(අ)හිමි සිහින -226

හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා දැන් තබා සූදානම්විය යුතු බවයි.මම ඒ සඳහා සිතින් සැලසුම් අඳිමින් සිටියා.මම එසේ සිතන අතර වෙනත් ස්ථාන වල වෙනත් අයගේ ඔලු වල වෙනත් සැලසුම් ඇඳෙමින් තිබුණ බව මා දැනගෙන සිටියේ නැහැ.නමුත් මා අවශේෂ මිනිසුන් ගැන කිසිසේත් බියවුණේ නැහැ.මම මා ගැන සහ මා කරන දෙය ඉතා හොඳින් දැන සිටියා.එනිසාම කුමන්ත්‍රණ කිසිවකටත් මා පරාජය කරන්නට බැරි බව මා හොඳින්ම දන්නවා.නමුත් ඔවුන් එය දැනගෙන සිටියේ නෑ.

මම හිමින් හිමින් සුධාරක ගේ ලිපි ලේඛණ අස්කරන්නට පටන්ගත්තා. ඔහු උසස් නිලධාරියෙකු වූ නිසාත් නොයෙකුත් මණ්ඩල හා වගකීම් බහුල රාජකාරි කල නිසාත් ඔහුගේ සමහර රාජකාරි වල වැදගත් ලියකියවිලි ගෙදර තිබුණා.එසේම ඔහු කවදා හෝ උවමනා වේ යැයි සිතා වෙනත් ලියකියවිලි පරිස්සම්කොට තබා තිබුණා.ඒ සියල්ල දැන සිටියේ මා පමණයි.ඔහු වෙඩික්කරුවෙක්, ඒ නිසාම වෙඩි තැබීම් සම්බන්ධයෙන් අවි ආයුධ සම්බන්ධයෙන් තිබුණු ලියකියවිලි ඉන් ප්‍රධාන වුණා. වෙඩිතැබීම ක්‍රීඩාවක් ලෙස කල සුධාරක සතුව තිබූ ඒ සඳහා යොදාගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් මේ නිවසේ තිබුණා.ඇත්තටම මා අනුරාධපුරයේ සිටියදී මේ නිවසේ යතුරු වෙනත් පාර්ශ්වයක් අතට ගියා යැයි මා දැනගත් අවස්ථාවේ මම වඩාත් චකිතයට පත් වූයේ ඒ ඉහත කාරණය නිසායි.

සුධාරක ජීවතුන් අතර සිටියදී ඔහු ගමනක් යනවිට රැගෙන ගිය රාජකාරි පිස්තෝලය පවා දී තිබුණේ මට. එය තිබුණේ මගේ අත්බෑගයේ.එනිසා ඔහු ඔහුගේ අතීශය පෞද්ගලික දේ ඉතා රහසිගතව තබාගත්තේ අනවශ්‍ය පුද්ගලයන් එය නොදැනගතයුතු නිසා.එනිසා නිවසේ යතුරු වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම ගැන මට තිබුණ බිය වූයේ ඔහු ගේ අතිශය රහසිගත පෞද්ගලික දේ විශ්වාසයක් නැති මිනිසුන් අතට පත්වීමේ අවධානම පමණයි.

එනිසාම මම කොළඹට පැමිණ නැවතත් නිවස අත්පත්කරගත්තාට පසුව ඒ අවදානම් ආයිත්තම් සියල්ලම නීත්‍යානුකූල ලෙස අදාල ස්ථානවලට බාරදුන්නේ සුධාරක සුව වී නැවත ආපසු ඒවා ලබාගැනීමට සුදුසු පියවරක් ගන්නා තුරුයි.සුධාරක මියයනතෙක් අනික් අය බලාසිටියාට මම බලාසිටියේ ඔහු දෙපයින් නැගිට එනතුරුයි.නැතිනම් රෝදපුටුවකට හෝ කරගැනීම පමණමයි මගේ උත්සාහය වුණේ.

මේ සියලු දේ නිසා මා ඔහුගේ ලියකියවිලි එකක් නෑර කියවා බලා යම් දවසක ඔහු වෙනුවෙන් කතාකරන්නට අවශ්‍ය වෙතොත් එවැනි ලියවිලි සුරක්ෂිතව තබා ඉතිරි සියල්ල පුලුස්සා දැමුවා. සුධාරක ජීවතුන් අතර ඉද්දීම තමන්ගේ උන් අතින්ම නින්දිත ලෙස අවභාවිතාවට ලක් වූ අහිංසකයෙක්.දිල්හානි සහ දරුවන් සරණාගත වීසා සඳහා ලබාදී තිබුනු ලියුමට අනුව සුධාරක දරුණු ඝනයේ සාපරාධී ක්‍රියා කළ කෙනෙක්.එනිසා දැන් ජීවතුන් අතර නැති ඔහුට හානිකරන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ.ඒත් මා ජීවතුන් අතර සිටින තාක් ඒ දෙය කරන්නට මම ඉඩතබන්නේත් නැහැ.

