙනුණේ ය. ශ්වසනය අවහිර වී මගේ උරස් කුහරය තුළ ප්‍රබල පීඩනයක් ඇති විය. මම ඉක්මන් ඇස් පිය ගසමින් කඳුළු වලකා ගතිමි. බසය යළි පණ ගැන්වී නික්ම ගිය කල මල්ලී මවෙත ඉක්මන් ගමනින් ආවේ ය.
“කොහොමද සුදූ රිසාල්ස්…”
මම දෙතොල් තද කර ගෙන සිනහවක් පෑවෙමි. මල්ලී මට ‘අක්කා’ කියා අමතන්නේ ඉඳහිට ය. ඔහු මට සුදූ කියන්නේ කවදා සිට දැයි මා නො දන්නේ, බහ තෝරන්නට ගත් දා සිට ම ඔහු එසේ මා ඇමතු නිසා විය යුතු ය. අම්මා මා අමතන ‘සුදූ’ යන කෙටි ඇමතුම මල්ලි ගේ කටට ද පහසු වන්නට ඇත.
“වැඩක් නෑ. සෙකන්ඩ් ශයි කරන්න වෙනෝ”
මම බොරුවක් කීවෙමි. මල්ලී මගේ මූණට එබුණේ ය.
“බොරු කියන්නැතුව ඉන්නව”
ඔහු ට මගේ මුහුණෙන් මගේ හිත කියවන්නට පුළුවන් බව මම දනිමි. ඒ බොරුව දිගට ම පවත්වා ගත නොහී මට සිනහ නැගුණේ එනිසාවෙන් විය යුතු ය.
“ඇත්ත”
“අනේ අනේ මේ…ඇත්ත කියනව”
“මෙඩිසින් සිලෙක්ට් වෙන්න පාස් මල්ලි”
මට කියන්නට ලැබුණේ එපමණකි. ”මං කිව්වෙ” කියමින් ඔහු ඇසිල්ලකින් මා දෝතින් ඔසවා ගත්තේ ය. මම මල්ලි ගේ ගෙලෙහි එල්ලුණෙමි.
“අනේ…බිම තියනව මාව වට්ටන්නෙ නැතුව…”
නමුත් මහ ගෙදර වත්තට පිවිසෙන තැන කබල් ගේට්ටුව ළඟදී මා ඔසවා ගත් පිම්ම, මහ ගෙදර වත්තේ දර පොල්කොළ හා පොල් දමන්නට සීයා විසින් ගේ පිටුපස ඉදි කරවන ලද, අප උපන් දවසේ සිට ම අපේ ගේ ලෙස යොදා ගත් කුඩා කාමර කැබැල්ල ළඟට එන තුරු ම මල්ලී මා බිම තැබුවේ නැත. ඔහු ගේ දෑතින් එසවී ගෙන හා ගෙලෙහි එල්ලී ගෙන කෑ ගසමින් ද සිනහ වෙමින් ද මා එසේ එන අතරේ දී වසන්ති පුංචි ද නීලිකා නැන්දා ද ආච්චි මමී හා නැන්දාගේත් පුංචී ගෙත් ළමයින් ද එබිකම් කරමින් බලනු මම දුටිමි.
“පුළුවන්නං ඔය කෙල්ලව බිම දාල කොන්ද කඩහංකො. අස්ප ගාය මූට”
ආච්චි මමී කෑ ගසා මල්ලී ට බැණ වැදුණා ය. නමුත් ඔහු ඇය ව තඹ සතයකට ගණන් ගත්තේ නැත.
“මොනාද රිසල්ස්…”
වසන්ති පුංචී කෑ ගසා ඇසුවා ය.
“ඩොක්ට කෙනෙක්..ඩොක්ට කෙනෙක්…බෙහෙත් ගන්න එන්නලකො ඉස්සරහට”
මට පෙර මල්ලී කෑ ගසා ම පිළිවදන් දුන්නේ ය.
“මොකද්ද බූරුවො ඒක කියපු හැටි…”
‘ජබොහ්’ ගා ගේ දොරකඩ දී මාව බිම අත්හරිත්දී මම මල්ලී ට තරවටු කළෙමි.
“පුපුරයි දැං සෙට් එක”
ඔහු කීවේ මහ ගෙදර දෙස බලමිනි. මල්ලී මට කුරුම්බා ගෙඩියක් කපා දුන්නේ ය. පාසල් ඇරී පැමිණි ගමන් ඔහු මහ ගෙදර වත්තේ පොල් ගසකට නැග ඇති බව ඒ අනුව මට සිතා ගත හැකි විය. බඩගින්න උහුලා ගත නො හැකි වෙලාවක මල්ලී කුරුම්බා කඩා වතුර බී ලොඳ වලින් කුස පුරවා ගැනීමට උත්සාහ කරයි. ගස් වල පොල් අඩු වීම ගැන ආච්චි මමී හෝ පුංචි ඇනුම් පද කියමින් අපේ ගේ ළඟින් යති.
“ඕන එකක් කියපුදෙං. මේව අපිටත් අයිති දේවල්. අපේ අම්මත් සීයගෙ දරුවෙක්නෙ. මේව මේ ආච්චි මමී එනකොට ගෙනාපුව නෙවේනෙ”
වත්තෙන් කුරුම්බා කැඩීම ගැන මා ඔහු ට දොස් කියත්දී මල්ලී අභියෝග කරයි. ඔහු කියන්නේ ඇත්තක් බව මම ද දනිමි. මල්ලී දැන් පොඩි ළමයෙක් නොවේ. පොඩි කාලේදී වාගේ මහ ගෙදර ඇත්තන්ට ඔහු ට බැණ එලවා ගන්නට දැන් නුපුළුවන. මේ අවුරුද්දේ මල්ලී සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට නියමිත ය. නමුත් ඉගෙනීම ගැන ඔහු ගේ ලොකු උනන්දුවක් නැත්තේ ය.
“අපිට එක ලොකු නෝනෙක් හිටියහම ඇති. යන්තං ඕලෙවල් ලිව්වට පස්සෙ මං පේමන්ට් එකේ හරි ජොබකට සෙට් වෙනව. සුදූ කොහොමහරි ඉගෙන ගන්න. මං වියදං කරන්නං”
මල්ලී ඔය මන්තරය මතුරන්නේ සාමාන්‍ය පෙළ පන්තියට ආ දිනයේ පටන් ය. මා ඔහු ට දෙවෙනි අම්මා වෙන්නට හදත්දී මල්ලී දැන් දැන් මට තාත්තෙකු වෙන්නට හදයි. අප දන්නා දා පටන් අම්මා ගමේ පරම්පරාගත ධනවත් නිවසක බැලමෙහෙ කරයි. නූගත් ස්ත්‍රියක වන අම්මා එය මහ මෙරක් සේ සලකන්නේ ඉන් ලැබෙනා සොච්චම් මුදල හා ඉතිරි වන කෑම ටිකක් වුව සිය දරු දෙදෙනා උස් මහත් කිරීම වෙනුවෙන් යන්තම් උදව්වක් කර ගත හැකි බැවිනි.
“දැං ඉස්සරහ වැඩ වලට වියදං හදා ගන්නෙ කොහොමද අක්කෙ…මං කියන්නද…මං අර ගැරේජ් එකේ හවස් වරුවෙ වැඩ කරන්නං”
“පිස්සුද තමුසෙට…”
මම ඔහු ට රැව්වෙමි.
“කැම්පස් පටන් ගන්නෑනෙ අද හෙටම. ඊට කලින් දෙයියනේ කියල ටිකක් මහන්සි වෙලා පාඩං කරල ඕලෙවල් ගොඩ දා ගන්න බලමු මල්ලි. ඔයා ඒ ලෙවල්ස් කරන්නම ඕනෙ. මගෙ පාස් එකට හරි වටිනකමක් ලැබෙන්නෙ එදාට”
“හරි හරි. මට ඔයාගෙ බෙහෙත් සාප්පුව අතු ගාන රස්සාව හරි ලැබෙයිනෙ. ඒක නෙවේ. දැන්වත් අර ලෝචන මදුරාපුරට වචනයක් දෙන්න පුළුවන් වෙයි නේ..”
මල්ලී මගෙන් එසේ ඇසුවේ අපේ දොරකඩ ලී බංකුව මත ඉන්නා ගමන් අසලක වූ තාරකා මල් පඳුරෙන් කහ පාට මලක් කඩා මගේ වරලේ ගවසමිනි. මේ මිදුලේ කවදාවත් තාරකා මල් නො පිපී තිබුණේ නැත. මගේ කොණ්ඩා කරල් අතරේ දවසකට කිහිපයක් පර වී නො ගියේ ද නැත. ලෝචන මදුරාපුර ගේ කැමරාවේ සනිටුහන් වී, ඔහු ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරා යන්නට සූදානම් ව හිඳිනා, මා වරලේ මල් ගවසා ගෙන කොණ්ඩා කරල දෙස බලා හිඳිනා ඡායාරූපය ඔහු ගේ කාමරයේ රාමු කොට තිබී මම දවසක් දුටිමි. ‘නිබ්බුත ගීත’ ලෙස ඔහු ඒ ඡායාරූපය නම් කොට තිබුණේ ය.
‘නිබ්බුතා ගෝතමී’ වාගේ නමක් මට තබන්නට තරම් දැනුමක් අවබෝධයක් මගේ අම්මා ට කොයින්ද යන පැනය අදටත් මම ඇගෙන් නාසා ඉමි.