විශ්වාසය යනු උපරිමයෙන් රැකිය යුතු දෙයක් මිස ලාබ ප්‍රයෝජන හමුවේ වෙනස්වන දෙයක් නොවිය යුතුයි.කෙනෙක් ජීවතුන් අතර නැතිවිට හෝ තව දුරටත් තමා වෙනුවෙන් කතාකරගන්නට අපොහොසත් වූ විට ඔවුන්ගෙන් පසු ඉතිරිවන්නන් විසින් තවදුරටත් ඒ විශ්වාසය රැකිය යුතු යැයි මම තරයේ විශ්වාස කරනවා.විශ්වාසය නම් එයයි. ඇති විටත් නැතිවිටත් දිවිහිමියෙන් රැකිය යුතු දෙයක්.

බොහෝ මිනිසුන් හිතවත්ව ඉන්නා කාලයේ බෙදාගන්නා ඕනෑම රහසක් කවදාහෝ ඒ බැඳීම බිඳී ගියත් දිවිහිමියෙන් රැකිය යුතු බව මම තරයේ අදහනවා.වෙන්ව ගියත් මිනිසුන් එකිනෙකාගේ ගෞරවය රැකිය යුතුයි.වෙන්ව ගිය දාක අනෙකාගේ පෞද්ගලික දේ අඩුපාඩු හෝ වැරදි සමාජගත කරන්නේ හෝ ඒවා ඔවුන්ට නින්දා කරන්නට යොදාගන්නේ මනුෂ්‍යත්වයට නිග්‍රහ කරන මිනිස්සු පමණයි.

මට බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලික තොරතුරු ගැටලු කියා තිබෙනවා.අදටත් කියනවා.නමුත් මම ඔවුන්ට හිතට සහනයක් දෙන්නට හැකිනම් එවැනි උදව්වක් කරන්නට උත්සහ කරනවා මිස ඔවුන්ව තලා පෙලන්නට ඒ කිසිවක් යොදාගන්නේ නැහැ.

මෙසේ ටික ටික නිවස අස්කරමින් ඉන්න අතරතුර දිනක් අල්ලපු ගෙදරින් මට දුරකථන ඇමතුමක් ආවා.

“මිසිස් අනුරාධා ටිකකට ගේට්ටුව ලඟට එනවද.පොලීසියෙන් ඇවිත් ඉන්නවා”

මා ඔබට කලින් කියා ඇති ලෙසටම මිනිස්සු පොලීසියට උසාවියට හිරගෙදරට බියවිය යුතු නැහැ.ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පමණයි.ඔබ ඔබේ හෘදසාක්ෂියට හා නීතියට අනුව ජීවත්වූවා නම් කිසිසේත් බියවියයුතු චකිතය වියයුතු සැඟවිය යුතු නැහැ. .

ඉතින් මේ අනුරාධා කිසිදාක නීතියට බියෙන් හැංගී සිටි කෙනෙක් නෙවෙයි.මොකද මම මගේ ජීවිතයේ නීතිගරුක හා සත්‍යගරුක ලෙස ජීවත්ව සිටියා කියන විශ්වාසය මට ඇති නිසා.එනිසා ගේට්ටුවෙන් එලියේ සිටි පොලිස් නිලධාරියාව මා පිළිගත්තේ සිනාමුසුවයි

“ඔව් රාලහාමි.මම තමයි අනුරාධා”

“ඔබතුමියට විරුද්ධව පැමිණිල්ලක් තිබෙනවා ඒක විභාගකරන්න හෙට පොලීසියට එන්න පුලුවන්ද”

“පුලුවන්. මේ මොකක් ගැන පැමිණිල්ලක් ද රාලහාමි?”

“බලෙන් නිවසට ඇතුළු වීමක් ගැන”

මගේ මුවගට නැගුනේ සිනාවක්.හරි! හෙට පොලිසියට ගිහින් බලමු කාගෙ නිවසට කවුරු බලෙන් ඇතුලුවෙලා ද කියලා. නැවත නිවසට ඇතුලු වූ මා සුධාරකගේ විශාල පින්තූරය අසලට පැමිණ ඔහුගේ මුහුණ අතගා සිනාසී මෙසේ කීවා

“මහත්තයෝ…හත්දවස ඉවරවෙලා දවස් දෙකයි ඔන්න කට්ටිය වැඩ පටන්අරන්”

ඔහුගේ මඳහස එලෙසමයි.මෙතෙක් මා ජීවත් කල ඒ සිනාව දිව්‍යමය හාදුවක් වී මෙතැන්පටන් මගේ නලලත තැබෙන බව පමණයි මා දැන සිටියේ.ඉතින් මීට කලින් වතාවකදීත් ගියා සේම අනුරාධාගේ පොලිසියට යන ගමන එක්ක මා සමගම සිටි ඔබ හෙටත් එනවා නොඅනුමානයි.ඒ වුණු දේ අපි හෙට බලමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles